Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

 හදවත් යා කරන කෙම් බිම
 මාතොට

සාමයේ වර්ණය සුදු ය. සුදු වර්ණයට මාතොට උරුමකම් කියන්නේ අතීතයේ පටන් ය. ඒ සුදේ සුද වූ මුතු ලබාදෙන සාගර තීරය ලෙස ය. මාතොට වරාය ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ ගමන් ආරම්භක ස්ථානය ද වේ. මෙරට වටිනාම පූජනිය වස්තුව වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩමකර වූ ඉතිහාසය ලියැවී ඇත්තේ ද මාතොට වරාය මුල් කර ගෙන ය. කිතුනුවන්ගේ වටිනාම පූජනීය වස්තුවක් වන මඩු පල්ලිය ද මන්නාරමට උරුම ය. හින්දූන්ගේ වටිනාම සිද්ධස්ථානයක් වන තිරුකේෂ්වරී කෝවිල ද මන්නාරමට උරුම ය. ඉස්ලාමිකයින්ට ද මන්නාරම ක්ෂේම භූමියකි. සාගර සම්පත මේ චතුර්විධ ආගමිකයින් මෙන්ම ත්‍රිවිධ ජනවර්ගයා යාකරගෙන සිටී. මන්නාරම් කරවල ඒ අතර ප්‍රධාන ය.

18.10.2019  |  
මන්නාරම දිස්ත්‍රික්කය

‘‘මන්නාරමේ දෙමළ පවුල්වල අය මූදු යනවා . කරවල වේළනවා. මුස්ලිම් වෙළෙන්දෝ කරවල අරන් විකුණනවා. සිංහල අය ඇවිත් බොහෝම සතුටින් කරවල අරන් යනවා. කිසිම ගැටුමක් නෑ. එදා ඉඳන් මන්නාරමේ අපි සාමයෙන් මේ වෙළඳාම පවත්වාගෙන යනවා.‘‘ එසේ පවසන්නේ මන්නාරම පොදු වෙළඳපොලේ ව්‍යාපාරික එස්.ඒ.ෆවුමි  ය.

ෆවුමි ගේ කතාව මන්නාරමේ ඇති ආර්ථික සාමාජීය හා ජනජීවිතයේ සංකලනය පිළිබිඹු කරයි. මන්නාරම වාර්ගික වශයෙන් දෙමළ හා මුස්ලිම් බහුතරයකින් ද සිංහල සුළුතරයකින් ද යුක්ත ය.  ආගමික වශයෙන් දෙමළ කිතුනු , දෙමළ හින්දු , ඉස්ලාම් හා බෞද්ධ වශනේ මන්නාරම් දිස්ත්‍රික්කය විසිරී පවතී.   මන්නාරම් දූපත ගත්විට එහි පිහිටි මන්නාරම් නගරය මේ සියලු විවිධත්වයන්ගෙන් බැඳී තිබේ. මේ දිනවල එහි ප්‍රධාන ආදායම් මාර්ගය වන මත්ස්‍ය අස්වැන්න ඉහළ යමින් ධීවර සමය එළඹෙමින් තිබේ. මෙනිසා මන්නාරම් නගරයේ මාළු වෙළඳපොළ වීදියේ හැම වෙළෙන්දෙකුගේම මුහුණුවල  සිනාව පිරී තිබේ. ඒ සිනාව අතරින් හඳුණාගත් ෆවුමි දේශීය සංචාරකයන්ට නිතරම දොර ඇරගත් කරවල වෙළෙන්දෙකි.

මේ නගරයට එන කාටත් ආපසු රැගෙන යන්නට සමරු , සිහිවටන හෝ විශේෂ තෑගි භාණ්ඩ නැත. ඇත්තේ මාළු හෝ කරවල ය. කට්ටා,පරා,කීරමින් ෆවුමි ඇතුළු වෙළෙඳසල් හිමියන් ළඟ හිඟ නැත. ඔහු  කියන්නාක් මෙන්ම මේ වෙළෙන්දන් බහුතරයක් මුස්ලිම් ය. ඔවුහු දෙමළෙන් මෙන්ම චතුර ලෙස සිංහලෙන් ද පාරිභෝගිකයා අමතා, උදව් උපකාර කර, අවශ්‍ය නම් නගරයේ මග පෙන්වා වෙළඳසලේ කරවල ගනුදෙනුවක් ද කරගනී.

