Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මනුස්සකම අහසට යවන
සමන්ත ගේ සරුංගල්

සරුංගලයක සමබරතාව නිසි ලෙස නොතිබුණොත් එය පතිත වන්නේ පොළොවට ය. එවන් සරුංගලයකට රැල්ලක් දෙකක් එකතුකොට නැවත එහි සමබරතාව පිහිටුවිය හැකි මුත් මිනිස් ජීවිතවල සමබරතාව ගිලිහී ගියහොත් එය සමබර කිරීම හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. බලංගොඩ සරුංගල් සමන්ත ඒ බවට සිය රැකියාවෙන් ම අපට පහදා දෙයි.

30.07.2018  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

“මේ සරුංගලත් අපේ ජීවිතත් එක වගේ මහත්තයෝ හරියට බැලන්ස් කරගත්තෙ නැත්නම් කූරියා ගහනවා. හැබැයි කූරියා ගහන සරුංගලයක එක පැත්තක රැල්ලක් දෙකක් කඩලා දාලා හරි ආයිමත් බැලන්ස් කරගන්න අමාරු වෙන්නෙ නෑ. ඒ වුණාට මිනිස්සුන්ගෙ ජීවිත බැලන්ස් කරගන්න එක හරිම අමාරුයි. මං මේ අත්දැකීමෙන් කියන්නෙ. ජීවිත ගොඩදාගන්න මහන්සි වෙන එකට ජාතියක් ජම්මයක් නෑ. සිංහල, දෙමළ, මුස්ලිම් කවුරුත් ඒකට මහන්සි වෙන්න ඕන.”

ඒ හවරි නුගය යට නිල්වන් තණ පලස මත්තේ මා හා කතාබහට එක්වුණේ සමන්ත කුමාර ය. නැත්නම් බලංගොඩ කවුරුත් දන්න සරුංගල් සමන්තය. තිස් හය හැවිරිදි විවාහකයෙකු වන සමන්තට දරු දෙන්නෙකි. ඔවුන් දෙන්නා බලංගොඩ පොදු ක්‍රීඩාංගණයේ පසෙක කෙළිදෙලෙන් පසු වෙති. සමන්තගේ බිරිය කාන්තාවක සමග ප්‍රිය භාෂණයක ය. මා හා කතාබහට එක්වන්නට පෙර ඔහු හුන්නේ මිතුරෙකුගේ ත්‍රිරෝද රථයක් තුළ ය.

ඔහු අහිංසක මනුස්සයෙකි. ගැටවර වියේ සිටම කුලියක් මලියක් කරමින් ජීවිතය ගැටගහගන්නට උත්සාහ ගත් අයෙකි. විවාහ වූ පසුවද බිරියට මහ ලොකුවට නැතත් පහසු ජීවිතයක් දෙන්නට උත්සාහ කළ නමුත් අනතුරකින් පසු ජීවන ගමන් මග වෙනස් කරන්නට සිදුවූ අයෙකි. “හදිස්සියේ  සිද්ධ වුණු කරදරේ හින්දා හැමදේම කරගෙන හිටපු මට හැමදේම කරන්න බැරි වෙන තත්ත්වෙකට පත්වුණා. ඊටපස්සෙ තිබ්බෙ මොනවාහරි කරලා ජීවත්වෙන බලාපොරොත්තුව විතරමයි.”

ජීවිතේ බර සරුංගලයක එල්ලීම

“අපේ ගමේ බට පඳුරු තිබ්බා. ජීවිතේ ගොඩදාගන්න විදිහක් බලපු මම දැක්කෙ ඒ බට පඳුරු”. සමන්තගේ කතාවෙ අද දිශානතිය ඇරඹෙන්නෙ එතැනිනි. ඔහු බාල කාලෙ සරුංගලයක්, වෙසක් කූඩුවක් හදන හැටි දැනගෙන හිටියේ නැත. ඒ කලාව දැන් හුන් උදවියගෙන් අහලා ඉගෙන ගන්න හැදුවාට කවුරුවත් කැමැත්තෙන් සමන්තට ශිල්පය කියලා දුන්නෙත් නැත. ඔහු කළේ දැක බලා ඉගෙන ගැනීමය.

/

“මං බලාගෙන ඉඳලා ඉගෙනගත්තා. අපේ ගමේ හැමෝම වෙසක් කූඩු හදන්න දන්නෙ නෑ. මං මුලින් මට කියා නොදුන්නු මාව එළවාගත්ත අය වගේ නැතිව හැමෝටම ඕන වෙලාවක උදව් වුණා. සමහරුන්ට කූඩු හදලා දුන්නා. හැබැයි සල්ලිවලට  නෙවෙයි. ගමේ හිතවත්කමට. ඒත් පස්සෙ ඒ අය මගේ මහන්සිය වෙනුවෙන් කීය කීය හරි දුන්නා. අසනීප වුණාට පස්සෙ මගේ ඔළුවට ආපු රස්සාව මේක තමයි.”

සමන්තගෙ වෙසක් කූඩු හදන රස්සාව හැමදාම කරන්නට බැරි එකකි. මිනිහෙකුට වෙසක් කූඩු විකුණලා ජීවත්වෙන්න ලැබෙන්නෙ සිංහල අවුරුද්දෙන් පස්සෙ වෙසක් දවස ලබනකම් විතරය. හරියටම බැලුවොත් ඒ මාසෙකට අඩු කාලයකි. එසේ සිතුණ ද  ඒ සිතුවිල්ල නිවැරදිම නැත.  සමන්ත මේ රස්සාවෙන් මුළු අවුරුද්දම ජීවත් විය යුතුය. සමන්තට එසේ කරන්නට පුලුවන් ව ඇත්තේ මුළු බලංගොඩටම පමණක් නොව පැල්මඩුල්ලට ම යනතෙක් ම වෙසක් කූඩු හදා කඩවලට දාන්නෙ සමන්ත නිසා ය.

” මේක අවුරුද්දෙ මාස හත අටක් කරන්න ඕන කර්මාන්තයක්. මිනිස්සු පාර අයිනෙ හරි කඩවල හරි වෙසක් කූඩු දකින්න පටන් ගන්නෙ වෙසක් දවසට සතියකට විතර ඉස්සරනෙ. හැබැයි මං මගේ නෝනාත් එක්ක වෙසක් එකට ලෑස්ති වෙන්නෙ කලින් අවුරුද්දෙ අගෝස්තු ඉඳලා. මේක ලොකු වැඩක්. අපි අහළ පහළ තියෙන බට ගස් හොයාගෙන ගිහිං කපලා ගේන්නෙ අගෝස්තු මාසේ. ඊටපස්සෙ ඒවා සුද්ධ කරන්න ඕන. ගැට රහින්න ඕන. කූඩුවල සයිස් එකට කපලා ඒ කූරු ගාණට සුද්ධ කරගන්නත් ඕන. ඒකට ටිකක් කල් යනවා. ඊටපස්සෙ තව මාස කීපයක් කූඩු බඳින වැඩේ පුළුවන් හැටියට කරනවා. අන්තිමට වෙසක් කිට්ටු කරලා කඩවලට දානවා. මාත් පාර අයිනෙ තහඩු කඩයක් හදාගෙන කූඩු ටිකක් විකුණනවා. ඒකෙන් ලැබෙන ආදායම වැඩියිනෙ.”


වෙසක් කූඩු ගන්නෙ සිංහල අය විතරක් වුණාට දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ටත් සරුංගල් ඕන.

ඒ අතර ඔහු විශේෂ ඇණවුම්වලටද වෙසක් කූඩු තනා දෙයි. සමන්ත එක්තරා අන්දමක කලාකරුවෙකැයි කියූ කල හිනැහෙමින් කියන්නේ අප වැනි මිනිසුන් දල්වන හැම වෙසක් පහන් කූඩුවකින්ම එළිය වන්නේ සිය දරු පවුලේ ජීවිත බවය. කෙසේවූවත් වෙසක් අහවර වූ පසුව පහන් කූඩු විකිණීමේ රස්සාව නිමාවට පත් ටෙයි. එහෙත් ඔහුම පවසන අන්දමට මහ පොළව හැම මිනිහෙකුටම කරුණාවන්ත වෙන්නට පුළුවන් තරම් උත්සාහ ගනියි. ඒ නිසා මැයි මාසයේ සිට අගෝස්තුව දක්වා තදින් සුළං හමන ප්‍රදේශයක් බවට බලංගොඩ අවට පත්වෙමින් ඔහුට අලුත් රස්සාවක කොන්ත්‍රාත්තුවක් බාර දෙයි. ඒ සරුංගල් හැදීමේ රස්සාවයි. ඉදින් ඉතිරි මාස කිහිපය ජීවන බර සරුංගලයක එල්ලා ඔසවා තබන්නට ඔහුට හැකි වේ.

ඔහුගේ සරුංගල් කලාගාරය වන්නේ බලංගොඩ මහජන ක්‍රීඩාංගණයයි. එහි එක් ඉවුරක ඇති හවරි නුගයේ හෙවණ සමන්තට සහ දරු පවුලට සොබාදහමෙන්ම ලියා දී ඇත. නුග වෘක්ෂයේ ශාඛා විසිතුරු වී ඇත්තේ එල්වා තබන ලද නේක වර්ණ විසිතුරු සරුංගල්වලිනි. මා එහි යනවිට සරුංගල් වැඩි ගණනක් විකිණී තිබුණි. ඉතිරිව තිබුණු සරුංගල මිල රුපියල් සියයේ සිට තුන්හාරසිය දක්වා වන විවිධ ප්‍රමාණයේ ඒවා ය. හැඩය අනුව ඒවාට විවිධ නම් ද තිබේ. සමහර සරුංගල් නයි ද, සමහර ඒවා වවුලන් හෝ වෙනත් පක්ෂීන්ද වේ. එසේත් නැත්නම් විවිධ හැඩතලවල ආකෘති වේ.

පාට පාට සරුංගල්

“අඩි දෙතුන් දාහක් උඩ යන්න සරුංගල් හදන්න පුළුවන්. ඒකනම් කලාවක්. හැමෝටම කරන්න බෑ. බලන්න අර සරුංගලය” ඔහු ඉහළ අහසේ ඇති සරුංගලයක් මට පෙන්වයි. මගේ ගණන් බැලීමට අනුව එය නූල් අඩි දෙදහසක්වත් උසිනි. ඒ සරුංගලය පොළවට පෙනෙන්නේ පුංචි ගේ කුරුල්ලෙකු තරමටය.

“සරුංගල් හදන්න පොල් ඉරටු, තල් ඉරටු, බට පතුරු, ලොකු එව්වා නම් කිතුල් පිතිත් ගන්නවා. පුංචි ඒවා තෙල් කඩදාසි අලවලා හදනවා. ලොකු ඒවා සාරි වලින් නැත්නම් ඉටි රෙදිවලින්.”

/

ඔහු සරුංගලද වෙළඳසල්වලට තොග මිලට අලෙවි කරයි. එහෙත් සමන්තගේ වැඩි මනාපය ඇත්තේ පොදු ක්‍රීඩා පිටියේ සිට තමන්ම සරුංගල් විකිණීමට ය. එහිදී සතුටුවන්නට තවත් විදියක්ද ඇත. මේ පිටිය පිහිටා ඇත්තේ කුඩා කඳු ගැට දෙකක් අතර දෙණියක ය. ඒ නිසාම සමනල අඩවියේ සිට හමන සීතල සුළං දහරා නිරන්තරයෙන් ඒ ඔස්සේ හමයි. එය සරුංගල් ඇරීමට කදිම පරිසරයකි.

“ඒක තමයි වටිනාම දේ. මෙතෙන්ට හැම ජාතියකම මිනිස්සු එනවා. වෙසක් කූඩු ගන්නෙ සිංහල අය විතරක් වුණාට දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ටත් සරුංගල් ඕන. සරුංගල් ගන්නෙ හිතක් පපුවක් තියෙන මිනිස්සු. පුංචි උන් වගේ සරුංගල යවලා හිතේ බර හෑල්ලු කරගන්න කැමති මිනිස්සු. එහෙම නැත්නම් තමන්ගෙ දරු පැටවුන්ට ආදරෙන් සරුංගල් ඇරන් දෙන මිනිස්සු. මේ පිට්ටනියෙ සරුංගල් අරින වෙලාවට හැම මිනිහම එකයි. කවුරුත් ඒකෙන් සතුටු වෙනවා. මගේ සරුංගලවලට දෙමළ මුස්ලිම් මිනිස්සුත් සල්ලි ගෙවනවා. මාව අගය කරනවා.”

මිනිස්සු හරිම අහිංසකයි

සමන්ත පදිංචිව ඉන්නේ දෙහිගස්තලාවේය. ඒ අවට වැඩිපුර පදිංචිව ඉන්නේ මුස්ලිම් ජනයා ය.

“මුස්ලිම් අය මගේ ගෙදරට එනවා. මට කියලා ලස්සන ලොකු සරුංගල් හදාගන්න. ඒවාට ලයිට් වැල් හිට එල්ලනවා. රෑට තමයි අහසට යවන්නෙ. හරි ලස්සනයි. එහෙම යවලා සතුටු වෙනකොට මිනිස්සු හරිම අහිංසකයි”.

සුන්දර දේවලට මිනිසුන් අහිංසකයන් බවට පත්කළ හැකිය. මගේ දරුවා වෙනුවෙන් මිලට ගත් සරුංගලය අප වෙනුවෙන් උඩු ගුවනට යවන්නට ඉදිරිපත් වුණේ පුංචි දෙමළ දරුවන් දෙන්නෙකි. ඔවුන් තුටුපහටු කළේ මගේ දරුවාය. ඒ මොහොතේ මට දැණුනේ දරුවන්ට ජාතියක් නැති බවම පමණය.

” වෙසක් කූඩු හදන්නෙ නැති කාලෙට මං සරුංගල්වලින් චාමෙට ජීවත් වෙනවා. හැබැයි සතුටින්. සරුංගල් සල්ලි දීලා ගන්න හැමෝටම අහස උසට යවන්න තේරෙන්නෙ නෑ. ඒ වෙලාවට මං ඒවා යවලා දෙනවා. දෙමළ මුස්ලිම් අයට පවා ඒ වෙලාවට මාව වීරයෙක්. මං ඒකෙන් සතුටු වෙනවා. ඒ හින්දා මට පුළුවන් වෙලා තියෙනවා අහිංසක දරුවන්ට සරුංගලයක් නොමිලෙ දෙන්න වුණත්. වතුවලින් එන, මේ ටවුමෙ කුණු ගෙනියන දෙමළ අයගේ දරුවො ඇවිල්ලා මාමෙ සරුංගලයක් දෙන්න කිව්වම මං දෙනවා. මට ඒ වෙලාවට මගෙ දරුවො දෙන්නා මතක් වෙනවා”.