Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

යටත් විජිත උරුමයේ නෂ්ටාවශේෂ
පන්තියක් ඉහළට

අප සැම සැබැවින් ම එක මවකගේ දරු කැළ වෙමින් නොපමාව ඉදිරියට යන්නෙමු. නිල ඇඳුම් අඳින බලවත් නිලධාරීන් කාන්තාවන්ට ගරු කරන්නට ද දන්නා බව ඔවුන් ද විශ්වාස කරනු ඇති. සුදෝ සුදු නිල ඇඳුමින් සැරසී සිටි දුම්රිය ස්ථානාධිපතිවරයා දිලිසෙන නළාව මහේශාක්‍ය ලෙස පිම්බා. ශ්‍රී ලංකාවේ මනස්කාන්ත ම දුම්රිය නැවතුම්පොළක් වූ හපුතලේ පසුකරමින් දුම්රිය ඉදිරියට ඇදුණා.

27.04.2020  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

එක් සීතල අගෝස්තු රාත්‍රියකදී අපි හපුතලේ දුම්රියපොළේ ලී බංකුව මත ගුලි වී සිටියා. කඳුරට චාරිකාවේදී එක්රැස් කරගත් මහාර්ඝ සම්පත් වන කිතුල් හකුරු, දොඩම් මාමලේඩ් බඳුන්, පේර ජෙලි සහ හපුතලේ සුප්‍රකට ඇඩිෂම් බංගලාවෙන් මිල දී ගත් නෙල්ලි සිරප් සහිත අපේ මලු ද අප තුරුලේ තිබුණා. ඒ එකතුව ද මගේ දූපත වැනි ම වූ, වියළි මල්පෙති හා සුවඳ කුළුබඩු පිරවූ පොට්පුරි (pot pourri) බඳුනකි. මගේ දරුවන් ද එසේ ය. ඔවුනට දකුණු ඉන්දීය දෙමළ සම්භවයක් ඇති මවක ද, සිංහල හා බර්ගර් මිශ්‍ර සම්භවයක් ඇති පියෙකු ද සිටිනවා. එහෙයින් ඔවුන් ද මිශ්‍ර සංස්කෘතික රස අච්චාරු බඳුන් තුනක් වැනියි. කුඩා කල සිට ම අප ඔවුන්ට කියා දුන්නේ ශ්‍රී ලාංකික ලෙස තමන් හඳුන්වාගන්නටයි. එසේම, ජනවර්ගය කුමක්දැයි අසන අයට අභියෝග කරන්නටත් අප ඔවුන්ට හුරු කළා. සීතලේ වෙවුලමින් මම ඔවුන් තුරුළු කරගෙන සිටියා. කල් තබා වෙන් කරගන්නේ නැතිව මෙවැනි ගමනක් පැමිණීම ගැන මට ම විස්මයක් දැනුණා. එය දිගු කලක් බලාපොරොත්තුවෙන් සිට හදිසියේ සිදු වූ ගමනක්.

අපට ඉතිරිව තිබුණේ විනාඩි දහයක කාලයක් පමණයි. ටිකට් කවුන්ටරයේ සිටින නිලධාරිවරයා ඒ වන විටත් කිහිප වරක් ම අපට බැහැ කියා හමාරයි. අප අත එතරම් මුදල් තිබුණේත් නැහැ. ඒ නිසා තවත් රාත්‍රියක් හපුතලේ ගතකිරීම ද කළ හැක්කක් වුණේ නැහැ. අප ආපසු ගෙදර යා යුතුව තිබුණා. ළමයින් සිටියේ අලුත් අත්දැකීමේ උද්දාමයෙන්. සුන්දර දුන්හිඳ දියඇල්ල බලන ගමනේදී ඔවුන් ඉන්දීය සෙරෙප්පු පැළඳ කඳු නගිමින්, බසිමින් කිලෝමීටර දෙකක් පමණ පයින් ගොස් ආපසු පැමිණ තිබුණා. ඒ බෞද්ධ උත්සව සමයක් නිසා, ඔවුන්ට කෑමට ලැබුණේ නිර්මාංශ ආහාරයි. රැය පහන් කළේ කැලයේ විදුලිය නැති, මැටියෙන් හැදූ පැල්පතකයි. එහෙත්, කිසිවෙකු එයට බිය වුණේ නැහැ. සෑම පුංචි අත්දැකීමක් ම උද්වේගකරයි. කඳු, මිටියාවත් ඔස්සේ, බිංගෙවල් හරහා පැමිණි දුම්රිය ගමන ද එහෙමයි. අතරමගදී කෑ කට දන කෙටි කෑම විතරක් නෙමෙයි දුම්රියේ අපිරිසිදු වැසිකිළිය ද ඔවුන්ට නවතම අත්දැකීමක් වුණා. එහි ගොස් ඒ පුංචි කාර්යය කරන්නට තිබුණු කොමෝඩයේ සිදුරෙන් පෙනුණේ දුම්රිය ධාවනය වන රේල් පාරයි. මගේ දරුවන් මේ දිවයිනට ආදරය කළ යුතු බව මා දැඩිව ම විශ්වාස කළා. එහෙත්, මා වැඩුණේ මේ දිවයිනට වෛර කරමින්. මගේ වාසගම මට ජීවිතය හෝ මරණය තෝරා දෙන කාරණයක් වන යුගයක් තිබුණා. මා උපන්නේ 1970 දශකයේදීයි.

