Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ඉස්ලාම් ආගමික ඉගැන්වීම්
පටුයි කියා දැකීම වරදක්

මුස්ලිම් නීතිය වෙනස් විය යුතුයැයි ශ්රී. ලංකාවේ උණුසුම් කථිකාවතක් නිර්මාණය වී පවතින මෙවැනි වකවානුවක ‘මුස්ලිම් නීතියේ අත්පොත‘ සම්පාදනය කළ කරුණාරත්න හේරත් නීතිවේදියා ඒ ගැන දක්වන අදහස් සමුදායයකි මේ.

02.09.2019  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය
ජනාධිපති නීතිඥ කරුණාරත්න

ඔහු මුස්ලිම් සම්ප්‍රදාය හා නීතිය වෙනුවෙන් පෙනී සිටි  මුස්ලිම්  නොවන විශිෂ්ටයෙකි. ගත් කතුවරයෙකු, ප්‍රකට දේශකයෙකු මෙන්ම ජනාධිපති නීතිඥවරයෙකු වීමටත් වඩා ඔහු ගේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ වර්තමානයේ මුස්ලිම් සමාජය උදෙසා  පැන නැඟී ඇති නීතිමය ප්‍රශ්න මීට පස් වරසරකට පෙර ඔහු දුර දක්නා නුවණින් පෙන්වාදීම ය. කරුණාරත්න හේරත් අනුරාධපුරයේ මෙන්ම නීති ක්ෂේත්‍රයේ මෙරට අද්විතීය නාමයක් වන්නේ ඔහු නීති ක්ෂේත්‍රයට එක් කළ නවතම ග්‍රන්ථ රාශියක් හේතුවෙනි. එම ග්‍රන්ථ අතර බලය බෙදිම හා පළාත් සභා , රජයේ ඉඩම් පිළිබඳ නීතිය, වන අපරාධ, වන ජීවි සංරක්ෂණ නීතිය, මානව හිමිකම් සංකල්පය හා නීතිය යන ග්‍රන්ථ මාලාව අතර ලොව පුරා කීර්තියක් හිමිකරගත් ග්‍රන්ථය වන්නේ ‘මුස්ලිම් නීතිය‘ කෘතියයි. මුස්ලිම් නීතිය වෙනස් විය යුතුයැයි   ශ්‍රී ලංකාවේ උණුසුම් කථිකාවතක් නිර්මාණය වී පවතින මෙවැනි වකවානුවක මුස්ලිම් නීතියේ අත්පොත නිර්මාණය කළ කරුණාරත්න හේරත් නීතිවේදියාගෙන් ඒ ගැන කළ විමසුමයි මේ.

මුස්ලිම් නීතියේ පදනම ඔබ විමසන්නේ කෙලෙසින් ද?

සාමාන්‍ය මුස්ලිම් ජනජීවිතයට පදනම් වන්නේ පූර්ව ඉස්ලාම් චාරිත්‍ර නැමති සම්ප්‍රදායයි. මුස්ලිම් නීතිය සඳහා අනෙක් මූලිකම පදනම වි ඇතිතේ ශුද්ධ වූ කුරාණයයි. අනෙක් පසින් කුරාණය හා ලියැවුණු තවත් ග්‍රන්ථ ගණනාවකුත් පවතිනවා. මෙම ඉගැන්විම් තුළ ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා. ඒවා නම් ශුන්නා, හදිස් සහ ඉත්මා කියන ඒවායි. මුලින්ම ඒවා අරාබි භාෂාවෙන් නිකුත් වූවා. අරාබි ජනජීවිතය සම්පුර්ණයෙන්ම හැඩගැස්වූයේ ඒවා මගිනුයි. එම පොත්වල සඳහන් ඉගැන්වීම් අද දක්වාම සම්පූර්ණයෙන්ම පවත්වාගෙන ඇවිත් නැතත් ඉස්ලාම් ක්‍රමය තුළ  ඒ පදනම පවතිනවා. ඉස්ලාම් ක්‍රමය ආසියාවේ අනෙක් රටවල් මෙන්ම ශ්‍රී ලංකාව තුළත් ව්‍යාප්තවන්නේ ඒ ආකාරයටයි.

පණ්ඩුකාභය රජු අනුරාධපුර නගරය ස්ථාපනය කරන වට සුළු වශයෙන් සිටින විවිධ ආගමිකයින්ට ද ස්ථාන නම්කළ බව මහාවංශයේ සඳහන් වෙනවා.වැදි දෙවියන්ට මෙන්ම යෝනක පිරිසට ද ආගම ඇදහීමට ස්ථාන නම් කළ බව එහි සඳහන්වෙනවා. යෝනක ජනයා ඉස්ලාම් වැළඳගන්නේ එම ආගම ප්‍රචලිත වූ ක්‍රිස්තු වර්ෂ හත්වන ශතවර්ෂයේ දී යි. එය ඉතා අපූරු ඉතිහාස කතාවක්. එම යුගයේ මැදපෙරදිග ජනයා අලුතින් ආගමික ඉගැන්වීමක් සඳහා යොමුවී සිටින බව ආසියාවේ මෙන්ම මෙරට යෝනක  ජනයා වෙත ප්‍රචාරය වෙනවා. ඒ හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඉතාම උගත් පුද්ගලයෙකු සමඟ පිරිවරක් අරාබියට යැවීමට එම ජනනායකයින් කටයුතු කළා. එකල තිබූ ප්‍රවාහණ ක්‍රමයට අනුව එම පුද්ගලයා ආරාබියට යන විට නබි තුමා මියගොස් හමාරයි. ආගමික භාරකරුවන් වන කාලිෆ්වරුන් සතුව මෙම ආගමික ඉගැන්වීම් පැවතුණා. කාලිෆ්වරුන් යටතේ අධ්‍යාපනය හැදෑරු මෙම පිරිස ආපසු පැමිණෙන ගමනේ දී එම උගත් පුද්ගලයා ද මියගියා. ඔහුගේ ප්‍රධාන සේවකයාට එම උගත් දැනුම රැගෙන ආ හැකිවුණා. එසේ අසීරුවෙන්  සුළුතරයක් වෙත ගෙන ආ දැනුම පසු කාලයේ මහා පිරිසක් වෙත ව්‍යාප්ත වුණා. ඉස්ලාම් නීතිය ද ඒ මත පවත්වාගත්තා.

අද බොහෝ දෙනා ඉස්ලාම් ආගමික ඉගැන්වීම් සම්බන්ධ සැක පහළ කරනවා. එය ප්‍රචණ්ඩත්වයට මිනිසුන් යොමු කරන්නක් බව මෑතකාලීන සිදුවීම්වලින් පසු ඇතැමුන් සිතනවා?

බෞද්ධයින් හෝ වෙනත් ආගමිකයින් ලෙස අපි ඉස්ලාම් ආගමික ඉගැන්වීම් ඉතා පටුයි කියා දැකීම වරදක්. ඒ වන විට බෞද්ධ හින්දු හා ක්‍රිස්තියානි ධර්මයන් ලෝකයේ මුල්බැසගෙන තිබූ පරිසරයක් තුළ නබි නායක තුමන් දේශනා කළ අල්ලා දෙවියන්ගේ ධර්මය   මේ තරම් ව්‍යාප්තවීමට බලපෑ කාරණාව කුමක්දැයි මා ගැඹුරින් කල්පනා කළා. ඒ ගැඹුර කුරාණය හදාරද්දී හොඳින් වැටහෙනවා.

නබි නායක තුමා පහළවූ සමය වන විට කාන්තාවන් ඒ සමාජයේ තිබුණේ තිරිසනුන්ට සලකන ආකාරයේ අයිතිවාසිකමක් පමණයි. එක්තරා වහල් සමාජයක් වගේ යි. එතුමාගේ දේශන තුළින් තමා එම සමාජයේ කාන්තාවන්ට සමාජයේ තැනක් ලැබුණේ. කාන්තාවන් වහල් ක්‍රමයක් තුළින් මුදාගත්තේ එතුමා.  ශුද්ධ වූ  කුරාණය තුළින් බිහිකළ නීතිමය පසුබිම මගින් කාන්තාවට හිමි තැන ලැබුණා. ඒ කියන්නේ දේපල අයිතිය,ගරුත්වය වැනි දේවල්.

නීතිඥ කරුණාරත්න හේරත් ඔහු ලියූ පොත්

ඉස්ලාම් දහමේ අන්තර්ගතය කෙබඳුදැයි පෙන්වා දිය හැකි ද?

පොදුවේ ගත් කල බෞද්ධාගමික  ඉගැන්වීම්වල එන කරුණු මෙන්ම ක්‍රිස්තියානු ආගම මුල්බැසගත් බටහිර බලපෑම් ද මෙම දර්ශනය තුළ පවතිනවා. උදාහරණයක් කිවහොත් බුද්ධාගමේ සඳහන් ‘‘සබ්බේ තසන්ති දණ්ඩස්ස‘‘ යන පාඨයෙන් සියලු සතුන් දඬුවමට අකැමැති බව කියවෙන  බව නබි නායක තුමාගේ ඉගැන්වීම් තුළ ‘‘ අනෙක් තැනැත්තෝද සිය ජිවිතය ආරක්ෂා කරගන්නට කැමතිය‘‘ ආදී යෙදුම් පවතිනවා. පූර්ව ඉස්ලාමීය සමාජවල  මිනිස් ජීවිතවලට ඒ තරම්  වටිනාකමක් දි තිබුනේ නෑ. ආරාබි සමාජය එවකට හැඩගැසි තිබුණේ ධනය ඉපයීම හා වෙළඳාම මුල්කරගෙනයි. මිනිසුන්ගේ අරක්ෂාව හා අයිතිවාසිකම් ගැන ඒ තරම් තැකීමක් තිබුණේ නෑ. නමුත් ඉස්ලාම් ආගමත් සමග මේ දේවල් වලට වටිනාකම් ලැබුණා. මේ නිසායි ඉස්ලාම් ආගම මේතරම් ලෝකයේ ව්‍යාප්තවුණේ. ඒ නිසා මෙහි ඇති ගැඹුර අධ්‍යයනය කිරිමකින් තොරව අපට නිගමනවලට එන්නට බෑ.

ශ්‍රී ලංකාවේ පොදු නීතිය ගත්තාම හැමෝම ඒකට යටත්. උදාහරණයක් ලෙස මුස්ලිම් කියලා මාර්ග නීති කඩන්න බැහැ. බෞද්ධ ජනතාවගෙත්  කතෝලික ජනතාවගේත් මානුෂීය සම්බන්ධතාවයන්ට හානිවන කිසිමදෙයක් මෙම නීතිය තුළ තියනවා කියලා මා විශ්වාස කරන්නේ නෑ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදුණොත්?  

ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය කියා ක්‍රියාත්මක වන්නේ ඉතා සීමිත අංශ කීපයක් පමණයි.  ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මගින් පැනවු නීති තුනක් පමණයි මුස්ලිම් නීතිය ලෙස ක්‍රියාත්මක වන්නේ. එකක්   මුස්ලිම් ජනතාවගේ විවාහ පිළිබඳ නීතිය, එනම් පුද්ගලිකත්වය නැතහොත් පවුල් සම්බන්ධයෙන් පවත්නා නීතිය. ඒ අයට එම නීතිය නැතුව පොදු නීතිය යටතේ අනුගතව ජීවත්වෙන්නත් පුළුවන්. නැතිනම් මුස්ලිම් නිතීයට අනුව විවාහ සහ දික්කසාද පවතින නීතියට යටත්ලො ජීවත්වෙන්නත් පුළුවන්.

දෙවැන්න දේපළ උරුමය පිළිබඳ නීතිය. දේපළ හිමියා මියයාමට කලින් එම දේපල වෙනත් කෙනෙකුට පවරා හෝ තෑගි දි හෝ  නොමැති විට  එම දේපල එම ආකාරයෙන් නොපැවරූ දේපල ලෙස ඉතිරිකර  ඇති විට උරුමය කියන ප්‍රශ්නය තිබෙනවා.

අපේ සිංහල ක්‍රමයටත් උඩරට විවාහ නීතිය බලපාන අයට එක නීතියක්. අනෙක් පොදු නීතිය යටතේ වෙනම ක්‍රමයක් තිබෙනවා. දේපල උරුමය සම්බන්ධයෙන්. ඒ වගේතමා මුස්ලිම් ජනතාව අතරත්  දෙවියන් වහන්සේ අනුමත කරපු ආකාරයක්  විශේෂයෙන් පවතිනවා දරුවන් බිරිය හා මාපියන් අතර ඒ දේපල උරුම වියයුතු ආකාරය ගැන. ඉස්ලාමි නීතියට යටත් පිරිස ඒ නීතිය පිළිපදිනවා.

අනෙක් නීතිය තමා ඉස්ලාමීය දේවාස්ථානවලට තිබෙන පුණ්‍යභාර සම්බන්ධ නීතිය. එකී කරුණු තුන පමණයි ඉස්ලාම් අදහන ලංකාවේ ජනයාට වෙනම බලපාන නීතිය කියලා තිබෙන්නේ. කැමති අයට ඒ නීතියට යටත් වෙන්නත් පුළුවන්. එහෙම අකැමැති නම් රටේ පොදු නීතිය යටතේ අධිකරණ පද්ධතිය හරහා තමන්ගේ ගැටලු නිරාකරණය කරගන්නත් පුළුවන්.

ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක කරවන්න පිහිටුවා ඇති ක්වාසී අධිකරණ හා එහි  විනිශ්චයකරුවන් සම්බන්ධයෙන් ද මෑතකාලීනව ආන්දෝලනාත්මක ප්‍රකාශ මුස්ලිම් සමාජයෙන් ම මතු වුණා. ඒ තත්ත්වය ඔබ විමසන්නේ කෙලෙසින් ද?

ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක කරවන්න පිහිටුවා ඇති ක්වාසී අධිකරණවල විනිශ්චයකරුවන් දේවියන්ට කැපවූ අය ලෙස අර්ථ නිරූපණයකර තිබෙනවා. ඒ තුළ ඇත්තේ සාධාරණත්වය සම්බන්ධයෙන් ගැඹුරු අර්ථයක්. එය හරියට සමථ කමිටු වගේ. ක්වාසිවරුන් ලෙස පත්වන අය සුදුසු පුද්ගලයින් විය යුතුයි. ක්වාසි මණ්ඩල අධිකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකයි. ඒවා සාමාන්‍ය අධිකරණයට ද සම්බන්ධයි. වර්තමානයේ පවතින තත්ත්වය මත අඩුපාඩු ඇතත් මේවා පිළිගත් සිද්ධාන්ත මත තිබෙන දේවල්.