Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අපේ ඉදිරි ගමන රඳාපවතින්නෙ
නොබෙදුණු සමාජයක් මතයි

ජාතිබේද ඇතුළු මිනිසුන් අතර වන ගෝත්‍රික බෙදීම් තවදුරටත් වලංගු නොවන බව නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය තහවුරු කරමින් සිටී. මිනිසා ඇතුළු මහ පොළොවේ පැවැත්ම වෙනුවෙන් මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද යන්න සහ කොවිඩ්-19 වෛරසයෙන් අපට පැහැදිලි කර දෙන පාඩම කුමක්ද යන්න තවදුරටත් අපට නොසලකා හැරිය නොහැකි කාරණා බව වල්පොල රාහුල ආයතනයේ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ පවසති.

26.03.2020  |  
කොළඹ දිස්ත්‍රික්කය

අපේ මැදිහත්වීමෙන් සිදු කළ ක්‍රියාකාරකම් නිසා නිර්මාණය කරගත් ව්‍යසන වගේම, ඒ්වායේ ප්‍රතිපල පියවර විදිහට එන ස්වභාවික ආපදාවලිනුත් ලෝකය දිගින් දිගටම පීඩාවට පත්වෙන්නට පටන් අරන්. නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ඒකෙ තීරණාත්මක සන්ධිස්ථානයක්. අපි මනුස්ස ජාතිය විදිහට මේ වෙලාවෙ, මේ තත්ත්වය තේරුම්ගන්න ඕනෙ මොනකොයි විදිහට ද?

මේ වෛරසය තමයි අපිට ලොකුම පාඩම කියලා දෙන්නෙ. එකක් තමයි, ලෝකය හැටියට අපි මෙතෙක් ගියපු මහා කෑදර, පරිභෝජනවාදී ගමන මේ වෛරසයෙන් බරපතළ විදිහට අභියෝගය ලක්කරලා තියෙනවා. වෙනත් ව්‍යසනවලදි නම් එක තැනක මොනව හරි වෙනකොට, ගුවන්යානයකින් වෙනත් තැනකට පැනලා යන්න පුළුවන්. ඒ මොනම හැකියාවක්වත් නැති, මුළු මානව සංහතියම එකට එකතු කරලා, අභියෝගයට ලක්කරපු, අපේ ජීවිත කාලෙ ආපු නරකම අවස්ථාව විදිහටයි, මා මේ වෙලාව දකින්නෙ. අනෙක් පැත්තෙන් එහෙම එකක් වුණේ නැත්නම් ලෝකය තවදුරටත් වෙනස් වෙන්නෙ නෑ. මොකද හැම වෙලාවෙම හිඩැස් තියෙනවනෙ. ඒ හිඩැස්වලින් හැම වෙලාවෙම සහනයක් ලැබෙනවා. ඒ කියන්නෙ තව කෙනෙකුට විනාශයක් වෙනකොට වෙනත් තැනකින් උදව්ගන්න පුළුවන්. එහෙම නැතුව මුළු මානව සමාජයටම අපි මේ යන ගමන හරි ද කියලා, පොඩ්ඩක් නතර වෙලා හිතන්න මේ වෙලාව බල කරමින් ඉන්නවා.

මොන අපරාධ කළත්, ස්වභාවික පරිසරය තවදුරටත් අතිවිශාල විදිහට උදව් කරමින් ඉන්න, පොඩි රටක් වන ලංකාව මෙතැනදි නිශ්චිතව කළ යුත්තේ කුමක්ද ?

අපේ විවිධ විදිහෙ බෙදීම් තියෙනවා. මිනිස්සු විදිහට ගත්තම ජාති සහ ආගම් මූලික කරගත්තු බෙදීම්වල හැසිරීම අතිශය බරපතලයි. ඒ බෙදීම් ඉක්මවලා යන්න මේ තත්ත්වය අපිට පාවිච්චි කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් රටක් විදිහට අපේ තියෙන අධිපාරිභෝජනවාදී ක්‍රමය වෙනස් කරගන්න පරිසරය අපිට බල කරමින් ඉන්නවා. අපි යමක් රැස්කරගන්න එක විතරයි වැඩේ, අනෙකාට මොනව වුණත් කමක් නෑ කියන මේ ආත්මාර්ථකාමී විදිහ වෙනස් කරගන්න, ඒක තවදුරටත් වලංගු නෑ කියන පණිවිඩය මේ වෙලාවෙ අපිට ලැබිලා තියෙනවා. අපේ ඉදිරි ගමන රඳාපවතින්නෙ එකිනෙකාට ආදරය කරන, එකිනෙකාගෙ දුක-සැප බලන ප්‍රමාණය, අල්පේච්ඡ ජීවිතය වගේ කරුණු එක්ක.
අනෙක් පැත්තෙන් පරිසරය. මේ වෙලාවෙ කුරුල්ලන්ට දැනෙන සතුට මට නම් හිතාගන්නවත් බෑ. මෙච්චර කාලයක් අපි ඔක්කොම මිනිස්සු එකතු වෙලා අනෙක් ජීවීන්ට කොයිතරම් වදයක් දුන්නද? එහෙම ජීවීන් ඉන්නවද කියලවත් කිසිම හැඟීමක් නැතුව, අපි තමයි මේකෙ ස්වාමිවරු කියන අදහසින් ගියපු ගමන දැන්වත් වෙනස් කළ යුතු වෙනවා. ඒ කියන්නෙ මුළු ගමනම වෙනස් කරගන්න ඕනෙ. අපේ ආකල්ප, සිතුම්-පැතුම් වෙනස් කරගන්න වෙනවා.

ආගමක් නියෝජනය කරන ඔබ වහන්සේ, ඒ කාරණය ආගමික පැත්තෙනුත් පැහැදිලි කළොත් වඩා වැදගත් … ?

බුදු දහමේ සහ කිතු දහමේ විශේෂයෙන්ම අල්පේච්ඡතාව වැදගත් කොට සලකනවා. බෙදාහදාගැනීමත් ඒ වගේමයි. පරිසරයේ තියෙන සම්පත් තනිව භුක්ති විඳීම වෙනුවට, බෙදාහදාගෙන සියල්ලන් සමානව භුක්තිවිඳීම ගැන මේ හැම ආගමකම කතා කරනවා. මේවා ඇත්තටම අපි බරපතළ විදිහට කතා කළ යුතුයි.
ඒකෙන් මා අදහස් කරන්නෙ මේ ප්‍රශ්නවලට උත්තරේ ආගමේ තියෙනවා කියන එක නෙමෙයි. ආගමත් තිබුණෙ අර කියපු තරගෙම තමයි. ආගමත් සම්පූර්ණයෙන්ම අසමත් වෙලා තියෙනවා, ඒකෙන් මිදෙන්න. හැබැයි අපි ප්‍රායෝගිකව භාවිතයට ගත්තෙ නැතුවට, අතීත දැනුමක් විදිහට ආගමේ ඒ පණිවිඩය පැහැදිලිව තියෙනවා. ආගම මෙතැනින් ඉස්සරහට කරන්න ඕනෙ, ඔන්න ඔය හරයන් ඉස්සරහට අරගෙන යන එක. ඒකෙ අදහස මේ ගැන දේශනා කරමින් යන එක නෙමෙයි. මූලික ව තමන්ගෙ ආගමික ස්ථානය මේ කියන අල්පේච්ඡතා ගුණයෙන් පොහොසත් කළ යුතු වෙනවා. එතැන ආදර්ශය බවට පත්කළ යුතු වෙනවා.

රටක් විදිහට අපේ බහුතරය ඒඩ්ස් රෝගීන් සමාජයෙන් කොන් කිරීමේ පුරුද්දක් අත්හදා බලමින් හිටියා. ඒ වගේම අත්දැකීමකට නව කොරෝනා ආසාදිතයන් බවට සැක කරන පුද්ගලයන් හෝ ආසාදිතයන් සමග සම්බන්ධ වෙන පිරිස් මුහුණ දෙන බව සමාජ මාධ්‍යවල සටහන් කරලා තිබුණා. සමාජයේ වරප්‍රසාදිත පිරිසක් විදිහට ආගමික නියෝජිතයන්ට, මේ අය වෙනුවෙන් මේ වෙලාවෙ කරන්න පුළුවන් මැදිහත්වීම මොන වගේ ද ?

