Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දැන් අපට වුවමනා තිරසාර සාමයකට
මඟ විවර කර ගැනීමයි

උතුරේ මෙන්ම දකුණේද දේශපාලන ක්‍රියාවලිය තුළ සක්‍රීය චරිත බවට පත්ව සිටින බොහෝ දෙනෙකු ජීවිතයේ සැදෑ ගත කරමින් සිටිනාවුන්ය.ඔවුන් සහ තරුණ ප්‍රජාව ප්‍රශ්න දෙස බලන්නේ පැහැදිලි ලෙසම දෙයාකාරයටය.වැඩිහිටි පිරිස් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස ජාතිය හා ආගම මූලික කර ගනිමින් කටයුතු කරන අවධියක තරුණ ප්‍රජාව ඉල්ලා සිටින්නේ රටක් ලෙස තමන්ට ඉදිරියට යාම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.ඒ තුළ ජාති හෝ ආගම් බේදයක් නොමැති වීම විශේෂත්වයකි. නූතන ලෝකය හා බද්ධ වෙමින් ඔවුන් ප්‍රශ්න දෙස බැලීමට පුරුදු පුහුණු වීම මෙවැනි පසුබිමක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුව ලෙස හඳුනා ගැනීමට පුළුවන

23.01.2020  |  
මහනුවර දිස්ත්‍රික්කය

සාමය,සංහිඳයාව,ජාතික සමඟිය යන කාරණාවලදී අප බොහෝ විට සංවාද පවත්වමින් ප්‍රචාරයක් ලබා දෙන්නේ වයසින් මුහුකුරා ගිය දේශාපලනඥයින්ට හෝ සමාජ ක්‍රියාකාරීන්ටය. ඔවුන් නොදකින පැතිකඩක් තරුණ ප්‍රජාව ස්පර්ශ කරමින් සිටින අතර යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ආදි සිසුවකුව සිට දැනට ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හදාරමින් සිටින පී.ජේ.ටී තනේෂ්ද එවැන්නෙකි. ඔහු සමඟ කළ සාකච්ඡාවකි මේ.

 තිස් වසරක යුද්ධය නිම වීමෙන් පසු රට තුළ ස්ථිර සාමයක් ගොඩ නැගේවි යැයි බොහෝ අය සිතුවා.එහෙත් උතුරේ හා දකුණේ ජනතාව අතර පැහැදිලි විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා ද?

දකුණේ ජනතාව මෙන්ම උතුරේ ජනතාවත් යුද්ධය ප්‍රතික්ෂේප කළා.ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන,මානවාට ආදරය කරන කිසිවෙකුත් යුද්ධය අනුමත කරන්නේ නැහැ.යුද්ධයට මැදිව සිටි අහිංසක සිවිල් ජනතාවගේ ජිවිත විශාල වශයෙන් අනතුරට ලක් වුණා.ලෝකයේ කොහෙත් තත්ත්වය මේකයි.අපිටත් ඒදේම වුණා.යුද්ධය නිමාවීමේ අවසන් කාලයේදී සිවිල් වැසියන්ගේ ජිවිත විනාශවූ බව කවුරුත් පිළිගන්නවා.මේ අය කා අතින්ද මැරුණේ කියන එකට වඩා අප කතා කළ යුත්තේ කාගේ හෝ අතින් මේ අය මැරුණ එක ගැනයි.උතුරේ මෙන්ම දකුණේත් බොහෝ පිරිසක් මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වුණා.මේ කවුරුවත් යුද්ධය අනුමත කළ අය නොවෙයි.මියගිය අය අතර අපේ ළඟම ඥාතීන් හිටියා.අපිට අයෙත් යුද්ධයක් අවශ්‍යය නැහැ කියන තැනට හැමෝම යන්න ඕන.සුළු පිරිසකට තමයි යුද්ධයක අවශ්‍යතාව තිබෙන්නේ.මේ සුළු පිරිස නිහඬ කළ හැක්කේ බහුතරය සාමය වෙනුවෙන් හඬ අවධි කළොත් පමණයි.දේශපාලනඥයින්ට තමන්ගේ ගමන යන්න ප්‍රශ්න තියෙන්න ඕන.එතකොට තමයි ජනතාව ඔවුන්ව සොයා ගෙන යන්නේ.ප්‍රශ්න නැත්නම් මේ අය ප්‍රශ්න ඇති කරනවා.මේ නිසා තමයි රටේ තාමත් ජාතික හා ආගමික සංහිඳියාව ගොඩ නොනැගී තිබෙන්නේ.

