Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ශ්‍රීලංකා ආර්ථිකයෙහි වත්මන් තත්ත්වය:
මේ අය යන්නෙත් ඒ පාරෙමයි

ප්‍රවීණ ආර්ථික විශේෂඥයෙකු වන චන්ද්‍රා ජයරත්න ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. ශ්‍රීලංකා ආර්ථිකයෙහි වත්මන් තත්ත්වය පිළිබඳ ඔහුගේ තක්සේරුව කෙබඳුද?

02.11.2016  |  
කොළඹ දිස්ත්‍රික්කය
Chandra Jayaratne: They tricked the middle classes. And the same thing is happening again now.

දුප්පත්කම තුරන් කිරීම සෑම රජයකම ජනප්‍රිය තේමාවක්. දුප්පතුන්ගේ ආර්ථිකය දියුණු කිරීමට රජය ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද?

දුප්පතුන් ගැන කියන්න කලින් ඊට වඩා පුළුල් තලයක සිට මේ ප්‍රශ්නය දිහා බලන්න මං කැමතියි. ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය දුප්පතුන්ට පමණක් අදාළ එකක් නොවෙයි. අපේ රටේ 19 වැනි ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම්වලට අදාළව තොරතුරු දැන ගැනීමේ අයිතිය වගේ නීති ඇති වුණත් ඒ අතරේ ආර්ථික සහ සමාජීය අවශ්‍යතාන් (Socioal Economic Rights) ඇතුළත් වී නැහැ. එය නව ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලදී අනිවාර්යයෙන් නිවැරදි කළ යුතුයි.

මෑතකදී රජය United Nations Sustainable Development force කියන ගිවිසුමට අත්සන් තැබුවා. ඒ අනුව 2017 වන විට සපුරාලිය යුතු කාරණා 17 ක් තිබෙනවා. එතනට යන්න නම් දුප්පත්කම නැති කිරීමේ වැඩපිළිවෙළක් රජයට තිබිය යුතු වෙනවා.

ඔබ කියන විදියට, දුප්පත්කම තුරන් කිරීම තවත් බොහෝ සාධක හා බැඳී පවතිනවා. ඒ සඳහා ප්‍රවේශ විය යුත්තේ කොතැනින්ද?

රජයක් මේ දිහා දෙවිදියකට බැලිය යුතුයි. රට දියුණු කරන්නට ආයෝජනය ඇති කළ යුතුයි. ඒ හරහා රැකියා ස්ථාපනය කර රටේ සම්පත් ඵලදායකත්වය වැඩි කර මිනිසුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම කළ යුතුයි. නමුත් සුබසාධක රටක් වශයෙන් පහළ මට්ටමේ ජනතාවගේ මූලිකම අවශ්‍යතා සපුරාලීමත් ඒ සමග කළ යුතුයි. බොන්න වතුර ටිකක් නැතිනම්, රෝහලකට යන්න පාර හොඳට නැතිනම්, වල් අලි ප‍්‍රශ්න තියනවා නම් ‘මෙගා පොලිස්’ හදලා වැඩක් නැහැ. ඩොලර් 4000ක මූලික වැටුපක් ලැබෙන මධ්‍ය සංවර්ධිත රටක් බවට ශී‍්‍ර ලංකාව මේ අවුරුද්දේදී පත් වෙනවා. ගණන්වලින් එවැන්නක් පෙන්නුවට යථාර්ථය එය නොවෙයි.

