Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජාති, ආගම් ගැන වෛරය ගොඩ නඟන
කලා නිර්මාණවලින් පලක් නැහැ

පළුදුව ගොස් තිබෙන ජාතික සමඟිය ගොඩ නගන්නට වුවමනා පසුබිම සිතුවම් මඟින් හැකියාව ලැබෙනවා නම් එය රටක් ලෙස අප ලබන ජයග්‍රහණයකි. අද රටේ නගර හා ගම් පුරා රැල්ලක් මෙන් පැතිර යන තාප්ප හා බිත්ති සිතුවම් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුත්තේ කිසියම් නියාමනයකට යටත්ව බව ඔහුගේ අදහසයි. එසේ නොවුණහොත් නිම වන ඇතැම් සිතුවම් හේතුවෙන් ජාතීන් අතර වන සමඟිය බිඳී යන්නට ඉඩ ඇති බව ද ඔහු පෙන්වා දෙයි. ගිරාගම සෞන්දර්යය ගුරුවිද්‍යාලයේ චිත්‍රකලා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාල්ස් දයානන්ද කියා සිටියේ ජාතීන් බෙදා වෙන් කිරීම තරම් ජාතීන් එකතු කිරීම පහසු නොවන බවයි.

21.02.2020  |  
මහනුවර දිස්ත්‍රික්කය

සිතුවම් ඇඳීම නගරබද සහ ගම්බද තාප්ප සහ බිත්ති වසමින් රැල්ලක් මෙන් අද පැතිර යමින් තිබෙනවා. එහි බලපෑම ඔබ දකින්නේ කෙලෙසින් ද?

චිත්‍ර අඳින්න කාටත් පුළුවන්. ඒත් විශිෂ්ඨ සිතුවමක් නිර්මාණය කිරීම හැමෝටම කරන්න බැහැ. චිත්‍රයක් ජාති,ආගම් බේදයකින් තොරව රස විඳින්න පුළුවන් වෙන්න ඕන. එය සංගීතය වගේම විශ්ව භාෂාවක්. ලෝකයේ බිහිව තිබෙන අති විශිෂ්ට සිතුවම් කිසිවකින් ජාතියකට, ආගමකට අපහාසයක් කරලා නැහැ. ඇත්තටම චිත්‍රයකට රේඛා හා වර්ණ සංයෝජනය සුන්දරත්වයක් එක් කරනවා. එත් ඒ ලස්සන දෙගුණ තෙගුණ වන්නේ චිත්‍රයෙන් කියන පණිවිඩය අනුවයි. අපි චිත්‍රයක් ඇඳලා අපි තරම් බලගතු ජාතියක් නැහැ කියලා කියන්න හදනවා නම් මං හිතන්නේ නැහැ ඒක හොඳ නිර්මාණයක් කියලා. අද අපේ රටේ ජාතික හා ආගමික ප්‍රශ්නයක් තිබෙනවා. අපි අවංකව ඒක තේරුම් ගන්න ඕන.

මේකේ හොඳ නරක දෙකම තිබෙනවා.අපේ අංකුර චිත්‍ර ශිල්පීන් පිළිබඳ යම් සමාජ කතිකාවක් මේ ඔස්සේ නිර්මාණය වුණා. මේ නිර්මාණ කරුවන් අතර ඇත්තෙන්ම සැබෑ දක්ෂයින් සිටින බව පේනවා. ඔවුන්ට නිසි මඟ පෙන්වීමයි අවශ්‍ය. ලස්සනට චිත්‍ර ඇදීමෙන් පමණක් විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක් බිහි වන්නේ නැහැ. ඔහුගේ හෝ ඇයගේ නිර්මාණයෙන් සමාජය නිවී සැනසෙන්න ඕන. තවත් ජාතියක්, ආගමක් පිළිබඳ වෛරයක් ගොඩ නැගෙන ආකාරයට කලා නිර්මාණයක් කිරීමෙන් පලක් නැහැ. චිත්‍රයක් කියන්නේ සර්වකාලීනව රස විඳිය හැකි දෙයක්. එක් කාලයකට පමණක් සීමා වෙන නිර්මාණය විශිෂ්ට නිර්මාණ වෙන්නේ නැහැ. මේ බිත්තිවල අපේ තරුණයින් අඳින චිත්‍ර සර්ව කාලීන වෙන්න ඕන කියලා මා කියන්නේ නැහැ. මේවා අඳින්නේ පොදු ස්ථානවල. ඒ තැන්වලට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් යනවා එනවා.මේ නිසා මේ අඳින චිත්‍ර ජාති, ආගම් බේදයෙන් තොරව අපි හැමෝටම රස විඳින්න පුළුවන් ඒවා වෙනවා නම් හොඳයි කියන එකයි මගේ හැඟීම.

