Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මුල් දින සීයෙන් පස්සෙ
ආණ්ඩුව විශ්වාසෙ කඩ කළා

රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් වී ඇතත්, එහි ප්‍රායෝගික තත්ත්වය කෙබඳුද? පරිපාලන සේවයේ හිටපු නිලධාරියකු මෙන්ම බරපතළ වංචා හා දූෂණ විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම්වරයාද වූ ලැසිල් ද සිල්වා මහතාඒ පිළිබඳ බොහෝ අත්දැකීම් ඇත්තෙකි.

07.06.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය

වංචා-දූෂණ හොයන ජනාධිපති කොමිසමෙන් ඔබ අයින් කරන්න රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයා මූලික වුණු බව ඔබ මාධ්‍යයට කියලා තිබුණා. මුලින්ම කියන්න ජනාධිපතිවරයා තමන්ගෙ කොමිසමේ සිද්ධ වෙච්ච මේ වැඬේට මැදිහත් වුණේම නැද්ද…?
ඇත්තටම මේක ජනාධිපතිවරයාගේ අනුමැතිය මත ලේකම්වරයා දෙන පත්වීමක්. ඒ කියන්නෙ ජනාධිපතිවරයාගේ පත්වීමක්. මේ පත්වීම අවසාන කිරීමත් ජනාධිපතිවරයාගේ අනුමැතියක් නැතිව ලේකම්වරයාට තනියෙන් කරන්න බෑ.

ඔබ ජනාධිපතිවරයා එක්ක මේ ගැන කෙලින් කතා කළේ නැත්තෙ ඇයි…?
මෙහෙමයි, කොමිසමේ වැඩ වලදි අවශ්‍ය වුණු හැම වෙලාවෙම මම ජනාධිපතිතුමත් එක්ක කතා කරලා ඒවා විසඳාගත්තා. මාව කොමිසමෙන් අයින් කරන ලියුම එන තුරු මට එහෙම ඉවත් කිරීමක් ගැන හැඟිලා තිබුණෙ නෑ ඒ ගැන කතා කරන්න.

ඔබට වැඩ කරන්න ඉඩ දීලා, හීන් නූලෙන් වැඬේ දුන්නා…?
අනිවාර්යෙන්ම. ඒක හරි.

ඔබ රාජ්‍ය සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. ඔබේ උදාහරණයට අනුව ගත්තොත් රාජ්‍ය සේවකයාගේ ස්වාධීනත්වය යථාර්ථයක් නොවෙයි ?
ඇත්ත වශයෙන්ම රාජ්‍ය සේවකයාගේ ඉරණම බොහෝ විට තීරණය වෙන්නේ අදාළ ඇමැතිවරයාගේ හෝ මේ වගේ අවස්ථාවකදී නම් සෘජුව ම ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත. අමාත්‍යංශ ලේකම්වරුන්ට වගේම පහළ නිලධාරීන්ටත් මේ දේශපාලන බලපෑම් විශාල වශයෙන් තියෙනවා. මේ දේශපාලන අධිකාරියේ කැමැත්ත හෝ අකමැත්ත මත තමයි රාජ්‍ය සේවකයාගේ ඉරණම තීරණය වෙන්නෙ. ඒක නිසා අද කාලෙ කිසිම නිදහසක් නෑ.

රාජ්‍ය සේවයේ කොටස් දෙකක් හඳුනාගන්න පුළුවන්. තාවකාලික නැත්නම් දේශපාලන සහ ස්ථිර කියලා. ඒත් අපේ රටේ දැන් තාවකාලික පිරිස සියල්ල අල්ලගෙන ඉවරයි…?
ඇත්ත. අපි ටිකක් ඉතිහාසෙට ගිහින් කතා කරමු. 1972 දි සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරලා අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වලා දුන්නා. එතැනදි කිව්වෙ අපේ අවශ්‍යතාවලට ගැළපෙන ව්‍යවස්ථාවක් කියලා. එතැනදි තමයි මේකට අදාළ බරපතළම වරද කළේ. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ තිබුණු රාජ්‍ය සේවා කොමිෂන් සභාව 72 ව්‍යවස්ථාවෙන් අයින් කළා. ඒකෙන් තමයි ඉතාමත් ශක්තිමත් රාජ්‍ය සේවයක් නිර්මාණය කරලා තිබුණේ. ඒ බලය පැවරුණේ අමාත්‍ය මණ්ඩලයට. ඒ හරහා තමයි ඔය කඩාවැටීමේ ආරම්භය සිද්ධ වුණේ.

ඒත් ඊට පස්සෙත්, අසූව-අනූව දශක වල අදට වඩා සාපේක්ෂ වශයෙන් ස්වාධීනව කටයුතු කළ හැකි තත්ත්වයක් රටේ තිබුනේ නැද්ද?
ඇත්ත වශයෙන්ම 1978 ආපහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන කොට රටේ විශාල මතවාදයක් නිර්මාණය වෙලා තිබුණා, මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කරපු එක බරපතල වරදක් කියලා. දේශපාලන ඇඟිලි ගැහීම් සියල්ලටම හේතුව මේ තීරණය කියලා. දැන් ක්‍රියාත්මක සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තත් ඒකෙ 55 වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලයට සියලූ පත්කිරීම් වල බලය පැවරිලා තියෙනවා.


අපිට නිදහස තියෙනවා කිව්වට අමාත්‍යවරුන්ගේ න්‍යාය පත්‍ර මත තමයි සියල්ල සිද්ධ වෙන්නෙ. 72 ට කලින් තිබුණු විදිහට ස්වාධීනව කිසිම දෙයක් කරන්න පුළුවන් වටපිටාවක් නෑ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය සේවා කොමිසමත් ඇතුළුව අනෙකුත් කොමිෂන් සභාවලට බලය පැවරූ බව පැවසුවත් ඒක සැබැවින්ම සිදු වී නැති බවද එහි අදහස…?
ඒ කිව්වට තවම කොමිෂන් සභා බලාත්මක කිරීමක් නිවැරදි විදයට සිද්ධ වෙලා නෑ. ඒක ඉතාම පැහැදිලියි.

අඩු තරමෙ න්‍යයාත්මකව වත් ඔය දැන් ගෙනැත් තියෙන කොමිසමේ විදිය හරිද…?
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරලා මේ ආණ්ඩුව යම් ඉදිරි පියවරක් තිබ්බා. අපි ඒක අගය කරන්න  ඕනෙ. නමුත් මැතිවරණ කොමිෂන් සභාව ගත්තත්, පොලිස් කොමිෂන් සභාව ගත්තත් ඒවයෙ තියෙන්නෙත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙ තත්ත්වයම තමයි. විශේෂයෙන්ම විගණකාධිපතිතුමා ශක්තිමත් කරන්න විගණන පනතක් ගේනවා කිව්වා. ඒක 2003දි නිර්මාණය කළේ හිටපු විගණකාධිපති මායාදුන්නේ මහත්තයා. ක්‍රියාකාරිත්වය කෙසේ වෙතත් පහුගිය ආණ්ඩුව සංශෝධන වලින් තොරව ප්‍රතිපත්තිමය වශයෙන් ඒක පිළිගත්තා. නමුත් පාර්ලිමේන්තුවට යොමු කළේ නෑ. මේ අය බලයට ආපු ගමන් මාස දෙකක් ඇතුළත් ඒ විගණන පනත සම්මත කරනවා කිව්වා. ඒත් තවම නෑ. අනෙක් පැත්තෙන් ඒ පනත් කෙටුම්පතේ සීයට හැටක්-හැත්තෑවක් විතර වගන්ති සංශෝධනය කරන්න  ඕනෙ කියලා තිබුණා.
එහෙම තත්ත්වයක් තමයි තියෙන්නෙ. මෙතැනත් කොමිසමේ ක්‍රියාපටිපාටිය න්‍යායාත්මකව හරි. ප්‍රායෝගිකව පරණ විදියමයි.

ඔබ කියන විදියට, කොච්චර ස්වාධීන කියන වචනය ගැන කතා කළත්, දේශපාලන යාන්ත්‍රණය තමයි තවම බලවත්…?
17 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කළේ සියල්ලන් අත උස්සලා. ඒත් 19 වැනි සංශෝධනයට එහෙම වුණේ නෑ. සමහරු මගඇරියා. ඒ මගඇරපු කට්ටියගෙ වැඬේ තමයි අද සිද්ධ වෙන්නෙ. ඒ කියන්නෙ තවම මේ කියපු ස්වාධීනත්වය ක්‍රියාත්මක කරන්න රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නෙ නෑ. රාජ්‍ය අනුග්‍රහය දෙන එක මගඅරිනවා.

