Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ඉස්ලාමීය කඳුළ පිසදැමූ
බෞද්ධ – කතෝලික සෙනෙහස

“අපි හරි සමගියෙන් සතුටින් සිටි මිනිස්සු. ඒත් මිත්යාොව මත ළඟ බලන මිනිස්සුනන්ගේ එක ක්රියාවකින් අපි මොනතරම් අමාරුවකද වැටුණෙ‘ මාතර මින්නතුල් ෆාසියියා අරාබි විද්යාලයේ ආචාර්ය එම්. හිසාම් අල්-පාසි මවුලවීතුමන් හිතට දැනුණු පීඩනය ඉහිල්කරගනිමින් පැවසුවේය.

16.08.2019  |  
මාතර දිස්ත්‍රික්කය

“අපි හරි සමගියෙන් සතුටින් සිටි මිනිස්සු. ඒත් මිත්‍යාව මත ළඟ බලන මිනිස්සුනන්ගේ එක ක්‍රියාවකින් අපි මොනතරම් අමාරුවකද වැටුණෙ‘ මාතර  මින්නතුල් ෆාසියියා අරාබි විද්‍යාලයේ ආචාර්ය එම්. හිසාම් අල්-පාසි මවුලවීතුමන් හිතට දැනුණු පීඩනය ඉහිල්කරගනිමින් පැවසුවේය. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ පැතිර ගිය වෛරී ප්‍රකාශ ඔහුගේ සිත මහත්සේ පැරීමකට ලක් කර ඇති බව මුහුණේ ඉරියව්වලින් මනාව පැහැදිලි ය.

“මේ අන්නවාදීන්ගේ ක්‍රියාවත් එක්ක අපේ සහෝදර සිංහල ජනතාව අතර ලොකු වෙනසක් ඇති වුණා. ඒක අපේ හිතට ලොකු පීඩනයක්, වේදනාවක් ගෙන දුන්නා. අපි හරි සමගියෙන් සිටිය අය. ඉස්සර පල්ලියෙන් එළියට එද්දි හමුවුණු අය හරි සතුටින් හිනාවෙලා ගියේ. මේ සිද්ධියෙන් පසු අහකබලාගෙන යන්න පටන්ගත්තා. බස්එකේ එක සීට් එකේ වාඩිවෙලා ගිය අය අපි වාඩිවුණාම නැගිටල වෙනතැනකට යන තත්වයක් ඇතිවුනා. ඒ ඔක්කොටම වඩා දුක අපි දකිනකොටම තරුණ ළමයි IS. IS. කියන්න පටන්ගත්තා“ ඒ සමඟ මවුලවීතුමන් තුළ වූයේ නිහඬ බවකි. ක්ෂණයකින් දෑස් අගින් කදුළු කඩාවැටෙන්ට පටන් ගත්තේය. මවුලවිතුමන් තම සුරතින් දෑස් පිසගනිද්දී හඬ අවදිකළේ යාබද අසුනේ වැඩසිටි අමරපුර ධර්මරක්ෂිත නිකායේ දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක අංගුණ්න බදුල්ලේ ඤාණදස්සි ස්වාමීන්වහන්සේ ය.

“මවුලවී තුමන් කියපු ඒ කතාවපෙන්වා දෙන්නේ පෘතග්ජන මිනිස්සුන්ගේ ස්වභාවය. ඒක එතුමාටවත් එතුමාගේ කණ්ඩායමටවත් සීමාවෙච්ච දෙයක් නොවෙයි. ඒක බෞද්ධ අපිටත්, කතෝලික අයටත් වලංගුයි. ඕනෑම සිදුවීමකදී මිනිසුන්ගේ හැසිරීම එහෙමයි. ඒක සිංහල, මුස්ලිම්, දෙමළ කියල බේදයක් නෑ. හැබැයි අපි මතක තියාගන්න ඕන හොඳම දේ තමයි මිනිස්සු හරිදේ තේරුම් ගත් සැණින් එය වෙනස් වෙන බව. අපි එකතුවෙලා අන්න ඒ හරිදේ තෙරුම්ගන්න මිනිස්සු හසුරවමු. එතකොට මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලබෙනවා.“ යි උන්වහන්සේ කියයි.

අංගුන්න බදුල්ලේ ඤාණදස්සී නාහිමියන්ගේ අනුශාසනාවත් සමඟ හිසාම් මවුලවිතුමාගේ මුහුණේ පිරිපුන් බවක් දක්නට විය. එය දිගු සංවාදයක් බවට අවසන පත් විණි.

“ තමන්ගෙ ආගමට මුල්තැන ගන්න හිතාගෙන මේ වගේ මිනිස් ජිවිත විනාශකරන එක සාධාරණද?‘ සංවාදයට මුලපිරුවේ මාධ්‍යවේදියෙකි.

“මුලින්ම කියන්න ඕන අපේ ස්වාමීන්වහන්සේ කී ලෙසටම අප්‍රේල් 21 සිද්ධියත් සමග ඇතිවූ තත්වය දැන් වෙනස්. එදා ඇතිවූ තත්වයෙන් අපේ රිදුණු සිත් දැන් හැදිලා තියෙන්නේ. එදා වෙනස්වුණු අපේ සිංහල අය දැන් හරිදේ තේරුම් අරන් ඉන්නේ. ඉස්ලාම් ආගමේ කිසිම තැනක තම ජීවිතය තමාම නැතිකරගැනීම හෝ අනුන්ගේ ජීවිත උදුරාගැනීම ගැන කිසිත් නෑ. මේ අන්තවාදී සුළු පිරිසකගේ වැඩක් නිසා අපි අවුරුදු සියයගණනක් රැකගත් සමගිය නැතිකරගන්න ඕන නෑ. අන්තවාදීන්ට දඬුවම් ලබාදිය යුතුයි. පෑරුණු සිත් යළි සුවපත්වෙලා තියෙන මේ වෙලාවේ අපි කවුරත් එකට සිට මේ ප්‍රශ්නය යළි ඇතිනොවන්න වැඩ කළ යුතුයි.“  හිසාම් මවුලවි තුමන් අන්තවාදය මුලිනුපුටා යළි සංහිඳියා මාවතට පැමැණීමේ අවශ්‍යතාව දැඩිව පෙන්වා දුන්නේය.

“අපි එක අම්මගෙ දරුවො වගේ හිටියෙ. අන්තවාදී සුළු පිරිසක් කරපු දෙයින් අපේ සමගියට යම් බාධාවක් ඇතිවුනා. ඒකට සියලු මුස්ලිම් මිනිසුන් ගාවාගත්තොත් ඒක වැරදියි. එය රටේ දියුණුවට ලොකු බාධාවක්. අපේ මිනිස්සු එය දැන් හොඳින් තේරුම් අරන් ඉන්නවා. අපේ කාදිනල් තුමන් තමන්ගේ පිරිසට මේ තරම් විනාශයක් සිදුව තිබියදීත් කිසිදු කෙනෙකුට හානියක් නොවන්න ඉතා ප්‍රශංසනීය ලෙස, ආදෙර්ශවත් ලෙස තම කණ්ඩායම මෙහෙයවූවා. එසේ නොවූයේනම් සිදුන විනාශය අපමනයි. ඉතිං අපි හැමෝම මේවායින් ආදර්ශ අරගෙන තම ආගමික නායකයින් දේශනාකළ මාර්ගය අනුව ගමන්නකරනවානම් මේ සියලු ප්‍රශ්නවලින් අපිට ගැලවී ඉන්න පුළුවන්‘‘ යැයි අංගුණ්න බදුල්ලේ ඤාණදස්සී නාහිමියෝ යළිත් සියලු සිත් එක මගකට යොමුකරමින් පැවසූහ.

ඤාණදස්සී නාහිමි, හිසාම් මවුලවීතුමා සහ මයිකල් කොලින් පියතුමා.

මාධ්‍ය වාර්තා, කටකතා, වෛරී ප්‍රකාශ හා මානසික පීඩනය හමුවේ මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ පාලක මයිකල් කොලින් පියතුමන් තමන් විඳි අත්දැකීම් ද විස්තර කළේ ය.

“එදා මෙම අවසනාවන්ත සිදුවීම වන විට අපේ දේවස්ථානයේ එක්දහස් පන්සියයකට වැඩි බැතිමතුන් පිරිසක් දේවස්ථානය තුළත් අවට භූමියේත් රැදී සිටියා. අපට පණිවුඩය  ලැබුණු ගමන් අපි දේව මෙහෙය නවතා ජනතාවට යන්න කීවා. එළියේ සිටි පිරිස ගියත් දේවස්ථානයේ සිටි පිරිස අප දමා යන්න කැමතිවුණේ නෑ. ආරක්ෂක අංශ ඇවිත් තමයි ඔවුන් ඉවත්කළේ.

සංවේදීම අවස්ථාව වුණේ ජනතාව දේවස්ථානයෙන් පිට ව යන විටම බෞද්ධ තරුණයකු දුවගෙන දේවස්ථානයට ආවා. ඔහු මා ළගට විත් කීවේ පියතුමනි, අපි සුනාමියට හසුවූ මෙහොතේ ඉස්සරවෙලාම කෑම බීම, උයන්න දෙන්න හට්ටිමුට්ටි අරගෙන පල්ලියෙන් තමයි අපි ළඟට ආවේ. මේ මොහොතේ අපි කළයුත්තේ කුමක්ද? කියා කියන්න  යනුවෙන් එම තරුණයා කීවා. මගේ ඇස්වල කදුළු පිරුණා. ඊළඟට දුවගෙන ආවේ අපේ ඉස්ලාම් සහෝදරයෙක්. ඒ අය අපේ පල්ලි මංගල්‍යයට හැමදාම උදව්කරන අයයි. මේ තමයි සංහිදියාව.

අපි කිසිම මොහොතක කලබලවිය යුතු නෑ. ඉන් අනවශ්‍ය ප්‍රශ්න රැසක් ඇතිවෙන්න පුළුවන්. අපි එදා වගේම අදත් ආගම් භේදයකින් තොරව එකට ඉන්නවා. එය අමතක නොකළ යුතුයි. ත්‍රස්තවාදීන් කියන්නේ කුඩා කොටසක් විතරයි. එය අපි තරයේ මතක තබාගත යුතුයි. මෙම සිදුවීම වූ මොහොතේ පටන් සියලු ආගම් වලට අයත් පිරිස් කණ්ඩායම් වශයෙන් පල්ලියට ආවා. ඔවුන් අපි සමඟ සිටින බව පුන පුනා කීවා. මට දහවල් කෑම වේල පවා අමතක වෙලා හිටියේ. ඒතරමට මේ සිදුවීම් හැඟීම්බරයි.