Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පනතින් බලතල දීලා තිබුණට
තොරතුරු කොමිසම තවම පණ මදි

තොරතුරු දැනගැනීමේ පනත සම්මත වී ලබන මාසයට අවුරුද්දකි. පනත නිල වශයෙන් ක‍්‍රියාත්මක වීම ආරම්භ කර මාස තුනකි. එම පනත ක‍්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ප‍්‍රකට සිවිල් සමාජ ක‍්‍රියාකාරික, ප‍්‍රවීණ ලේඛක සහ ජනමාධ්‍යවේදී නාලක ගුණවර්ධන සමඟ කළ සංවාදයකි.

30.05.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය
Lawyer S. G. Punchihewa believes the public have a right to know.

කියන විදියට අනෙක් රටවලට වඩා තරමක් ඉදිරියෙන් තිබෙන තොරතුරු පනතක් අපේ රටේ සම්මත වෙලා තියෙනවා. මේ පනතේ වැදගත්කම ඔබ දකින්නෙ කොහොමද?

ඉතාම හොඳ පනතක් කියන කාරණය ජාත්‍යන්තර නිර්නායක මත තීරණය වූ එකක්. 2016 අංක 12 දරන තොරතුරු පනත සහ ඒකට අදාළව ගැසට් කරන ලද රෙගුලාසි පද්ධතිය ගත්තහම, දැනට ලෝකයේ තිබෙන තුන් වැනි හොඳම තොරතුරු නීති පද්ධතිය හැටියට කැනඩාවේ නීතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කේන්ද්‍රය කියන විද්වත් සංවිධානය ශ්‍රේණිගත කරලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නෙ අපේ රටේ ඉතාම හොඳ තොරතුරු නීතියක් තියෙනවා කියන එක විතරයි. ඒක ක‍්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එක ඉදිරියේදි බලන්න ඕනෙ. මොකද අපේ රටේ ඉතාම හොඳ නීති තියෙනවා. ඒත් ක‍්‍රියාත්මක වන ආකාරයේ බරපතළ අඩුපාඩු තියෙනවා.

මේ වගේ පනතකින් මූලික වශයෙන්ම රජය සහ පුරවැසියා අතර තියෙන සම්බන්ධතාව ප‍්‍රතිෂ්ඨාපනය කරනවා. ඒ සම්බන්ධතාව උඩුකුරු යටිකුරු කරනවා. මෙච්චර කල් හැකිතාක් අඩුවෙන් පුරවැසියන්ට තොරතුරු දීලා තමයි රාජ්‍ය පාලනය ගෙනිච්චෙ. ඒක නිදහසෙන් පස්සෙ විතරක් නෙමෙයි, හැමදාමත් ලංකාවෙ තිබුණු දෙයක්. අවුරුදු දෙදාහකට වැඩිය රාජාණ්ඩු තියෙන කාලෙත්, අවුරුදු තුන්-හාරසීයකට වැඩිය යටත්විජිත පාලනයන් තියෙන කාලෙත්, ඊටපස්සෙ දැන් අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයක් මහජනයා විසින් පත්කරගන්නා රජයන් යටතේත් සිද්ධ වුණේ රාජ්‍ය පාලනය පිළිබඳ තොරතුරු මිනිස්සුන්ට ඉල්ලලා ගන්න බෑ. ආණ්ඩුව කැමැති නම් විතරක් ඔය මොනවා හරි පොඞ්ඩක් එළියට දෙනවා ප‍්‍රචාරක වැඩ විදියට. අනෙක් තොරතුරු රහසිගතයි කියනවා. ආරක්ෂාව, විභාග රහස් වගේ ඒවා රහසිගතයි තමයි. ඒත් ඒක පිටින් දාලා හැමදේම හැංගුවා. එහෙත් මේ පනත නිසා ඒ පිළිවෙත තව දුරටත් වලංගු නෑ.

ඒ පනතට දැන් මාස තුනක් වයසයි. පහුගිය මාස තුනේ ක‍්‍රියාකාරිත්වය ගැන ඔබේ අදහස මොකක්ද?

මම කලින් කිව්ව, දෙදාස්පන්සීයක ඓතිහාසික උරුමයෙන් මාස දෙක-තුනකින් ගැළවෙන්න බෑ. අපි සමාජයක් විදියටත් පුරුදු වෙලා ඉන්නෙ රජයේ නැත්නම් ආණ්ඩුවේ දේවල් අපිට හාරාඅවුස්සන්න බෑ නේද වගේ අදහසක. ඒවා බොහොම පූජනීය දේවල් කියන අදහසේ තමයි බහුතරය ඉන්නෙ. මාස තුනක් ඇතුළත මේකෙන් අත්මිදෙන්න අමාරු වුණත් මේ මාස තුන තුළ යහපත් ප‍්‍රවණතා මම දකිනවා. තනි පුද්ගලයන් වගේම සංවිධාන විදියට නොයෙක් නොයෙක් රාජ්‍ය ආයතන වලින් තොරතුරු ඉල්ලීම් රැුසක් කරලා තියෙනවා. වාර්ෂිකව මේවා ගැන සංඛ්‍යා ලේඛන සකස් කරන නිසා දැනට ඒවා හරියටම කියන්න බෑ. නමුත් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා දළ ඇස්තමේන්තුවක් කරලා තිබුණා, ලංකාවේ විවිධ රාජ්‍ය ආයතන වලට මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වලා පළමු මාසය තුළ, ඒ කියන්නෙ මාර්තු මාසෙ තොරතුරු ඉල්ලීම් දෙදාහකට වැඩිය ලැබිලා තිබුණා කියලා. ඒක හො`ද ප‍්‍රවණතාවක්.

මේ විදිහට තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කළාට ඒවාට කොයිතරම් සාර්ථක ව පිළිතුරු ලැබිලා තියෙනවද කියන කාරණයත් පසුවිපරමකදි වැදගත්…?
අනිවාර්යෙන්ම. කොයිතරම් තොරතුරු ඉල්ලීම් ලැබුණත් ඒවාට සාර්ථක සහ නිවැරදි පිළිතුරු ඉදිරිපත් වෙන්නෙ නැත්නම් මේකෙන් බලාපොරොත්තු වෙන යහපත් සංස්කෘතිය ඇති කරන්න බෑ. සමහර ඒවා පනතේ විධිවිධාන අනුවම දෙන්න බෑ කියලා බැහැර කරන්න පුළුවනි. තවත් ඒවා සැබැවින්ම තොරතුරු නැති නිසා බැහැර කරන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවනි. තවත් ඒවා යම් යම් කරුණු වසන් කිරීමේ අරමුණින් විවිධ හේතු දක්වලා බැහැර කරනවා වෙන්න පුළුවනි. ඔය අවස්ථා තුනේදිම තොරතුරු ඉල්ලන පුරවැසියන්ට හැකියාවක් තියෙනවා අභියාචනයක් ඉදිරිපත් කරන්න. මුල් අවස්ථාවෙදි ආයතනයේ ප‍්‍රධානියාට, ඊටපස්සෙ තොරතුරු කොමිසමට, ඒකත් හරිගියේ නැත්නම් අධිකරණයට. මේ හැම අවස්ථාවකදිම පුරවැසියාටත් කාලය, ශ‍්‍රමය, මුදල් වැය කරන්න වෙනවා.

