Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සමාජ හා ආගමික සංහිඳියාවේ සලකුණ
මහමුද් ෆුහයිම්

බලය, ධනය මෙන්ම ආගම දහම ද වෙනුවෙන් වෙනස්වු මත දරමින් සමාජයේ යහපත වෙනුවට අයහපත ගෙනදෙන ඇතැම් පුද්ගලයින් හා පිරිස් හමුවේ පුංචි ෆුහයිම් සමාජ හා ආගමික සංහිඳියාව වෙනුවෙන් ගෙන එන පාඩම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ය.

14.05.2020  |  
මාතර දිස්ත්‍රික්කය

ආලින්දයේ සෝපානයට බරදුන් මහමුද් ෆුහයිම් ජනෙල් කවුළුවෙන් අහස දෙස බලා කල්පනා කරන්නට විය. කෑමට පවා උනන්ඳු නොවී තම පුතු තැන තැන ඉඳ කල්පනාකරන්නේ කුමකුදැයි මව තුළ වූයේ කුතුහලයකි.

“මොකද? ෆුහයිම් අද බඩගිනි නැද්ද මොනවද ඔයා කල්පනාකරන්නෙ” ෆුහයිම් අසලට ළංවෙමින් මව විමසුවාය. දිගු නින්දකින් අවදිවූවා සේ තිගැස්සී මව දෙස බැලූ ෆුහයිම් අතින් සංඥාවක් කළා මිස කිසිවක් නොකියාම නැවත අහස දෙසට නෙත් යොමු කළේය. ඒ සමඟින් ආලින්දයට පැමිණියේ ෆුහයිම්ගේ මාමා නුස්කි ඉක්බාල් ය.

“මොකද? ෆුහයිම්” සෝපානයේ ඔහු අසලින්ම ඉඳගනිමින් නුස්කි පවසද්දී මාමාගේ පැමිණීමෙන් ෆුහයිම් තුළ ලොකු සතුටක් ඇතිවී තිබෙන බව ඔහුගේ ඉරියව් තුළින් පෙනෙන්නට විය.

“අනේ මාමෙ ඇඳිරිනීතිය නිසා කඩ ඔක්කොම වහල. මට වෙසක් එකට පත්තුකරන්න බකට් ගන්නෙ කොහොමද?” මෙතෙක් වේලා සිතේ හිරකරගෙන කල්පනා කළ හේතුව මාමාට තුරුල් වෙමින් ෆුහයිම් පැවසුවේ තම ආශාව කෙසේ හෝ ඉටුවේ ය යන බලාපොරොත්තුව ද සමඟ ය.

“ආ….ඕකට ඉතින් නොකා නොබී කල්පනා කරන්න ඕනෙද? කලින් කීවනම් හරිනෙ. හැබැයි මේ කිට්ටුව කඩනම් ඔක්කොම වහල මොකද කරන්නෙ.” නුස්කි එලෙස පවසනවාත් සමඟ ෆුහයිම්ගේ මුහුණේ තිබූ සතුට මැකී අඳුරෙන් බර වූයේය. දෑස්වල කඳුළු පිරුණේය. එය දුටු නුස්කිට ද ඇතිවූයේ මහත් දුකකි.

“හරි ඔයා දුක්වෙන්නෙ නැතිව ඉන්න. අපි කඩයක් ඇරල තියෙන තැනක් හොයාගන්න බලමු.”

මාමා සමග බකට් පත්තුකරන ෆුහයිම්

ජංගම දුරකථනය අතටගත් නුස්කි හිතවතුන් කීපදෙනෙකුට කතාකොට සොයා බැලුවේ බකට් මිලදී ගතහැකිසේ කඩයක් විවෘතව ඇත්තේ කොහි ද? යන්න පිළිබදව ය. ඒ අනුව දැනගන්නට ලැබුණේ හුණුකොටුව හන්දියේ කඩයක් විවෘතව තිබෙන බවයි.

“අන්න බෝගහ හන්දියේ කඩයක් ඇරලලු. අපි යමු. ගිහින් බකට් අරං එමු” නුස්කි එසේ පවසද්දී ෆුහයිම්ගේ සිත සතුටින් පිරී ගියේ ය. මුහුණ සිනාවෙන් පිරුණේ ය.

“අනේ මාමෙ අපි මේ දැන් යමු” ෆුහයිම් මාමාව උනන්ඳු කළේ ය.

නුස්කි ඉක්මණින් සූදානම්වී ෆුහයිම් ද සමඟ යතුරුපැදියේ නැගී අතුරු මාර්ගයකින් හුණුකොටුව හන්දියට ගියේ ය. හන්දියේ කඩය තුළ විවිධ වර්ණයෙන් යුත් බකට් තිබෙනු දුටු ෆුහයිම්ගේ සිත සතුටින් පිරී යන අයුරු දුටු නුස්කිට ද ඇතිවූයේ වචනයෙන් කිව නොහැකි සතුටකි. කඩයට ගොඩවූ ෆුහයිම් රතු පාට, නිල් පාට, කොළ පාට, කහ පාට හැම වර්ණයකින්ම බකට් තෝරා ගත්තේ ය.

“දැන් ඇතිද?” නුස්කි විමසද්දී සිනාමුසු මුහුණින් නුස්කි දෙස බැලූ ෆුහයිම් මෙසේ කීවේ ය.

“බකට් නම් ගොඩාක් ගත්තා. ඉටිපන්දනුයි මැටි පහන් ටිකකුත් ගනිමු. පොල්තෙල් ටිකකුත් ඕන.” ෆුහයිම් එකදිගට කියාගෙන ගියේය. එය අසා සිටි නුස්කිගේ මුවගට සිනා පහළ වූයේ පුතුගේ මුහුණේ සිනා දැකීමෙනි.

