රට එකතු කරන්න පුළුවන්
ෆෙඩරල් ක්‍රමයකින් විතරයි
උතුරු පළාතේ මහ ඇමැති සී.වී විග්නේෂ්වරන්, දකුණේ ජනමාධ්‍යවලට ආන්දෝලනාත්මක චරිතයකි. උතුරේ ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් සෙවීමේ ක්රියාවලියෙහි වත්මන් තත්ත්වය ගැන ඔහු මෙසේ විග්රහ කරයි.
කොළඹදී අපිට දකින්න ලැබුණු විග්නේෂ්වරන් නෙවෙයි අපිට උතුරේ මහඇමැති විදිහට දකින්න ලැබෙන්නෙ. ඊට වඩා හිතුවක්කාරී විදිහට කටයුතු කරන බවට සංඥාවක් ඇවිල්ලා තියෙනවා. ඒක එහෙම වෙන්නේ ඇයි?
මගේ කිසිම වෙනසක් වෙලා නැහැ අදත් එහෙමයි. එදත් ඒ වගේමයි. දකුණේ ඉන්න මිනිස්සු අපි ගැන දන්නෙ ජනමාධ්‍ය මගින් හෝ වෙනත් කෙනෙකුගේ මාර්ගයෙන්. අපි මෙහෙ එකක් කියද්දී දකුණට ඒක සන්නිවේදනය වෙන්නෙ වෙන විදිහකට.
පන්සල් හදන කාරණයේදී මං කිව්වේ, ‘නීතියට පටහැනිව කව්රු හෝ පන්සල් හෝ කෝවිල් හදන්න යනවා නම් වැරදියි. පවතින නීතියට යටත්වයි ඒක කරන්න ඕනෙ. හමුදාවෙ සහාය අරගෙන මේවා කරන එක වැරදියි.’ කියලා. මේක මාධ්‍යවල ගියේ කොහොමද? උතුරේ මහ ඇමැති බෞද්ධ පන්සල් හදන්න තහනම් කියනවා කියලයි. දකුණේ මං ගැන කියන දේවල් සේරම අලි බොරු.
1965 දී මල්වතු මහා නායක හිමියන් නාගදීපයට ගෙනාව මිනිස්සු අපි. ඒ කාලයේ මං නීති විද්‍යාලයේ හිටියෙ. සර්ව ආගමික සම්මේලනයෙන් තමයි උන්වහන්සේ මෙහෙට ගෙනාවේ. හතළිස් දෙනෙකුගෙන් තමයි එම සම්මේලනය හැදුවේ. එම හතළිස් දෙනාගෙන්ම අද වන විට ජීවත් වෙලා ඉන්නෙ මං විතරයි. එදා ඉඳන්ම මං ඒ විදිහයි. රට බෙදාපන් කියලා කියන්න මට කොහොමත් වුවමනාවක් නැහැ.
ජනවාර්ගික ප්රශ්නය විසඳන්න ආණ්ඩුවේ තියෙන අදහස ප්‍රමාණවත්ද?
නැහැ. අපි කියන්නේ පුළුවන් තරම් අපේ වැඩ ටික අපිට බලාගන්න ඉඩ දෙන්න කියලයි. සෑම වේලාවෙම ඔවුන් මධ්‍යම ආණ්ඩුවට බලය තියාගෙනයි අපිට මොනවාහරි දෙන්න බලන්නෙ. අනිත් අනිත් පළාත්වලටත් ඒ ප්‍රශ්නෙම තියෙනවා. මහීපාල හේරත් මහත්තයා මට කතා කරද්දී කිව්වා ආණ්ඩුවේ විශේෂ විධිවිධාන සංවර්ධන පනතට ඔබතුමන්ලා විරුද්ධ වුණා, හෙට අපි විරුද්ධ වෙනවා කියලා. දැන් මට ආරංචි වුණා දකුණේ ඔවුන් විරුද්ධ වෙලා තියෙනවා කියලා. ඒකෙ තේරුම තමයි මේ විදිහට බලන්නෙ අපි විතරක් නෙවෙයි. සබරගමුවේත් දකුණේත් එහෙම බලනවා. ඉතින් මෙහි වෙනස මොකක්ද?
අනෙක් පළාත් එක වගේ වෙන්න පුළුවන්. මෙහේ වෙනස්කම් තියෙනවා. 1949ට ඉස්සෙල්ලා ලංකාව පුරාම අපි හිටියනෙ. සිංහල මිනිස්සු මෙහෙ එනවා. අපි එහෙට යනවා. මට අවුරුදු තුන හතරෙදී මෙහෙ පාන් ගෙන ආවේ අප්පුහාමි කියන මනුස්සයෙක්. එයා එන්නේ ‘අනේ බබෝ’ කියාගෙන. අවුරුදු 40ක විතර මෙහෙ ඉඳලා කෝලහල දවස්වලදී බලහත්කාරයෙන් හමුදාවෙන් එයා අරගෙන ගියා. අපි ඇතුළුව මේ පළාත්වල ඉන්න මිනිස්සු කිව්වා එයාට මුකුත් කරන්න එපා අවුරුදු හතළිහක් මෙහෙ හිටපු මනුස්සයා අපේ කෙනෙක් වගේ කියලා. නමුත් හමුදාවෙන් බලෙන් එයාව වාහනයක දමාගෙන අරගෙන ගියා.
ඒ ගොල්ලෝ කියන්නේ ආරක්ෂාවට ගෙනියනවා කියලා. නමුත් ආරක්ෂාවක් මොකටද අපි එයා හොඳට ආරක්ෂා කරනවා. කිලිනොච්චියේ තියෙන ලූම්බිණි විහාරය අවුරුදු 50ක් තිස්සේම තියෙනවා. කොටි කවදාවත් ඒකට අත තියලා නැහැ. ඒකට විරුද්ධ නම් එදා ඒක කඩලා දාන්න තිබුණා. නමුත් එහෙම කළේ නැහැ. හාමුදුරුවොත් මිනිස්සු එක්ක හරිම හොඳයි. නමුත් දකුණේ මිනිස්සු අපි ගැන හුඟාක් වැරදි විදිහට හිතන්නේ.

පළාත් සභාවලට වැඩ කරගෙන යන්න තියෙන බාධා මොනවද?
1987 ඉන්දු ලංකා ගිවිසුම යටතේ අපට පළාත් පාලන බලතල දෙනකොට දිස්ත්‍රික් ලේකම්ලා අපේ පාලනයට යටත්ව හිටියා. 1991 ප්‍රේමදාස කාලයේදී ඔවුන් මධ්‍යම ආණ්ඩුවට අරගත්තා. දැන් අපේ පරිපාලනය සමාන්තරව යනවා. ඒ ගොල්ලො අපේ වැඩ කරන්න දෙන්නෙ නැහැ. අපේ වැඩ යනකොට අපිත් ඒකට මොනවාහරි කරනවා. අන්තිමට ප්රශ්නය වෙන්නෙ මිනිස්සුන්ටමයි. ඔවුන් අපේ පාලනයට යටත්ව හිටියා නම් මේ ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ආරම්භයේදී දිස්ත්‍රික් ලේකම් එක්ක මට ප්‍රශ්න හුඟාක් තිබුණා. දැන් හුඟාක් හොඳයි. තවත් මේ තත්ත්වය හොඳ වෙන්න ඕනෙ. මධ්‍යම ආණ්ඩුව, පළාත් ආණ්ඩුව කියලා බේදයක් නැහැ. මිනිස්සු වෙනුවෙනුයි අපි වැඩ කරන්නෙ. ඒ සඳහා ගැළපෙන විදිහට ආණ්ඩුවේ නීතිය තියෙන්න ඕනෙ.
නව ව්‍යවස්ථාව තුළ බලතල බෙදී යන ආකාරය පිළිබඳව ඔබ දැනුම්වත්ද?
ඒ ගොල්ලන්ගෙ අදහස මොකක්ද කියලා මං හරියට දන්නේ නැහැ. මේ යෝජනාවෙන් කියවෙනවා නම් අපි ඒක පරීක්ෂා කරලා බලන්නම්. 13 වැනි සංශෝධනයට එහා ගිය විසඳුමක් ලැබෙනවා කියලා තමයි ඉස්සෙල්ලා කිව්වෙ. එහෙම නැතිව තියෙන විදිහට පවත්වාගෙන යනවා නම් 13 වැනි සංශෝධනය හරියට කරගෙන යමු. නමුත් 13 වැනි සංශෝධනය හරියට කරනකොට ඉන්දියාවේ වගේ පළාත් සභාවලට බලතල ලබා දෙනවා කියලා තමයි පොරොන්දු වුණේ. නමුත් මෙහේ සම්මත කළ පළාත් සභා පනත මඟින් පළාත් සභාවලට දීලා තියෙන බලය ආණ්ඩුකාරවරයාට ගන්න පුළුවන්. එක අතකින් අපේ අතට ගන්න එක තවත් අතෙකින් දෙන්න වෙනවා. ඒ සියලූ දේ ගැනම සලකා බලමින් තමයි මේ ගැන කියන්න වෙන්නේ.
පළමුවැනි දේ තමයි මධ්‍යම ආණ්ඩුවේ ඉන්න අය බලය බෙදාගන්න කැමැති වෙන්න ඕනෙ. බලය බෙදන එකේ වැරැද්දක් නැහැ කියලා ඒ ගොල්ලො හිතන්න පටන් ගත්තොත් ඒක කරන්න පුළුවන්. දකුණට බලය බෙදලා දෙනවිට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපිටත් දෙන්න. බලය බෙදන එක අත්‍යවශ්‍යයි. නමුත් හැම තිස්සේම බලය ඒ ගොල්ලන්ගේ අතේ තියාගන්න තමයි උත්සාහ කරන්නේ.

නව ව්‍යවස්ථාව මඟින් ඉඩම්, පොලිස් බලතල ලබා දෙන්න යන බව වාර්තා වෙනවා. ඒක ප්‍රමාණවත්ද?
කොයි තරමට ඒ බලතල දෙනවද කියලා මං දන්නේ නැහැ. අපි අහලා තිබුණේ නියෝජ්‍ය පොලිස්පතිගෙන් පහළට පොලිස් බලතල ලැබෙනවා කියලයි. නමුත් ඒගොල්ලො කියලා තියෙන්නෙ එස්.එස්.පී ගෙන් පහළට කියලා. අද ලංකාවෙ ඉන්නෙ එකම දෙමළ එස්.එස්.පී කෙනයි. ඒ හැරුණාම ඉන්නෙ ඒ.එස්.පී ලා. මේ වගේ තත්ත්වයක් තුළ අපිට පොලිස් බලය දෙන්න යනවා කියලා මොනවා කරන්න යනවද කියලා දන්නෙ නැහැ. මේවා සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනෙ. හමුදාවෙ එක්ලක්ෂ පනස් දහසක් මෙහෙ තියාගෙන ඉන්නකොට අපිට කිසි දෙයක් කරන්න බැහැ. මිනිස්සු බයයි. හමුදාව මිනිසුන්ගේ ඉඩම්වල වගා කරනවා. ඒවායෙන් ප්‍රයෝජන ගන්නවා. ගෙවල්, වතු අරගෙන තියාගෙන ඉන්නවා. ප්‍රශ්න හුඟාක් තියෙනවා. අපේ පළාත්වල තියෙන ප්‍රශ්න දැන ගත්තොත් මං හිතන්නෙ නැහැ සිංහල ජනතාව අපි ගැන වැරදි විදිහට හිතයි කියලා.
උතුරේ හමුදාව යටතේ පවතින අනෙකුත් ඉඩම් නිදහස් කරන එකක් නැහැ කියලද ඔබ කියන්නෙ?
බොහොම සුළු ප්‍රමාණයයි නිදහස් කරල තියෙන්නෙ. අක්කර 67,000 කින් අක්කර 64000-65000ක් විතර නිදහස් කරන්න තියෙනවා. අක්කර 3000ක් විතර තමයි දීලා තියෙන්නෙ. කේන්ද්‍රස්ථානවල අවශ්‍ය නම් හමුදා කඳවුරු පවත්වාගෙන යන්න. ජනතාවගේ ඉඩකඩම් වලින් ප්‍රයෝජන අරගෙන ව්‍යාපාර කරගෙන ධීවර කටයුතු කරන්න ඉඩ නොදී දකුණේ අයට ඉඩ දීගෙන කටයුතු කිරීමයි ප්‍රශ්නෙ. හමුදාව ඉන්න නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. එහෙම තියාගන්න ඕන නිසා තමයි ඔවුන් ජනාධිපතිට කියන්නෙ ‘රට බෙදෙනවා ඉඩම් දෙන්න එපා’ කියල. නමුත් එකත් කියන්න ඕනෙ. අපි හිටියොතින් තමයි රට බෙදෙන්නේ නැත්තෙ. අවුරුදු 15ක් විතර මෙහෙම හිටියොතින් රට බෙදන්න තවත් එකක් එයි.

ඒ 9 පාරේ මුරුගන්ඩි කෝවිලට එහායින් නැගෙනහිර පාරේ ඇතුළට වෙන්න හමුදාවෙන් ඉඩම් කොපමණ ප්‍රමාණයක් තියාගෙන ඉන්නවද කියලා ආණ්ඩුකාරවරයා දන්නෙත් නැහැ. මිනුම් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතනවලින් හොයලා බලද්දී අක්කර 1702ක් ඉඩම් ආමි එක තියාගෙන ඉන්නවා. මිනිස්සුන්ට ඇතුළු වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. කැලෑ ප්‍රදේශයක අක්කර 1702 ක් කියාගෙන මොනවා කරනවද කියලා කව්රුවත් දන්නේ නැහැ.
ජනවාර්ගික ප්රශ්නය විසඳීම සඳහා වන යෝජනාව නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුත්තේ කවර අන්දමින්ද?
උතුරු පළාත් සභාව මඟින් ආණ්ඩුවට යෝජනාවක් ලබාදී තිබෙනවා. අපි යෝජනා කරලා තියෙන්නෙ ෆෙඩරල් ක්‍රමයක්. 13 වැනි සංශෝධනයත් ෆෙඩරල් ක්‍රමය වගේ තමයි. නමුත් මෙච්චර කාලයක් ඒක ක්‍රියාත්මක කෙරුවෙ නැහැ. ෆෙඩරල් ක්‍රමයකින් රට බෙදන්නෙ නැහැ. රට එකතු වෙනවා කියන එක අපි තේරුම් කරලා දෙන්න ඕනෙ. සිංහල දේශපාලඥයො බොරුවක් කියාගෙන ඉන්නෙ. කැනඩාවේ රට බෙදලා නැහැ. එංගලන්තයේ ෆෙඩරල් ක්‍රමයක් තියෙන්නෙ නමුත් ඒගොල්ලො කියන්නෙ නැහැ. ස්විට්සර්ලන්තය කියන්නෙ කෑලි ගණනකට බෙදුණු ඒවා එකතු වේලා හැදුණු රටක්. සිංහල නායකයො ජනතාවට මේ ඇත්ත තේරුම් කරලා දෙන්න බයයි. ඕක මං ඇවිත් කියන්නම් ගල් ගහන්න කියන්න. හෙට මැරෙන මිනිහා අද මැරුණත් එකයි.