Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ගල් අගුරු දූවිල්ලෙන්
නොරච්චෝල විනාසයි!

විසි වසරකට පෙර, බරපතළ මහජන විරෝධතා මැද ඉදි කළ නොරොච්චෝල ගල් අගුරු බලාගාරය මේ වන විට ඒ අවට ජනතාවට ජීවත් වීමට ‍නොසුදුසු පරිසරයක් නිර්මාණය කර තිබේ. එහෙත් බලධාරීහු නෑසූ කන්ව සිටිති.

14.08.2017  |  
පුත්තලම දිස්ත්‍රික්කය
ගල් අගුරු කුඩු

”දැන් පේනවා නේද විනාසෙ තරම? මේවට මුල් වුණ දේශපාලකයන් ගෙනල්ල මෙහෙ පදිංචි කරන්න ඕනෑ” එස්ලන් තාසන් පවසයි. කෝපයත් වේදනාවත් ඒ වචනවල තැවරී තිබේ. ඔහු නොරොච්චෝල ප්‍රදේශයේ ජීවත් වන ගොවියෙකි. නොරොච්චෝල ගල් අගුරු බලාගාරය නිසා සිදු වන දැවැන්ත පරිසර විනාශයේ ගොදුරු බවට පත් දස දහස් ගණනක් අතරින් ඔහු එක් අයෙකු පමණි.

”මේක හැදුවම මේ ප්‍රදේශය සුර පුරයක් වෙනවා කියල තමයි කිව්වේ. දැන් මේක අමු අපායක්. ජීවත් වෙන්න සුදුසුම නැහැ…” ඔහු කතාව නිම කිරීමටත් පෙර හමා ගිය සුළගත් සමග ගල් අගුරු කුඩු මිශ්‍ර දුහුවිල්ලක් මගේ මුහුණේ තැවරිණි.

”දැක්ක නේද? ඔය තත්ත්වය තමයි හැමදාම. අපිට නිදහසේ හුස්ම ටිකක් ගන්න තියන අයිතියත් නැති කරලා තියෙන්නේ. අපි වගා කළාට අපි මේවා කන්නේ නැහැ. මොකද මේවල ගල් අගුරු කුඩුයි දුහුවිල්ලයි තියනවා. ඒ වගේම මේ එළවළු පලතුරු විකෘති වෙලා තියෙන්නේ. ඒ නිසා මේවා කන්න හොද තත්වයක නැහැ කියල අපි දන්නවා. නමුත් අපිට වගා නොකර බැහැ. ඒ නිසා අපි මේවා වගා කරලා මුළු ලංකාවටම යවනවා. සමහර විට රජ මන්දිර වලටත් මේවා යනවා ඇති. මොකද මේවල කල්පිටි එළවළු, පලතුරු කියල ගහල නැහැනේ.” මා අසල සිටි තවත් ගොවි තරුණයෙක් පැවසිය.

ඒ කතාව ඇත්ත මේ නිසා අපේ එළවළු- පලතුරුවලට තියන ඉල්ලුමත් අඩුවේගෙන යනවා. දමයන්ති සේනාධිපති, ගමේ තරුණයන්ගේ කතාවට එක් වෙමින් කීවාය.

දැන් දැන් රතු බීට් කළුයි. අපිට මේවා රතු කරන්න අමතර පරිශ්‍රමයක් දරන්න වෙලා තියනවා.

”දැන් දැන් රතු බීට් කළුයි. අපිට මේවා රතු කරන්න අමතර පරිශ්‍රමයක් දරන්න වෙලා තියනවා. මේවා මේ තත්වයෙන්ම කොළඹ යවන්න බැහැනේ…”   ආර්. එම් විනෝදනී පැවසුවාය.

පේන තෙක් මානයේ ඇත්තේ ගොවි බිම්ය. ගල් අගුරු අළු මිශ්‍ර සුළං රැලි නරතුරුව ඒ ගොවි බිම් සිසාරා හමා යයි. මිනිසුන්ට පමණක් නොව ගහකොළවලට පවා නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය අහිමි කර තිබේ. හැම තුරු පතක්ම කළු පැහැ ගල්අගුරු කුඩු ආස්තරණයකින් වැසී ඇත. ඒ පෙනෙන හානියයි. ගොවීන් පැවසූ කරුණු අනුව නොපෙනෙන හානිය ඊට වඩා බොහෝ බරපතළ බව නිසැකය.

බලෙන් හැදූ ‘බලාගාරය’

කල්පිටිය නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල් අගුරු විදුලිබලාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම ගල් අගුරු විදුලි බලාගාරයයි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් මෙම විදුලි බලාගාරය ඉදිකිරීම පිළිබද මුලින්ම සැලසුම් සැකසුණේ 1995 වසරේදීය.

අගුරු කුඩු කන්ද

අදියර 03 ක් යටතේ නිමකරන්නට සැලසුම් කෙරුණු මෙම ව්‍යාපෘතියට චීන රජයෙන් ඩොලර් මිලියන 455ක් ලබා දීමට එකග විය. මුල් අදියරේ සියයට 06ක පොලියක් යටතේ ඩොලර් මිලියන 155ක්ද, සියයට 02 පොලිය යටතේ ඩොලර් මිලියන 300ක්ද ලැබුණු අතර ලංකා ආණ්ඩුවෙන් මිලියන 5300ක් මේ සදහා යෙදවිණි. භුමි ප්‍රමාණය හෙක්ටයාර් 93කි. එම භූමියේ පදිංචිව සිටි පවුල් 80ක් මුලින්ම ඉවල් කරනු ලැබිණි. 2007 වර්ෂය මුලදී මෙහි ඉදිකිරීම් ආරම්භ විය. මෙහි සම්පුර්ණ විදුලි ධාරිතාව මෙගාවොට් 900කි. එය ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 25 කි. මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කර ඇත්තේ චීන ඉංජිනේරුවන්ය.

මේ බලාගාරයය ඉදිකිරීමේදී කල්පිටියේ ජනතාව දැඩි විරෝධයක් පළ කළ අතර එයට ප්‍රධාන හේතුව ලෙස විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ පරිසරයට සිදුවන විනාශයයි. ‍එවිට දේශපාලකයින්ද, වගකිවයුතු රාජ්‍ය ආයතනද, නිලධාරීන්ද, ඇතැම් විශේෂඥයින් ලෙස පෙනී සිටින්නන්ද සහතික කර කියා සිටියේ එවැනි හානියක් සිදු නොවන බවයි. නමුත්, අද වන විට ඒ සියල්ල මුසාවන් කරමින් එදා විරෝධතා කරුවන්ගේ සටන් පාඨ සත්‍යයක් වී තිබේ.

බිලිගත් ජීවිත

”1997.04.25, මේ දිනය නොරොච්චෝලේ ගමට අමතක වෙන්නේ නැහැ. මේ ගල් අගුරු බලාගාරයට විරුද්ධ වුණ ප්‍රදේශවාසීන් මර්දනය කරන්න එවකට පැවති රජයේ නියෝගයෙන් වෙඩි තිබ්බා. අපේ විජේසිංහ සෝමසිරි මැරුණා. තවත් කීප දෙනෙකුට තුවාල වුණා . එදා බරපතළ විදියට තුවාල වුණ අපේ සහෝදරයෙක් දිගටම ඔත්පලව ඉදලා, පහුගිය කාලේ මැරුණා. එදා අපේ ගම්මානවල ජනතාව කිව්ව දේ රජය ඇහුවා නම් අපිට මේ විනාශය වෙන්නේ නැහැ. අපි කිව්වේ මේක ජනශූන්‍ය ප්‍රදේශයකට ගෙනියන්න කියලයි. නමුත් බලධාරීන් ඔවුන්ගේ හිතුමතේ වැඩ කළා”

නොරොච්චෝල පරිසර සුරැකීමේ සංවිධානයේ සභාපති ඩබ්ලිව්. කැනිෂියස් පීරිස් ඒ ටික කියන විට, ඔහුගේ නෙතගට කදුළු නැංවිණි.

විනාශ වූ පොල් ගස්

”මේ බලන්න”කැනිෂියස් ළග සිටි තරුණයෙක්, අසල තිබූ පොල් පැළයක අත්තක් අතින් පිරිමැද සිය අත්ල ‍අප දෙසට විදහා පෙන්වීය. ඔහුගේ අත, දැලි වළදක් ඇල්ලූ කලෙක මෙන් කළු පාටය.

මෙහෙ ගොඩක් අයට ස්වසන රෝග ,ඒ වගේම ගෙදරක දොරක බඩුවක් තියා ගන්න බැහැ. වැලක දාලා ඇදුමක් වේලාගන්න බැහැ. ඒ අතින් අපි හරීම අවාසනාවන්තයි , ඩිලාන් චමින්ද සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේ සිය නිවසේ ඇති කළු දුහුවිල්ල තැවරුණු භාණ්ඩ කීපයක්ද පෙන්වමිනි.

බලධාරීන් නිහඩයි

ස්වර්ගස්ථ වූ අති උතුම් ෆ්‍රෑන්ක් මාක්ස් රදගුරුහිමිපාණන්, එකල මේ බලාගාරය නොරොච්චෝලේ ඉදිකිරීමට තදබල ලෙස විරුද්ද විය. එම අඩි පාරේ යමින් කතෝලික පියත්මන්ලා රැසක් මෙයට විරුද්ධ වූ අතර ඉලන්තඩිය වත්මන් මීසම් පාලක රනිල් සදරුවන් පියතුමාද ජනතාව සමග එක්ව මේ විනාශය පිළිබදව බලධාරීන් දැනුවත් කරමින් සිටි.

”අපි මේ වන කොට කියන්න ඕනෑ සියලු තැන් වලට කියල ඉවරයි. සලකාබලන්නම් කියල අපි දන්වපු ආයතන වැඩි ප්‍රමාණයකින්ම කියල එවල තියනවා. නමුත් වෙච්ච් සලකා බැලිල්ලක් නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද මේ ප්‍රශ්නය වැඩි වෙනවා. අපේ ජනතාවගේ ජීවිත විනාශ වෙනවා. මේ ගල් අගුරු කුඩු මුහුදට ගිහිල්ලා, ඒ වගේම මේකෙන් පිට කරන උණු ජලය මුහුදු ජලයට දාලා මුහුදේ සැලකියයුතු ලෙස මත්ස්‍ය ගහනය අඩු වෙලා. ගල් අගුරු කුඩු වගේම ගල් අගුරු දහනය කරලා ඉවත ලන අළු ප්‍රදේශය පුරා පැතිරිලා වගාව වගේම ජනතාවගේ සෞඛ්‍යයටත් බරපතළ ලෙස බලපාලා තියනවා.

දරුවන්ගේ ඉරණම

අප සිටියේ පනීඅඩිය රෝමානු කතෝලික දෙමළ විදුහලේ එළිමහනේය. එය නොරොච්චෝල ගල් අගුරු බලාගාරයට ඉතා ආසන්නව පිහිටා තිබේ.

”මේ බලන්න මේ ළමයින්ගේ අත්” පනීඅඩිය පාසලේ නියෝජ්‍ය විදුහල්පති මොහොමඩ් අන්වර්, පාසල් දරුවන් කිහිපදෙනෙකු පෙන්වමින් පැවසුවේය. ඔවුහු සිය අත් මා දෙසට විදහා පෙන්වූහ. ඒ අත් කළුම කළු පාටය. සුදු ඇදුම්ද කළු පැහැගෙන තිබිණි.

”මම මේ පාසලට ආවේ මීට අවුරුදු පහකට ඉස්සර. ඒ එද්දී මේ පොළොව සුදු වැල්ලෙන් පිරිල තිබුණා. අද ඒ වැල්ල කළු වෙලා. මෙහෙම ගියොත් මේ ළමයි ඔක්කොම ලෙඩ වෙයි. මේ ගැන අපි දැනුම් දීලා තියනවා. කොහොමද ළමයි මේ විදියට අළු ගොඩක ඉගෙනගන්නෙ?

”මේ බලන්න මේ ළමයින්ගේ අත්”

නීතිඥ ජගත් ගුණවර්ධන, නොරොච්චෝල බලාගාරය පිළිබද මුල් කාලයේ සිටම අධ්‍යනය කළ පරිසරවේදියෙකි. ඔහු පෙන්වා දෙන්නේ මුල සිට නිසි තාක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම මේ පරිසර විනාශයට හේතුව බවයි.

‘වහා පියවර ගන්න’

”ගල් අගුරු බලාගාර ඉදිකිරීම නෙවෙයි වරද. මේ බලාගාරය ඉදිවුණේ නිසි තාක්ෂණික ක්‍රමවේදයකට නෙමෙයි. මුලින්ම මේක හදන්න තීරණය වුණේ මීගමුව දුන්ගාල්පිටියේ. පසුව ජනතා විරෝධය මැද ස්ථාන කීපයකටම ගිහිල්ලා නොරෝච්චෝලේට අවා. එදා හිටිය පුත්තලමේ දේශපාලකයන් මේක හිස් මුදුනින් පිළිගත්තා. පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ ගැන අධ්‍යයනය කරන්න කියල රට රටවලට එක්ක ගියා. නමුත් නිසි තාක්ෂණික ක්‍රම වේදයකට මේ බලාගාරය ඉදි කළේ නැහැ. ඒ නිසා තමයි මේ සියලු පාරිසරික ගැටලු ඇති වෙලා තියෙන්නේ. ඉවතලන අළු නිසි ක්‍රමවේදයකට වළලා දමන්න දැන්වත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. තව දෙයක් තමයි, ප්‍රමතියෙන් උසස් ගල් අගුරු දැන්වත් ගෙන්වීමට ක්‍රියා කළ යුතුයි.

පසුගිය වසර කීපය තුළම කීවා සේ මෙවරද ප්‍රශ්නය උග්‍ර වූ අවස්ථාවේ විදුලිබල මණ්ඩලයේ උත්තරය වන්නේ සුළං බාධකයක් ඉදි කර මේ ගැටලුවට විසදුම් ලබා දෙන බවයි. අප කළ විමසුමේදී විදුලිබල අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් පැතුම් පැස්කුවෙල් ඒ පිළිතුරම යළි පුනරුච්චාරණය කළේය.

‘බූරුවෝ නෙවෙයි’

“ගොඩක් අය හිතාගෙන ඉන්නවා පුත්තලමේ ඉන්නේ බූරුවෝ කියල. අපිව ගොනාට අන්දන්න පුළුවන් කියල. නමුත් අපිත් මේ වෙනකොට රටෙම් ජනතාව ගොනාට අන්දන බව ඔය කවුරු කවුරුත් දැනගත්තොත් හොදයි” ජේ. මරිය රීටා මාතාව පැවසුවේ කේන්තියෙනි.

”මොකද ඒ කතාවේ තේරුම?”

”..ඒවා කිව්වොත් තවත් අපිටම තමයි පාඩු. ඒවා කියන්න තරම් අපි බූරුවෝ නෙමෙයි. ලොකු ලොක්කන්ට කියන්න ඇවිත් හොයාගන්න කියලා!”