කෙලින් කතා කළොත් කවුද ඒ, ආණ්ඩුවේ ප්‍රධානීන් දෙන්නා, එහෙම කිව්වොත් හරි ද…?
ඔව්. හරි. ඒ කොමිෂන් සභා බලගැන්වීම සඳහා අවශ්‍ය වටපිටාව තවම ඒ අය හදලා නෑ. 2015දි පහුගිය ආණ්ඩුව පරාජයට පත් කරන වෙලාවෙ ජනතාව බලාපොරොත්තු වුණේ මේ තත්ත්වය නෙමෙයි. ස්වාධීන කොමිෂන් සභාවලට ඇත්තටම ස්වාධීනව කටයුතු කරන්න ඉඩ හදයි කියලා ජනතාව විශ්වාස කළා. ඒත් මුල් දින සීයෙන් පස්සෙ මේ ආණ්ඩුව ඒ විශ්වාසය කඩ කළා.

තොරතුරු දැනගැනීමේ පනත වගේ සාධනීය කටයුතු වලදි ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මන්දෝත්සාහී ක්‍රියාකාරිත්වයත් බරපතළ කාරණයක්..?
ඔව්. ඇත්ත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වගේම තොරතුරු දැනගැනීමේ පනතත් මේ ආණ්ඩුව තිබ්බ දැවැන්ත පියවරක්. නමුත් ක්‍රියාත්මක කිරීමේදී කලින් විදියමයි. මමත් මේ පනත යටතේ රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම ගැන තොරතුරු ඉල්ලීමක් කළා. වංචා-දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමේ තොරතුරු කිහිපයකුත් ඉල්ලූවා. ඒත් තවමත් ඒවා නෑ. ඉල්ලීම ලැබුණා කියලා දැන්නුවා විතරයි.

/

ඔබට පුළුවන් තොරතුරු කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කරන්න…?
මගේ තොරතුරු ඉල්ලීමට පිළිතුරක් නැති නිසා මං ආයතනයේ ඉහළ නිලධාරීන්ට අභියාචනා කළා. ඒවටත් තවම උත්තර නෑ. ඊළඟට කොමිසමට යන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එතැන්ටත් හරියට වැඩ කරන්න කිසිම පහසුකමක් දීලා නෑ මං හිතන්නෙ.

ඔබ කලින් කිව්වා, ආණ්ඩුව මුල් අවුරුද්ද තුළ වංචා-දූෂණ සම්බන්ධයෙන් සෘජු ප්‍රතිපත්තියක හිටියා කියලා. දැන් එහෙම නෑද්ද?
දැන් නෑ තමයි. ඒ කාලෙ මං කොමිසමේ හිටපු කාලෙ අවශ්‍ය පහසුකම් සියල්ල දුන්නා. මං ජනාධිපතිතුමාට කෙලින් කතා කරලා අවශ්‍ය පහසුකම් ලබාගත්තා. හිටපු ජනාධිපතිවරයාව පවා කොමිසමට ගෙන්නුවා. ඔහුට විරුද්ධ චෝදනා සැලකිය යුතු දුරක් ගෙනිච්චා. ඒත් ඒ අතරෙ ම නිලධාරීන් මෙතැන්ට යන්න බෑ කියලා අගමැතිවරයාට ලිපියක් දුන්නා. රිෂාඞ්ලා, හකීම්ලා වගේ අයත් බලපෑම් කරලා තියෙනවා. මේ ආණ්ඩුවෙ ඉන්න එක ඇමැතිවරයෙක් විමර්ශනයක් නවත්තන්න බලපෑම් කරන්න මට කෝල් 31ක් අරන් තිබුණා. ඔය කාරණා එක්ක තමයි දූෂණ-වංචා යට ගහන වැඩපිළිවෙළ ඉදිරියට ආවෙ.

ඔබටත් චෝදනාවක් තිබුණා, බැසිල් රාජපක්ෂගේ ෆයිල් ලැසිල් අතුරුදහන් කළා කියලා…?
ඒක අසත්‍යයක්. බැසිල් රාජපක්ෂ මහත්තයා එක්ක මගේ ඥාතිකමක් තියෙනවා තමයි. ඒත් මං වැඩ කරන විදිය දන්න කිසි කෙනෙක් ඔය කතාව විශ්වාස කළේ නෑ. ඔය කාලෙ වෙනකොට හිටපු ජනාධිපතිතුමාට විරුද්ධ ස්වාධීන රූපවාහිනී ප්‍රශ්නය, ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ රක්නා ලංකා ප්‍රශ්නය වගේ ප්‍රශ්න විමර්ශනය පටන් අරන් තිබුණෙ. ඒත් බැසිල් රාජපක්ෂට විරුද්ධ චෝදනා ගැන විමර්ශන පටන් අරන් තිබුණෙත් නෑ. මට පැහැදිලිව කියන්න පුළුවන්, මං එහෙම කළේ නෑ. නමුත් හිටපු ජනාධිපතිතුමාට විරුද්ධ චෝදනා නම් අවසාන අදියරටම ගෙනැත් තිබුණෙ.

ඔබ ඉවත් කරන කොටද…?
ඔව්. මං යනකොට.

/

දැන් තත්ත්වය ෙකාෙහාමද…?
ඒක නම් මං හරියටම දන්නෙ නෑ. ඒත් ඒ විමර්ශන ඉදිරියට ගිය බවක් පේන්නෙ නෑ. එහෙම ගියා නම් මාධ්‍යවල ඊට අදාළ තොරතුරු යනවනෙ. ඊට අදාළ අවසාන වාර්තා සකස් කරලා ඉදිරි පියවර ගන්න  ඕන නෙ. හුඟදෙනෙක් මට කියන්නෙ ඒවා මන්දගාමී වුණා කියලා තමයි. මං හිටපු කාලෙ ඒ විමර්ශන ඉදිරියට ගිය බව මාධ්‍ය පරිශීලනය කරපු අය දන්නවා.

ඔබ යම් විවේචනයක් ඉදිරිපත් කළාට පොදුවේ ගත්තොත් ඒක ප්‍රමාණවත් නෑ. සමස්ත විද්වත් ප්‍රජාවගෙන් මේ වැඩවලට විරුද්ධ ව හඬක් මතු නොවීම මේ කඩාවැටීමට මූලික හේතුවක්ද..?
ඒක පිළිගන්න  ඕනෙ. ඇත්ත. ඒත් රාජ්‍ය නිලධාරීන් නිහඬ ඇයි. විද්වතුන් නිහඬ ඇයි. බලය තියෙන්නෙ දේශපාලනඥයන් ළඟ. කවුරුහරි ඔවුන්ට විරුද්ධව කතා කරන කොට ඔවුන් බලය පාවිච්චි කරනවා. ඒ වගේම තමයි, විද්වත් වේවා, රාජ්‍ය නිලධාරීන් වේවා ඔවුන් අතරත් එකමුතුකමක් නෑ. ඒකත් දේශපාලන යාන්ත්‍රණයට වාසිදායක තත්ත්වයක්. කතා කරන කෙනාට තනි කරලා ගහන්න පුළුවන්. එක් අවස්ථාවකදි ඒ විදියට මගේ වැඩ තහනම් කළා. ඊළඟ අවස්ථාවෙ මාව ඉවත් කළා. මේ වගේ උදාහරණ තියෙනවා.
අවසානෙට රාජ්‍ය සේවකයා අසරණ වෙනවා. ඊට පස්සෙ කවුරුත් බලන්නෙ නෑ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. අපි ඒක පටන් අරගෙන තියෙනවා. රාජ්‍ය සේවකයන්ට වේවා, විද්වතුන්ට වේවා එළියෙ ශක්තියක් තියෙන බව තේරුණොත් ඔවුන් නිහඬව ඉන්නෙ නෑ. ඒක නිසා ඒ ශක්තිය ඔවුන්ට දෙන්න  ඕනෙ. විශේෂයෙන්ම කියන්න  ඕනෙ, තරුණ පරපුර අපිට වඩා හුඟක් ඉස්සරහින් ඉන්නවා. ඔවුන් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නවා. අපි ඔවුන්ට ශක්තියක් විය යුතුයි.

සේයා රූ: ඩේලිමිරර් අනුග්‍රහයෙනි.