Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සියදිවි නසාගැනීම්වලින් සෑහෙන ප්‍රමාණයකට
අපේ ජනමාධ්‍ය සෘජුවම වග කිවයුතුයි

ශ්‍රී ලංකාවේ මාධ්‍ය, ආචාරධර්ම රැකීම සම්බන්ධයෙන් සතුටු විය හැකි තත්ත්වයක නැත. එහෙත් ආණ්ඩුව මාධ්‍ය නියාමනයට අතගැසීම ඊට පිළියමක්ද? වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානී දීපාංජලී අබේවර්ධන ඒ ගැන මෙසේ අදහස් දක්වන්නීය.

16.09.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය
Head of Ethics Eye, Deepanjalie Abeywardena.

ජනමාධ්‍ය ආචාරධර්ම ගැන කතා කරන Ethics Eye වගේ මෙහෙයුමක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ඇයි?
අපි දිනපතා සහ සතිපතා මාධ්‍ය විශ්ලේෂණය කරනවා. මාධ්‍ය හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන අපි අවධානයෙන් ඉන්නවා. ඒකෙදි අපිට පැහැදිලි වන දෙයක් තමයි, හැම වෙලාවෙම අපේ රටේ වාර්තාකරණය තියෙන්නෙ ගුණාත්මකභාවයෙන් අඩු තැනක කියන එක. විශේෂයෙන්ම පුවත්පත් වාර්තාකරණය ගැන තමයි අපි අවධානය යොමු කරන්නෙ. මේ ක්ෂේත්‍රය වඩාත් වෘත්තීයභාවයට ළං කරන්න අපිට වගකීමක් තියෙනවා කියලා අපි හිතුවා. ඒ ඔස්සේ තමයි අපි අපේ ෆේස්බුක් පිටුව ආරම්භ කළේ.

මේ සමීක්ෂණ කරන්නෙ කොහොමද, සියලූ පුවත්පත් නිරීක්ෂණය කරනවද, ඒක ප්‍රායෝගිකව අමාරු තත්ත්වයක්…?
ඔව්. එහෙම සමීක්ෂණ කරන්න අමාරුයි. අපි නියෝජනයක් ගන්නෙ. දිවයින ඉරිදා සහ දිනපතා, මව්බිම ඉරිදා සහ දිනපතා, ලංකාදීප ඉරිදා සහ දිනපතා, දිනමිණ සහ සිළුමිණ. ඇත්තටම අපිට මුලදි අදහසක් තිබුණෙ නෑ, මොන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වාර්තා කරන කොටද වැඩියෙන් මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය වෙන්නෙ කියලා. හැබැයි දැන් අපි දන්නවා, දිනපතා සිය ගාණකට වඩා වාර ගාණක් මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරනවා කියලා. අපේ දත්ත ගබඩාව අපි දිනපතා අලූත් කරනවා. මාධ්‍ය ආචාරධර්ම සම්බන්ධයෙන් දැනුවත්භාවයක් ඇති කරන එකයි අපේ අරමුණ. සෑහීමකට පත්වෙන්න බැරි වුණත් යම් පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.

ශ්‍රී ලංකාවේ අපි සහ අපේ අසල්වැසි රටවල් සංසන්දනය කළොත්, මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කියන කාරණය ඔබ කොහොමද විග්‍රහ කරන්නෙ…?
එක උදාහරණයක් ගත්තොත් ඉන්දියාවේ නිර්භයා කියන දැරියගේ සිද්ධිය. ඇය ලිංගික අපරාධයකට ගොදුරු කරලා, ඊට පස්සෙ මිය යනවා. ඉන්දියාවේ මාධ්‍ය ඇයගේ අනන්‍යතාව හෙළි කළේ නෑ. නිර්භයා කියන නම පවා අන්වර්ථ නාමයක්. හැමෝම ඒක භාවිත කළා. ශ්‍රී ලංකාවේ සේයා සදෙව්මි, යාපනයේ විද්‍යා වගේ උදාහරණ සීයක් විතර දෙන්න පුළුවන්. ඒකම ඇති.
ශ්‍රී ලංකාව මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය අතින් වෙනත් රටකට වඩා පහළින් ඉන්නවා කියලා හරියටම කියන්නත් බෑ, ඉහළින් ඉන්නවා කියලා කියන්නත් බෑ. ඒක සිද්ධියෙන් සිද්ධියට වෙනස් වෙනවා. අපි පාකිස්තානය ගත්තොත් ඒ රටේ මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය අතිශයින්ම ඉහළයි. ඒගොල්ලො ප්‍රචණ්ඩකාරී සිදුවීම්, ලිංගික අපරාධ වගේ ඒවා නාට්‍යමය වශයෙන් ඉදිරිපත් කරනවා. ඒකට මුල්තැනක් දෙනවා. එහෙම බලද්දි ලංකාව යම්තාක් දුරකට හොඳයි. ඒත් ඒකෙන් කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ.

මාධ්‍ය ආචාරධර්ම ගැන කතා කරද්දි නිතර කතා කරන දෙයක් තමයි, හානිය අවම කිරීම…?
ඔව්. අර හැම වෙලාවෙම කියන්නෙ තමන්ට මේක වුණා කියලා හිතලා වාර්තා කරන්න කියලා. සමහර අන්තර්ජාතික ආයතනවල උපදෙස් දෙනවා, මේ වාක්‍යය තමන් වැඩ කරන මේසෙ ගහගන්න කියලා. එතකොට තමන්ට දැනෙනවා වැඩියි. හැම ආගමකම කියනවනෙ අනුන්ට යමක් කරන කොට ඒක තමන්ට වුණොත් කියලා හිතන්න කියලා. හැම වෙලාවෙම යම් සිදුවීමක් වාර්තා කරන කොට ඒක තමන්ට සම්බන්ධ කරලා හිතන්න පුළුවන් නම් මේ මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනයන් සෑහෙන්න අඩු කරන්න පුළුවන්. ඒ වගේම හානි අවම කරන්න පුළුවන්.

ඇයි ඔබ මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් විතරක් වැඩි අවධානයක් යොමු කරන්නෙ, ශ්‍රී ලංකාවෙ වැඩියෙන්ම මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය වන තැනක් තමයි, රූපවාහිනිය…?
ඇත්ත. ඒක මං පිළිගන්නවා. ඒත් තවමත් ශ්‍රී ලංකාවෙ වැඩි විශ්වාසය තියෙන්නෙ මුද්‍රිත අකුරු ගැන. මිනිස්සු රූපවාහිනියෙන් ප්‍රවෘත්ති බලනවා. ඒත් පත්තරේ මේක තියෙන්නෙ කොහොමද කියලා අවසානෙට බලනවා. ශ්‍රී ලංකාවෙ තවමත් ජනමනස නිර්මාණය කරන්නෙ පුවත්පත්.

මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනයට අදාළව නීතිමය පියවර ගැනීමේ ඉඩක් ශ්‍රී ලංකාවෙ තියෙනවද?
තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වුණා කියලා ශ්‍රී ලංකාවෙ නීතිය ඉදිරියට යන්න ටිකක් අමාරු තත්ත්වයක් තියෙන්නෙ. පෞද්ගලිකත්වය කියන එක අපිට තවම ආගන්තුකයි. ඒත් මාධ්‍ය ආචාරධර්මවල පැහැදිලිව සඳහන් වෙනවා, මේ වැරදි කරන්න බෑ කියලා. ශ්‍රීලංකා පුවත්පත් ආයතනයෙදි එක් නීතිඥවරයෙක් ඉතා හොඳ තර්කයක් ගෙනාවා, සියදිවි නසාගැනීම පමණක් නෙමෙයි, වක්‍රව හෝ සියදිවි නසාගැනීමට යම් කෙනෙක් උදව් කරනවා නම් ඒකත් අපරාධයක් කියලා. පැහැදිලිවම මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරලා මේ අපරාධය කොච්චර කරනවද. මාධ්‍ය සෘජුවම වගකියන්න ඕනෙ ශ්‍රී ලංකාවෙ සියදිවි නසාගැනීම් වලින් සෑහෙන ප්‍රමාණයකට. කහවත්තේ එහෙම මාධ්‍ය මගින් අරාධකාරයෙකු කරපු කෙනෙක් සියදිවි නසා ගත්තා. ලංකාවෙ මීට කලින් සාපරාධී අපහාස නීතිය කියලා එකක් තිබුණා. ඒක කිසිසේත්ම අවශ්‍ය එකක් නෙමෙයි. ඒත් ස්වයං නියාමනයක් අවශ්‍යයි.

වර්තමාන ආණ්ඩුවත් ආපහු නියාමන පද්ධතියක් හඳුන්වා දෙන්න උත්සාහ කරනවා…?
ඒක ගැටලූවක්. ඒකට එකඟ වෙන්න බෑ. මාධ්‍ය අචාරධර්ම ආරක්ෂා කිරීම කියන්නෙ ස්වයං නියාමන යාන්ත්‍රණයක් හරහා සිදු විය යුතු දෙයක්. ඒකට පුවත්පත් පැමිණිලි කොමිසම තියෙනවා. ඒක ශක්තිමත් මදි නම් තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. එහෙම නැතිව නීති හදන එක අනුමත කරන්න බෑ.


මාධ්‍ය කියන්නෙ රාජ්‍යයේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදිලා තිබිය යුතු දෙයක්. රාජ්‍යයේ බලපෑමක් වෙනවා කියන්නෙම එතැන මාධ්‍ය නිදහස නැති කිරීමක් සිද්ධ වෙනවා.

කවුරුහරි හිතනව නම්, රාජ්‍යයට මැදිහත් වෙලා මේ මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරන එක නවත්තන්න පුළුවන් කියලා ඒක හිතළුවක් විතරයි. ඒකෙන් සැබෑවටම වෙන්නෙ ඇත්ත වාරණය කරන එක.

කොහොමද ඔබ කියන ආකාරයේ ශක්තිමත් ස්වයං නියාමන ක්‍රමයක් ඇති කරන්නෙ…?
ඒකට හොඳ සාකච්ඡුාවක් අවශ්‍යයි. ඒ සාකච්ඡාවට රටේ හැම ක්ෂේත්‍රයකම පිරිස් සම්බන්ධ කර ගත යුතුයි. දැනුවත් කිරීම හරහා තමයි ඒක කරන්න පුළුවන්. මං උදාහරණයක් කියන්නම්. ආගමික සහ වාර්ගික ගැටුම් ගැන මාධ්‍ය මීට පෙර ඉහළින් වාර්තා කළා. ඒත් ඒ ගැන සමාජයේ ප්‍රමාණවත් නැතත්, යම් කතිකාවතක් ඇති වුණා. විවිධ පාර්ශ්ව ඒවාට විරුද්ධව හඬ නැගුවා. අද වෙනකොට ඒවා වාර්තාකරණයේ පැහැදිලි අඩුවක් දකින්න පුළුවන්. ඒවා වාර්තා කරන කොට යම් සංයමයකින් වාර්තා කරන බව පේන්න තියෙනවා. මේකෙන් අදහස් කරන්නෙ නෑ, සීයට සීයක් අපි හොඳ වෙලා කියලා. සමහර තැන්වල තවමත් ඉතා දරුණු ලෙස ඒ වාර්තාකරණයන් සිදු කරනවා. ඒත් සාපේක්ෂව සතුටුදායක ලෙස මාධ්‍ය ක්ෂේත්‍රය ඉදිරියට යමින් තියෙනවා.
මාධ්‍යවේදීන්ට පුහුණුවීම් අඩුයි. මාධ්‍යවේදීන් පුහුණු කරන, මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් උනන්දු කරන වැඩසටහන් අඩුයි. උදාහරණයක් විදිහට සියදිවි නසාගැනීම් ගැන වැඩමුළු කිහිපයක් අපි කළා. ඒකෙන් පස්සෙ දිනමිණ පුවත්පත සියදිවි නසාගැනීම් වාර්තාකරණයෙදි ඉහළ සංයමයක් පෙන්වලා තිබුණා. ඒක යම් යම් අවස්ථාවල බිඳවැටෙනවා තමයි. ඒත් සාපේක්ෂව දියුණු වන බවක් පෙනුණා.

ආපහු ආණ්ඩුවෙන් ගේන්න හදන නියාමනයට එමු. අපිට මොනවද මෙතැනදි කරන්න පුළුවන්…?
කරුණු තුනක් නිසා අපිට මේකට එකඟ වෙන්න බෑ. ඒක පැහැදිලි කරලා ඉන්නම්. එකක් තමයි, මාධ්‍යවේදීන් ජාතික ආරක්ෂාව කියන හේතුව මත ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගෙ මූලාශ්‍ර හෙළි කළ යුතුයි කියන කාරණය. ඒක අනුමත කරන්න බෑ. ජාතික ආරක්ෂාව කියන කාරණය පාවිච්චි කරලා මාධ්‍යවේදියෙක් නීතිය ඉදිරියේ දණ්ඩනයට ලක්කරන්න ගන්න උත්සාහය වැරදියි. මොකද රාජ්‍ය කියන්නෙ අහිංසක ආයතනයක් නෙමෙයි. එය ඕනෑම අවස්ථාවක මර්දනකාරී විය හැකියි. ඒකට අපිට උදාහරණ තියෙනවා. මෙහෙම නීතියක් ගෙනැත්, මේක රාජ්‍යය මගින් අවභාවිතා නොකරයි කියලා කාටහරි සහතිකයක් දෙන්න පුළුවන්ද?
දෙවැනි කාරණය තමයි, කෙනෙකුට යම් වාර්තාකරණයක් මගින් අපහාසයක් වෙලා තියෙනවා නම් අධිකරණයට යන්න කලින් ස්වාධීන කවුන්සිලය ඉදිරියට යන්න ඕනෙ කියන එක. එතැනින් අනුමත කළොත් විතරයි අධිකරණයට යන්න පුළුවන් වෙන්නෙ. අධිකරණයෙන් යුක්තිය ඉල්ලීම ඕනෑම පුරවැසියකුට තියෙන අයිතියක්. ඒක ස්වාධීන කවුන්සිලයකින් තීරණය කරන්න පුළුවන්ද? මේ විදිහට කවුන්සිලයක් හරහා සමථ කරගන්න යොමු කරන එක පහසුයි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. එතකොට අධිකරණයට යාමේ අයිතිය, ඒක ගැන මොකද කියන්නෙ?
ඊළඟට මේකෙ ස්වාධීනත්වය. මේ ස්වාධීන කවුන්සිලය පත්කරන්නෙ ජනාධිපතිවරයා, ඒකට නම් යෝජනා කරන්නෙ ව්‍යවස්ථාදායක සභාව කියලා තමයි කියන්නෙ. හැබැයි ව්‍යවස්ථා සභාව කියලා කියන්නෙ පාර්ලිමේන්තුව නියෝජනය කරන, දේශපාලන පක්ෂ නියෝජනය කරන දේශපාලනඥයො හත් දෙනෙක් ඉන්න තැනක්. එහෙම තැනකින් යෝජනා කරලා, ඊට පස්සෙ ජනාධිපතිවරයගෙ අනුමැතියටත් ගිහින් එන තීරණ කොයිතරම් දුරට ස්වාධීනද කියන ප්‍රශ්නය අපිට තියෙනවා.
ඒ වගේම ඊට වඩා පුළුල්ව බැලූවොත් මේ නියාමනය කියන එක ආණ්ඩුවේ වැඩක් නෙමෙයි. ආණ්ඩුවට සම්බන්ධ වෙන්න අයිතියකුත් නෑ මේකට. මේක මාධ්‍ය කර්මාන්තය තුළින්ම පැමිණිය යුතු දෙයක්. එංගලන්තයේ මේ වගේ දෙයක් වුණහම ඬේවිඞ් කැමරන්ට සිද්ධ වුණා, පියවරක් ආපස්සට ගන්න. ඒ වගේම එහෙ මාධ්‍යවේදීන් එකතු වෙලා ස්වයං නියාමන පද්ධතියක් හදාගත්තා.

අපේ රටේ ඉන්න මාධ්‍ය හිමිකරුවන් මේ වගේ වැඩක් ඉදිරියට ගෙනියන්න කොයිතරම් දායකත්වයක් දෙයිද, උදාහරණයක් විදියට මූල්‍ය දායකත්වය…?
ලෝකයේ මාධ්‍ය කවුන්සිල ක්‍රියාත්මක වෙන විධි දෙකක් තියෙනවා. එකක් මාධ්‍ය කර්මාන්තයෙන්ම මුදල් යොදවනවා. අනෙක, රාජ්‍ය මගින් සල්ලි දෙනවා, ඒත් කිසිම විදියකින් මැදිහත් වෙන්න බෑ. සල්ලි දෙන්න කොන්දේසි නෑ. මොකද මේ දෙන්නෙ පොදු මහජන මුදල්. ජර්මනිය, ෆින්ලන්තය වගේ රටවල තමයි මේක සිද්ධ වෙන්නෙ. ඒත් ලංකාවෙ දේශපාලන සංස්කෘතිය වෙනස් කියන එකත් අපි තේරුම්ගන්න ඕනෙ. ඒ වගේ දියුණු සංස්කෘතියක් අපේ රටේ නෑ. ඒක නිසා ඒ රටවල තියෙන ක්‍රම ඒ විදියටම අපේ රටට ආදේශ කරන්න අමාරුයි. ඒ නිසා අපේ ක්‍රමයක් ඇති කර ගැනීමයි වැදගත්.