‘‘මෙහෙ ඉන්න අපිට ජාති භේද නෑ. හැමෝම හැමෝටම අවශ්‍ය වෙනවා. වෙළඳාම කෙරෙන්නේ එහෙමයි. මේ හැමෝම සමගියෙන් ඉන්නවා. ඉතිං  දෙමළ අයගෙන් ගේනවා. සිංහල අයට විකුණනවා. අපි සාමෙන් ඉන්නවා.‘‘ ෆවුමි වැඩි දුරටත් පවසයි.

සුසිකරන්, ෆවුමි, ජෙසිකරන්, ෂිෆාදීන්

මේ දුපතේ වැඩි වශයෙන් කරවල නිපයන්නේ තාල්වුපාඩු වෙරළේ ය. අඩු මිළට නැවුම් මූදු මාළු මිලට ගැනීමට බොහෝ දෙනා තාල්වුපාඩු  යති.  මීගමුව හා කොළඹ ප්‍රදේශවල තොග වෙළෙන්දන් මේ ධීවර වාඩි වලින් මාළු මිලට ගැනීම සුලබ සිද්ධියකි. ඒ හැර එහි අස්වැන්න මන්නාරම් හා වව්නියා මාළු වෙළඳ පොලවල් වෙත ද යයි. මන්නාරම් ධීවර කර්මාන්තයේ අද වන විට වැඩි වශයෙන් නියැළී සිටින්නේ තරුණයෝ ය. යුද සමයේ ධීවරයින් වෙනුවෙන් රජය පනවා තිබූ බාධා උපරිම ලෙස දැනට ලිහිල් ව ඇති නිසා පාසල් හැරගිය බොහෝ තරුණයෝ මූදු යාම ස්වයං රැකියාව නැතහොත් ජීවනෝයාය ලෙස තෝරාගෙන තිබේ. ඔවුහු රජයේ රැකියා ගැන නොසිතති.  රජයේ රැකියාවකින් ලැබිය හැකි වැටුප දින දෙකකින් ලබාගැනීමට තරම් ධීවර රැකියාව ශක්තිමත් ය.

ඉරිදා දවස මන්නාරමේ කාටත් පොදුවේ නිවාඩු දවස ය. එදාට ධීවර ආම්පන්න පිළියෙළ කරන තරුණයින්ගේ සිනා හඬින් වෙරළේ රළද බිඳී යන්නා සේ ය.

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන එස්.සුසිකරන් හමුවූයේ මෙවැනි  මොහොතක ය. ‘‘ විශ්වවිද්‍යාලයේ නිවාඩුවට ගමේ ආවාම මාත් මූදු යනවා. හොඳ ආදායමක් ලබන්න ඒකෙන් පුළුවන්. මන්නාරමේ රස්සාවල් වෙන නෑ. අපි මත්ස්‍ය අස්වැන්නෙන් රටට පෝෂණය ලබා දෙනවා. ඒ වගේමයි දේශීය නිෂ්පාදනයට අගයක් එකතු කරනවා. ඒ වගේමයි මේ ගේන අස්වැන්න අපට විතරක් නෙවේ. මේ රටේ බොහෝ පළාත්වල බොහෝ දෙනාට. මේ අස්වැන්නට භේදයක් නෑ. කොයි ජාතියේ කොයි ආගමේ අයගෙත් කුසගින්න නිමනවා. පෝෂණය සලසනවා. අපි ජනතාවට මාළු සපයනකොට ජනතාව අපිට මුදල් දෙනවා. සල්ලිවලට ආගම්,ජාති නෑ. මන්නාරමේ ඉන්න හැමෝටම හැමෝම අවශ්‍යයි. මාළු , කරවල වගේම මුදල්වලින් මේ හැමෝම සහසම්බන්ධ වෙනවා.‘‘ යැයි සුසිකරන් පැවැසුවේ ය.