චිත්‍රය කියන්නේ සර්වාකාලීන නිර්මාණයක් වගේම සියලු ජන කොටස්වලට එක ලෙස රස විඳිය හැකි නිර්මාණයක් විය යුතු බව ඔබ පවසනවා. රටේ මේ අඳිමින් තිබෙන චිත්‍රවල ඒ තත්ත්වය ගැබ්ව ඇත්තේ කවර ආකාරයෙන් ද?

චිත්‍ර අදින ස්ථානවලට පැමිණෙන ඇතැම් ස්වාමින්වහන්සේලා සිංහල බෞද්ධ රටේ කියන වචනයට මුවා වෙලා ඒවා උලුප්පා දක්වමින් චිත්‍ර අඳින ලෙස බල කරන බවක් අසන්නට දකින්නට ලැබෙනවා. මෙය හොද ප්‍රවණතාවයක් නෙවෙයි. මෙතනින් ඉස්මතු කරන්න උත්සාහ ගෙන තිබෙන්නේ සිංහල බෞද්ධ කියන සංකල්පයයි. අන්න ඒ මතුකිරිමට මා විරුද්ධයි. සිංහල බෞද්ධයා කියලා කෙනෙක් බුදුරජාණන්වහන්සේ නිර්මාණය කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ සියලු සත්ත්වයෝ කියායි. බුදුන් වහන්සේ මුලින් ධර්ම දේශනා කරන කොට ඒ අය මිනිස්සු මිසක් බෞද්ධාගමිකයෝ නොවෙයි. ඔවුන් බෞද්ධ වුණේ බුදුන්ගේ බණ ඇසුවට පසුවයි.ජාතීන් යනු කවරෙක්ද කියා වාසෙට්ඨ විමසන කළ බුදුන්වහනසේ දේශනා කළේ පණ ඇති කුමන සත්ත්වයා වුවද .. කුමන හෝ ජාතියකට අයත් කියායි.

සිංහල කියා ලඝු වනවාය කියන්නේ ඒ නියම බෞද්ධ නෙවෙයි. බෞද්ධ චින්තනය ඉස්මතු කරනවා නම් එය සමාජයට අතිශය වැදගත්. ලෝකයේ තිබෙන ආගම් අතුරින් විශිෂ්ටතම සමාජ දර්ශනය ඇතුළත් කරලා තිබෙන්නේ බෞද්ධ දර්ශනයේයි. කාල්මාක්ස් ගේ දර්ශනයට මෙය බෙහෙවින්ම සමානයි. ඊටත් වඩා ඉහළ විද්‍යාත්මක දර්ශනයක් උන්වහන්සේ දේශනා කර තිබෙනවා. චාල්ස් ඩාවින්ට පෙර පරිණාමවාදය දේශනා කළේ බුදුරජානන් වහන්සේයි. මාක්ස්වාදයට පෙර සමාජවාදය දේශනා කළෙත් උන්වහන්සේයි.ලොව්තුරු විද්‍යාත්මක දැනුමැති සමාජ දහම බුදුදහම වුණත් අද එය විකෘති කරලා.මේ විකෘති නොවුණ බුදුදහම චිත්‍රණය වනවා නම් එය සමාජයට වැදගත්. දෙගල්දොරුවේ මාරපරාජය නම් වූ චිත්‍රය පිළිබදව අපි විමසමු. මේ චිත්‍රයේ මාරයෝ දුනු ඊතල අරගෙන බුදුන්වහන්සේට පහර දෙනවා. බුදුන්වහන්සේ නිසොල්මනේ ඒදෙස විමසිල්ලෙන් බලා සිටිනවා. බුදුන්වහන්සේ එහිදීමාරයින් ජය ගන්නේ යුද්ධ කිරිමෙන් නොවෙයි. යුද්ධ නොකිරීමෙනුයි. ධෛර්යය,මෛත්‍රිය,කරුණාව පතුරුවාලමින් යුද්ධයක් ජයගන්න පුළුවන් නම් අපේ තාප්පවල බිත්ති වලත් තියෙන්න ඕනෑ මෛත්‍රිය,කරුණාව සහ ධෛර්යයයි. ජාතිවාදි ආගම්වාදි සංකල්ප මතු කරමින් කලා නිර්මාණයක් බිහිවනවා නම් එය සර්ව සාධාරණ කලා නිර්මාණයක් නෙවෙයි.

මේ තත්ත්වය ඇති වන්නේ අපේ ඉතිහාස කතා හුවා දක්වමින් අඳින යුද්ධ හා ගැටුම් ආශ්‍රිත සිතුවම් හේතුවෙන් ද?

බොහෝ විට ජාතිවාදි ආගම්වාදි අදහස් මතුකරන්නේ දුටුගැමුණු එළාර යුද්ධයේදියි. එතනදි සිංහල දෙමළ කියන ජාතින් අතර බෙදීමක් ඇතිවෙනවා. සංහිඳියාවට පාර පෙන්විය යුතු කාලයක මේ නව සමාජ රැල්ල නිසා ජාති හා ආගම් අතර බෙදීම් ඇති වෙනවා නම් අපි ඒ ගැන විමසිලිමත් වෙන්න ඕන. අපි දැන් ජාත්‍යන්තරයත් සමඟ අත්වැල් බැඳගනිමින් දියුණු වන ලෝකයක් කරා ගමන් කරමින් සිටින වග මේ තරුණ සිත්වලට වටහා දිය යුතුව තිබෙනවා. ඵෙතිහාසික සටන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරිම අරමුණ නම් මේ තරුණ තරුණියන්ට පුළුවන් දන්තුරේ සටන අදින්න. නැතිනම් ගන්නෝරුවේ සටන අඳින්න. ඇයි දුටුගැමුණු එළාර යුද්ධයම අඳින්නේ. සිංහල දෙමළ බව උළුප්පලා ජාතිවාදයක් අවුස්සන්න එපා. තවත් ජාතියකට ආගමකට වෛර කරන්න අදහසක් වත් දෙන්න එපා. මේ වෑයම එවිට අසාර්ථක වෑයමක් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති ධූරයට පත් වීම සඳහා සිංහල බෞද්ධ අති බහුතරයක් ඡන්දය දුන් බව ඇත්තක්. දෙමළ හා මුස්ලිම් අති බහුතරයක් ඡන්දය නොදීම පාදක කර ගනිමින් මේක සිංහල බෞද්ධ ජනතාවට පමණක් අයිති රටක් කියලා අදහසක් මතු කරන්න හදනවා නම් ඒක අනුමත කරන්න බැහැ.


සිතුවමකින්ත වත් ජාතියකට ආගමකට වෛර කරන්න අදහසක් වත් දෙන්න එපා. මේ වෑයම එවිට අසාර්ථක වෑයමක් වෙනවා.

ලෝකයේ බොහෝ රටවල බිත්ති සිතුවම් කිරීමත් කලාවක් බවට පත්වෙලා. අප එහි අර්ථය වටහා ගෙන හෝ ආභාසය ලබා ඇති බවක් දිස් වෙනවා ද?

