Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අදහස් හා හැගීම් තේරුම් නොගැනීම
බොහෝ ප්‍රශ්නවලට මුලයි

අකුරණ නගරයේ මෙවන් බොහෝ දෙනකු ගේ ව්‍යාපාරවලට පසුගිය සිදුවීම් බලපෑම් එල්ල කළ ද අදවන විට ව්‍යාපාර යළිත් ගොඩනඟාගෙන වැඩකරගෙන යන්නේ මහත් වූ බලාපොරොත්තු සහිතව ය. ඔවුන් කරදරයකට පත්වුණ ද යළි කඩිනමින් නැගිට සිටින්නේ ජාති ආගම් භේදයකින් තොරව නගරයේ ක්‍රියාත්මක වන සංහිඳියාව නිසා ය.

03.01.2020  |  
මහනුවර දිස්ත්‍රික්කය

මැතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබුණේ බලාපොරොත්තු, හීන. ආශාවන් ඇතිවෙමින්, බිද වැටෙමින් ය. බොරුව, අපහාසය, රැවටීම, නොමඟ යැවීම, වෛරී ප්‍රකාශ මෙන් ම හරි මඟ පෙන්වීම ද ඇතැම්විට දක්නට තිබුණේ එතෙක් ජනතාව නොදුටු හා අතනොවිඳි අත්දැකීම් ද සමගිනි.

පසුගිය ජනපතිවරණයේ දී තරුණ ප්‍රජාව තීරණාත්මක සාධකයක් වෙද්දී ජාති, ආගම් හා විවිධ ජනකොටස් අතර භේද ඇතිකර අන්තවාදය පතුරා ඒ හරහා තම කොටස වැඩිකර ගැනීමේ උත්සාහයන් ද දක්නට ලැබුණේ කීමයි කිරීමයි අතර වෙනස ද කදිමට පෙන්වමිනි.

පසුගිය දිනක අකුරණදී අපිට හමුවූ තරුණියක හා තරුණයකු ඇතිව තිබෙන තත්වයන් තම අත්දැකීම් සමඟ විස්තර කළේ සැමට හිතන්නට මඟක් පෙන්වාදෙමිනි.

“ඡන්දනම් ඕනෑතරම් ආවා. එනවා. ඒත් අපි අපි ගැන බලාගන්න ඕන. දිනන අයනම් දියුණුවෙනවා පේනවා. එය දැන් සාමන්‍ය තත්වයක්. මං මේ රස්සාව කරන්නේ හරි ආසාවෙන්. සේවස්ථානය මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් වීම මට ප්‍රශ්නයක් නෑ. අපි හරි අවබෝධයෙන් සතුටින් වැඩකරනවා. එකිනෙකාගේ අදහස් හා හැගීම් තේරුම් නොගැනීම බොහෝ ප්‍රශ්නවලට මුල බව තේරුම් නොගැනීම තමයි අපේ රටේ බොහෝ කනගාටුදායක සිදුවීම් වලට මුල. දේශපාලනයේදී මේවා ගැන හිතනවානම් ඔය ප්‍රශ්න ගැටුම් කිසිවක් නෑ‘‘ මහනුවර අකුරණ චාරුක්ෂි අප්සරා සෙනෙවිරත්න දිගු කතාවකට මුලපුරමින් පැවසුවා ය.

චාරුක්ෂි අප්සරා සෙනෙවිරත්න

අකුරණ නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් ජාතිකයකුට අයත් ඇගලුම් හා තෑගි භාණ්ඩ අලෙවිසලක සේවයකරන විසි දෙහැවිරිදි චාරුක්ෂි පාසල් අධ්‍යාපනය නිමාකිරීමෙන් පසු තම පළමු රැකියාව ලෙස වෙළෙඳ සේවිකා වෘත්තිය තෝරාගන්නේ තම පවුලේ ආර්ථිකයට සහායක් දෙන්නට පමණක් නොව අනාගත අරමුණ ඉටුකර ගැනීමට හොද පදනමක් ද ඇතිකර ගැනීමේ සිහිනය ද සමගිනි.

චාරුක්ෂි වෙළද ආයතනයට ද ආභරණයක්වී ඇත්තේ පාරිභෝගිකයා සුහදව පිළිගෙන තම සේවය නොපැකිළ ව ලබාදෙන්නට ඉදිරිපත්වන නිසා ය. සොදුරු යෞවන වියේ පසුවන චාරුක්ෂි තුළ සමාජය පිළිබඳ ද ඇත්තේ අන් තරුණ පිරිසට ආදර්ශයක් ගෙන දෙන දැක්මකි. වෙළෙඳසලට පාරිභෝගිකයන් අඩු වූ මොහොතක චාරුක්ෂි අප හා කතාවට එක්වූවා ය.


අපි කලබලවෙලා අනෙකාගේ හැඟීම් තේරුම් නොගැනීම තුළ සිදුවන වැරැද්ද කාටත් තේරුණා

“පසුගිය අප්‍රේල් 21 වැනි දා ඇතිවූ ප්‍රශ්නෙදි කලබල වුණු හැමෝම එක පැත්තක් ගැන බලා තීන්දු තීරණ ගත්තා මිස එකිනෙකා හඳුනාගෙන අදහස් දැක්වූයේ හරි අඩුවෙන්. ඒ නිසා තමයි මං වැඩකරන ආයතනයේත් ව්‍යාපාර කටයුතු අඩාල වුණේ. එය අපිටත්, අපේ පවුල්වලටත් බලපෑවා. හැබැයි ඒ ටිකක කාලයකට පමණයි. මිනිස්සු හරි වැරැද්ද ඉක්මනින් හඳුනා ගත්තා. දැන් තත්ත්වය ගොඩාක් හොඳයි. අපි කලබලවෙලා අනෙකාගේ හැඟීම් තේරුම් නොගැනීම තුළ සිදුවන වැරැද්ද මේකෙදි කාටත් තේරුණා‘‘ සමාජය පිළිබද බොහෝ අත්දැකීම් ඇත්තියක සේ චාරුක්ෂි කියාගෙන කියාගෙන ගියා ය. මද නිහඬ බවක් පෙන් වූ චාරුක්ෂි දිගු සුසුමක් පිටකර සිත සැහැල්ලු කර ගත්තා ය.

“කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙවැනි තැනක වැඩකරන එක ප්‍රශ්නයක් නැද්ද? කියා. තව කෙනෙකුට එදා තත්වය අනුව බයක් ඇවෙන්න පුළුවන්. ඒත් ඒ පිටත සිට බලනවිට පෙනෙන විදියයි. ඇතුළට ආට පස්සේ එහෙම දෙයක් නෑ කියා අපි වැඩකරන විදියෙන් පේනවා. මේකට තමයි තේරම් ගැනීම අවශ්‍ය. නැත්නම් ඉතිං ප්‍රශ්න තමයි‘‘ යෞවනියක වූ චාරුක්ෂි තුළ ඇත්තේ සමාජයේ වයසින් මුහුකුරාගිය ඇතැම් අයට නැති මනා අවබෝධයකි.

“එදා එක් පුද්ගලයකු නිසා අපි සැවොම බය වුණා. මුළු ලෝකයම කම්පා වුණා. මුස්ලිම් පිරිස දෙස සැකයෙන් බැලුවා. අපේ අය ඔවුන්ගෙන් ඈත් වුණා. ව්‍යාපාර වැටුණා. ඇයි මෙහෙම වුණේ. ප්‍රශ්නය හරියට දැක්කේ නෑ. මෙම තත්වය අපිට ඇතිවුණානම් අපිට මොනවාවෙයිද? අපේ අම්මලා තාත්තලා මොන වගේ තත්වයකට පත්වේවිද? අපි මේවා ගැන හිතන්න ඕන. එහෙම නැතිව සිංහල, මුස්ලිම්, දෙමළ, බෞද්ධ, කිස්තියානි කියා වෙන්කර හිතුවොත් තමයි ප්‍රශ්නය‘‘ ඇගේ දැක්ම නිරවුල් ය. අදහස් පැහැදිලි ය.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසල් කාලය හමාරකර වෙළෙඳ සේවකයකු ලෙස සේවයට පැමිණි එම්. එන්. එම්. ෂුල්ෆි අද ඇගලුම් අලෙවිසලක හිමිකරුවෙකු වී ඇත්තේ කැපවීම හා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි. වයස අවුරුදු විසි පහේදී කුඩාවට ආරම්භ කළ ව්‍යාපාරය ගතවූ වසර එකොළහ තුළ දියුණු මට්ටමකට හැකිවීම පිළිබද ෂුල්ෆි තුළ ඇත්තේ සතුටකි.

එම්. එන්. එම්. ෂුල්ෆි

“මට දැන් වයස තිස් හයක් වෙනවා. මොන ප්‍රශ්න ඇතිවුණත් අපි නොවැටී ඉන්නේ ජනතාව සමඟ සිටින නිසයි. පාස්කු ප්‍රශ්නය ආවා, ගංවතුර ආවා ඒත් අපි වැඩ ටික කරගෙන යනවා. පාස්කු ප්‍රශ්නෙදි ව්‍යාපාරයේ පොඩි පසුබෑමක් ඇතිවුණත් පොඩි කාලයකදී එය හරි ගියා. දැන් ප්‍රශ්න නෑ“ ෂුල්ෆි සිනාමුසුව පැවසුවේ ය.

අකුරණ නගරයේ මෙවන් බොහෝ දෙනකු ගේ ව්‍යාපාරවලට පසුගිය සිදුවීම් බලපෑම් එල්ල කළ ද අදවන විට ව්‍යාපාර යළිත් ගොඩනඟාගෙන වැඩකරගෙන යන්නේ මහත් වූ බලාපොරොත්තු සහිතව ය. ඔවුන් කරදරයකට පත්වුණ ද යළි කඩිනමින් නැගිට සිටින්නේ ජාති ආගම් භේදයකින් තොරව නගරයේ ක්‍රියාත්මක වන සංහිඳියාව නිසා ය. එම්. එන්. එම්. ෂුල්ෆි ඒ පිළිබද පවසන්නේ මෙවන් අදහසකි.

“අපි සිංහල, මුස්ලිම් කියා භේද නැතිව ව්‍යාපාර කටයුතුකරගෙන යනවා. සිංහල අය අපෙන් බඩු ගන්නවා. අපිට අවශ්‍ය එළවළු – පලතුරු අපි ගන්නේ සිංහල අයගෙන්. කිසිම ප්‍රශ්නයක් නෑ. එකිනෙකා තේරුම් ගෙන වැඩකරනවානම් මොන ප්‍රශ්නයක්වත් නෑ. ඒ තේරම් ගැනීම නැතිවිට තමයි හැමවිටම ප්‍රශ්න ඇතිවෙන්නේ. අපි අතර හොද තේරුම් ගැනීමක් තියෙනවා. බාධා ආවත් අපි යළි ඉක්මණින් ගොඩනැගෙන්නේ ඒ නිසයි“ ෂුල්පිගේ අදහස් තුළ ඇත්තේ කාහටත් ගැඹුරින් සිතිය කරුණු රැසකි.