රජයක් දේශපාලන වශයෙන් ගන්නා තීරණ ආර්ථිකය කෙරෙහි අහිතකර අන්දමින් බලපාන අවස්ථා තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

ඒක බරපතළ ගැටලූවක්. උදාහරණයක් විදියට, බිලියනයක් ලබන සමාගමකට වසර 10ක බදු විරාමයක් ලබා දී තිබෙනවා. එම බදු සහනය ලබා දී තිබෙන්නෙ එක් කර්මාන්ත ශාලාවක් තිබුණු තැනින් තව තැනකට ගෙන යාම නිසයි. නමුත් එයින් ඵලදායකත්වය වැඩි වීමක් හෝ සේවක පිරිස් වැඩි වීමක් හෝ අපනයනය මගින් ලංකාවට අලූතින් වටිනාකමක් එකතු වීමක් හෝ  සිදු වී නැහැ. එවැනි තැනකට බදු විරාමයක් ලබාදීම තුළින් බිලියනයකින් රුපියල් මිලියන 250 ක් නැති කරගැනීමක් පමණයි සිදු කරගෙන තිබෙන්නේ. එය දූෂණයක් මිසක අන් කිසිවක් නොවෙයි. ඒ මිලියන 250 තිබුණා නම් එය රටේ සාධනය සඳහා ආයෝජනය කළ හැකිව තිබුණා.


ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ලැබිය යුතු අය වෙනුවෙන් යම් දෙයක් නොකර රුපියල් බිලියන 1.8 ක් වියදම් කරලා ඇමැතිවරුන්ට කාර් ගෙන්වීම වැරැදියි.

නැවතත් මිග් යානා ලංකාවට ගෙන එන්න සූදානම් වෙනවා. නමුත් රට තුළ හෝ රටින් පිට සතුරන් නැතිනම් මිග් යානා ගේනවද නැතිනම් ඒ සඳහා යන මුදල ආර්ථික මට්ටමින් අඩුතැන සිටින අය වෙනුවෙන් ආයෝජනය කරනවාද යන්න සලකා බැලිය යුතු වෙනවා.

රට තුළ කුඩා කර්මාන්ත සහ ව්‍යාපාර ඇති කිරීමට තිබෙන බාධාව මොකක්ද?

අපේ රටේ ඉන් ලොකු ව්‍යාපාරිකයන්ට ඉතා පහසුවෙන් අඩු අවදානමකින් පිටරටින් බඩු ගෙනැල්ලා මෙහේ බඩු විකුණලා ලාබ හොයන්න පුළුවන්. අවුරුදු 10ක් බැලූවොත් මේ රටේ ඒක පුද්ගල ආදායම වැඩි වීම හෝ රටේ පොහොසතුන් වැඩි වීම වෙලා තියෙන්නෙ ටෙන්ඩර් දෙන අය හෝ ටෙන්ඩර් අතරමැදියන් හෝ මූල්‍ය අතරමැදියන් හෝ ගෙවල් විකුණලා ප්‍රාග්ධනය හොයපු අයගෙන්. මේ හතර දෙනාගෙන් එක් අයෙක්වත් රජයට බදු ගෙවන්නේ නැහැ. සමහර අවස්ථාවල සාමාන්‍ය ජනතාව ඔවුනට වඩා බදු ගෙවනවා. එවැනි යථාර්ථයක් තුළ කුඩා කර්මාන්ත සහ ව්‍යාපාර ඇති කරන්න ආයෝජනය හා තාක්ෂණය යොදවා ඔවුනට සහාය ලබා දිය යුතුයි. ඉන්දියාව වගේ රටවල්වල අගය එකතු කිරීමේ කොටස හරියට සිදුවෙනවා. ලොකු සමාගම් සිය විශාල නිෂ්පාදන සිදුකරන තුරු කුඩා කර්මාන්ත ඊට අදාළ කුඩා නිෂ්පාදන සිදුකරනවා. එවැනි ලොකු ව්‍යාපාරිකයන් සහ කුඩා ව්‍යාපාරිකයන් අතර අත්වැල් බැන්දවීමක් රජයෙන් හෝ ව්‍යාපාරික ප්‍රජාවගෙන් සිදු වෙන්නේ නැහැ. අපේ රටේ බැංකු ණය ලබාදෙන්නෙ, ආරක්‍ෂාව සහතික කරන්න පුළුවන්- සල්ලි තියෙන කෙනාට විතරයි. සුළු ව්‍යාපාරිකයාට නැහැ. අපේ මූල්‍ය ප්‍රතිපත්තියත් වෙනස් විය යුතුයි.