/

මගේ කඳුරට වතු කම්කරු උරුමය සිහිපත් කරගෙන ධෛර්යය උපදවා ගත් මා බ්‍රිතාන්‍ය යටත් විජිත උරුමයේ නෂ්ටාවශේෂ තවමත් දක්නට ලැබුණු දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ඇතුළු වුණා. මා විනීත ඉංග්‍රීසි බසින් මා හඳුන්වා දුන්නා. උස, කඩවසම් පුරුෂයෙක් මට අතට අත දුන්නා. ඔහුගේ කිරි සුදු නිල ඇඳුම නිසා ඔහු සෙසු අපිළිවෙල නිලධාරීන්ගෙන් වෙනස්ව කැපී පෙනුණා. ඔහු යටත් විජිත යුගයේ දුම්රිය සේවයේ ලක්ෂණවල ප්‍රකාශනයක්. මා අපේ දුක්ගැනවිල්ල විස්තර කරන්නට පටන් ගත්තා. එතකොට ම ඔහු අර වැරදි ප්‍රශ්නය ඇහුවා. “ඔයා දෙමළ ද? සිංහල ද?”මගේ දුව දෑතින් ම කට වසා ගනිමින් “අපොයි!”කීවා. ඔහුට එය කියා දිය යුතු වුණා. එවැනි ප්‍රශ්න නිසා අපේ රට විනාශ වූ හැටි සහ අප ජාති හා පන්ති නොව එකම ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව අපේ අනාගත පරම්පරාවලට කියා දිය යුතු බව මා පැහැදිලි කළා. මගේ කෝපය හමුවේ තුෂ්නිම්භූත වූ ඔහුට අසුනේ ඉඳගැනුණා. ‘ආසනේක වාඩිවෙන්න අවස්ථාවක් ලැබෙයි ද?’යි සිතමින් මා වහා කාර්යාලයෙන් පිටතට පැමිණියා. එතකොට ම දුම්රිය එන්ජිමක් හඬ නගනු මට ඇහුණා. දුම්රිය වේදිකාවට ළඟාවෙමින් තිබුණා.

තුන්වෙනි පන්තියට ගොඩවන්නට අප සමත් වුණා. සාඩින් ටින් එකක් සේ ඇසිරී තිබුණු දුම්රිය මැදිරියෙන් මත්පැන්, දහදිය, බුලත් විට දුර්ගන්ධයන් හමා ආවා. පිළිකුලක් දැනුණත්, එය විඳ දරාගන්නට හිත හදාගෙනයි මා සිටියේ. මා තවමත් සිටියේ කෝපයෙන්. එතකොටම වාගේ, නිල ඇඳුම කැප් තොප්පියෙන් ද සම්පූර්ණ කරගත් දුම්රිය ස්ථානාධිපතිවරයා අප සිටි මැදිරිය වෙත දිවැවිත් අපට දුම්රියෙන් බහින්නට උදව් කළා. ළමයින් බඩු මලුත් අතින් කටින් අරගෙන දුම්රිය මැදිරියෙන් වේදිකාවට බැස්සේ කෙඳිරිගාමිනුයි. දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රියේ ඉදිරිපස හරියේ නිල ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙකුට අත ඔසවා ඇඟිලි හතරක් පෙන්නුවා. ඔහු අපට අත වනා කතා කළා. මගේ හදවත ඉපිලුණා. මා මුලින් සිතුවේ දුම්රිය ස්ථානාධිපතිවරයාට කතා කිරීමෙන් මා කරදරයට පත් වුණා ය කියායි. අපි දැන් සරණාගතයන් පිරිසක් සේ දුම්රියේ ඉදිරිපසට දුවමින් සිටියා. අපේ ජැකට් සුළඟේ පාවුණා. අපේ බඩු මලු ගැස්සි ගැස්සී අපේ ධාවනයට බාධා කළා. ඒත්, අපි අපේ වටිනා සම්පත් වන ජෑම් බෝතල සහ හකුරු ආදිය පරිස්සමින් රැකගත්තා.