අපි පුරවැසියාගෙ පැත්තෙන් විතරක් කතා කළාට ආයතන සංග‍්‍රහය තවමත් විධිමත් පරිදි සංශෝධනය නොකිරීම වගේ මූලික හේතු නිසා රාජ්‍ය සේවකයාත් ඇත්තටම හිර වෙන අවස්ථා තියෙන්න පුළුවන් නේද?
මගේ නම් අදහස එහෙම හිර විය යුතු නෑ කියන එකයි. තොරතුරු පනතේ මුලින්ම කියනවා, රටේ පවතින අනෙකුත් නීති වලට ඉහළින් තමයි මේ පනත තියෙන්නෙ කියලා. ඒ වගේම රාජ්‍ය තොරතුරු මහජනතාවට ලබාදීම කියන කාරණය මේ රජය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වලට පවා ඇතුළත් කරලා තිබුණා. ආයතන සංග‍්‍රහය කියන්නෙ නීතියට වඩා පහළින් තියෙන එකක්. ඒක පරිපාලනයේ පහසුව සඳහා සකස් කරලා තියෙන මාර්ගෝපදේශනයක්්. අවුරුදු හතළිස් ගාණකට කලින් තමයි මේක අවසන් වරට සංශෝධනය කරලා තියෙන්නෙ. ඉතින් ඒ වගේ පරණ එකක් පෙන්නලා රටේ අලූත් නීතියක් ක‍්‍රියාත්මක නොකර ඉන්න රාජ්‍ය සේවකයන්ට බෑ. ඒක සදාචාරාත්මකත් නෑ. නීතියට අනුකූලත් නෑ. ඒක නිසා මම හිතන්නෙ නෑ ඒක සාධාරණ නිදහසට කාරණයක් කියලා. හැබැයි ඒ අවුලත් ළඟදිම ලිහලා දෙයි. ආයතන සංග‍්‍රහය සංශෝධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙනවා. තොරතුරු හංගනවා වෙනුවට තොරතුරු විවෘත කරමින් කටයුතු කරන්න එතකොට කිසිදු ගැටලූවකින් තොරව රාජ්‍ය සේවකයන්ට අවස්ථාව ලැබෙනවා.

/

විවිධ තර්ක-විතර්ක ඉදිරිපත් වුණත් අවසාන වශයෙන් රාජ්‍ය සේවකයා තමන්ගේ රස්සාව බේරාගන්න වැඩ කරන්නෙ. එතැනදි ආයතන සංග‍්‍රහය පෙන්වන්නෙ ඇතැම් විට ඉහළ නිලධාරියාගෙන් ගැළවෙන්න. මේ තත්ත්වය යටතේ රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාවට මොනවද කරන්න පුළුවන්…?
එහෙම ප‍්‍රශ්න මතුවෙන්න පුළුවන්. දැනටමත් මතු වෙලා ඇති අනිවාර්යෙන්ම. එහෙම ප‍්‍රශ්න විසඳා දීමේ වගකීම තියෙන්නෙ තොරතුරු කොමිසමට. ඒක ස්වාධීන කොමිසමක්. කොමසාරිස්වරුන් පස්දෙනෙක් ඉන්නවා. අභියාචනා විභාග කරන්න විතරක් නෙමෙයි, මේ කොමිසම තියෙන්නෙ. මේ අලූත් වැඬේ කොහොමද යන්නෙ, ඒකෙ හිර වෙන තැන් මොනවද, ප‍්‍රායෝගික දුෂ්කරතා මොනවාද කියලා අවධානයෙන් ඉඳලා ඒවා විසඳන එක ඒගොල්ලන්ගෙ වගකීමක්. අවශ්‍ය කරන මගපෙන්වීම කරන්න ඒ අයට බලය තියෙනවා. අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවකයාගේ රැුකවරණය මේ පනත තුළින්ම හදලා දීලා තියෙනවා. ඒක හින්දා බයවෙන්න දෙයක් නෑ. ඉහළ නිලධාරීන් විශේෂයෙන්ම මේ පනතට තියෙන බලය ගැන දන්නවා. ඒක නිසා පහුගිය මාස තුනේ මට අහන්නට ලැබුණු දේවල් වලට අනුව නම් පහළ නිලධාරීන්ට එහෙම බලපෑම් වෙන්නෙ ඉතාම අඩුවෙන්.

