Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මිනිස්සු මිත්‍යාවෙ ගිලිලා ඉන්න තරමට
අවිශ්වාසය ඇති කරන්න ලේසියි

නීතීඥවරයෙකු, ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් දිනාගැනීමේ ජනතා සටන්වල නියමුවෙකු ලෙස දශක ගණනාවක් කටයුතු කර ඇති ඔහු, වර්තමානයේදී තොරතුරු කොමිසමේ සාමාජිකයෙකු ලෙස ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් සිය කාලය යොදවමින් සිටී. එස්.ජී. පුංචිහේවා වත්මන් සමාජ ඛේදවාචක පිළිබඳ මෙසේ සිය හඬ අවදි කරයි.

01.07.2019  |  
කොළඹ දිස්ත්‍රික්කය

දැවැන්ත ජීවිත විනාශ තුනකට මුහුණ දුන්නු අපි, ආයෙමත් අවිශ්වාසය මූලික කරගෙන ජීවත්වෙන්න පටන් අරන්. ඇයි මෙහෙම නැවත නැවතත් වෙන්නෙ…?

මේ තත්ත්වයට වැඩියෙන්ම සහාය දෙන්නෙ මහජනතාව. මහජනතාවගේ හිතේ මිත්‍යාවන් රැසක් පැළපදියම් වෙලා තියෙනවා. මේ තුළ මිනිස්සු ගිලිලා ඉන්න තරමට අවිශ්වාසය ඇති කරන්න ලේසියි. මේ ඉන්නෙ ඇත්ත, සැබෑ ඡන්දදායකයෙක් නෙමෙයි. ප්‍රබන්ධ කරපු ඡන්දදායකයෙක්. දීර්ඝ කාලයක් තිස්සෙ ඒ විදිහට ප්‍රබන්ධ කරපු ඡන්දදායකයෙක්ව, එහෙම නැත්නම් මනුස්සයෙක්ව වෙනස් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඔහු තනිකරම ගිලිලා ඉන්නෙ අර ප්‍රබන්ධය තුළ.

මහජනතාව ගැන අපි පොත්පත්වල තියෙන දේවල් කියනවා. ඒත් ඒවගෙන් වැඩක් වෙලා තියෙනවද. දැවැන්ත විනාශවීම් තුනක් මෑත කාලීනව මේ රටේ සිද්ධ වුණා. හැත්තෑ එක, අසූ අට-අසූ නවය වගේම උතුරේ. පාස්තු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දැන් ආපහු අවිශ්වාසය, විනාශයකට මිනිසුන් කැඳවමින් ඉන්නවා. ඒ කියන්නෙ අර පොත්පත්වල තිබුණු දේවල් කියපු අපි පවා සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.

ඇයි එහෙම වුණේ, ඔබ ඇතුළු මේ අපි කතා කරන බුද්ධි කුලකයේ, සමාජ නියමුවන් ගේ මතයට වඩා ජනප්‍රිය සහ සුළුතරයකගේ මතය ජයග්‍රහණය කරන්නෙ කොහොමද…?

අපේ අධ්‍යාපනය සකස් කරලා තියෙන ඔළුව තියෙන්නෙ එතැන. ඒ අධ්‍යාපනය හදලා තියෙන විඥානය තමයි, අපිට ලබාගන්න බෑ, අපිට දෙන්න ඕනෙ කියන එක. ඒක නිසා ලස්සන වචනවලට මහජනතාවගෙන් බහුතරය අල්ලගන්න හරි ලේසියි. මේ සිද්ධවෙන්නෙ ඒක. නිදහසින් පස්සෙ දැන් අවුරුදු හැත්තෑවක් ගෙවිලා ඉවරයි. අපි නැගිටලාද. නෑ, තව-තවත් අවුල්-වියවුල් වැඩි කර ගන්නවා විතරයි.

ඒකට අති-ධාවනකාරී විප්ලවත් වගකියන්න ඕනෙ. ඔබ කියපු විනාශ සිදු වුණු සටන් තුනම අති-ධාවනකාරීයි. සමස්ත ජනතාව ඔවුන් එක්ක හිටියෙ නෑ. සමස්ත ජනතාව ඔවුන් එක්ක එකතු වෙනකම් ක්රඩමානුකූලව වැඩ කරන්න තරම් ඉවසීමක් ඔවුන්ට තිබුණෙ නෑ. ඒ නිසා විනාශය සිදු වුණා. ඒ විනාශයට මහජනතාව අනියමින් කොයිතරම් උදව් කළාද. මේක කළ යුතුයි, මේක අවංක චේතනාවෙන් කරන වැඩක් කියන කාරණය ජනතාවගේ ඔළුව ඇතුළෙ හැදෙන්න කලින් මේ කණ්ඩායම් ඉස්සර වුණා. ඒකෙ වාසිය ගත්තෙ අනෙක් පැත්ත. ඒ කියන්නෙ ඒ අති-ධාවනකාරී වැඩවලින් මේ කියන විඥානය හදන්න ලොකු සහායක් දීලා තියෙනවා. මිනිස්සුන්ට තවම ඒ වගේ උත්සාහයක්වත් විශ්වාස කරන්න බැරි ඒකයි. ඔවුන් දැක්කෙ විනාශය. ඉතාම සුළු හේතුවක් මත තව කෙනෙක්ව මරන්න තීරණය කරනව නම්, ඒක අර මුදල්, බලය තියෙන කණ්ඩායමට අනෙක් පැත්ත හරවගන්න දෙන ලොකු අවස්ථාවක්.

අනෙක් කාරණය මාධ්‍ය. අපි මොනවා කිව්වත් අදටත් බහුතරය බලන්නෙ, කියවන්නෙ ඔය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ටික. ඒ අයත් අර මා මුලින් කියපු විදිහටම ප්‍රබන්ධ කරපු කණ්ඩායමක්. ඔවුන් දැනුම්වත්ව වගේම නොදැනුම්වත්වත් කරන්නෙ අර සුළුතරයට අවශ්‍ය දේ.

මේ විනාශයට හේතුව අපි හරියටම අඳුරගෙන තියෙනවද, ඇයි විද්වත් කුලකයට එහෙම උත්සාහයක්වත් දරන්න හිතෙන්නෙ නැත්තෙ…?

මුළු මහත් ජනතාවක් ප්‍රබන්ධකරණය වුණු භයානක අවස්ථාවක අපි ඉන්නෙ. ඒ වගේ වෙලාවක ලස්සන වචනවලට, නිශ්චිත පුද්ගලයො කිහිපදෙනෙකුට ඒ ජනතාව මුළා කරන්න තියෙන අවස්ථාව වැඩියි. මේ තත්ත්වයයි, අපි මුලින් හඳුනාගන්න ඕනෙ.

වර්තමානය එහෙමයි කියමු. අනාගත පරපුර කොහොම වෙයිද? මේ සමස්ත අධ්‍යාපන ක්‍රමයම හදලා තියෙන්නෙ ඒ අයගේ අවශ්‍යතාවට සරිලන විදිහට. ළමයින්ට සාධාරණත්වය සහ සමානාත්මතාවය ඉගැන්විය යුතුයි. සහජීවනය ප්‍රගුණ කරවිය යුතුයි.ඒත් ඒවා කරනවද? ඒ වෙනුවට මේ ආර්ථික ක්‍රමය යටතේ වැටුප් ලබන වහල්ලු නිර්මාණය කරන අඅධ්‍යාපනයක් තියෙන්නෙ. ඒ හරහා ටික දෙනෙකුගෙ වාසියට ළමයින් පාවිච්චි කරනවා. දැන් ඔය ටැබ් දෙන එකෙන් මොකක්ද කරන්නෙ, පිටරටට අවශ්‍ය බුද්ධිමය දේපොළ අපේ ජනතාවගේ මුදල්වලින් නිර්මාණය කරලා දෙනවා. ඒ රටවල්වල ඒ තාක්ෂණයට සහ ඒ මෙහෙයුමට අවශ්‍ය පරිදි පද්ධතිය ගොඩනගලා තියෙනවා. අපේ ටැබ් දුන්නට, අපි ඒ පද්ධතිය ගොඩනගලා තියෙනවද, නෑ. ඒක නිසා ළමයි මෙහෙ ඉගෙනගෙන පිටරට යනවා. අද ළමයින්ගෙන් ප්‍රශ්නයක් විදිහට ඇහුවොත් මොනවද කරන්න ඉන්නෙ කියලා, බහුතරයකගෙ උත්තරය කොහෙ හරි රටක පදිංචියට යන එක.


මුදල් තියෙන්නෙ අර විනාශය කැන්දන අය ළඟ. මේ පොඩි-පොඩි කණ්ඩායම්වලට මුදල් බලය නෑ. මුදල් බලය පොම්ප කරන්න කවුරුත් එන්නෙත් නෑ.

අධ්‍යාපනයෙන් කරන්න ඕනෙ සැබෑ විද්‍යාත්මක චින්තනයක් ගොඩනගන එක. මිත්‍යා විශ්වාසවලට හසු නොවන දරුවෙක් නිර්මාණය කරන එක. ඒ වෙනුවට ආගම උගන්වන්නෙත් අර ලස්සන වචන කියන ටික දෙනාගේ අවශ්‍යතාවට හරියන විදිහට. විද්‍යාව උගන්වන්නෙත් එහෙමයි. අලුත් දේවල් නිර්මාණය කරන ළමයින් ඉන්නවා. ඔවුන්ට ඉස්සරහට යන්න අත දෙන ක්‍රමයක් මේ තිබුණු එක ආණ්ඩුවක්වත් හැදුවද? ඔවුන් දන්නවා, එහෙම වුණොත් ඔවුන්ට අවශ්‍ය ගිරවු ටික නිර්මාණය කරගන්න බැරි වෙනවා කියලා. ළමයි හිතන්න පටන්ගන්නවා කියලා.

හිතන්න, ජනතාව ඉන්නෙ කොච්චර දරුණු තැනකද කියලා. අර හතර දෙනෙක්ව එල්ලුවම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා බහුතරය හිතන්නෙ. ඒක තමයි මේ ගොඩනඟලා තියෙන චින්තනය. අපි වෙනස් කරන්න ඕනෙ චින්තනය. පාසලෙන් එළියට එන ළමයා මත්ද්‍රව්‍යවලට හුරුවෙන්නෙ ඇයි කියන එක ගැන අපේ රටේ එක විශ්වවිද්‍යාලයකින්වත් හරියට පර්යේෂණයක් කරලා නැහැ. විද්වතුන් හදලා තියෙන්නෙ මේ ක්‍රමය පවත්වාගෙන යන්න. ඔවුන් ඒකට උපරිම සහයෝගය දෙනවා. ඒකට හේතුව ඔවුන් යැපෙන්නෙ ඒකෙන් නිසා.

විවේචනවලින් එහාට ගිහින්, මේ විනාශයේ පාර වෙනස් කරන්න වැඩක් කරන එක අපි කොතැනින්ද පටන්ගන්න ඕනෙ…?

මූලිකව විධිමත් චින්තනයක් ගොඩනඟන නොවිධිමත් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. ඒකට විශාල සංවිධාන ව්‍යූහයක් අවශ්‍යයි. විශාල සංවිධාන ව්‍යූහයක් කියන්නෙ දේශපාලන පක්ෂ තමයි. ඒ ගොල්ලො බලය ගැනීම කියන අරමුණෙන් ඉවත්වෙන්න ඕනෙ. ජනතාවගේ විඥානය වෙනස් නොකර, ඔය තියෙන විදිහටම බලය ගන්න හදනවා කියන්නෙ ඒ ගොල්ලො කරන්නෙත් අරගොල්ලො කරන දේම තමයි. මෙ විදිහෙ පොඩි-පොඩි සාකච්ඡා තැනින්-තැන සිද්ධ වෙනවා. එත් මූලිකම ප්‍රශ්නය ආපු ගමන් ඒවා යට යනවා. ඒ තමයි මුදල්. මුදල් තියෙන්නෙ අර විනාශය කැන්දන අය ළඟ. මේ පොඩි-පොඩි කණ්ඩායම්වලට මුදල් බලය නෑ. මුදල් බලය පොම්ප කරන්න කවුරුත් එන්නෙත් නෑ. මොකද, මුදල් බලය පොම්ප කරන්න එන අය එන්නෙත් බලය හොයාගෙන.


යුක්තිය සහ සාධාරණත්වය මේ ක්‍රමය මගින් යටපත් කරලා පටු අරමුණු ඉටු කර ගැනීමේ අරමුණින් කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඒකෙන් අදහස් කරන්නෙ අපිට සාමූහික ප්‍රයත්නයක් දරන්න බෑ කියන එක නෙමෙයි. අපිට ඒක කරන්න පුළුවන්. හැබැයි ඒක කාටත් බලපාන, සාමූහික වැඩක් විය යුතුයි. නැත්නම් ආපහු ඒක යටපත් කරන්නෙත් මුලින් කියපු විදිහටම බහුතරය විසින්මයි.

දුම්රිය වර්ජනය බලන්න. ඒක තනියෙන් කළ යුතු නෑ. මේ වෘත්තීය අයිතිවාසිකම් ගැන පොදු තැනකට ඇවිත්, අනෙකුත් වෘත්තීන් එක්ක මේ සටන කරන්න පුළුවන් නම් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව වැඩියි. නැත්නම් අනෙක් ඔක්කොම යනකොට එකක් විතරක් අවුල් වෙන එක වළක්වන්න ජනතාවම ඉස්සරහට එනවා. පාලකයන් ඒ වැඩේට ජනතාව පාවිච්චි කරනවා. අපි දකිනවනෙ මාධ්‍යවලින් ජනතාවගෙන් වොයිස් කට් අරන් ඒ වැඩේ කරන විදිහ.

එතකොට කොහොමද මේ ආර්ථික ප්‍රශ්නය විසඳගන්නෙ, මූලික කාරණය මගහැරලා අනෙක් ඒවා ගැන කතාකරන්න බෑ…?

ඔව්. ඒක ඇත්ත. ප්‍රකාශනයේ නිදහස තහවුරු වෙන්නත් ආර්ථික නිදහස තහවුරු වෙන්න ඕනෙ. පෝස්ටරයක් ගහන්න, සංවාදයක් තියන්න තැනක් ගන්න නිකම් බෑ. මේක හෙමින් යන්න ඕනෙ දිගු ගමනක්. යුක්තිය සහ සාධාරණත්වය කියන එක මිනිස්සුන්ගෙ ඇතුළෙ තියෙනවා. ඒක මේ ක්‍රමය මගින් යටපත් කරලා පටු අරමුණු ඉටු කර ගැනීමේ අරමුණින් කටයුතු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අනෙක් මනුස්සයට උදව් කරන්න මිනිස්සු ලෑස්තියි. ඒත් අර ප්‍රබන්ධය විසින් මනුස්සයට බල කරනවා, නෑ, එපා, ඕක කරන්න එපා කියලා. ඒ තත්ත්වය වෙනස් කරන්න අධ්‍යාපනයට වගේම සාහිත්‍යයට, කලාවට ලොකු වැඩක් කරන්න පුළුවන්. චෙකෝෆ්ලා, ගෝර්කිලා ඒ මෙහෙයුම කළා. ඒත් අපේ කලාව ඇතුළෙ ඒ දේ කරනවද? අපේ නවකතාවල ඉන්නෙ වාහනවලින් බැහැලා එන, දෙමහල් නිවාසවල ජීවත් වෙන චරිත. ඒ කතාව කියවන කෙනා යොමුවෙන්නෙත් එතැන්ට. ඒ විදිහට වෙන්න ඔහුගෙ ඔළුව බලපෑම් කරනවා. ඒකට හොරකම, දූෂණය මෙන් ම වාර්ගිකත්වය අනුව සිදු කෙරෙන වෙනස්කොට සැලකීම ද පාවිච්චි වෙනවා.

දයාව, කරුණාව, මෛත්‍රිය හැමෝගෙම ඇතුළෙ තියෙනවා. ඒක එන්නෙ අම්මගෙන්. අම්මා හැම ළමයටම එක වගේ සලකන්නෙ. ඔය සංකල්පය තමයි ආගම්වලට ඇවිත් තියෙන්නෙ. හැම මනුස්සයා ළඟම මේ අම්මගෙන් ආපු දේ තියෙනවා. හැබැයි හැංගිලා තියෙන්නෙ. තාවකාලිකව අර ප්‍රබන්ධකරණය මගින් ඒක යටපත් කරලා තියෙන්නෙ. ඒත් ඒක මතු කරගන්න පුළුවන්. ඇතුළත ඉන්න මනුස්සයාව අවදි කරගැනීමයි වැදගත්.

අපි දකිනවා, පොඩි-පොඩි තැන්වල කුඩා අරගල හරහා ඒ ඇතුළෙ ඉන්න මිනිස්සු අවදි වෙන හැටි. ඒත් ඒ මනුස්සයව දිගටම නැගිට්ටවලා තියාගන්න පුළුවන් සාමූහික සංවිධානාත්මක ව්‍යූහයක් අපට නෑ. ඒක නිසා ටික කාලෙකින් ඒ මනුස්සයා නැවතත් අර ප්‍රබන්ධකරණයට යට වෙනවා. ඒක නිසා ප්‍රශ්නය ජයගන්න පුළුවන් සාමූහික ප්‍රයත්නයකින් විතරයි. ඒකට දෙන්නගෙන් පටන්ගන්න සංවාදය පවා අතිශයින්ම වැදගත්.