‘‘ අපට මෙහෙ වෙන රස්සාවල් නෑ. ආණ්ඩුවේ රස්සාවල් කරලා මාසෙකට සැරයක් ගන්න පඩිය අපිට එක දවසින් ලැබෙන්නත් පුළුවන්. මේ පළාතේ කර්මාන්ත ශාලා, සේවා සපයන ආයතන වගේම රජයේ රැකියා අවස්ථා බොහෝම අඩුයි. මෙ හැමෝම රජයේ රස්සාවක් කරන්න සුදුසුකම් තියන ඉගෙනගත් අය. ඒත් මූදු යන එක අතහරින්න කැමති නෑ. මමත් යනවා. ඉන්දියාව පැත්තට කිලෝමීටර් විස්සක් තිහක් වාගේ දුරක් යනවා. වර්තමානේ මන්නාරම් ඉතාම හොඳයි. සාමකාමීයි. රටේ අනෙක් පළාත්වල ඇවිදින්න අපිත් හරි ආසයි. ඉඩක් ලැබුණොත් යනවා. සන්තෝෂයෙන් ඉන්නවා කියලා තමා කියන්න තියන්නේ.‘‘ යැයි පැවසූයේ විසිතුන් හැවිරිදි එස්.ජේසිකරන් ය.

මේ ධීවරයින් හම්බකර දෙන මත්ස්‍ය අස්වැන්න මන්නාරම් වැසියන් මෙන්ම එම නගරයට පැමිණෙන පිට පළාත්වල අයද තරගකාරීව මිලට ගන්නා අයුරු තාල්වුපාඩු වාඩිවල දි මෙන්ම මන්නාරම් පොදු මාළු වෙළඳපොළේ ද දැකිය හැකි ය. යාපනය නරඹා මන්නාරම හරහා අපසු එන ගමනේ දී කරවල සොයා ආ මාතර, කුරුණෑගල හා කෑගල්ල ආදී ප්‍රදේශවල පිරිස් එහි දී හමු විය.

‘‘මන්නාරම් කරවල කීවාම ඉස්සර ඉඳලාම ප්‍රසිද්ධයිනේ. යන ගමන් ආවා ගමේ අයට ගෙනි යන්න කරවල ටිකක් තෝරාගන්න. මෙහෙ බඩු හොඳයි. ‘‘යැයි පැවසුවේ මැල්සිරිපුර සිට පැමිණ සිටි එච්.එම්.සී.හේරත් ය. එහු හමු වූයේ මන්නාරම් මාළු වෙළඳ පොළේ එම්.ෂිෆාදීන් ගේ වෙළඳසල ඉදිරිපිට දී යි.

තාල්වුපාඩු වාඩි

ෂිෆාන් චතුර ලෙස සිංහලෙන් පාරිභෝගිකයින් අමතා සිය කඩේ ඇති බඩු ගැන විස්තර කරයි.

‘‘ අපි ළඟ හොර බොරු නෑ. අපි හැමදාමත් මෙහෙ ඉන්නවා. එක පාරක් ඇවිත් ගිය කෙනෙක් නැවත ආවාමත් අපිව සොයාගෙන එනවා. අපට කියන්න තියන්නේ මන්නාරමේ කිසිම බයක් නෑ. මෙතන දෙමළ, මුස්ලිම් හැමෝම ඉන්නවා. සිංහල අය කරවල ගෙනියන්න එනවා. අපි ඒ අයව බොහෝම හොඳින් පිළිගෙන කතා බහ කරනවා.අපෙන් බඩු ගත්තත් එකයි. නැතත් එකයි. මේ නගරයට එන හැමෝටම අපි හොඳින් ආගන්තුක සත්කාර කරනවා.‘