Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මුදල වෙනුවට වගකීමට තැන දුන්
අබ්දුල් මස්සූන් මොහොමඩ් මුජීබ්

මුස්ලිම්වරුන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ ප්‍රකටව ඇත්තේ,ශූර ව්‍යාපාරික හැකියාවන්ගෙන් සපිරි පිරිසක් ලෙසිනි. ඒ ශූර හැකියාව ඇතමෙකුට වෙනත් ආකාරයකින් පෙනුණ ද, ව්‍යාපාර ලෝකයේ ඔවුන්ගේ ධනාත්මක චින්තනයට අලගු තබන්නට කිසිවෙකුටත් හැකියාවක් නැත. එබඳු වටපිටාවක කලදුටු කල වල ඉස ගැනීමට කටයුතු නොකළ මුස්ලිම් ජාතික මැහුම් ශිල්පියෙකු ලෙස ත්‍රීකුණාමලය සෝනන් වාඩියේ, මොඩර්න් ටේලර්ස් හි අධිපති අබ්දුල් මස්සූන් මොහොමඩ් මුජීබ් හඳුන්වා දීම සාධාරණ ය.

04.04.2020  |  
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

හිටි හැටියේ ලොව පුරා පැතිරුණු කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ජනතාවගේ ජීවිතය උඩුයටිකුරු වී තිබේ. කොරෝනා වෛරසයට මුහුණ දීමට සමාජයට අවශ්‍ය ඇතැම් උපකරණ අප සතුව ප්‍රමාණවත් අන්දමින් නොතිබීම මෙහිදී මුහුණ දීමට සිදු වූ ගැටලුවකි. මේ සදහා අවශ්‍ය කෙරෙන මුහුණු ආවරණ ප්‍රමාණවත් අන්දමින් වෙ‌ළෙඳ පොළේ නොතිබීම ඒ් අතර ප්‍රධාන විය. තිබූ ඒවා අධික මිල ගණන් වලට විකිණිමත් හේතුවෙන් රට පුරා මුහුණු ආවරණ අලෙවිය පිණිස පාලන මිලක් ඇති කිරීමට ද බලධරයනට සිදු විය. ජනතාව මහත් අසීරුතාවකට පත්ව සිටි මොහොතක ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මැහුම් ශිල්පියෙකු සිය පුද්ගලික වියදමින් ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය කෙරෙන මුඛ ආවරණ මසා බෙදා හැරීමේ උතුම් කටයුත්තක් නිරතවීමක් පිළිබඳ තොරතුරු වාර්තා විණි. මේ උතුම් සත්කාර්යයේ නිරත මැහුම් ශිල්පියා , ත්‍රීකුණාමලය සෝනන් වාඩියේ,මොඩර්න් ටේලර් හි අධිපති අබ්දුල් මස්සූන් මොහොමඩ් මුජීබ් ය.

මොහොමඩ් මුජීබ් ත්‍රීකුණාමලයේ ප්‍රකට මැහුම් ශිල්පියෙකි. ඔහු වඩාත් ප්‍රකට කෝට් මසන්නෙකු ලෙසිනි. ඒත්,මේ වන විට මුජීබ් මහතා ජනප්‍රිය වී ඇත්තේ, කොරෝනා මුහුණු ආවරණ මසන්නා ලෙසිනි. කිසිදු මුදලක් අය නොකර සත්භාවයෙන් යුතුව මුජීබ් මහතා මෙය සිදු කිරීම විශේෂත්වයකි.ඔහු දැනටමත්, මුහුණු ආවරණ 7000 ක පමණ ප්‍රමාණයක් මසා ප්‍රදේශයේ විවිධ රාජ්‍ය ආයතනවලට හා ජනයාට බෙදා හැර ඇත. මේ වන විට විශේෂ හදිසි අවශ්‍යතාවයක් සේ සලකා ත්‍රීකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් මත එම කාර්ය මණ්ඩලයට අවශ්‍ය කෙරෙන ආරක්ෂක ඇඳුම්ද (surgical scrub) මසමින් සිටියි.

“මම මේ කටයුත්ත ආරම්භ කළේ අපේ ජනතාවට මට මේ අවස්ථාවේ කළ හැකි සේවයක් සේ හිතලා. මගේ ෂොප් එකේ වැඩ කරන අයට මුහුණු ආවරණ ගන්න ෆාමසියකට ගියහම සාමාන්‍ය මුහුණු ආවරණයකුත් රුපියල් 150 ට වගේ විකුණනවා දැක්කා. ඒවත් විකිණිලා ඉවරයි.පස්සේ මං කල්පනා කලා මේ වෙලාවේ මට මගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සේවය තමා හැකි මට්ටමින් ප්‍රදේශයේ ජනතාවට මේ මුහුණු ආවරණ ටිකක් මහලා දෙන එක කියලා. ඒක අපේ ජනතාවට යම් තරමක අස්වැසිල්ලක් වෙනවා වගේම ආරක්ෂාවකුත් සැලසෙනවා නේද කියලා මං කල්පනා කළා ..“ යි ඔහු කියයි.

මුජීබ් බන්ධනාගාර නිළධාරීන්ට මුහුණු ආවරණ ලබා දෙමින්

මුජිබ් එතෙක් මසමින් සිටි පාසල් නිල ඇඳුම් හා වෙනත් ඇනවුම් කටයුතු සියල්ල නවතා දමා සිය සහායකයන් ද සමඟින් මුහුණු ආවරණ මැසීම ආරම්භ කර තිබේ. හිටි හැටියේම රටපුරා පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් ඒ සදහා විවිධ ගැටලු මතු වන්නට විය. කෙසේ වෙතත්, එම ගැටලුවලට ද සාර්ථකව මුහුණ දෙමින් සිය කාර්ය මණ්ඩලය සමඟ එක්වී තව දුරටත් එම කාර්යයේ යෙදී සිටියි. ඒ් මෙම බැරූරුම් මොහොතේ තමා වෙතින් තම රටට ඉටුවිය යුතු යුතුකම හා වගකීම මනා ලෙස අවබෝධ කර ගනිමිනි.

මුජීබ් එසේ මැසූ මුහුණු ආවරණ තොගයෙන් මුල්ම කොටස පරිත්‍යාග කර ඇත්තේ,ත්‍රීකුණාමලය පොලිසියටයි. ඇඳිරි නීතිය අවස්ථාවේ මෙම මුහුණු ආවරණ විවිධ ආයතන වෙත බෙදා දීමට යෑමට අවශ්‍ය කෙරෙන අවසරය ලබා ගැනීමට ත්‍රීකුණාමලය පොලිසියට යන මුජිබ්ට දකින්නට ලැබෙන්නේ, ඒහි පොලිස් නිලධාරීන්හා නිලධාරිණියන් මුහුණු ආවරණ නොමැතිකම නිසා ලේන්සුවකින් මුහුණු ආවරණය කර ගනිමින් අනාරක්ෂිත ලෙස රාජකාරියේ නිරත වන ආකාරයයි. මුජිබ් වහාම මසා නිම කළ මුහුණු ආවරණ තොගයක් ත්‍රීකුණාමලය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක දුමින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන්නේ,සියල්ලන්ට කලියෙන් පොලිස් නිළධාරීන් ආරක්ෂා විය යුතු බව සිතමිනි.

මෙයට අමතරව බන්ධනාගාර නිලධාරීන්ට හා රැඳවියන් 300 ක් පමණ පිරිසකට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය කෙරෙන මුහුණු ආවරණ නොමැති බව දැන ගන්නා මුජීබ් වහා එම අවශ්‍යතාව ද ඉටු කිරීමට යුහුසුළු වන්නේ, එබඳු අය කෙරෙහි කිසිවෙකුගෙත් අවධානයක් යොමු නොවන තත්වයකදීය.

“සිරකරුවොත් මනුස්සයෝ කියලා කිව්වට එයාලා ගැන තියෙන අවධානය හරිම අඩුයි. ඉතින්,මං කල්පනා කළා මේ අයට මේ අවස්ථාවේ අපි උදව් කළොත්, ඒක ගොඩක් වටිනවා නේද කියලා. ඒ අනුව බන්ධනාගාරේ රැඳවියන්ට විතරක් නෙවෙයි, නිල ධාරීන්ටත් එක්කම මුහුණු ආවරණ ලබාදීමට කටයුතු කළා…. අපිට වැඩියෙන්ම ස්තුති කළේ අපේ මුඛ ආවරණ ලැබුණු රැඳවියෝ..“ යි මුජීබ් කියයි.

ත්‍රීකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරු සමඟ ආරක්ෂිත කබාය මැසීම පිලිබදව සැලසුම් කරමින්

ත්‍රීකුණාමලය මහ රෝහලේ කාර්ය මණ්ඩලය මුහුණ දී සිටින තවත් බරපතල ගැටලුවකට ද මුජීබ් හරහා පිලියම් සෙවීමට බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටියි. ඒ ත්‍රීකුණාමලය මහ රෝහලට පැමිණෙන බාහිර රෝගි අංශ ගීන්ට ප්‍රතිකාර කිරීමට යෑමේදී අවශ්‍ය කෙරෙන ජීවානුහරණ කබා හදිසි අවශ්‍යතාවක් සේ සලකා මුජිබ් වෙතින් මසා ගැනීමට කටයුතු කිරීමයි.

රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් රෝහල මුහුණ දී තිබෙන ගැටලුව ත්‍රීකුණාමලය ප්‍රදේශයේ සමාජ ක්‍රියාධරයෙකු වන ශිරෝමන් රංගන මහතාට සැල කිරීමත් සමඟ ඒ මහතා මේ පිළිබඳ මුජිබ් දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කිසිදු අය කිරීමකින් තොරව අදාළ කබා ප්‍රමාණය මසා දීමටද ඉදිරිපත් වන මුජීබ් ඒ සඳහා අවශ්‍ය කෙරෙන අදාළ රෙදි වර්ගය පමණක් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඒ සම්බන්ධයෙන් දැනුම් වත් වන නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ අදාළ රෙදි වර්ගය කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමටත්, මුජිබ් ගේ උත්තම කාර්යය ඇගයීමක් කිරීමටත් කැමැත්ත පළ කර ඇත. එම ඇගයීම තරයේම ප්‍රතික්ෂේප කරන මුජිබ් කියා සිටින්නේ,මෙම අවස්ථාවේ මුදල පිළිබඳ නොව මනුස්සකම්වලට ප්‍රමුඛත්වය දිය යුතු බවයි.

“ත්‍රීකුණාමලය මහ රෝහලට මේ කබා වුවමනායි කියලා දැන ගන්න කොට මගේ ඇඳුම් කපන කෙනා ඇදිරි නීතිය නිසා එයාගේ ගමට ගිහිල්ලා හිටියේ.එයා අනුරාධපුරේ හොරොව්පතානේ කෙනෙක්. පස්සේ එයාට මං වහාම එන්න කියලා කෝල් එකක් දුන්නා. එයා එද්දී එහෙ පොලිසියෙන් ඇඳිරි නීතිය කඩ කරලා කියලා අල්ලලා. පස්සේ අපි මෙහෙ පොලිසිය හරහා හොරොව්පතාන පොලිසියට දැනුම් දුන්නහම එයාව නිදහස් කරලා තිබුණා. දැන් අපි ඒ කබා ටික මසමින් ඉන්නේ.. අපි මේ අවස්ථාවේ පුරවැසියො විදියට අපේ යුතුකම් රටට ඉටු කළ යුතුයි..“

මුජීබ් ත්‍රීකුණාමලය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක දුමින්ද රාජපක්ෂ මහතාට මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කරමින්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ත්‍රීකුණාමලය මහ රෝහලේ වෛද්‍ය ලක්ෂිත ඉෂංක කියා සිටියේ, ස්ව කැමැත්තෙන්ම සිය සහයකයන්ද යොදා ගනිමින් මුජීබ් ඉටුකරන සේවය ප්‍රශංසනීය බවයි.

“අපේ රෝහලේ බාහිර රෝගි අංශයේ වැඩි දෙනෙකුට මේ ආරක්ෂිත කබා නැහැ. ඒක හරි භයානක තත්වයක්. මේ එන රෝගීන් කොහොම අයද කියලා අපි දන්නේ නැහැ. රෝහලට අවශ්‍ය මෙම උපකරණ ඇනවුම් කර තිබ්බත්, ඒක එන දිනයක් ගැන අපිට කියන්න බැහැ.එවැනි අවස්ථාවක තමයි, මේ මුජිබ් අපිට මේ උපකාරය සිය කැමැත්තෙන්ම කරලා දෙන්න පොරොන්දු වුණේ.
සමස්ත වෛද්‍ය ප්‍රජාවම මුජීබ්ට ස්තුති වන්ත විය යුතුයි..“

මේ වන විට මුජිබ් ත්‍රීකුණාමලය පොලිසිය,බන්ධනාගාර දෙපාර්තමේන්තුව,ත්‍රීකුණාමලය මහ රෝහල හා ප්‍රදේශයේ මහජනයා සමඟ ගැවසෙන ආයතන රැසකට මුහුණු ආවරණ සපයා දී ඇති අතර,ත්‍රීකුණාමලය මහ රෝහලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් (surgical scrub) තොගයක් ද මසමින් සිටියි. ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ත්‍රීකුණාමලය මහ රෝහලට ප්‍රතිකාර ගැණීමට පැමිණෙන රෝගීන් සමග ආරක්ෂිතව කටයුතු කිරීමට ඒ තුලින් හැකියාව ලැබෙනු ඇත.