පැවැති රජය මෙන්ම වත්මන් රජයත් ජාතික සමඟිය ගොඩ නැගීම පිණිස විවිධ ක්‍රියා මාර්ග ගෙන තිබුණත් ඒවා ඵලදායි මට්ටමකට පැමිණ තිබෙනවා ද?

සාමය,සංහිඳියාව කියන දේ හිස් වචන වලට පමණක් සීමා නොකර ඒ වචන වල අර්ථයට පණ දීමක් කළ යුතුයි. එතකොට තමයි ජනතාවට ඒක දැනෙන්නේ. තිස් අවුරුදු යුද්ධය නිසා එකිනෙකාගේ හදවත් තුළ තවමත් රිදුම් දෙන තුවාල තිබෙනවා.මේ තුවාල සුවකරන්න පැවති රජය යම් යම් ක්‍රියාමාර්ග ගත්තා.වර්තමාන රජයත් ඒ සඳහා උත්සහ කරනවා.අපි විශ්වාස කරන විදිහට සැබෑම සංහිඳියාව රටේ ඇති වෙනවා කියන්නේ උතුරේත්,දකුණේත් ජනතාවට රටේ ඕනෑම තැනකට තමන්ගේ ගෙදර වගේ කිසිම චකිතයකින් තොරව යන්න එන්න අවශ්‍යය පසුබිමක් ඇති වීමයි.ඒ තත්ත්වය ගොඩ නැගීම ආණ්ඩුවකට විතරක් තනියම කරන්න බැහැ.නිවැරදි දැක්මක් සහිත දේශපාලන නායකත්වයක් අත්‍යවශ්‍යයි.පවතින ආණ්ඩුවේ සහයද ඒකට හිමිවීම වැදගත්.සැබෑ සංහිඳියාවක් වෙනුවෙන් කැපවීම මේ රටේ යුක්තිගරුක,නීති ගරුක පුරවැසියන් ලෙස අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක්.ගොඩ නැගෙන සාමය හා සංහිඳියාව නැමැති වෘක්ෂයට ජලය සහ පොහොර දමා වර්ධනය කර ගැනීම අනාගතය බාර ගැනීමට සිටින තරුණ කණ්ඩායම් වල වගකීමක්.ලෝකයේ අනෙකුත් රටවල් දිහා අපි බලන්න ඕන.ඒ රටවල යහපත් ආදර්ශයන් අපි ගන්න ඕන.ලෝකය වේගයෙන් ඉදිරියට යනවා.අපිත් ඒ මග ගත යුතුයි. අපි යුද්ධ කළා.දැන් ඒක ඉවරයි.එය ඉතාමත්ම නීරස කටුක අත්දැකීමක්.දැන් අපට අවශ්‍යය වන්නේ තිරසාර සාමයකට මඟ විවර කර ගැනීමයි.ඒක අපිට විතරක් නොවේ මුළු ලොවටම මානව දයාවෙන් පිරුණු සංහිදියාවක් විය යුතුයි.

උතුරේ ජනතාව 2010 හා 2015 ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාව ප්‍රතික්ෂේප කළා.ඒ අකායෙන්ම මෙවර උතුරේ අති බහුතර ඡන්ද ප්‍රමාණයක් හිමිවුණේ රාජපක්ෂවරුන්ට විරුද්ධ කණ්ඩායමටයි.ත්‍රස්තවාදය නිමා කිරීමට පෙරමුණ ගත් මොවුන්ට උතුරේ ජනතාව ඡන්දය නොදුන්නේ ඇයි?

සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ මිනිස්සු හරිම හැඟීම්බරයි.ඒ අය බුද්ධියට වඩා හදවතට ඇහුම්කන් දෙනවා වැඩියි. ඒ අයගේ දේශපාලනයත් ඒ වගේ තමා. ගෙදර ප්‍රධානියා තාත්ත නම් එයා අදහන නැත්නම් ගරුකරන දෙවයින්ව තමයි දරුවෝ අදහන්නේ. ඒ වගේම තමයි දේශපාලනත්.පියාගේ පක්ෂය තමා දරුවොත් තෝරා ගන්නේ.දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවගේ හදවත්වලට රිංගා තිබෙනවා.උතුරේ සාමාන්‍යය ජනතාව හිතන්නේ දෙමළ ජාතික සන්ධානය සෑම විටම තීරණ ගන්නේ එයාලා ගැන හිතලා කියලයි.මේ නිසා දෙමළ ජාතික සන්ධානය සහය දෙන පුද්ගලයාට හෝ කණ්ඩායමට උතුරේ දෙමළ ජනතාව ගෙන් බහුතරය ඡන්දය දෙනවා.උතුරේ මෙන්ම දකුණේත් ජාතිවාදී කණ්ඩායම් ඉන්නවා.මෙවැනි තත්ත්වයක් ඇති වීමට දකුණේ ජාතිවාදී කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වයත් බලපානවා.

යුද්ධය නිමාවීමෙන් පසු උතුරු වසන්තය සහ නැගෙනහිර වසන්තය වැනි ව්‍යපෘති ක්‍රියාත්මක වුණා. මේ වැඩසටහන්වලින් යුද්ධයෙන් පරිහානියට පත්වූ උතුරේ ජන ජීවිතවලට ලැබුණු ආලෝකය හා පිබිදීම ඔබ දකින්නේ කෙලෙසින් ද?

රටක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම රජයක වගකීමක්. ඒක නිසි සැලසුමක් අනුව සිදුවිය යුතුයි. විශේෂයෙන්ම නගර සංවර්ධනය ආවට ගියාට කළොත් සිදු වෙන්නේ දැවැන්ත හානියක්. යුද්ධයෙන් පසු සිදු කෙරෙමින් පවතින සංවර්ධන කටයුතු හොඳයි.අනාගතයේ රට බාර ගන්න ඉන්න නායකයින්ට තියෙන එක අභියෝගයක් තමා හරිත බල ශක්තිය උත්පාදනය කිරීම සඳහා දිරිගැන්වීම් සිදු කිරීම.වෙනත් රටවල් ඒ සඳහා ජනතාව උනන්දු කරවමින් විදුලි මෝටර් රථ වලට බදු සහන දෙනකොට අපේ රටේ බදු වැඩිකරනවා.ඇත්තටම රටේ නායකයෝ ලෝකයේ සිදුවන වෙනස් කම් තේරුම් ගෙන ඒ අනුව රට මෙහෙයවන්න ක්‍රියා කරන්න ඕන. රටට අවශ්‍ය වන්නේ තිරසාර සංවර්ධනයක්.ඒ සඳහා කැපවිය හැකි නායකයන් ජනතාව විසින් පත්කර ගත යුතුයි.

ජාතික හා ආගමික සමඟියත් සමානාත්මතාවත් පිළිබඳ අපි කතා කරනවා. උතුරේ තාමත් ක්‍රියාත්මක කුල බේදය මේ සඳහා බාධාවක් නොවේ ද?

වැඩිහිටි පරම්පරාව මේවා ගැන තාමත් උනන්දුයි.උතුරේ පමණක් නොව දකුණේත් මේ තත්ත්වය පේන්න තිබෙනවා.බලන්න සති අන්ත පුවත් පත් වල මංගල යෝජනා පිටු.ඒවගේ මොන තරම් කුල බේදය මතු කරලා තියෙනවාද?.මම විශ්වාස කරනවා අලුත් පරම්පරාව මේ දේවල් වලින් ක්‍රමානුකූලව ඈත් වෙමින් තිබෙනවා කියලා.අපේ රටේ විශ්ව විද්‍යාලවල විවිධ ජාතීන්ට,විවිධ ආගම් වලට සහ ඔය කියන විවිධ කුල වලට අයත් අය සිටිනවා.නුමුත් ඒවා මොනවද කියන එක අපි කාටවත් වැදගත් නැහැ.අපි සියළු දෙනාම හෝමෝ සේපියන්ලා. ඔබෙත් මගෙත් DNA පරීක්ෂාවක් කළොත් අපි දෙදෙනා අතර තිබෙන්නේ 0.1 % ක වෙනසක් විතරයි.ඒ ඔබ දකුණේ උපන් නිසා සිංහලයෙකුවී සිටීම සහ මම උතුරේ උපන් නිසා දමිළයෙකුවී සිටීම පමණයි.අතීතයේ එකිනෙකා නියැලී සිටි වෘත්තීය අනුව කුල බිහි වුණා.අදත් එහෙම කළොත් මොකද වෙන්නේ.දොස්තර කුලේ ඉංජිනේරු කුලේ ආදි වශයෙන් බෙදන්න පුළුවන්ද?එහෙම කළොත් උසස් කුල යැයි සිතා ගෙන ලේබල් ගහගෙන ඉන්න අයට මොකද වෙන්නේ.අද දවසේ ප්‍රමුඛ අවශ්‍යතාවය බවට පත්ව තිබෙන්නේ අපි සියලු දෙනාම එකට එකතුවී ලෝකය ගමන් කරන දිශාව අනුව ඉදිරියට යෑමයි.

තිස් වසරක යුද්ධය නිමාවීමෙන් පසු රටේම සංහිදියා පිළිවෙත ධනාත්මක මුහුණුවරක් ගෙන තිබුණු අවස්ථාක පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වුණා. මේ ඔස්සේ යළිත් ජාතීන් අතර සැකය හා බිය වර්ධනය වන්නට හේතු වූ බවයි අප දකින්නේ?

රට තුළ සංහිදියා යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් තිබුණු අවස්ථාවක එවැන්නක් සිදුවීම විශාල හානියක්. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව තුළ වූ විශ්වාසයත් මේ නිසා බිඳී ගියා.එකිනෙකට ඇඟිල්ල දිගු කරමින් ජයග්‍රාහකයින් හා පරාජිතයින් තෝරා ගැනීමට ක්‍රියා කරනු වෙනුවට අප කළ යුත්තේ සියලු දෙනා එකට එකතු වී ප්‍රශ්නයට මුහුණ දීමයි.ශ්‍රී ලංකාව කියන්නේ අපි හැමෝගෙම රටයි.එහි බලගතුම ශක්තිය තරුණ ප්‍රජාවයි. අපිට ජාතිය හා ආගම හිමි වන්නේ උපත ලැබීමෙන් පසුවයි.මුලින් අපි ලබන්නේ මිනිසත් බවයි.ඒ නිසා අපි මනුෂ්‍යත්වය යටපත් කරමින් ජාතිය හා ආගම රකින්න උත්සහ කරනවා නම් එතනදී අපිට වරදිනවා.සෑම ආගමකින්ම කියා තිබෙන්නේ කිසිවකුටත් කරදරයක් හිංසාවක් නොමැතිව ජීවත් වීමේ මගයි.ඇතැම් අය මේවාට වැරදි අර්ථ කතන සපයමින් ජාතියේ හා ආගමේ නාමයෙන් නොයෙක් ව්‍යසන වලට පාර කපනවා.මේවා අපි තේරුම් ගන්න ඕන.අපිට ජාතියෙන් හා ආගමික පසුබිමෙන් උරුම වී තිබෙන සංස්කෘතික වටිනාකම් මොන තරම්ද.මේවා එකට එකතු කළොත් මොන තරම් සුන්දර රටක් බිහි කරන්න පුළුවන්ද?