ඉස්ලාම් ආගමට මෙන්ම බුදු දහමට ද කුඩා කළ සිට ෆුහයිම් තුළ ඇත්තේ ඉහළ බැඳීමකි

ෆුහයිම්ගේ ඉල්ලීම් සියල්ල ඉටු කර නුස්කි නැවත නිවස කරා ගමන් ඇරඹූ අතර නිවසට යන තෙක්ම ෆුහයිම් සිදු කළේ බකට් එල්ලන ආකාරය, පහන් දල්වා ඒවා තබන ආකාරය පිලිබඳ නුස්කි ට අදහස් ඉදිරිපත් කිරීමයි. පුතාගේ සතුට දුටු නුස්කි ඒ සියල්ලට හූමිටි තබමින්, උනන්ඳු කරමින් ගියේය.

නිවසට ගොඩවූ මොහොතේ පටන් ෆුහයිම් සිදු කළේ මාමාගේ ද උදවුවෙන් කම්බි යොදා එල්ලීමට හැකිවන සේ බකට් සූදානම් කිරීමයි. පහන්තිර යොදා මැටි පහන් ද සූදානම් කළේය. එතැන් සිට ෆුහයිම් හීන දැක්කේ මැටි පහන් දල්වා, බකට් වල ඉටිපන්දම් සවිකර එය දල්වා තම නිසසේ තැන තැන එල්ලන ආකාරයයි. එදින රාත්‍රිය එළඹීම වෙනදාටත් වඩා වැඩි කාලයක් ගතවනවාදෝ යි ෆුහයිම්ට සිතිණි.යාන්තම් අඳුර ගලා ආවා පමණි. ඔහු විගස බකට් පත්තුකිරිමට පටන්ගත්තේය. මාමාගේ උදව්ව ෆුහයිම්ට ලොකු ශක්තියක් විය. නංගිලා දෙනො ද ෆුහයිම්ට සහාය වූවා ය.

“මං ඉගෙනගන්නෙ මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ. අපේ යාළුවො වෙසක් සමරණ විට මාත් ආසාවෙන් එය කරනවා. පුංචිකාලෙ ඉඳලම මං මේ දේ කරනවා. ඉස්කෝලෙදිත් වෙසක් සැරසිලි කරනවා. වෙසක් කාඩ් යාළුවන්ට බෙදනවා. මේ පාර ඒක කරන්න බැරිවුණා. ඒ ගැන දුකයි. පන්සල් යනවා ආගමික වැඩ හැම එකටම සම්බන්ධ වෙනවා. එහෙම කරන්න මං හරි ආසයි” ෆුහයිම් සිනාසෙමින් කීවේය.

පිහිනුම් තරග රැසක ජය

ඉස්ලාම් ආගමට මෙන්ම බුදු දහමට ද කුඩා කළ සිට ෆුහයිම් තුළ ඇත්තේ ඉහළ බැඳීමකි. එය කිසිවක් දැකීමෙන් හෝ පැවරීමෙන් කරන්නක් නොව හදවතින්ම ඉටුකරන්නකි. විද්‍යාලයේ කණිෂ්ඨ ශිෂ්‍ය නායකයකු ලෙස ද කටයුතු කර ඇති ෆුහයිම් ශිෂ්‍යත්ව විභාගය ද සමත්ව ඇත්තේ ලකුණු 174 ලබාගිමිනි. ඔහු අති දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙකි. 2016 වසරේදී මාතර, පොල්හේන මුහුදු තීරයේදී පැවති සමස්ත ලංකා කණිෂ්ඨ පිහිණුම් තරගාවලියේදී වයස අවුරුදු අටෙන් පහළ තරගයේ ශූරයා වෙමින් ෆුහයිම් ඉහළ දක්ෂතා පෙන්වී ය. මෙයට අමතරව පිහිනුම් තරග රැසක ජය හිමිකරගනිමින් තම විද්‍යාලයට මෙන්ම මාපියන්ට ද ගෞරවයක් අත්කර දෙන්නට හැකිවීම පිළිබඳව ෆුහයිම් සතුටින් නතාකරයි.

“මං ක්‍රීඩාකරන්නත් ගොඩාක් ආසයි. වැඩියෙන්ම ආස පිහිනුම්වලට. ඉගෙන ගන්නා ගමන් ඒකත් කරනවා”

සෑම පාසල් නිවාඩුවකටම සංචාරයක් යන්නට ෆුහයිම් තුළ ඇත්තේ අසීමිත ආශාවකි. එම ගමන්වලදී බෞද්ධ සිද්ධස්ථාන අනීවාර්ය නැරඹුම් ස්ථානයන් ය. නුවර ශ්‍රී දළදා මාලිගාවට යාම ෆුහයිම් සිදුකරන්නේ හරිම ආශාවෙනි.

“පුතා ඉස්කෝලෙ නිවාඩු දුන්නම චාරිකාවක් යන්න හරි ආසයි. දළදා මාලිගාවට යන්න එයා හරි ආසයි. අපි එයාගෙ ඉල්ලීම් හැම එකක්ම වගේ ඉටුකර දෙනවා. ප්‍රමාදවුණොත් ගොඩාක් දුකෙන් ඉන්නවා. මේ වෙසක් වෙලාවෙත් බකට් ගන්න බැරුව එයා දුකෙන් හිටියා. පුතා කරන්නේ හොඳ දේවල් නිසා අපිත් ආශාවෙන් උදව්කරනවා” ෆුහයිම්ගේ මාමාවූ නුස්කි ඉක්බාල් මහතා පැවසුවේ ය.

විද්‍යාලයට මෙන්ම මාපියන්ට ද ගෞරවයක්