Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සැමරුම් විලාසිතාවෙන් ඔබ්බට ගිය
මනුෂ්‍යත්වයේ ජූලියක්

තිස් පස් වසරකට එපිට හට ගත් වර්ගවාදී තුවාළ යළි නොපාරා, කළු ජූලිය සහ ජාතික සමගිය පිළිබඳ කතිකාවතක් ගොඩනගන්නට පමා වී හෝ එය නිමිත්තක් කර ගැනුම, සංහිඳියා ගමනට අතීතයෙන් ලද හැකි හොඳම පන්නරය යි. මේ ඒ ගැන දිගහැරෙන දෙබසකි.

18.07.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

2018 වසරට කළු ජූලියට වසර තිස් පහකි. 1983 ජුලි 23 වැනි දින ශ්‍රි ලංකාවේ ඇතිවුණු වර්ගවාදි කැරැල්ල හැඳින්විමට පොදුවේ යොදන නම “කළු ජූලිය”යි. ඒ ඛේදවාචකය පිළිබඳ සිවිල්, විද්වත්, මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සංවිධාන 15කට අධික සංඛ්‍යාවක් හා එක්ව ‘එක රටක් – මනු පවුරක්‘ තේමාව යටතේ කළු ජූලිය සහ ජාතික සමගිය පිළිබඳ කතිකාවතක් ගොඩනගන්නට සමාජවාදී තරුණ සංගමය කටයුතු කරමින් සිටියි. මේ ඒ සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සමඟ කළ කතාබහකි.

ඛේදවාචක පදනම් කරගෙන ව්‍යාපෘති කරන එක විලාසිතාවක් වෙලා. සමාජවාදී තරුණ සංගමයෙන් කරන ‘එක රටක් – මනු පවුරක්‘ වැඩසටහනත් එවන් කළු ජූලිය විලාසිතාවට සැමරීමක් කියලා කාට හරි කියන්න පුළුවන්…?

ඉතිහාසයේ ඛේදවාචකයන් නැවත නැවත මතක් කරන එක සම්බන්ධයෙන් යළිත් හිතන්න ඕනෙ තමයි. ඒත් කළු ජූලිය කියන්නෙ රටේ වගේම ලෝකයේත් මිනිස්සුන්ගෙ හිත් කම්පනයට පත්කරපු සිදුවීම් දාමයක්. ඒක නිසා අපිට අවශ්‍යයි, කළු ජූලිය මනුෂ්‍යත්වයේ ජූලියක් කරන්න. ඒක ඛේදවාචකය යළි යළිත් මතක් කිරීමක් නෙමෙයි. ඉදිරියට මෙවැනි සිදුවීම් නොවෙන්න අපි වැඩ කළ යුත්තේ කෙසේද කියන එක තමයි අපි අවධාරණය කරගන්න ඕනෙ. අපිට තනියෙන් මේ වැඩේ කරන්න බෑ, අපිත් එක්ක මේ වැඩසටහනට සිවිල්, මාධ්‍ය, විද්වත් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුළුල් පරාසයක විහිදුණු සංවිධාන පහළොවක් එකතු වෙලා ඉන්නවා. ජාතිවාදයට මතවාදීමය ප්‍රබල කඳවුරක් තියෙනවා. ඒක නිසා ඒකට එරෙහි මතවාදය පෝෂණය කරන්න මෙවැනි වැඩසටහන් අවශ්‍යයි. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ලබන 23 වැනිදා ඒකට අදාළ දැවැන්ත වැඩසටහනක් අපි කරනවා.

2009 සිට 2018 දක්වා ගත වුණු තීරණාත්මක කාලය තුළ ජාතිවාදයට සහ ආගම්වාදයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

සමාජවාදී තරුණ සංගමය විදිහට අපි ඒ ක්‍රියාවලිය ගැන කිසිසේත්ම සෑහීමකට පත්වෙන්නෙ නෑ. යුද්ධය 2009 ඉවර වුණාට අපි 2008 ඉඳලා මේ ප්‍රශ්නෙට යුද්ධයෙන් විතරක් විසඳුමක් දෙන්න බෑ, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාති-ආගම් එකතු වෙන්න ඕනෙ කියන තැන හිටියා. ඒක නිසා තමයි අපි 2008 ඉඳලා අද වන තෙක් වගේම ඉදිරියටත් ජාතික සමගිය වෙනුවෙන් වැඩවලට මැදිහත් වෙන්නෙ. සෑහීමකට පත්වෙන්න බැරි වුණත්, අපි උපරිමයෙන් වැඩ කරන්න උත්සාහ කරමින් ඉන්නවා.

අහිංසක සිවිල් ජනතාවගේ අයිතිවාසිකම්

2006 අවුරුද්දෙදි උතුරේ යුද්ධය වඩාත් තීව්‍ර කරන්න ජනතා විමුක්ති පෙරමුණත් බලපෑම් කළා. කොටින්ම ඒකට පසුබිම හැදුවෙත් ජවිපෙ. එහෙම තැනක ඉඳලා දැන් සංහිඳියාව ගැනත් කතා කරනවා. මේ ගැන සමාජවාදී තරුණ සංගමයට දැන් තියෙන්නේ මොන වගේ අදහසක්ද?

පවතින තත්ත්වයන් යටතේ තමයි දේශපාලන තීන්දු-තීරණ ගන්නෙ. අපේ පක්ෂයත් එහෙමයි. පහුගිය කාලයේ මතුවෙමින් තිබුණු දෙමළ ජාතිවාදය මර්දනය කරන්න යුදමය වශයෙන් මැදිහත් විය යුතුයි කියන ස්ථාවරය ගත්තෙත් එහෙමයි. නමුත් යුද්ධය අවසාන වීමෙන් පස්සෙ ආපහු හැරිලා බලන කොට අපිට අපි ගැන යම් කම්පනයක් තියෙනවා. ඒ මැදිහත්වීම හරහා උතුරේ සහ නැගෙනහිර අහිංසක සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්, ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත්වෙන්න අපිට බැරි වුණා. කොහොමත් යුදමය වටපිටාවක් තුළ ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කරන්න බැරි බව අපේ පක්ෂයත්, සමාජවාදී තරුණ සංගමයත් දන්නවා. අපි ඒක කිව්වා. ඒ වගේම යුද්ධය අවසාන වෙන්නත් කලින් 2008දි අපි ජාතික සමගිය ගොඩනගන්න අවශ්‍යයි කියන සංවාදය ගෙනාවා.


අපි යුද්ධය අවසන් වුණු පළමු පැයේ කිව්වෙ දැන් තියෙන්නෙ කිරිබත් කන්න නෙමෙයි, මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ජාතික සමගිය ඇති කරන්න මැදිහත් වෙන්න කියලා.

පහුගිය අවුරුදු නවයක කාලය ගත්තොත්, ජනතා විමුක්ති පෙරමුණට වගේම සමාජවාදී තරුණ සංගමයටත් උතුරේ සහ දකුණේ සමානව ක්‍රියාකාරී වෙන්න බැරි වෙලා තියෙනවා. ඇයි තවදුරටත් එහෙම වෙලා තියෙන්නෙ…?

තිස් අවුරුදු යුද්ධයක් ඇතුළෙ අපිට විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ සමාජයට ආමන්ත්‍රණය කරන්න, ඔවුන් සමඟ වැඩ කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. නමුත් යුද්ධය අවසන් වෙලා පළමු පැයේ සිටම අපේ පක්ෂයත්, අපේ තරුණ සංගමයත් ඔවුන් සමඟ වැඩ කරන්න පටන්ගත්තා. අපි තරුණ සංගමය විදිහට විශේෂයෙන්ම අපේ සංවිධායක සහෝදරවරුන් හරහා පහුගිය කාලය තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා. අපි ඔවුන් සමඟ වැඩ කරමින් ඉන්නවා. කවුරු හරි ඇහුවොත් ඒ ඇතිද කියලා. නෑ, කිසිසේත්ම නෑ, මේ වැඩවලින් සෑහීමකට පත්වෙන්න අපි සූදානම් නෑ.

දැන් තියෙන්නෙ කිරිබත් කන්න නෙමෙයි

විශේෂයෙන්ම යුද්ධය දැක දැක ඉපදිලා, යුද්ධයත් එක්කම ජීවත් වුණු තරුණ පරපුරේ පශ්චාත් යුද මානසිකත්වය වෙනස් කරන්න තරුණ සංගමයට මැදිහත්වීමට හැකියාව තිබුණා. ඒත් ඔබේ සංගමය ඒක මගඇරියා…?

අපි ඒක මගඇරියෙ නෑ. අප යම් තරමකට හෝ අධ්‍යයනය කළා නම් දකින්න පුළුවන්, අපි පහුගිය කාලයේ දෙමළ සමාජය, මුස්ලිම් සමාජය එක්ක සහෝදරත්වය ගොඩනංවන්න කටයුතු කරපු ආකාරය. ඒ වගේම අපි විශ්වාස කරන්නෙ නෑ, මේ ජාතික සමගිය ගොඩනැගීම පක්ෂයකට, සංගමයකට තනියෙන් කරන්න පුළුවන් වැඩක් කියලා. ඒක සාමූහික ක්‍රියාවලියක්. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා මේ භයානක ප්‍රශ්නය විසඳන්න මැදිහත් වුණු ආකාරය අධ්‍යයනය කළ යුතුයි. ඒක එක උදාහරණයක් විතරයි. රජය, දේශපාලන පක්ෂ තමන්ගේ පෞද්ගලික අරමුණු පැත්තකට දාලා මේ ජාතික සමගිය ගොඩනැගීමේ සාමූහික ක්‍රියාවලියකට මැදිහත් විය යුතුයි. ඒ නිසාම තමයි, අපි යුද්ධය අවසන් වුණු පළමු පැයේ කිව්වෙ දැන් තියෙන්නෙ කිරිබත් කන්න නෙමෙයි, මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ජාතික සමගිය ඇති කරන්න මැදිහත් වෙන්න කියලා. ඒත් තක්කඩි ආණ්ඩු ඒකට මැදිහත් වෙනවා වෙනුවට මොකද කළේ කියලා අපි දැක්කා. කිරිබත් කමින්, ප්‍රභාකරන්ගෙ ෆොටෝ පෙන්නමින් යුද්ධයේ ආතල් ගත්තා විතරයි. ඒක දකුණු අප්‍රිකාවේ වුණේ නෑ.

2015න් පස්සෙ බලයට ආපු මේ ආණ්ඩුව සංහිඳියාව ගැන සෑහෙන්න කතා කළා. ආණ්ඩුවේ මුල් කාලෙ ජවිපෙත් ලොකු තැනක හිටියා. ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ…?

මේ ආණ්ඩුවෙ බ්‍රෑන්ඩ් තමයි, සංහිඳියාව, යහපාලනය. හැබැයි ඒ බ්‍රෑන්ඩ් මහ පොළොවට ගේන්න, මිනිස්සු අතරෙ පැළ කරන්න මේ ආණ්ඩුවට කිසිම වුවමනාවක් තිබුණෙ නෑ. එහෙම බෑ කියලා තේරුම් ගත්ත පළමු අවස්ථාවෙම අපේ පක්ෂය ඔවුන් සමඟ තිබුණු සම්බන්ධතා අවසන් කළා. මේ ආණ්ඩුව හැමෝම එක්ක සෙල්ලම් කරනවා. දූෂිතයන් රකිනවා. ජාතිවාදය එක්ක සෙල්ලම් කරනවා. ජාතිවාදය තමන්ගෙ දේශපාලන අරමුණු වෙනුවෙන් පහුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් භාවිත කරනවා. මහනුවර සිදු වුණු දේවල් අපි දැක්කා.

සිංහල අන්තවාදීන්ට දුන්නු තවත් චාන්ස් එකක්

ආණ්ඩුවෙ නියෝජිතවරියක් වන විජයකලා මහේෂ්වරන් මහත්මියගෙ ප්‍රකාශයේ කොටසක් විතරක් අල්ලගෙන මාධ්‍ය හරහා ලොකු සංවාදයක් ගොඩනැගුවා. ඇය කියපු උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගැන ජනතා විමුක්ති පෙරමුණට, තරුණ සංගමයට කතා කරන්න තිබුණනෙ. ඔබේ පාර්ශ්වයත් ඒක මගඇරියා…?

අපි කතා නොකළා නෙමෙයි. ඒත් ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය වුණාද කියන ගැටලුව තියෙනවා. විජයකලාගෙ ප්‍රකාශය ගැන අපිත් මාධ්‍ය ගත්තු කොටසින් විතරක් අරගෙන කතා කරන්න ලෑස්ති නෑ. ඒක ඊට වඩා ගැඹුරුයි. මේකත් මේ ආණ්ඩුව රට තුළ ඇති කරපු අරාජික බවේ තවත් එක කොටසක්. දකුණේ එක හාමුදුරු නමක් කිව්වා, අපිට හිට්ලර් හොඳයි කියලා. උතුරේ විජයකලා ප්‍රභාකරන් අවශ්‍යයි කියනවා. විජයකලාගෙ ප්‍රකාශය අපි කිසිසේත්ම අනුමත කරන්නෙ නෑ. ඒක දකුණේ සිංහල අන්තවාදීන්ට දුන්නු තවත් චාන්ස් එකක්. ඒ වගේම විජයකලා ඊළඟ ඡන්දෙන් දිනනවා. මං ඒ කතාව සම්පූර්ණයෙන් ඇහුවා. දකුණේ වගේම උතුරේ ජනතාවට තියෙන ඇත්ත ප්‍රශ්න ගැන ඒ කතාවෙ තියෙනවා. අපි ඒ කොටස ගත යුතුයි කියන තැන අපි ඉන්නවා.

හොඳ මිනිසුන්ගේ නිහඬ බව අපරාධයක්

ජාතික සමගිය කියන ප්‍රශ්නයට අදාළව ශ්‍රී ලංකාවෙ තියෙන බරපතළම ඛේදවාචකයක් තමයි, විද්වතුන්ගේ නිහඬ බව. මේ පාර්ශ්ව එකතු කරන්න, නැත්නම් ඔවුන් කතා කරවන්න ඔබේ පාර්ශ්වයටත් වගකීමක් තියෙනවා. ඒ වගකීම මෙතෙක් ඉටු වන බවක් නම් පේන්නෙ නෑ…?

හොඳ මිනිසුන්ගේ නිහඬ බව අපරාධයක් තමයි. අපි 2008 ඉඳලා ඔවුන් සමග විවිධ වැඩසටහන් කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා, කිසිම පුරවැසියෙකුට මේ ප්‍රශ්නයෙන් මගඇරලා ඉන්න බෑ කියලා. රටේ ජාතික සමගිය ඇතිකරන්න හැමෝම මැදිහත් විය යුතුයි. විශේෂයෙන්ම යම් ආකාරයකට මතවාදී විදිහට බලපෑමක් කරන්න පුළුවන් පාර්ශ්ව නිහඬව ඉඳලා හරියන්නෙ නෑ. ඒක අපිට තනියෙන් කරන්න බෑ. ජාතිවාදී කඳවුර ප්‍රබලයි. ඔවුන් විද්වතුන් වගේම සියලු පාර්ශ්ව ගිලගනිමින් ඉන්නවා. ඊට එරෙහිව එක්ව මනු පවුරක් ගොඩනගන්න අපි සූදානම්.

ගෝඨාභය රාජපක්ෂලා, විජයකලා මහේෂ්වරන්ලා එක පැත්තකින් ඡන්ද සඳහා ජාතිවාදය පෝෂණය කරද්දි, ජාතික සමගියත් අනෙක් පැත්තෙන් ඡන්දවලට හොඳ මාතෘකාවක්. ජවිපෙ ප්‍රමුඛ සමාජවාදී තරුණ සංගමයත් යන්නෙ ඒ ඉලක්කයට වෙන්නත් පුළුවන් නේද…?

ඒ විදිහෙ අදහසක් ඕනෙ කෙනෙකුට දක්වන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ පක්ෂයේ වගේම අපේ තරුණ සංගමයෙත් පහුගිය කාලෙ භාවිතාව දිහා බැලුවොත් තේරෙනවා, අපි වැඩ කරලා තියෙන්නෙ කොහොමද කියලා, අපි ජාතික සමගිය වෙනුවෙන් මැදිහත් වෙලා තියෙන්නෙ කොහොමද කියලා. මේ ජාතික සමගියට එරෙහි බලවේග හදන්නෙ කවුද? මහින්ද මහත්තයලා වගේම මේ ආණ්ඩුවත් ඒකෙන් දේශපාලන වාසි ගන්නවා. මහසොහොන් බළකාය හැදුවෙ කවුද? මහනුවර සිදුවීම්වලට සම්බන්ධ වුණු ප්‍රබල දේශපාලනඥයන්ට විරුද්ධව කිසිම පියවරක් ගත්තද? ඒක නිසා අපි කියන්නෙ අපේ භාවිතාව දිහා බලන්න. හැබැයි කවුරු හරි ඇහුවොත් ‘උඹලා මේ ප්‍රශ්නෙ කතාකරන්න ගිහින් සිංහල ජනතාවගේ ඡන්ද අඩුකර ගත්තා නේද‘ කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. අපි කිසිම අවස්ථාවක ජාතිවාදය සමඟ සෙල්ලම් කරන්න සූදානම් නෑ.