Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

රට දවන ප්‍රශ්න විසඳන්න
භාෂා දැනුම හොඳ අවියක්

යෞවන සමාජ මාතර දිස්ත්රි ක් ‍බලමණ්ඩලයේ සභාපති මොහොමඩ් නිහ්මි යූසුෆ් දිස්ත්රි ක්කයේ ප්ර ධාන තරුණ නායකයා බවට පත්ව ඇත්තේ ද, යොවුන් පාර්ලිමේන්තුවේ ඇමතිවරයකු වී ඇත්තේ ද බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් යන සර්වාගමික තරුණ තරුණියන්ගේ ඡන්දයෙනි. වෛරී ප්රධකාශන පිටු දැකීම මෙන් ම සංහිඳියාව නැවත තහවුරු කළ හැක්කේ කෙලෙසින් ද යන්න පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි මේ.

11.09.2019  |  
මාතර දිස්ත්‍රික්කය

පිරිවෙන් අධ්‍යාපනයක් ලබා දේශීය හා විදේශීය වශයෙන් ජනප්‍රිය තරුණ නායකයකු වන ඔබ පාස්කු ප්‍රහාරයත් ඉන්පසු ඇතිවූ තත්වයත් දකින්නේ කෙසේද?

සිද්ධියෙන් පසු එය මුස්ලිම් පිරිසකගේ වැඩක් කියා ආරංචි වූ සැණින් බොහෝ යාළුවන් මගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. එම ප්‍රශ්න කිරීම මට මහා පීඩනයක් වුණා. ඇතැම් දේශපාලනඥයින් හා මාධ්‍ය මුස්ලිම් ප්‍රජාව කෙරෙහි වෛරයක් ඇතිවන ආකාරයෙන් ක්‍රියා කළා.  ඒ ඇතිවූ තත්ත්වය හරිම කනගාටුදායකයි. මොනවා කීවත් මුස්ලිම් අය ජාතිවාදීන් නොවෙයි. එය වැරදි මතයක් නිසා නොමඟ ගිය මුස්ලිම් පිරිසකගේ මගපෙන්වීම මත සුළු පිරිසක් කළ ක්‍රියාවක්. මා දිස්ත්‍රික්කයේ තරුණ නායකයා කළේ, යොවුන් පාර්ලිමේන්තුවට තේරුවේ බහුතරයක් බෞද්ධ පිරිස. අපේ ආගමේ කිසිම තැනක මිනිසුන් මරන්න කියා නෑ. සියදිවි හානි කර ගත් අයෙකුට ස්වර්ගය හිමි නෑ. ඔහුට හිමිවන්නේ නිරයයි.

සිද්ධියෙන් පසු පැතිර ගිය වෛරී ප්‍රකාශ, තරුණ නායකයකු ලෙස ඔබ දකින්නේ කෙසේද?

ඇතිවුණු තත්ත්වය නිවෙමින් තිබියදීත් එය වර්ධනය කළේ ඇතැම් මාධ්‍ය. ඒ අයගේ හැසිරීම හරිම කනගාටුදායකයි. මුහුණු පොත බලන්නේ වැඩිපිරිසක් තරුණ අය. ගමේ වැඩිහිටියන් තොරතුරු දැනගත්තේ රූපවාහිනියෙන් හා පත්තරයෙන්. එම පිරිස බය කළේ, මුස්ලිම් අය හා උරණ වෙන තත්ත්වයට පත් කළේ මාධ්‍ය. මෙම තත්ත්වය නැතිකරන්න මට බරපතළ අයුරින් තර්ක කරන්න සිදු වුණා. ඇතැම් අවස්ථාවල යාළුකම රැකගෙන නිහඩව සිටියා. පොඩි වාසියක් ගන්න මෙවැනි දේ කිරීම වැරදියි.

ඔබ චතුර ලෙස සිංහල කතාකළත් මුස්ලිම්වරයෙක්. තරුණ නායකයෙකු ලෙස පාස්කු ප්‍රහාරයෙන් පසු ඔබේ සමාජ ජීවිත ක්‍රියාකාරිත්වයට බලපෑමක් ඇතිවුණේ නැද්ද?

මං පිරිවෙන් අධ්‍යාපනය ලබා හොඳට සිංහල කතාකළත් මං රැකියාව ලෙස කරන ජංගම දුරකථන අලුත්වැඩියාව අතර මට දුරකථන ඇමතුම් එනවිට මං දෙමළෙන් කතාකරනවා. එය දුටු මගෙන් සේවා ගන්න ආ පිරිස් මුහුණු අමුතුකරගෙන යන්න ගිය අවස්ථා තිබුණා. සමහරුන් බැන්නා. එවන් අවස්ථාවල මා ශක්තිමත් කළේ අපේ හාමුදුරුවරු. උන්වහන්සේලා කීවේ පුතා ඔයාල කවුරුත් අපිට ප්‍රශ්නයක් නෑ. හරිදේ කරන්න එච්චරයි. වැඩියෙ හිතන්න එපා කියලා. බුද්ධ දර්ශනය ඇතිවන ඕනෑම දෙයකට සාර්ථක පිළිතුරු ලබාගත හැකි දෙයක්. ඒක කවුරුත් හරිහැටි භාවිත කරනවානම් මේ ප්‍රශ්න නෑ.

තරුණ පිරිස් රජයේ රැකියාවන්ට හරි කැමතියි. සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂා ත්‍රිත්වයම දන්නා ඔබ ඇයි ස්වයං රැකියාවකට පෙලඹුණේ ?

මං මේ රටට ගොඩාක් ආරෙයි. අපේ අම්මා රජයේ රැකියාවකට යන්න කියා මට කියනවා. මං කැමති නෑ. මට විදේශ රැකියා අවස්ථා හත අටක් ලැබුණා. මං ගියේ නෑ. ඇතැම් අය මට මෝඩයා කීවා. ඒත් විදේශ පුහුණුවීම්, තරුණ කදවුරුවලට ගියාම මට මගේ රටේ අගය හොඳට දැනුණා. ඒ නිසා මං මගේ මහන්සියෙන් හම්බකර මගේ රටේදී වියදම්කර මගේ ශක්තිය රටට ලබාදී සතුටින් ඉන්න කැමතියි. මුස්ලිම්වරයෙක් වුවත් මට බෞද්ධ පරිසරයක ලද අධ්‍යාපනය ජීවිතයට පුදුම විදියට බලපානවා.

/

තරුණ නායකයකු ලෙසත්, විදේශ රටවල අත්දැකීම් ලද කෙනකු ලෙසත් ඔබ යම් සිදුවීමකදී වෛරී ප්‍රකාශ හා සිත් රිදවීම් ඇති නොවන්නට ක්‍රියා කළ යුතු අකාරය දකින්නේ කොහොමද?

ආගම් සම්බන්ධයෙන් තියෙන ගැටලු පිළිබද සංවාදාත්මක සාකච්ඡා සිදු කළ යුතුයි. හැමවිටම යහපත් ආකල්පයෙන් එක මේසයේ සිට සාකච්ඡා කළ යුතුයි. එකිනෙකාගේ අදහස් බෙදාගන්න ආගමික නායකයින් මූලිකව ක්‍රියාකළ යුතුයි. ආගමික නායකයින් මේ සඳහා එකතු විය යුතුයි. විශේෂයෙන් මවුලවිලා සිංහල භාෂාව හොදින් ඉගෙනගත යුතු වෙනවා. එවිට හරිදේ පැහැදිළි කළ හැකියි. වචනයක වැරැද්දෙන් සිදුවන පොඩි දෙයකින් ලොකු ව්‍යසනයක් ඇතිවිය හැකියි. අරාබිබස ඉගෙනගන්නවා සේම මවුලවිලා සිංහල කතා කරන්න ඉගෙනගත යුතුයි. සහරාන් වැන්නකු නිර්මාණය වන්නේ අනවබෝධයෙන්. සහරාන් කියන්නේ තම ආගම හරියට තේරුම් නොගත් කෙනෙක්. කාන්තාවන් වැඩිපිරිසක් එක්ක එකට ඉන්න ස්වර්ගයට යන්න ඕනනම් අනුන් මරන්නේ මොකටද? තමන්ගේ අය සමඟ මැරෙන්න තිබුණා. ඔහුට ආගම පිළිබඳ අනවබෝධයට වඩා එහාගිය මානසික ප්‍රශ්නයක් තිබුණ ද කියා මට සැකයක් තියෙනවා. ඒවා නිවැරදි කරන්න තිබූ දේවල්. අපේ අයහරි තැන ස්පර්ෂ කර නෑ. ඒකයි ප්‍රශ්නය.

 මෙරට වන සිදුවීම් හා වත්මන් දේශපාලන ගමන් මඟ ඔබ දකින්නේ කොහොමද?

මා තරුණ නායකයකු ලෙස ලොකු වැඩකොටසක් මගේ රට වෙනුවෙන් කරනවා. මගේ වැඩ දැක යාළුවන් උඹ දේශපාලනයට එන්නද? හදන්නේ කියා අසනවා. රටට වැඩක්කරන්න දේශපාලනයට එන්නම ඕන නෑ. එසේ නොමැතිව බොහෝ දේ කළ හැකියි. මා මුස්ලිම් වුණත් දෙමළ ලියන්න හෝ කියවන්නන බෑ. කතාකරන්න පුළුවන්. හැබැයි මට සිංහල ලියන්න කියවන්න කතාකරන්න හොඳට පුළුවන්. මට දෙමළ, ඉංග්‍රිසි බෑ කියා ලැජ්ජාවක් නෑ. හැබැයි සිංහල බැරිවුණානම් මං ලැජ්ජවෙනවා. රටේ ගොඩාක් ප්‍රශ්න විසඳන්න භාෂා ප්‍රශ්නය විසඳීම අත්‍යවශ්‍යයි. දේශපාලනඥයා කළ යුත්තේ ප්‍රශ්නයක් ඇතිවුණාම ජාතිවාදය අවුස්සා පටු වාසිගන්න එක නොවෙයි, අවුරුදු ගණනක් පුරා තියෙන ප්‍රශ්න හදුනාගෙන ඒවා ලිහන්න අවශ්‍ය ප්‍රතිපත්ති හදන එකයි. අපේ රටේ දේශපාලනඥයින් කරන්නේ යම් දෙයක් සිදුවුණාම එය නැවත නැවත අවුස්සමින් වාසි ලබාගැනීමට කටයුතු කිරීමයි. එය තාවකාලික බව මේ පිරිස තවම තේරුම් ගෙන නෑ. කනගාටුවට කරුණ එයයි.