ලෝකයේ බොහෝ රටවල නගරවලට ඇතුළු වන විටම දක්නට ලැබෙන්නේ තාප්ප වසා විශාල ලෙස විචිත්‍රවත් කොට ඇති සිතුවම්. ඒවා වෝල් ආර්ට් කියලා හදුන්වනවා. ග්‍රැෆිටි ලෙසත් හඳුන්වනවා. ඒ චිත්‍ර කලාව ලෝකයේ ප්‍රචලිත මාධ්‍යයක්. ලංකාවේ එයට අත්ව තිබුණේ පසුගාමි තත්ත්වයක්. ලෝකයේ රටවල් බොහොමයක තරුණ අදහස් සමාජය වෙත ගෙන ගියේ චිත්‍ර හරහා. ඇමරිකාව,බ්‍රිතාන්‍යය,රුසියාව ඇතුළු රටවල තරුණ ප්‍රජාව තම තමන්ගේ අදහස් ආකල්ප විරුද්ධවාදි අදහස් ආදි සියල්ල රටේ නායකයින් වෙත කියා පෑවේ චිත්‍ර හරහා. ජනතාවගේ ගැටලු, දැවෙන ප්‍රශ්න සිතුවමට නගන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. අපේ රටට එය තවම ආධුනිකයි.

තරුණ පිරිස් එකතුව මේ ඇති කර ගෙන තිබෙන චිත්‍ර ඇදීමේ උන්මාදය සංහිදියාව සමඟ ගළපා ගත යුත්තේ කෙසේදැයි ඔබ අදහස් කරනවා ද?

මේ උන්මාදය රටට වැදගත්. මේ හරහා ඉදිරියේදි අපට හැකියාව ලැබෙනවා සාමාන්‍ය ජනතාව දැනුම්වත් කරන්න. මේ කලාව දඩාවතේ යන්න නොදි ඉදිරියටත් රැක ගත යුතුයි. ජාතින් අතර එකමුතුව රැක ගන්න මෙය යොදා ගැනීම ඉතාම පහසුයි. රටේ සොබා දහම රැකගන්න මේ ඔස්සේ හොඳ පණිවිඩයක් ජනතාව වෙත ගෙන යා හැකියි. දැන් මේ චිත්‍ර අඳින තරුණ පිරිස එකතුවෙලා ග්‍රාමීය මට්ටමෙන්, නාගරික මට්ටමෙන් කලා සංවිධාන ඇති කිරීමට පියවර ගත යුතුයි. එය ශක්තිමත් බැම්මක් ලෙස ගොඩ නඟා ගම් අතර නගර අතර දම්වැලක් සේ සම්බන්ධතාවක් ගොඩ නැඟීම වැදගත්. මේ චිත්‍ර ඇඳින වැඩපිළිවෙළට එකතු වෙලා මහනුවර මුස්ලිම් තරුණියක් චිත්‍ර අඳිනවා මා දැක්කා. භික්ෂූන් වහන්සේ නමක් සමඟ ඇය එක ළඟ චිත්‍ර නිර්මාණය කළා. මේක තමයි සංහිඳියාව.අපි සංහිඳියාව අමුතුවෙන් ඇති කරන්න ගියාම එතන කෘත්‍රීම බවක් නිර්මාණය වෙනවා. ඒ ඇතිවන බැඳීම සැබෑ එකක් නොවෙයි. අපි පාට පවා බෙදාගෙන ඉන්නේ. දැන් බලන්න සිංහ ලේ රතු. මුස්ලිම් කොළ. දෙමළ තැඹිලි. මේවා වෙන වෙනම තිබුණම නිකන් පාටක් විතරයි. ඒවා එකතු වුණාම තමයි සිතුවමක් මැවෙන්නේ. ඒ වගේ තමයි ජාතීන් එකතු වුණාමත්.මේක අපි තේරුම් ගන්නා තෙක් සංහිඳියාව ගැන පලදායිතාවක් නැති වැඩමුළු පවත්වමින් කියා දෙන්න සිදු වේවි.