අධිකරණයේ විභාග වන නඩුවලට අදාළ තොරතුරු ලබාදීම කියන කාරණය සම්බන්ධයෙන් පසුගිය මාස තුනේ ගැටලූ කිහිපයක් ඇති වෙලා තිබුණා. පනතේ මේ ගැන ප‍්‍රමාණවත් සඳහනක් නෑ. මොකක්ද ඒකට කරන්න පුළුවන්…?
ඇත්ත. යම් යම් රාජ්‍ය ආයතනවලට එරෙහිව ගොනු කරලා තියෙන නඩුවලට අදාළ තොරතුරු ඉල්ලමින් අදාළ රාජ්‍ය ආයතන වලට තොරතුරු ඉල්ලීම් ලැබිලා තිබුණා. පත්වීම්වල ගැටලූ, ටෙන්ඩර් ලබා දීමේ ගැටලූ වගේ ඒවා. දැනට කුකුසක් තියෙනවා මේ තොරතුරු දෙන්න පුළුවන්ද, බැරිද කියලා. පනතේ ඒ ගැන පැහැදිලිව සඳහන් කරලා නෑ. තොරතුරු ප‍්‍රතික්ෂේප කිරීමේ එක හේතුවක් විදියට මෙහෙම සඳහන් වෙනවා, ‘එම තොරතුරු හෙළිදරව් කිරීම අධිකරණයට අපහාස කිරීමක් හෝ අධිකරණයේ අධිකාරී බලය පවත්වාගෙන යාමට අගතියක් සිදු වන අවස්ථාවකදී’ කියලා. නඩුවකට අදාළව කොහොමද කටයුතු කරන්න ඕනෙ කියලා එතැන කියන්නෙ නෑ. ඒ වගේ දේවල්වලට තොරතුරු කොමිසම පැහැදිලි කිරීම් ලබා දෙන්න ඕනෙ.

ඊළඟ කාරණය පාසල් සහ පොලීසිවලට අදාළ තොරතුරු ලබාගැනීම කලාප කාර්යාල සහ පොලිස් අධිකාරි කාර්යාල මට්ටමින් සිදු කිරීමට තීරණය කිරීම. මේක කොයිතරම් දුරට ප‍්‍රායෝගිකද?
ඒක ප‍්‍රායෝගිකද, නැද්ද කියලා තීරණය කරන්න තවම කල් වැඩියි කියලයි මම හිතන්නෙ. උදාහරණයක් විදියට හැම අවුරුද්දෙම මැද මාසවල මතු වෙන ආන්දෝලනාත්මක කාරණයක් තමයි පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ ප‍්‍රශ්නය. පනතට අනුව ඒ තොරතුරු සියල්ල දෙන්න ඕනෙ. ඒවා ඉල්ලන්න මව්පියෙක් වෙන්න ඕනෙ නෑ. ඕනෑම පුරවැසියකුට ඒ තොරතුරු ඉල්ලන්න පුළුවන්. දැනට පරිපාලන පහසුවක් සඳහා මේ විදියට හදලා තියෙනවා, පාසල් සහ පොලීසිවලට අදාළව. මං හිතන්නෙ ඒක ප‍්‍රායෝගිකයි කියලා. හැබැයි කලාප කාර්යාල දින 14ක් තුළ ඒ තොරතුරු ගන්න විදිය හදාගන්න ඕනෙ. පොලීසියත් එහෙමයි. වැඩියෙන්ම තොරතුරු හංගන බවට ප‍්‍රසිද්ධ ආයතනයක් තමයි පොලීසිය. එතැනදිත් අදාළ පොලීසිය භාර සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ඒ වගකීම ඉටු කරන්න ඕනෙ.

සමෘද්ධි, ගොවි විශ‍්‍රාම වැටුප්, පොහොර සහනාධාර වගේ මහ පොළොවේ පතුලේ ප‍්‍රශ්න වලදි මේ පනත ක‍්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන ගැටලූව සම්බන්ධයෙන් ගම තවම දැනුම්වත් නෑ…?

