Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

නාච්චිකුඩා වෙරළේ
දළු ලන බලාපොරොත්තු

යුද සමයේ ධීවරයන්ට බොහෝ අමිහිරි අත්දැකීම් උරුම කර දුන් මන්නාරම් දිස්ත‍්‍රික්කයේ බටහිර කලපු තීරය දැන් සන්සුන්ය. අද එහි ඇත්තේ ජීවන අපේක්ෂා දළු ලන පැහැබර වාතාවරණයකි.

29.11.2016  |  
මන්නාරම දිස්ත්‍රික්කය
අරුණෝදයත් සමඟ කලපුවට බද්ධ වූ ජීවිත ඇති ජනයා සිය ජීවනෝපාය අරබයා යුහුසුළු වෙති.

අරුණෝදයත් සමඟ කලපුවට බද්ධ වූ ජීවිත ඇති ජනයා සිය ජීවනෝපාය අරබයා යුහුසුළු වෙති. සතියේ එක් දිනක් එනම් සිකුරාදා හැරෙන්නට දිනපතාම නාච්චිකුඩා ගම්මානයේ ධීවරයෝ ගැඹුරු මුහුදේ මත්ස්‍යයින් සමඟ සිය ජීවිත ඔට්ටුව තබනුයේ දරු මුණුබුරන් ඇතුළු සිය පවුලේ උන්නතිය වෙනුවෙනි.
මන්නාරම දිස්ති‍්‍රක්කයේ බටහිර කලපු තීරයේ නාච්චිකුඩා ධීවර ගම්මානයට අප ළඟා වන විට උදෑසන මත්ස්‍ය වෙළඳාම් කටයුතු ආරම්භ වී තිබිණි. පෙරදින මුහුදු ගිය ධීවරයින් විසින් සිය දැල්වලට හසු කරගන්නා ලද ඉස්සන්, දැල්ලන්, කකුළුවන් මෙන්ම කෙළවල්ලන්, හුරුල්ලන් වැනි මාළු විශාල ප‍්‍රමාණයක් මෙහිදී තොග වශයෙන් විකුණනු දක්නට ලැබෙයි.
නාච්චිකුඩා ධීවර ගම්මානයේ ධීවර පවුල් 580 කි. මෙහි ධීවර සුබසාධක සංගම් 4ක් කි‍්‍රයාත්මක වේ. මෙම පවුල් අතරින් පවුල් 157ක් පමණ ඉතාම දිළිඳු පවුල් වශයෙන් හඳුනාගෙන තිබේ. යුද්ධය පැවති කාලයේ මෙහි ජනතාවගේ ධීවර කටයුතු අඩාළ වී තිබුණු අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට යුද්ධයේ විනාශකාරී අමිහිරි අත්දැකීම් අත්විඳින්නට ද සිදු විය. එම අමිහිරි මතක සිත්වලින් ගිලිහී නොගියද ඔවුන් ධෛර්යය පෙරදැරි කරගෙන ජීවිතය ඉදිරියට ගෙන යෑම නම් පැසසිය යුත්තකි.

‘‘එහෙම අමාරුවක් නැහැ. ගැඹුරු මුහුදේ ගිහිල්ලත් මම මාළු අල්ලනවා.’’
‘‘එහෙම අමාරුවක් නැහැ. ගැඹුරු මුහුදේ ගිහිල්ලත් මම මාළු අල්ලනවා.’’

සුප්පයියා ජේසුදාසන් (34) පාදයක් අහිමි ධීවරයෙකි. එහෙත් ඔහු සෙසු ධීවරයන් සමග උරෙ’නුර ගැටී ගැඹුරු මුහුදේ රැකියාව කරයි. යුද්ධය අවසන් වෙමින් පැවති වකවානුවේ එනම් 2009 පෙබරවාරි 03 වැනිදා පුදුමාතලන් සටනේදී කඩා වැටුණු ෂෙල් වෙඩිල්ලක් වැදීමෙන් දකුණු පාදයේ දණහිසෙන් පහළ කොටස ජේසුදාසන්ට අහිමි විය. වව්නියා රෝහලේ ප‍්‍රතිකාර ලැබීමෙන් පසුව වසරක් පමණ මැණික්ෆාම් කඳවුරේ අවතැන් වී සිටි ඔහු නැවත සිය ජීවිතය ආරම්භ කරන්නේ අළු මතින් නැගී සිිටි ෆීනික්ස් කුරුල්ලෙකු පරිද්දෙනි. ආබාධිත බව ධීවර කටයුතුවලට බාධාවක් නොවේද යන්න ජේසුදාසන් දකින විට මතු වූ ප‍්‍රධාන ප‍්‍රශ්නය විය.
‘‘එහෙම අමාරුවක් නැහැ. ගැඹුරු මුහුදේ ගිහිල්ලත් මම මාළු අල්ලනවා.’’
ඒ ඔහුගේ ධෛර්ය සම්පන්න වදන්ය. ඩොල්ෆින් වර්ගයේ බෝට්ටුවකින් මාළු අල්ලන ජේසුදාසන් සිකුරාදා දින හැරෙන්නට සෑම දිනෙකම මුහුදු යයි. දිනකට මත්ස්‍ය වෙළඳාමෙන් ඔහු ඉතා හොඳ ලාබයක් ද ලබයි.
‘‘මාළු අල්ලලා දවසට රුපියල් 5000ක විතර ආදායමක් තියෙනවා. තෙල්වලට රුපියල් දාහක් යනවා. ඒ හැරුණහම කෑමට රු. 500ක් විතර යනවා.”
මෙම ගණන් හිලව් අනුව දිනකට රු. 3500ක පමණ ශුද්ධ ලාබයක් ජේසුදාසන්ට හිමිය. එහෙත් සමහර දිනවල ආදායම් ලැබෙන්නේම නැති තරම් යයි ජේසුදාන් කීවේය. ඒ මුහුදු රස්සාවේ හැටිය.
2009 යුද්ධය අවසන් වීමෙන් පසුව ආණ්ඩුවෙන් ලැබුණු රුපියල් 25,000න් කුඩා ටී.වී එකක් මිලදී ගත් බව ඔහු සඳහන් කළේ යටගියාව සිහිපත් කරමිනි.
ජේසුදාසන්ගේ ජීවිතයේ අඩුවක් නැත. ඔහු විවාහකයෙකි. දෙක වසර සහ එක වසර අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනෙක් ඔහුට සිටිති. දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා දී ඔවුන් සමාජයේ හොඳ තැනක ජීවත් වනවා දැකීම ඔහුගේ එකම පැතුමයි. දරු දෙදෙනාට මසකට රුපියල් දහස බැගින් බැංකු පොත්වල තැන්පත් කරන බව ජේසුදාසන් කියයි. ඔහුගේ මව සහ වැඩිමහල් සොහොයුරිය ඔඞ්ඩුසුඩාන්වල පදිංචිව සිටින අතර නංගි සහ මල්ලි දෙදෙනාම විවාහ වී මුලතිව්වල පදිංචි වී සිටිති. ජේසුදාසන් නාච්චිකුඩාහි පදිංචියට එන්නේ විවාහයෙන් පසුවයි.
‘‘UNDP එකෙන් ධීවර සමිතියට දෙන ණය වලින් තමයි බෝට්ටුව ලැබුණෙ. බෝට්ටුව රුපියල් ලක්‍ෂ තුනක් වටිනවා. ඒ වුණත් ධීවර සමිතියයි ධීවර දෙපාර්තමේන්තුවයි තීරණයක් අරගෙන මගෙන් සල්ලි ගත්තේ නැහැ.’’
ආබාධිත බව නිසා ඔහුට එම සහනය ලබාදී තිබේ.
මාළු විකුණද්දී කලින් මිල පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණද දැන් ඒ සියල්ල විසඳී ඇති බව ඔහු පවසයි. දැනට මෙම ධීවරයින්ට තිබෙන විශාල ප‍්‍රශ්නයක් වන්නේ ඉන්දියන් ධීවර බෝට්ටුවල පැමිණීමයි.
‘දවස් දෙකකට සැරයක් ඉන්දියන් ට්‍රෝලර් යාත‍්‍රා එනවා. අපට මුහුදේ දැල් දාලා තියන්න බැහැ. ඉන්දියන් අය දැල් කපලා දලා යනවා. දැල් හානි වුණහම ආපසු ණය වෙලා අපි දැල් ගන්න  ඕනෙ.’’
ඉරණතිව් මුහුදු සීමාවට එන ඉන්දියානු ධීවර යාත‍්‍රා බෙදී ගොස් ලාංකීය මුහුදු තීරයේ මාළු විශාල ප‍්‍රමාණයක් රැගෙන යයි.
ජේසුදාසන් ජීවිතය දෙස බලන්නේ සුබදායීවය. ලැබුණු දේවල් ගැන මිස නොලැබුණු දේවල් ගැන වේදනාවක් ඔහුට නැත.

මුහුදු ගිය ධීවරයින් විසින් සිය දැල්වලට හසු කරගන්නා ලද මාළු
මුහුදු ගිය ධීවරයින් විසින් සිය දැල්වලට හසු කරගන්නා ලද මාළු

‘‘යුද්ධය ඉවර වුණු නිසා ඉස්සරට වඩා හුඟාක් සතුටින් ඉන්නේ. නිදහසේ ජීවිතය ගත කරගන්න පුළුවන්.
එදාට වඩා ඔහුගේ ජීවිතය අද ආලෝකවත් වී තිබෙන බව පැහැදිලිය.
ජේසුදාසන්ට තමා ජීවත් වන නිවස ලැබී තිබෙන්නේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන්ය. නාච්චිකුඩා ගම්මානයේ දිළිඳු පවුල්වල ධීවරයන් 157 දෙනෙකුට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මඟින් මාළු දැල් ලබා දී තිබේ. කෑලි දහයකින් යුත් එක් මාළු දැලක වටිනාකම රුපියල් 4,200කි. ආබාධිත වූවන්ට මෙන්ම ගෘහ මූලිකත්වය දරන කාන්තාවන්ටද මාළු දැල් ලබා දී තිබේ. දිළිඳු පවුල් සහ ඔවුන්ගේ අවශ්‍යතා මොනවාද යන්න පිළිබඳව කෙරෙන තක්සේරුවකින් පසුව ශී‍්‍ර ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, (NAQDA) සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරමින් ලියාපදිංචි ධීවර සමිති සමඟ අත්සන් කෙරෙන අවබෝධතා ගිවිසුමකින් පසුව එම ධීවර සමිතිවලට මුදල් ලබාදීම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මඟින් සිදු කරනු ලබයි.
නාචිකුඩාහි ධීවර සමිති 4ක් කි‍්‍රයාත්මක වන්නේ එහි ධීවර ජනගහණය වැඩි නිසාවෙනි. එක් ග‍්‍රාමසේවා වසමක ධීවර පවුල් 900ක් පමණ සිටිති.
ජේසුදාසන් ජෝජ්ට දරුවන් හත් දෙනෙකි. දරුවන් 6 දෙනෙකු විවාහ වී සිටින අතර එක් අයෙක් තවමත් අධ්‍යාපනය ලබයි.
‘‘අපි කලින් කණ්ඩායම් වශයෙන් තමයි මාළු අල්ලන්න ගියේ. එක දැලකින් මාළු අල්ලලා බෙදා ගත්තා. ඒත් දැන් අපි එකට යන්නෙ නැහැ. අපිට මාළු දැල් තියෙන නිසා වෙන වෙනම ගිහින් මාළු අල්ලන්න පුළුවන්. ඒ නිසා වෙනදාට වඩා හොඳ ආදායමක් ලැබෙනවා.”
මෙම ධීවරයින් මාළු ඇල්ලිම සඳහා මුහුදු සැතපුම් 20ක් පමණ දුර ගමන් කරන්නේ ජීවිත අවදානමත් සමගිනි. ධීවරයින් දෙදෙනෙකු සහිත බෝට්ටු එක්ව ගමන් කරයි. ඉන්දියානු බෝට්ටු නිසා මාළු දැල් වලට හානි වීම ඔවුනගේ ප‍්‍රධාන මැසිවිල්ලකි.
‘‘මාස අටෙන් අටට දැල වෙනස් කරන්න වෙනවා. නැතිනම් දැල්වල කැපුණු තැන් අලූත්වැඩියා කරන්න  ඕනෙ.’’
නාච්චිකුඩා ධීවර ගම්මානයේ ගෘහ මූලිකත්වය දරන කාන්තාවන් සිව්දෙනෙකුටද මාළු දැල් ලබාදී තිබේ. ඔවුහු මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවන අතරම මාළු දැල් කුලියට ලබා දීමෙන්ද අදායමක් සොයා ගනිති.
මත්ස්‍ය  වෙළදාම සශ‍්‍රීකව පවතින තලෙයි මන්නාරම්  කලපු මුහුදේ නාච්චිකුඩා ධීවරයෝ බොහෝ දුෂ්කර කාලයකින් පසුව සිය ජීවිතවල සැනසිලිදායක අදියරකට පිවිස සිටිති. ඔවුන්ට විවිධ මාර්ගවලින් සහන සැලසී තිබේ. ‘දේවාශිර්වාදය’ මේ සියල්ලටම ඉහළින් තම ජීවිත කෙරෙහි බලපවත්වන බව ඔවුන්ගේ විශ්වාසයයි.