“මං ඒක කළේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් නිසා. අපි එකිනෙකාට උපකාර කරගන්නා නිසා,”යි ඔහු දුම්රිය ඉදිරියට ඇදී යන අතරේ කිව්වා.

ඉන්දියානු සෙරෙප්පු අපේ පා යට සල සල ගෑවා. මගීන් කවුළුවලින් කර පොවා සිදුවන්නේ කුමක්දැයි විමසුවා. එය හරි සිනමාත්මක ජවනිකාවක්. නිල ඇඳුම් ඇඳ සිටි උස, කඩවසම් නිලධාරියකු පසුපසින් මා පාවෙන්නා සේ මන්දගාමී ධාවනයක යෙදුණා. ඒ පසුපසින් ළමයින් තිදෙනෙකු ද ඇදුණා. මේ අතර දුම්රිය රියදුරා නොඉවසිලිමත් වෙමින් සිටියා. නිලධාරීන් දෙදෙනා අතර ක්ෂණික අදහස් හුවමාරුවකට පසු අපට දෙවන පන්තියේ වෙන් කළ මැදිරියකට ඇතුළු වීමට අවස්ථාව ලැබුණා. එහි ආසන ඇල කරගන්නත් පුළුවන්. මට කළගුණ සලකන්නට කළ හැකි වූ එකම කාර්යය වුණේ දුම්රියෙන් බැස ස්ථානාධිපතිවරයාට අතට අත දී මුළු හදින් ම ස්තුති කිරීම පමණයි. ඔහු එය කළේ කොහොමදැයි මට සිතාගන්නටත් බැරි වුණා. “මං ඒක කළේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් නිසා. අපි එකිනෙකාට උපකාර කරගන්නා නිසා,”යි ඔහු දුම්රිය ඉදිරියට ඇදී යන අතරේ කිව්වා.

මා සිනාසෙමින් අසුන මත ඇදවැටුණා. ළමයින් එකිනෙකා සමග අත් තලා ගනිමින් සතුට සැමරුවා. ඔවුන්ට කිසිදා මේ අත්දැකීම අමතක නොවෙනු ඇති. එසේම, අනුකම්පාව සහ කාරුණිකත්වය ගැන විශ්වාසය ද තිරසර වනු ඇති. අප සැම සැබැවින් ම එක මවකගේ දරු කැළ වෙමින් නොපමාව ඉදිරියට යන්නෙමු. නිල ඇඳුම් අඳින බලවත් නිලධාරීන් කාන්තාවන්ට ගරු කරන්නට ද දන්නා බව ඔවුන් ද විශ්වාස කරනු ඇති.
සුදෝ සුදු නිල ඇඳුමින් සැරසී සිටි දුම්රිය ස්ථානාධිපතිවරයා දිලිසෙන නළාව මහේශාක්‍ය ලෙස පිම්බා. ශ්‍රී ලංකාවේ මනස්කාන්ත ම දුම්රිය නැවතුම්පොළක් වූ හපුතලේ පසුකරමින් දුම්රිය ඉදිරියට ඇදුණා. අඳුරු බිංගෙයක කෙළවරේ එළිය දකින්නට ඇස් යොමාගෙන මා මගේ දරුවන්ගේ අනාගතය ගැන සිහිපත් කළා. මගේ මිනිසුන්ගේ ආදරයෙ! විදෙස්ගත මා ඒ අහිමි ආදරය වෙනුවෙන් කෙතරම් අතීතකාමීව තැවෙනවා ද?