ඔව්. ඒ දැනුම්වත්භාවය තවම මදි. මමත් ඔය කාරණය පිළිගන්නවා. සහනාධාර බෙදීයාමේ පිළිවෙළ සම්බන්ධයෙන් අපේ රටේ ප‍්‍රකට ගැටලූත් තියෙනවා. ඒ වගේ ම ආපදා සහනාධාර ක‍්‍රම. ඒවා හරියට සිදු වෙනවද කියන එක ඕනෑම කෙනකුට ඉල්ලන්න පුළුවන්. මේ පනතේ තියෙන ඉතාම වැදගත් ලක්ෂණයක් විදයට මං දකින්නෙ තොරතුරු ඉල්ලන්න හේතුව කියන්න ඕනෙ නෑ. මට මේ තොරතුර අදාළද, නැද්ද කියලා අහන්න බෑ. පුරවැසියෙක් විදියට මට තොරතුරු ගන්න පුළුවන්. මම සමෘද්ධිලාභියෙක් නොවුණට මට පුළුවන් රටේ ඕනෑම තැනක සමෘද්ධි සහනාධාරය ලබාදීලා තියෙන ආකාරය ගැන විමසන්න. ඒකට ගම දැනුවත් කිරීම වගේම ඒ අය වෙනුවෙන් සංවිධාන වලට, සමූහයන් වලට මැදිහත් වෙන්නත් පුළුවන්. ඒක දැන් කෙරෙනවා. මං දැක්කා රාජ්‍ය නොවන සංවිධාන මේ වැඬේදි සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. උදාහරණයක් විදිහට වවුනියාව කේන්ද්‍ර කරගත් තරුණ සංවිධානයක් තියෙනවා, ඇෆ්රල් කියලා. ඇෆ්රල් එකෙන් උතුරු පළාතේ ජනතාවට අවශ්‍ය තොරතුරු ඉල්ලූම්පත් හදලා දෙනවා. ලේඛන සහාය ලබා දෙනවා. ඒ වගේම සමූහයක් විදියටත් ඔවුන් තොරතුරු ඉල්ලනවා. උතුරු පළාතේ හමුදාවට පවරාගෙන තියෙන ඉඩම් සම්බන්ධයෙන් ඔවුන් විස්තර ගන්න තොරතුරු ඉල්ලීම් කරලා තියෙනවා. තවත් සංවිධාන මේ වැඬේට මැදිහත් විය යුතුයි.


/තොරතුරු කොමිසම ප‍්‍රාණවත් මදි කියන එක තමයි මගේ මාස තුනේ නිරීක්ෂණය. ඒකට සාධාරණ හේතු ඔවුන්ට තියෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය පහසුකම් තවම දීලා නෑ. මාර්තු මාසෙදි මිලියන 76ක් වෙන් කළා කියලා අහන්න ලැබුණා.

පහුගිය මාස තුනේ තොරතුරු කොමිසමේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත්ද?

තොරතුරු කොමිසම ප‍්‍රාණවත් මදි කියන එක තමයි මගේ මාස තුනේ නිරීක්ෂණය. ඒකට සාධාරණ හේතු ඔවුන්ට තියෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය පහසුකම් තවම දීලා නෑ. මාර්තු මාසෙදි මිලියන 76ක් වෙන් කළා කියලා අහන්න ලැබුණා. නමුත් ප‍්‍රශ්නයක් මතු වෙන තුරු නොසිට ඒවාට අවශ්‍ය කරන මැදිහත්වීම් කිරීම වගේ දේවල් කෙරෙන්නෙ නැති තරම්. ඔවුන් සීමිත තැන්වලදි සමහර විට කරලා ඇති. ඒත් ප‍්‍රමාණවත් නෑ. රාජ්‍ය නිලධාරීන් කියන්නෙත් ඔය කතාවමයි. අපිට තොරතුරු කොමිසමෙන් හරියට තොරතුරක් ගන්න බෑ කියන එක. අපි දැක්කා, මීට සති කීපයකට කලින් තමයි කොමිසමට ප‍්‍රධාන විධායක නිලධාරිවරයෙක් හොයන්න පත්තරවල දැන්වීම් දැම්මෙ. ඒ කියන්නෙ පනත සම්මත වෙලා මාස දහයකින් විතර. ඒ කියන්නෙ අවශ්‍ය දේවල් ඉක්මනින් සිදු වුණේ නෑ. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නෙ නෑ.

ඒ කියන්නෙ හොඳ පනතක් තිබුණට රජය උපක‍්‍රමශීලීව මේක අක‍්‍රීය කිරීමේ උත්සාහයක නිරත වෙනවද කියන සැකය මතු වෙනවා…?
එහෙම වීමේ හැකියාවක් තියෙනවා. එහෙම වුණු අවස්ථාත් තියෙනවා. කොමිසම රැුකගැනීමේ මූලික වගකීම තියෙන්නෙ කොමසාරිස්වරුන් පස් දෙනාට. මේ විදියට පනත අක‍්‍රීය කිරීමේ උත්සාහයක් තියෙනව නම් ඒකට විරුද්ධව මුලින්ම හඬ නගන්න ඕනෙ මේ කොමසාරිස්වරුන්. ඒ වගේම අපිත් සිවිල් සමාජය විදියට මේ ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනෙ.