Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

බුද්ධාගමට තමයි ප්‍රමුඛත්වය:
කවුරුත් ඒක එපා කියන්නෙ නෑ

සංහිඳියාව ගොඩනැගීම හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීම ශ්‍රී ලාංකීය සමාජය හමුවේ ඇති ප්‍රබල අභියෝග දෙකකි. ඒ උදෙසා, යෝජිත ව්‍යවස්ථාවේ කාර්යභාරය කෙබඳුද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක ඒ පැනයට මෙසේ පිළිතුරු බඳියි.

06.04.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය

ලංකාවට අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි?

නිදහසින් පසු අපිට තිබුණු මූලික අභියෝගයක් තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවක් සහිත ජාතියක් ගොඩනගා ගැනීම. ඒ වගේම රටේ සෑම ජන කොටසකගේම සහභාගීත්වය තියෙන ආණ්ඩු ක්‍රමයක් හදා ගැනීම. මෙතැනදී සහභාගීත්වය කියන්නේ බල සහභාගීත්වය. බහු ජාතික බහු ආගමික රටක ජාතික අනන්‍යතාවක් හැදෙන්නෙ එවිටයි. 1950 දී ප‍්‍රකාශයට පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉන්දියාව ඒ දේ කළා. ජාතීන් සිය ගණනක්, භාෂා සිය ගණනක්, විවිධ සංස්කෘති සහිත, භූගෝලීය වශයෙනුත් බෙදුණු රටක ඒ දේ සිදු වුණා.

ඒත් අපේ රටේ ජාතීන් අතර, ආගම් අතර ගැටුම්වල ඉතිහාසය දිහා බලනකොට පෙනෙන කාරණයක් තමයි, අපිට තවම ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගන්න නොහැකි වී ඇති බව. අන්න ඒ නිසා තමයි අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය කෙරෙන්නේ. අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික කාර්යභාරය වෙන්නෙත් හැම ජන කොටසක්ම එකතු කරලා ශ‍්‍රී ලාංකික ජාතිය නිර්මාණය කිරීමයි.

කොහොමද එය සිදුකරන්නේ?

ඒක කළ හැකි වෙන්නේ මේ රටේ ඉන්න සෑම ජන කොටසක්ම පාලනයේ හවුල්කරුවන් කිරීමෙන්.


රාජ්‍ය බලයට හැම ජන පිරිසකටම දායක වෙන්න ඉඩ සලස්වන්න  ඕන. අද විශේෂයෙන් දෙමළ ජනතාව ඉන්නෙ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් පිට. 1956න් පස්සෙම ඒ අය මේ රටේ රාජ්‍යකරණයට එක්වෙලා නෑ.

ඒ නිසානෙ වෙන්ව යන්න උත්සාහ ගන්නෙ.

දැන් මේ කියන බල හවුල්කාරීත්වයම නේද බලය බෙදා ගැනීම කියන්නෙ? අද තියෙන තත්ත්වය ප්‍රමාණවත් නැද්ද?

නෑ. ඔය කියන්නෙ යම් වෙනසක් සිදු වුණු පළාත් සභා ක්‍රමය ගැන නම්, එය හඳුන්වලා දුන්න 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම අන්තර්ගත දුර්වලතාවක් තියෙනවා. එහි සඳහන් ඇතැම් ප්‍රතිපාදන කි‍්‍රයාත්මක කිරීමට අපේ රටේ දේශපාලන පක්ෂවල නායකයින් කැපවෙලා නෑ. අනික කේන්ද්‍රය හා පරිධිය වශයෙන් වෙන්වෙලා මදි. කේන්ද්‍රයේ බලයත් උතුරෙ දකුණෙ ජනතාව බෙදාගන්න  ඕන. එතකොට වෙන්වෙන්න වුවමනා නෑ. ඒකනෙ දැන් යෝජනා වෙන්නෙ පළාත් සභාවලට ව්‍යවස්ථාපිත බලතල තියෙන අතරෙම, කේන්ද්‍රයේ බලයත් බෙදිලා යන්න සෙනෙට් සභාවක් ඇති කරන්න  ඕන කියලා. ඒකෙ හැම පළාතකින්ම සමාන නියෝජිතයන් ඉන්නවා. ඒ අය දේශපාලනඥයන් නෙවෙයි. පාර්ලිමේන්තුව සම්මත කරන දේවල් එහිදීත් සම්මත වෙන්න  ඕන. අන්න බල හවුල්කාරීත්වය.

මේ වගේ යෝජනාවක් කරළියට එන්නෙ ඇයි?

උතුරෙ ජනතාවට ප‍්‍රශ්නවලට විසඳුමක්  හැටියට ෆෙඩරල්  ඕන වුණත් දකුණ ඊට කැමති නෑ. එහෙම තියෙද්දී ෆෙඩරල් හඳුන්වා දෙනවා වගේ රැඩිකල් වෙනසකට යන්න බැහැ. කළ යුත්තේ දෙපැත්තටම එකඟවෙන්න පුළුවන් තැනකට යන එකයි. දෙමළ ජනතාව කියන්නෙ අපිට අසමානව සලකනවා කියලා. ඒක නැති කිරීමයි කරන්න  ඕන.

ව්‍යවස්ථාවක් සකස් වෙනකොට අසමානව සැලකුම් ලබන සමරිසීන්, ආන්තික ජන පිරිස් ගැන එහෙමත් අවධානය යොමු කරන්න  ඕන නේද? දැන් ඒ ගැන අලූත් ව්‍යවස්ථාව සංවේදී වෙයිද?

ඔව් එය ඉතාමත් වැදගත් කරුණක්. මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මූලික අයිතිවාසිකම් පවා පරණයි. ඒවා පළමු පියවරේ මූලික අයිතීන්. දැන් ලෝක තත්ත්වය වෙනස්. දැන් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පරිසරයට, ආබාධිතයන්ට, වැඩිහිටියන්ට පවා අයිතීන් තියෙනවා. මේ වගේ පුළුල් තත්ත්වයක් ඇති කරන්න  ඕන. සමානව සැලකීමත් මූලික අයිතියක්. තමන්ගෙ භාෂාව භාවිත කිරීමේ අයිතිය ඉන් එකක්. අන්න දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳෙන තැන. කෝ මේ රටේ කාන්තාවන්ට ඇති අයිතිය? ප‍්‍රාදේශීය ලේකම්වරියන්ට බෑ නිලමෙවරු පත්කරන්න ඡන්දය දෙන්න. විශේෂයෙන් අපි නිර්දේශ කරනවා අසමානව සැලකීම වැළැක්වීම සඳහා කොමිෂන් සභාවක් ඇති කරන්න. කුලවාදය ගැන පවා අලූතින් හිතන්න වෙනවා එතකොට.

ඇතැම් දේශපාලන ව්‍යාපාර ප්‍රකාශ කරනවා මෙය බටහිරවාදී හා රට බෙදන  වෑයමක් කියලා. ඒ ගැන ඔබ හිතන්නෙ කුමක්ද?

ඒ දේශපාලන වාසි ලබාගැනීම සඳහා සිදුකරන අවස්ථාවාදී වැඩ. එයාලා හිතනවා ජනතාව අතර ජාතිවාදී ආගම්වාදී අදහස් ඇතිකරලා ඉක්මනින් බලයට එන්න. එයින් වෙන්නෙ රටට අයහපතක්. ඉස්සරත් එහෙම වුණානෙ. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම වෙලාවෙ ජේ. ආර් පාරට බැස්සා රට බෙදනවා කියලා. රට සභා ක‍්‍රමය ගේන්න ඩඞ්ලි චෙල්වනායගම් එකතු වුණාම මැතිනි පාරට බැස්සා. දැන් යුද්ධය ඉවරවෙලා ජනතාව අලූතින් හිතන්න  ඕන අපි ගැන. අපිට පස්සෙන් හිටපු බොහෝ රටවල් ආයෙත් අල්ලන්න බැරි තරම් ඉස්සරහට ගිහින්. අපි මේ පටු බවෙන් මිදෙන්න  ඕන.

යෝජිත අලූත් ව්‍යවස්ථාවෙන් දැනට බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව අහෝසි කෙරෙනවද?

ඔන්න ජනතාව නොමග යවන තවත් බොරුවක්. දැන් කවුද එහෙම කියන්නෙ? බුද්ධාගමට තියෙන තැන අහිමි කළ යුතු නෑ. මේ රට බෞද්ධ රටක් කියලා කතෝලික කාදිනල් තුමා පවා අපි එක්ක කිව්වනේ. ව්‍යවස්ථාවෙ නමවෙනි වගන්තියෙ තියෙන්නෙ ‘බුද්ධාගමට ප්‍රමුඛතාව’ කියලා මිස ‘රාජ්‍ය ආගම’ කියලා නෙවෙයි. ඒ නිසා අදටත් ඒ ගැන ප්‍රශ්නයක් මේ රටේ නෑ. 10 වෙනි හා 14 වෙනි වගන්තිවලින් අන්‍ය ආගම්වලට ස්ථාවර බවක් ලබා දෙනවනේ. ලංකාව ආගමික රාජ්‍යයක් නෙවෙයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තියෙනවා. බුද්ධාගම තමයි ප‍්‍රමුඛ. කවුරුවත් ඒක එපා කියන්නෙ නෑ.

/

ඉතිහාසයෙ මුල්ම වතාවට ව්‍යවස්ථාව ගැන මහජන අදහස් විමසද්දී ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

මහජන අදහස් ගැන ඉතාම සුබවාදීව හිතන්න පුළුවන්. හැම තැනදීම ජනතාව මූලික කාරණා දෙකක් මතු කරනවා. එකක් තමයි රාජ්‍ය වඩාත් ප්‍රජාතන්ත‍්‍රීය කරන එක. ඒකාධිපති ස්වභාවයේ  ආණ්ඩු පාලනයන් ඇති වීම වළක්වන්නයි ඒ. පසුගිය අත්දැකීම් තුළින් උතුරේ හා දකුණේ හැම ජනපිරිසක්ම ඒ ඉල්ලීම කරනවා. ඉන් ජනතාවගේ අයිතීන් රැකෙනවා.

දෙවැන්න හැම ජනපිරිසක් අතරම සංහිඳියාවක් ඇති කරන්න ව්‍යවස්ථාව තුළ බල සහභාගීත්වය ඇති කිරීම. මේ කරුණු දෙක ගැන කා අතරවත් මතබේදයක් නෑ. ජනතාව කියනවා මේ වගේ ස්වර්ණමය අවස්ථාවක් නැවත මේ රටට ලැබෙන්නෙ නෑ කියලා. ඒ නිසා මග හරින්න බැරි වගකීමක් හැමෝටම තියෙනවා. දකුණෙ, උතුරෙ පක්ෂ එකතුවෙලා ඉන්න වෙලාවක් මේ. විරුද්ධ වෙන්නෙ අන්ත ජාතිවාදීන් පමණයි.