මේ වෙලාවෙ මිනිස්සු බහුල වශයෙන් ආතති තත්ත්වයන්ට පත්වෙනවා. අපේ සමාජය කොහොමත් බියෙන් ඉන්නෙ. සන්ථානගත බියක් මිනිස්සුන්ගෙ හිත්වල තියෙනවා. දේශපාලන කාරණාවලට පාවිච්චි කරන්නෙ ඒ බියනෙ. ඒ බිය තමයි, අනෙක් කෙනා ප්‍රතික්ෂේප කරන තැනට බහුතරය යොමු කරවන්නෙ. ඊළඟ කාරණය තමයි, ගෙදරට වෙලා සෑහෙන දවසක් ඉන්න කොට මතු වෙන ආතතිය. ඒවත් එක්ක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේ ප්‍රශ්න වැඩි වෙලා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඔය කාරණාවලදි ආගමට ඉතාම සාර්ථකව මැදිහත් වෙන්න පුළුවන්. මං කියපු අතීත දැනුම භාවිතා කරන්න පුළුවන්. ආගමික ඉගැන්වීම්වල තියෙනවනෙ, රෝගීන් බලාගැනීමේ වැදගත්කම. කවුරුහරි ගිලන් වූ පුද්ගලයෙක් බලාගන්නව නම්, ඒක බුදුන් බලාගන්නවා වගේ කියලා බුදු දහමෙ සඳහන් වෙනවා. ඒක මේ සමාජයට ගේන්න ඕනෙ. ඒක අපේ වගකීමක්.


මාධ්‍ය ඇතැම් කරුණුවලදි ජන වර්ග, ආගම් ඉස්මතු කරමින් කටයුතු කරන විදිහ. අපි මේවාට සංවේදී විය යුතුයි.

අනෙක් පැත්තෙන් මාධ්‍ය ඇතැම් කරුණුවලදි ජන වර්ග, ආගම් ඉස්මතු කරමින් කටයුතු කරන විදිහ. අපි මේවාට සංවේදී විය යුතුයි. ඒවා ගැන මිනිස්සු එක්ක කතා කරන්න ඕනෙ. අපිට මේ වෙලාවෙ විශේෂ සීමා තියෙනවා තමයි. ඒත් ඒ සීමා බිඳින්න උපක්‍රම තියෙනවා. අපි වල්පොල රාහුල මධ්‍යස්ථානයෙන් ඔන්ලයින් භාවනා වැඩසටහනක් පටන්ගත්තා. ඒ වගේ වැඩවලින් ගෘහස්ථ ආතතියට යම් සහනයක් දෙන්න පුළුවන්. දැන් බලන්න, බිරිඳ දිගටම යම් කාරණයක් ගැන චෝදනා කරනව නම්, ස්වාමිපුරුෂයා කරන්නෙ ගෙදරින් එළියට බැහැලා යන එක. ඒත් මේ තත්ත්වය නිසා ඒක කරන්න බෑ. එතකොට ප්‍රශ්නෙ වැඩි වෙනවා. ප්‍රචණ්ඩ තැනට එනවා. මං කියන්නෙ මේ අවස්ථාව අපි ප්‍රයෝජනයට ගන්න ඕනෙ, එකට ජීවත්වෙන්නෙ කොහොමද කියන එක අත්හදා බලන්න.
ඒ වගේ අවස්ථාවලට මං යෝජනා කරන්නෙ මෛත්‍රී භාවනාව. ඒ වගේම බුදු දහමෙ එනවනෙ, සතිමත් බව, නැත්නම් අවදි සිහිය. මං මොනවද එළියෙදි අතගාන්නෙ, අල්ලන්නෙ, ගෙදරට එනකොට අත් හෝදන්න, සෙරෙප්පු දෙක ගලවන්න මේවා ගැන අවධානයෙන් වැඩ කරන්න ඕනෙ. ඒ විදිහට ආගම්වල තියෙන ප්‍රායෝගික වටිනාකම් මේ වෙලාවෙ භාවිතා කරන්න ඕනෙ.

ඇතැම් අවස්ථාවලදි භක්තිය සහ භක්තිය භාවිත කිරීම, සෞඛ්‍ය උපදෙස් ඉක්මවා යන ආකාරය ඇඳිරි නීතියට පෙර දවස් කිහිපයේ අපි දැක්කා. රතන සූත්‍රයෙන් මේවා කරන්න පුළුවන්ද, බැරිද වගේ සංවාද මතු වුණා. අපි මේවා වෙන්කරගන්න ඕනෙ කොතැනින්ද, මේක පැහැදිලි කරගන්නෙ කොහොමද ?

මේක හරියටම ඉරක් ගහලා වෙන්කරගන්න ඕනෙ. කායික රෝග සහ මානසික රෝග කියලා දෙකක් තියෙනවා. මානසික රෝග සම්බන්ධයෙන් බුදු දහමේ ලොකු සාකච්ඡාවක් තියෙනවා. භාවනාව කියන්නෙත් මනස එක්ක සම්බන්ධ වෙන දෙයක් නෙ. පොඩි ළමයෙක් බය වුණාම අපි කියනවනෙ, බයවෙන්න එපා පුතා, අපි ඔයත් එක්ක ඉන්නවා කියලා. පිරිත් වල තියෙන්නෙ ඔන්න ඕක. ධජග්ග සූත්‍රය ගත්තම ඒකෙ තියෙන්නෙ බයවෙන්න එපා, බුදු හාමුදුරුවො ඔයාලා එක්ක ඉන්නවා කියලා. අර පොඩි දරුවගෙ මනස ශක්තිමත් කරනවා වගේ, මනස ශක්තිමත් කරන එකයි මේවගෙන් කරන්නෙ. තනි නෑ කියන පණිවිඩයයි දෙන්නෙ. සාමූහිකව යමක් සජ්ජායනය කරන කොට, එතැනින් එළියට දෙන පණිවිඩය සාමූහික අර්ථය. ක්‍රීඩාවකදි කණ්ඩායමක්, එකම දෙයක් එකම වෙලාවක කියලා කෑගහන කොට එතැනදි කාට වුණත් ශක්තියක් එනවා. අපි කණ්ඩායමක්, මං තනි නෑ කියන හැඟීමයි ඒ වෙලාවට හිතට එන්නෙ. ඔන්න ඔය කියන කාරණා ටිකට මේක සීමා කරගන්න ඕනෙ.


මිනිස්සුන්ට මේ වෙලාවෙ මානසික ශක්තිය අවශ්‍යයි. රෝගී වෙලා ඉන්න කෙනෙකුට ඉක්මනින් සුවපත් වෙන්න මානසික ශක්තිය ඉතාම වැදගත්. නමුත් අපි හරියට මේ වෙලාවෙ තියෙන ප්‍රශ්නෙ තේරුම්ගන්න ඕනෙ. අපිට මේ වෙලාවෙ තියෙන ප්‍රශ්නෙ ලෙඩ වෙලා ඉන්න කට්ටිය සනීප කරගන්නෙ කොහොමද කියන එක නෙමෙයි. අපි මූණ දීලා ඉන්නෙ ලෙඩේ පැතිරෙන එක වළක්වගන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට. ඒක තමයි අපේ මූලික අභියෝගය. එහෙම ගත්තම මෙතැනදි වැදගත් වෙන්නෙ පිරිත් නෙමෙයි, අර කියන සෞඛ්‍ය අංශවලින් දෙන උපදෙස්, දැනුම සහ ඒවා භාවිතයට ගැනීම. මෙන්න මේ දෙපැත්ත හරියට තේරුම්ගන්න ඕනෙ.
මෙතැනදි අපි පළවැනි අභියෝගය අත්හැරලා තියෙනවා. මං දැක්කා ලොකු වතුර ටැංකියකට භාජනයක් දාලා වතුර බෙදනවා, පිරිත් පැන් කියලා. මිනිස්සුත් දුවලා ගිහින් බොනවා. මෙතැන තියෙන ප්‍රශ්න මොනවද. මේ භාජනේ කොච්චර පිරිසිදු ද, මෙච්චර ලොකු ටැංකියකට පුරවපු වතුර පිරිසිදු ද, බෙදන කෙනා නොයෙක් දේ කියමින් තමයි ඒ වතුර බෙදන්නෙ, එයාගෙ කටින් කෙළ විසිවෙනවා, එයා වරින් වර අර භාජනය ටැංකිය ඇතුළට දානවා, එතකොට එයාගෙ අත ඒ වතුරෙ ගෑවෙනවා, එයාගෙ අත කොච්චර පිරිසිදු ද, මිනිස්සුත් දුවගෙන ගිහින් අත් අල්ලලා වතුර අරන්, එහෙමම බොනවා. එතකොට ඒ අයගෙ අත් කොච්චර පිරිසිදු ද. මේවා ප්‍රශ්න නෙමෙයිද. පිරිත්වල හෝ පිරිත් පැන්වල හෝ පිරිත් නූල්වල හෝ තියෙන අර්ථය හරියට නිශ්චය කරගත්තෙ නැත්නම් අපි අතින් විශාල හානියක් සිද්ධවෙනවා. ඒ නිසා මේ ලෙඩේ පැතිරෙන එක වළක්වාගන්නෙ කොහොමද කියන උපදෙස් පිළිපැදීමයි මෙතැනදි වඩා වැදගත් වෙන්නෙ.

අපි මුලින් කතා කළා, බෙදීම් නැති කරගෙන, ඉදිරි ගමනක් යන්න මේ අවස්ථාව භාවිතා කිරීමේ වැදගත්කම ගැන. 2004 අවුරුද්දෙ සුනාමි ව්‍යසනයෙන් පස්සෙත් අපි ඔය කාරණා ඔය විදිහටම කතා කළා. ඒත් අවුරුදු 16 කට පස්සෙ අපි එදාටත් වඩා පස්සට ගිහින්. සමාජය විදිහට අසමත්. ඔබ වහන්සේ යෝජනා කරන විදිහට දැන්වත් අපිට ඒ පාරෙ යන්න පුළුවන් වෙයි ද, තමන්ගෙ අනාගතය වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න මිනිස්සු සූදානම් වෙයි ද?

ඒ වෙලාවෙ අභියෝගය මීටත් වඩා බරපතළයි. ඒත් අපිට ඒක කරගන්න බැරි වුණා. මේක උස පනින ක්‍රීඩාව වගේ වැඩක්. පළවැනි පාර පනින්න බෑ, අර පොල්ල වැටෙනවා. දෙවැනි, තුන්වැනි පාරවලත් එහෙමයි. එහෙම කියලා අත්හැරලා දැම්මොත් කොහොමත් පනින්න බැරි වෙනවා. එක දිගටම පුහුණුවීම් කළොත්, එක වෙලාවක ඒ මට්ටම ඉක්මවා යන්න පුළුවන් වෙනවා. මීට කලිනුත් අවස්ථාවක් ආවා, ඒකෙදි අපි අසාර්ථක වුණා, මේ අවස්ථාවවත් අපි ගනිමු කියලා මුලින් අපි, අපිටම අවධාරණය කරගන්න ඕනෙ. අනෙක් පැත්තෙන් මේ වගේ විපතක් වෙලාවට අපි මේ ගැන කතා කරනවා. ඊට පස්සෙ ආපහු සියල්ලන් අර සරුව පිත්තල ලෝකෙ, පරණ-පුරුදු පාරට යනවා. විශේෂයෙන්ම මාධ්‍යවලට ඒ සංවේදී බව මිනිස්සු තුළ ඇති කරන්න ලොකු වගකීමක් තියෙනවා. ඒත් ඔවුන් ඒ වගකීම අඳුරගෙන නෙමෙයි කටයුතු කරන්නෙ. කොටස් කොටස් විදිහට ගන්නවට වඩා, මේක අපි හැමෝගෙම සාමූහික වගකීමක්. එක්කෙනෙකුටවත් මේ අවස්ථාව අත්හරින්න අයිතියක් නෑ.