පළාත්වලට අදාළව ආර්ථිකය දියුණු කිරීමට නම් එම පළාත්වලට අනන්‍ය ආර්ථික මාර්ග සොයාගත යුතුයි. රජය එවැනි සෘජු සොයා යාමකට නොපෙළඹෙන්නෙ ඇයි?

එහෙම කියන්න පුළුවන්. නමුත් අපේ රට සම්පත්වලින් පිරී ගිය රටක් නෙමෙයි. පාවිච්චියට ගත හැකි සම්පත් තියෙන්නෙ බොහොම ටිකයි. මිනිස් සම්පත, යහපත් කාලගුණ රටාව, රටේ මූලෝපායික පිහිටීම වැනි වාසි පමණයි අපට තියෙන්නේ. පොළොවේ සශ්‍රීකත්වය තිබුණට වගා කිරීමට අවශ්‍ය භූමිය ඉතා අඩුයි. මුතු, මැණික් වැනි දේවලූත් අඩුයි. මුහුද වටේ තිබෙන සම්පත් ලබාගන්න අපි කටයුතු කරලා තියෙනවා මදි. සම්පත් තුන් විදිහකින් අපිට ඇති කරන්න පුළුවන්. එක, තියෙන සම්පතකට අගය එකතු කිරීම මඟින් වටිනාකම වැඩි කිරීමෙන්. දෙවැන්න සම්පත් නැති තැනකින් සම්පත් ගෙනැල්ලා මෙහේදී අගය එකතු කරන්න පුළුවන්. තුන්වැනි කාරණය තමයි අපේ තාක්‍ෂණය මාර්ගයෙන් අගය එකතු කරන්න පුළුවන්. මේ තුනටම මිනිස් සම්පත සහ තාක්ෂණ ඥානය තිබිය යුතු වෙනවා.

අපේ තිබෙන අධ්‍යාපන ක‍්‍රමය තාක්‍ෂණික ඥානය සහ නිර්මාණාත්මක පැත්තට යොමු වූ එකක් නොවෙයි. න්‍යායික දැනුම පමණයි. ඒ සම්පත් වැඩි දියුණු කිරීම අවශ්‍යයි. මගේ වාණිජ දිවිය තුළ සමහර දත්ත මධ්‍යස්ථාන ඇති කිරීමට අත දුන්නා. මුලින්ම ඒගොල්ලො ඇවිල්ලා ඇහුවා ගණකාධිකාරිවරුන් 30 දෙනෙක් දෙන්න පුළුවන්ද කියලා. ඒ අයව ලබලා දුන්නා. පසුව ඇවිත් කිව්වා ඒ අය බොහොම හොඳයි නීතිඥවරු පනහක් දෙන්න පුළුවන්ද ඇහුවා. ඒ අයත් මම ලබා දුන්නා. නැවත ඇවිත් කිව්වා ඒ අයගේ වැඩ හොඳයි අපිට මේ අය 500 ගානේ අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරලා 2000ක් වෙනකල් වැඩි කරලා දෙන්න පුළුවන්ද කියලා. නමුත් ඒ ඉලක්කය සපුරන්න බැහැ. සම්පත් නැති තැන්වල සම්පත් ඇති කරගැනීම සඳහා ඒ තැන්වල දැනුම නිපුණතාවන්, ආකල්ප සහ වටිනාකම් හරියාකාරව ඇති කළ යුතුයි. නායකත්ව දක්‍ෂතා, නිර්මාණශිලීත්වය වැඩි කරගත්තොත් අපිට එතනට යන්න පුළුවන්. අපේ මිලියන එකහමාරක් පමණ පිටරට ගිහිල්ලා වටිනාකම් එකතු කරන්නෙ වෙන තැන්වලට.

