Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දුක සැප දෙකේදී ම පවුල හා බැඳෙන
ඉලත්තට්ටුව

හෙළයන් ගේ සියලු මංගල අවස්ථාවලදී බුලතට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පිළිගැනීම, ළෙන්ගතුකම පළ කිරීම, හිතවත්කම් ඇතිකර ගැනීම ආදී අවස්ථා මෙන්ම තොරතුරු සන්නිවේදනයේදී ද බුලත් විශේෂ කාර්යක් ඉටුකරයි. බුලත් කී සැණින් අපේ මතකයට එනේ ඉලත්තට්ටුවයි. පිළිගැන්වීම පිණිස බුලත් තැන්පත් කර තැබීම සදහා යොදාගන්නා ඉලත්තට්ටුව පවුල හා බැඳි විශේෂ මෙවලමකි.

19.11.2018  |  
මාතර දිස්ත්‍රික්කය

එකල තරුණියක් දීග දීමේදී ලබාදෙන දෑවැද්දට අනිවාර්ය භාණ්ඩ ලෙස පිත්තලින් සැකසූ සෙම්බු දෙකක්, කළයක්, පඩික්කමක්, කොත්තිලක්කු පහනක් මෙන්ම ඉලත්තට්ටුව ද ලබාදීම අනිවාර්ය අංගයකි.

බුලත්, පුවක්, හුණු, දුම්කොළ සමඟ ගිරයක් ද තැබූ ඉලත්තට්ටුව තබන්නේ ගෙයි පිල මත ය. ඒ ගෙදරට ගොඩවන කෙනකුට පළමුවෙන් පිරිනමන්නට ය. අද නිවසට එන අමුත්තාට පළමුව තේ කෝප්පයක්  ලබාදීම සිදුකළ ද එදා නිවසට ගොඩවූ සැණින් පළමුව වතුර වීදුරුවත් “විටක් එහෙම හපලම ඉඳිමුකො“ කියමින් දෙවනුව ඉලත්තට්ටුවත්, තෙවනුව තේ කෝප්පයත් පිරිනැමීමත් එදා සිරිත විය.

පවුල හා ඉලත්තට්ටුව අතර බැඳීම 13 වන සියවස දක්වා දිවෙන ඈත අතීතයකට හිමිකම් කියයි. කෙනකුගේ උපතේ සිට මරණය දක්වාම පවුල හා සිදුවන සුබ අසුබ සියලු අවස්ථා හා මෙය බැදී පවතී.

“එදා දරුවකු ඉපදුණාම දරුවාගේ කන් ඇසීමේ ආබාධයක් නොවන්න ඉලත්තට්ටුවට ගසා සිහින් ශබ්දයක් දරුවාට අහන්න සැලැස්වීම සිදු කළා. ඉන් උපතේ සිට   ඉලත්තට්ටුව හා බැඳී පවත්නා සම්බන්ධය මනාසේ හදුනාගත හැකිවෙනවා“යි රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සන්ධ්‍යා කහඳගමගේ මහත්මිය පවසන්නී ය. ජනශ්‍රැති ආශ්‍රයෙන් මේ පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර ඇති සන්ධ්‍යා කහඳගමගේ මහත්මිය පවසන පරිදි අතීතයේ සිටම මෙරට සියලු පළාත්වල විශේෂයෙන් ග්‍රාමීය වශයෙන් ඉලත්තට්ටුව හා පවුල අතර එදා මෙන්ම අදට ද ඇත්තේ නොබිඳුණු සබඳතාවය‍කි.

මල්වර නැකතේදී ඉලත්තට්ටුව යොදාගන්නා ආකාරය

අලුත ඉපදුණු දරුවාට ඉඳුල් කටගෑමේදී, අකුරු කියවීමේදී, දියණිය වැඩිවියට පත්වීම අතුළු සුබ අවස්ථාවන්හි සංකේතයක් වන්නේ ඉලත්තට්ටුවයි. වැඩිවියට පත්වූ දියණිය සුබමොහොතින් දිය නා  පිරිසුදුවී නිවසට ගොඩවද්දී අම්මා, ලොකු අම්මා, ලොකු නැන්දා හෝ පවුලේ වැඩිහිටි කාන්තාවක් ඉලත්තට්ටුවට සුදු ඇතිරිල්ලක් දමා බුලත් අතුරා ඒ මත මුදල් කනකර අබරණ තබා දෑතින් රැගෙන ඉදිරියට පැමිණ ආදර ගෞරවයෙන් යුතුව පිළිගනියි. මල්වර නැකතේදී වස්දොස් බංගවීම සඳහා දියණියගේ හිස වටා තෙවරක් ඉලත්තට්ටුව කරකැවීම ද තවත් චාරිත්‍රයකි.

විවාහයකදී මනාලිය බැලීමට සිය මාපියන් සමඟ නිවසට පැමිණෙන මනලයා, මනාලිය විසින් පිළිගනු ලබන්නේ ඉලත්තට්ටුවේ අලංකාර ලෙස බුලත් දමා එය සුදු ඇතිරිල්ලකින් වසා පිරිනැමීමෙනි. මනාලයා සුදු ඇතිරිල්ල ඔසවා බුලතයක් ගැනීම, බුලතයක් ගෙන පඬුරක් ඔතා නැවත ඒ මත තැබීම කැමත්ත ප්‍රකාශ කිරීමයි. බුලත් නොගැනීම, බුලතයක් ගෙන පසෙකින් තැබීම, බුලතයක් ගෙන කණපිට හරවා නැවත තැබීම අකමැත්ත ප්‍රකාශ කිරීමයි. මෙහිදී ඉලත්තට්ටුව දැකුම් තට්ටුව ලෙස හැඳින්වේ. මංගල්‍යය පිළිබඳ නෑදෑයන්ට ආරාධනා කරන්නේ ද ඉලත්තට්ටුව මත බුලත් තබා පිළිගැන්වීම මගිනි.

කැමැත්ත ලැබීමෙන් පසු විවාහයක් සිදුවීමේදී සිය පිරිවර සමග නැකතට මනාලියගේ නිවසට එන මනාලයා ඇතුළු පිරිවර පිළිගන්නේ ද මනාලියගේ මව, බුලත් දමා සරසන ලද ඉලත්තට්වුව රැගෙන නිවසේ දොරකඩ සිටීමෙනි. නැකැත් විධි අතර පෝරු චාරිත්‍රයේදී මනාල යුවළ නැකතට අනුව පෝරුවෙන් බැසීමෙන් අනතුරුව පවුලේ වැඩිහිටි මාමාණ්ඩිය පැමිණ බුලත් යොදා සරසන ලද ඉලත්තට්ටුව ගෙන මනාලිය අතට දී එය දෑතින්ම මනාලයාට පිළිගන්වා පසඟ පිහිටුවා වැඳීම සිදුකරයි. ඉන් පුරාණයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන සිරිත් විරිත් අනාගත පරපුරට දායාද කිරීම සිදුකරයි.

මනාලියගේ මාපියන් නැකැත් විධි අවසානයේ චාරිත්‍රානුකූලව ලබාදෙන දෑවැද්ද පිරිනමන්නේ ද ඉලත්තට්ටුවේ තබා ය. ඉලත්තට්ටුවට බුලත් අතුරා ඒ මත මුදල්, රන් අබරණ, බැංකු ඉතුරුම් ආදිය තබා සුදු ඇතිරිල්ලකින් වසා සියලු නෑදෑයින් ඉදිරියේ මනාලියගේ මව විසින් මනාලයාගේ මව වෙත පිරිනැමීම ඉලත්තට්ටුව, පවුල හා බැදී පවතින තවත් විශේෂිත අවස්ථාවකි.

අවුරුදු මේසය සරසන ඉලත්තට්ටුව

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රයට අනුව ගනුදෙනු කිරීමේ චාරිත්‍රයේදී අනිවාර්යයෙන්ම ඉලත්තට්ටුව යොදාගැනීම ගැමියා පාරම්පරිකවම රැකගෙන එන චාරීත්‍රයකි. එහිදී සුදු ඇතිරිල්ලක් යෙදූ ඉලත්තට්ටුව බුලත් කොළවලින් සරසා ඒ මත කාසි මුදල් නෝට්ටු තබා අවුරුදු මේසය මත තබා මේසය අලෙවි කිරීමට එන තැනැත්තා එය දෑතින් ගෙන නිවසේ සැමට අල්ලයි. එහිදී ඉන් කාසියක් ගැනීම සියල්ලෝම සිදුකරති. මෙය අතීතයේ සිදුවූ චාරිත්‍රය වුව ද අද වන විට එය වෙනස්වී කෑම මේසය අලෙවි කරන්නා ඒ මත ඇති ඉලත්තට්ටුවෙන් බුලත් කොළයක් ගෙන එහි කාසියක් හා නෝට්ටුවක් තබා පිරිනැමීම සිදුකරති.

උපතේදී මනා ලෙස සරසා පිල මත තබනා ඉලත්තට්ටුව විපතේදී බුලත් කණපිට හරවා සරසා තබන්නේ නිවසේ ඉදිරිපිටයි. අවමංගල්‍යයේ අවසානය සිදුවන තෙක්ම ශෝකී බව සංකේතවත් කිරීම සදහා මේ ආකාරයෙන් ඉලත්තට්වුව යොදා ගැනීම එදා මෙන්ම අදට ද ග්‍රාමීය මෙන්ම නාගරික වශයෙන් ද දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි.