Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අහිමිවීම්වල වේදනාව බේදයකින් තොරව
හැමෝටම දැනෙනවා

එක් ප්‍රජාවක් පළිගැනීමේ චේතනාවෙන් සිදුකරන ක්‍රියා අවසානයේ සියලු ජනප්‍රජාවන්ට හානිදායකවන බව සමස්ත ප්‍රජාවම අවබෝධ කරගත යුතු ය. ජාතිවාදී වෛරය අවසන් කළ හැකිවන්නේ එබඳු අවබෝධ කරගැනීමකින් පමණක් යැයි පිටකොටුවේ ව්‍යාපාරික ෆර්හාන්ගේ මතය යි.

29.08.2019  |  
කොළඹ දිස්ත්‍රික්කය

මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ඇතැමුන් අතර ක්‍රියාත්මක වුව ද බුද්ධිමත් හා කරුණාවන්ත සිංහල හා දෙමළ පාරිභෝගිකයන්, ජාතීන් අතර සහජීවනය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් තමන්ට සහයෝගය ලබාදෙනබවත්, අද ලංකාවට අවශ්‍ය වන්නේ මෙවැනි තත්ත්වයක් බවත් ෆර්හාන් කියයි. කොළඹ පිටකොටුවේ පිහිටි තම සහෝදරයාගේ සමස්ත ව්‍යාපාරයට ශක්තිය සපයන එම්. එෆ්. ෆර්හාන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තමන් මුහුණ දුන් තත්ත්වය පිළිබඳ කළ කතාබහකි මේ.

  පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඔබගේ ව්‍යාපාරික කටයුතුවල වත්මන් තත්ත්වය කෙබඳු ද?

දැන් යම්තාක් දුරකට අපට ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න පුළුවන්. කලින් අපි දෛනිකව රු. 100,000ක පමණ ආදායමක් ඉපයුවත් දැන් එය රු.50,000කට විතර පහළ බැහැලා තියෙන්නෙ.   ප්‍රහාරය සිදු වූ ආසන්නතම කාලයට වඩා වත්මන් තත්ත්වය යම් තරමකට හොඳයි. මෑතක අපි විවෘත කරපු අලුත් වෙළෙඳසලේ ආදායම රු.30,000කට වඩා තිබුණත්, දැන් එය රු.1500කට පමණ අඩුවෙලා තියෙන්නෙ. ඒනිසා, වෙළෙඳසලේ මාසික කුලිය පවා ගෙවාගන්න අපහසුයි වගේම මේ සිදුවීම අපට බරපතල ආර්ථික බලපෑමක් ඇතිකරලා තියෙනවා. කොහොමවුණත්, අපේ ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම කඩාවැටිලා නෑ. මෙම තත්ත්වය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙයි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා.

  ජනතාව මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම සම්බන්ධ ඔබගේ ප්‍රතිචාරය කුමක් ද?

පිටකොටුවෙ මුස්ලිම්, දෙමළ, සිංහල වෙළෙඳුන් ඉන්නවා. එකමුතුකම වගේම සුහද සබඳතා හැමවෙලේම අපි අතර තිබුණා. ඒ සහජීවනය තවමත් ඉතිරිවෙලා තියෙනවා. මුස්ලිම් වෙළෙඳසල් වර්ජනය කළ යුතුයි යන මතය පැවතුණත්, ඒ ප්‍රචාරයට අපේ පාරිභෝගිකයෝ ඇහුම්කන්දීල නෑ.   මෙම අස්ථාවර වාතාවරණයේ ප්‍රතිඵලයක් විදිහට ව්‍යාපාර සමස්තයක් බොහොමයක් බිඳවැටිලා තියෙනවා. ඒවගේම, මේ ආකාරයේ වර්ජනය කිරීම් හරිම නිෂ්ඵල දෙයක්. මෙම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයන්වල අනෙකුත් ජනවාර්ගික ප්‍රජාවන් ද සේවය කරනවා. තම ව්‍යාපාරයන් හි අලාභාදායී තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රසිද්ධ සමාගම්වලට පවා තම ව්‍යාපාරික කටයුතු සීමාකිරීමට සිදුවෙලා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් වගේම මුස්ලිම් නොවන පාර්ශවයන්ටත් තම රැකියා අහිමි වී තිබෙනවා. එයින් පැහැදිලි වෙන්නේ, එක් ප්‍රජාවකට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග හමුවේ අනෙකුත් ප්‍රජාවන් ද බලපෑමට ලක්වන බව යි. ජනවාර්ගික හා ආගමික වෙනස්කම් තිබුණත්, අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයින්. ඒනිසා, එවැනි ක්‍රියාවන් වැරදිබව සියලු දෙනා වටහාගත යුතු යි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඔබගේ ජනවාර්ගිකත්වය පදනම් කරගත් කිසියම් ගැටලුවකට මුහුණදීමට ඔබට සිදුවුණා ද?

මම මුස්ලිම් නිසා නිරන්තරයෙන් පිරික්සුම් බාධකවල දී ප්‍රශ්නකිරීම්වලට ලක්වෙන්න සිදුවුණා. දවසක්, මම යාළුවො තුන්දෙනෙක් එක්ක මෝටර් බයිසිකලයෙන් යන අතරමග දී පොලිස් නිළධාරියෙකු අපව නවත්තලා හැඳුනුම්පත බලලා යන්න දුන්නා. අපේ සිංහල යාළුවාව නවත්ත ගත්තා. අපි ගොඩක් දුකෙන් එයාව එතන නවත්තල ආවා. අපි මුස්ලිම් නිසා අප ආශ්‍රය නොකරන ලෙසත්, අපි නරක පුද්ගලයින් බවත්, පොලිස් නිලධාරියා ඔහුට කියල තිබුණා. මෙම සිදුවීම මට පීඩනයක් වගේම විශාල කම්පනයක් ඇතිකරපු දෙයක් වුණා.

   පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවම ත්‍රස්තවාදීන් ලෙස ඇතැමුන් සැලකුවා. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

පාස්කු ඉරිදා ප්‍රහාරය ඇත්තටම මුස්ලිම් විරෝධී සිදුවීමක්. මගේ එක සහෝදරයෙකුත් මේ ප්‍රහාරයෙන් මියගියා. අරමුණු විරහිත මෙම කුඩා කණ්ඩායමේ භයංකර ක්‍රියාව නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාවටම එහි ප්‍රතිඵල භුක්ති විඳින්න සිදුවුණා. මේ ප්‍රහාරයට ලක් වූ අය කරපු වරද මොකක් ද? සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සේවය කළ මගේ සොයුරා මියගිය බව දැනගත් පසු අපි කම්පනයට පත්වුණා. මේකෙන් වේදනාවට පත්වුණ හා අහිමිවීම්වලින් දුකට පත්වුණ අයට විතරයි ඒ අත්දැකීම ගැන තේරෙන්නෙ. ඉතා අහිංසක මිනිසුන්ගේ ජීවිත ගොඩක් මෙයින් අහිමිවුණා. අපිට ඔවුන්ගේ ජීවිතවලට වන්දි ගෙවන්න බෑ. ඔවුන් කවදාවත් නැවත දකින්න නොලැබෙන බව සිතෙනකොට, අපිව විශාල කැළඹීමකට පත්වෙනවා. මගේ සහෝදරයා අහිමි වූ කම්පනයෙන් අත්මිදෙන්නට මට දින ගණනක් ගතවුණා. මේ වේදනාවන්ගේ හා අහිමිවීම්වල ජනවාර්ගික, ආගමික හෝ භාෂාමය වශයෙන් කිසිඳු වෙනසක් නෑ. ඒවගේම, සමස්ත මුස්ලිම් ප්‍රජාවටම මේ ගැන චෝදනා නැගීම අසාධාරණ යි.

   ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට කළ යුත්තේ කුමක් දැයි ඔබ සිතනවා ද?

මා හිතන්නේ මේ රට සියලුම ජනවාර්ගික ප්‍රජාවන්ට අයිති යි. අපි සියලු දෙනා එකමුතුව සිටියොත් පමණයි මේ රටෙහි ප්‍රගතියක් ඇතිවෙන්නෙ. සියළුදෙනාම අන්අයගේ ආගම්වලට හා සංස්කෘතීන්ට ගරුකළ යුතු යි. අපේ සංවර්ධනය රඳා පවතින්නේ ඒ මත යි. මා මානව අයිතිවාසිකම් අගය කරනවා. මා සියලුම වාර්ගික ප්‍රජාවන්ට ගරුකරනවා. මං ලේ දන්දෙන්නෙක්, නමුත් මගේ සහෝදරයා ප්‍රහාරයෙන් මියගිය දවසෙ ලේ දන්දෙන්න මට බැරිවුණා. එසේ නොවුණානම්, ජනවාර්ගික වෙනස පිළිබඳ නොසලකා ගොඩාක් ජීවිතවලට සහයවෙන්න මට පුළුවන් වෙනවා. යම්කිසිවෙක් ජනවාර්ගික සහජීවනය කඩාබිඳ දමන්නේ නම් එය පිළිගත නොහැකි යි. මුස්ලිම් දේශපාලන නියෝජිතයින් මේ සම්බන්ධයෙන් වඩාත් වගකිව යුතු යි කියල මා හිතනවා.