ආර්ථිකය දියුණු කිරීමට ඇති ප්‍රධාන බාධාව මොකක්ද?

මේ රජය පත් වෙලා මෙපමණ කලක් ගත වෙලත් මේ රටට විදේශ ආයෝජන නැත්තෙ ඇයි? ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන ස්ථාවර භාවයක් නැහැ. සිංගප්පූරුවට ආයෝජන ආවේ එතන හොඳ ස්ථාවරත්වයක් තිබුණා. හොඳ පිරිසක් හිටියා. සුරක්‍ෂතාවක් තිබුණා. අපේ ඒ කිසිවක් නැතිව රට දියුණු කරන්න අපහසුයි. යුද්ධය අවසන් කළාට ජනවාර්ගික ප‍්‍රශ්නයවත් තවම විසඳගෙන නැහැ.

ශ‍්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති, ආර්ථික විශේෂඥ චන්ද්‍රා ජයරත්න
ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති, ආර්ථික විශේෂඥ චන්ද්‍රා ජයරත්න

මධ්‍යම පන්තිය ගොඩනඟලා ඒක නඩත්තු කරන මානසිකත්වයක් රාජපක්‍ෂ රජයට තිබුණා. එය දිගටම තිබුණා නම් සාර්ථක එකක් වේවිද?

එහෙම එකක් කතාවෙන් තිබුණා. නමුත් ඔවුන් මධ්‍යම පන්තියක් සඳහා වැඩ කටයුතු කළා කියන එක මං පිළිගන්නේ නැහැ. මධ්‍යම පන්තියේ ඇස් වහන්න යම් යම් දේවල් දීලා තමන්ගේ පන්තියට කොමිස් ගහන්න, රටේ සම්පත් හිර කරන්න ඉඩ සැලැස්වුවා මිසක දීර්ඝකාලීනව ලාබ ලබන දේවල් ඒගොල්ලෝ කළේ නැහැ. එයාර් ලයින් හබ් එකක් ඇති කරනවා කියලා ඩොලර් බිලියන 2.3 ක වියදමක් දැරුවා. ඒක කෙරුවේ මධ්‍යම පන්තියට හෝ මගීන්ගේ අවශ්‍යතා සඳහා නෙවෙයි. එය ගත්ත අයගේ ලාබය හරිගස්සවා ගැනීම සඳහායි. ඒ අය ඇස් බැන්දුම් කළා. මේ අයත් ඒ පාරේම යන එක තමයි අපිට තියෙන කනගාටුව.

යහපාලන රජය කවර පන්තියක් ඔසවා තියන්න කටයුතු කරන බවක්ද පේන්නේ?

කිසිම පන්තියක් සඳහා කටයුතු කරනවද දන්නේ නැහැ. යන්නෙ කොහෙද දන්නේ නැති තත්ත්වයකටයි අපි වැටිලා ඉන්නෙ. හරි මාර්ගයකට එන්න තියෙන අවස්ථා නැති කරගන්නවා, ඒගොල්ලන්ගේ තියෙන උඩඟුකම නිසා. ඉස්සර හිටපු තැරැව්කාරයො සේරම ටික අද මෙතන ඉන්නවා. වෙනස ඇති කරන්න කෑ ගහපු අය අද වෙන තැනක. අලූතින් එජන්සියක් හදලා තියෙනවා, Agency for Development කියලා. ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලයට උඩින්. තියෙන ආයතනවල මිනිස්සු හරියට වැඩ කරන්නෙ නැතිනම් වෙන මිනිස්සු දාන්න  ඕනේ. මේගොල්ලො ඒජන්සියක් හදලා පොකට් එකට දාගනියි. අර දෙකත් තියෙයි. පලදායිකත්වයක් නැහැ. අවපාලනය ගැන තමයි අපිට දැන් බලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ.