Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සිංහල, දෙමළ, මුස්ලිම් සැමට පොදු
විශ්ව භාෂාව

බියුගල් නාදය හැම ඇසකම කඳුළක් නඟමින් මිහින්තලා කඳුපෙළෙහි දෝංකාර නංවයි. ඒ නාදයට සිංහල දෙමළ මුස්ලිම් කියා වෙනම තේරුමක් නැත. ඒ විශ්ව භාෂාව තුළ ඇත්තේ එකම ශෝකී ස්වරයකි. මීට දස වසරකට පෙර සිය ආරක්ෂාව වෙනුවෙන් අත්වැල් බැඳගත් මවුවරුන් දුක ශෝකය බෙදාගැනීමට වාර්ෂිකව එක් තැනකට කැටිව කඳුළක් හෙළූ මොහොතකි ඒ.

13.11.2019  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය

‘‘ මගේ පුතා මැරෙද්දී වයස අවුරුදු 22 යි. 1999 අවුරුද්දේ එයා ගමේ ආරක්ෂාවට බංකරේ ඉද්දී කොටින් ඇවිත් වටකරලා ප්‍රහාරයක් එල්ල කළා. සිංහල වගේම මුස්ලිම් තරුණයෝත් ඒ ප්‍රහාරයේදී මිය ගියා. ඒ හැමෝම ඒ කාලේ ග්‍රාමාරක්ෂක සේවාවට බැඳිලා හිටියේ අපේ ගම්වල ආරක්ෂාවට. එයාලා ආයුධ අරන් ගම ආරක්ෂා කරනවා කියලා ඉදිරිපත් වෙච්චි නිසා තමා අපි ඒ කාලේ බය නැතිව ගෙවල් වල රෑට නිදා ගත්තේ. මේ පාරත් මට මේ ගුණ සමරු උත්සවයට එන්න අරාධනා ලැබුණා. මෙතන තියන අභිමානවත් ගතියට මට එක අතකින් ආඩම්බරයක් දැනෙනවා. පුතා අද නැතත් රට වෙනුවෙන් ඒ ළමයි කරපු කැපවිම නිසා අද රටේ මිනිස්සු සතුටින් ඉන්න එක ගැන හිතලා සැනසිමක් උදාකරගන්න පුළුවන්. සිවිල් ආරක්ෂක බලකාය හින්දා අපට සමාජයේ යම් අයිතියක් ලැබුණා කියා හිතෙනවා‘‘ යැයි කියූ ඇය මඩකළපුව  දිස්ත්‍රික්කයේ කල්මුණේ සවලකඩ ගම්මානයේ පදිංචි එන්.එම්.තදීසම්මා යි.  මිය ගිය සිවිල් ආරක්ෂක බළකා සාමාජික අයි.එම්.හනිෆා ගේ මව වන තදිසම්මා මහත්මියට තම පුතා ද නිසා සිවිල් ආරක්ෂක බළකායේ උරුමක්කාරියක් වීම ගැන ඇත්තේ සතුටකි.

යොවුන් වියේ දි හනිෆා රට වෙනුවෙන් දිවි පිදීමත්, ඇගේ දියණිය විවාහවී පවුලෙන් ඈත් වීමත් ඇයට වේදනාවක් වන නමුත් සිවිල් ආරක්ෂක බළකා නෑදෑ පිරිස ඇයට එක්කර ඇත්තේ මහත් අස්වැසිල්ලකි. ඔහු මිය ගිය මොහොතේ ද සිංහල, දෙමළ, මුස්ලිම්  ගම්වාසීන් ද, ආරක්ෂක අංශයේ සාමාජිකයන් ද අවසන් කටයුතු වෙනුවෙන් ද, ඇගේ  ශෝකය තුණී කරගැනීමට දිරිය දීමෙන් ද එක්වූ හැටි තදීසම්මා සිහිකරයි.

තදිසම්මා

තදිසම්මා වැනිම වූ සිංහල,මුස්ලිම් මෙන්ම දෙමළ මාපියවරුන්, බිරින්දෑවරුන්  වාර්ෂිකව මිහින්තලේට එක්ව සිය මියගිය පවමුල් සාමාජිකයින් සිහිකර එකිනෙකා සිය දුක සැප බෙදාගෙන එකට කාබී ආගමික වතාවත්වල නියැළී යති. සිවිල් ආරක්ෂක බළකායේ මිය ගිය රණවිරුවන් හා වීරවරියන් ගණන 145 දෙනෙකි. ඔවුන්  වෙනුවෙන් මිහින්තලා නගරයේ අලංකාර ස්මාරකයක් ඉදිකර තිබේ. මිය ගිය සෑමදෙනාගේම නම්ගම් හා ඡායාරූප එහි අන්තර්ගතකර ඇත.

මේ කිසිවකුට යුද්ධයක් හෝ වාර්ගික ගැටුමක් අවශ්‍ය නොවේ. හැමෝටම ඇත්තේ පසුතැවිල්ලක් හා සංවේගයකි. රටේ වෙන කිසිවකුටත් වඩා සාමය අවශ්‍ය බව දැනෙන පිරිස මේ අය ය.

කල්මුණේ පදිංචි එස්.එල්.රිස්වානාට ද තරුණ වියේ දිම සිය සැමියා අහිමි විය. ඇග් සැමියා එස්.එම්.සාහිර් මොහොමඩ් ය. 2008 වසරේ දි සිවිල් ආරක්ෂක මුරපොළකට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් සාහිර් මියගියේ ය. අද ඇය නමවන වියේ පසුවන පුතෙකු හා පස් හැවිරිදි දියණියක සමඟ ඇගේ මවගේ සහායෙන් ජීවිතය ගෙවයි.

‘‘මහත්තයා නැති වුණත් අද අපි ගම්වල බයක් නැතිව ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු වෙච්චි අපි හරි කැමතියි හැම ජාතියක් එක්කම සාමයෙන් ඉන්න. ඉස්සර ඇතිවුණා වාගේ යුද්ධ දකින්න අපිට ඕනෑ නෑ. සාමය නැතිවුණාම වෙන්නේ මට වුණා වාගේ මේ රටේ අනෙක් අම්මලාටත් මහත්තයා නැති වෙනවා. දරුවෝ නැතිවෙනවා. අපේ මහත්තරු නැතිවුණේ රටේ සාමය උදාකරන්න ගිහින්. ඒ නිසා ඒ අය ජීවිතේ නැතිකරගෙන, අපිවත් තනිකරලා ගොඩනඟපු සාමය නැවත නැති කරන්න එපා කියන ඉල්ලීමයි මට රටේ හැමෝගෙන්ම කරන්න තිබෙන්න.‘‘ යනුවෙන් ඇය ප්‍රකාශ කළා ය.

ආර්.එම්.අබේසිංහ

පොලොන්නරු දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිමේ පිහිටි සුංගාවිල පදිංචි ආර්.එම්.අබේසිංහ  පුතුන් තුන්දෙනෙකු ගේ පියකු  හා මුණුබුරන් 12 දෙනෙකුගේ මුත්තණුවන් කෙනෙකි. ඔහුගේ බාල පුත් ආර්.එම්.ටිකිරි බණ්ඩාර 1997 දි මියගියේ වයස  අවුරුදු 21 ක යෞවනයෙකුව සිටිය දී ය. එවකට ඔහු ග්‍රාමාරක්ෂක සෙබළෙකි.

‘‘ ගම්මානවලට ත්‍රස්වාදීන් ගහන නිසා අපේ ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉවරවෙච්චි ගමන්ම ග්‍රාමාරක්ෂක සේවේට බැඳුණා.  ඒ අපේ ජීවිත බේරාදෙන්නයි. අනූ හත අවුරුද්දේ. දවසක් පාන්දර සුංගාවිල මුරපාළට ගැහැව්වා. ඒවෙලාවේ මේ ළමයත් අහුවෙලා. ළමයා නැති අඩුව කොහොමත් මකන්න නම් බෑ. ඒත් අද අපි ජාති තුනේම අය අය එකට ඉඳගෙන භේදයක් නැතිව එකට ඉන්නවා. මෙහෙම රටක් එදා තිබ්බා නම් අපිට අපේ දරුවෝ නැතිවෙන්නේ නෑ. ‘‘ ඒ ඔහුගේ කියමනයි.

මියගිය සෑම කෙනෙක් වෙනුවෙන්ම පුෂ්පෝපහාර දැක්වීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට පහළට සෑම නිලයකම අය මෙන්ම ඥාතීහු ද එක්ව සිටියහ. ආගමික වතාවත් ඉටුකිරීමට සියලු ආගම්වල පූජ්‍ය පක්ෂය එක්ව සිටියහ.

/

රටේ සාමය සංහිඳියාව ගොඩනඟන  ආදර්ශවත්ම ආයතනය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බව එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න  පල්ලේගම මහතාගේ අදහස ය.

‘‘අපේ හැම ආගමකම,හැම ජනවර්ගයකම අය ඉන්නවා. මේ හැමෝම රටේ දේශීය කෘෂිකර්ම,ජාතික උරුමයන් ආරක්ෂාව, පරිසරය සංරක්ෂණ වාගේ වැදගත් කාර්යයන්වලට බද්ධ වෙලා ඉන්නේ. අනුරාධපුර ප්‍රදේශයේ ස්මාරක සංරක්ෂණයට සිංහල වගේම මුස්ලිම් තරුණ පිරිසත් සිවිල් ආරක්ෂක බලකාය වශයෙන් බැඳිලා ඉන්නවා. මේ දෙපාර්තමේන්තුව යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම සාමුහිකව විශාල කාර්යභාරයක් කරනවා. හරිම ආදාර්ශයක් රටට ලබාදෙන්නේ. රටේ යුද්ධය පැවැතිච්චි වෙලාවේ සාමූහිකව ගම් බිම් ආරක්ෂා කරගත්තා. අදත් එහෙමයි. ‘‘