Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සහජීවනය ඔසොවා තබන
තල්ගොඩපිටියේ මිනිස්සු

මුදුන් මුලක් සහිත ගසකට වඩා මුදුන් මුල් රහිත තාල වර්ගයේ ගස් ඉතාමත් ශක්තිමත් ය.  තල්ගොඩපිටිය ගමෙහි  මිනිස්සු ද තල් ගසක් ඔසවා තබන මුල් මෙන්, සහජීවනය ගොඩ නගන්නට, එකමුතුව කටයුතු කරති.

24.09.2019  |  
කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය
මීරා ලෙබ්බේ අබ්දුල් කලාම්

” ඒ වගේ කාලයක් ආයෙ උදා වෙයිද  දන්නෙ නෑ. ඒ කාලේ අපි කෑම බීම  හුවමාරු කර ගත්තා. ලෙඩ දුකට පිහිට උනා. දැන්   ටොෆියක්වත් දුන්නට කන්නේ නෑ. ”

ඔහු කඳුළු පිස දමමින් කීවේය. තමා හා තම පවුල සමඟ ඉතාමත් සමීපව ඇසුරු කළ පුද්ගලයන් ඈත්වීමෙන්,  සහසම්බන්ධතා ගිලිහී යාමෙන් පසුව ඇතිවුණු  සෝචනීය  හැඟීම් පිට කළ ඔහු ඉස්ලාම් පල්ලියක පාලකවරයෙකු  ලෙස සේවය කළ අයෙකි.

හැඟීම් දැනීම්  සංවේදනයට පත් පත් කිරීම් යන මානව ගුණධර්ම ඇති වන්නේ ” මිනිස්සු ”  මිනිසුන් වශයෙන් ම දැකීමෙනි .මනුෂ්‍යයෙකු තව අයෙකු හා සහ සම්බන්ධ වෙන්නේ ගනුදෙනු කරන්නේ ඔහු හෝ ඇය හා අතර ඇති වන ආත්මීය බැඳීමත් සමඟය. එයට ජාතිය හෝ ආගම කිසිසේත්ම බල නොපායි. ඊට හේතුව, මනුෂ්‍යත්වය ඊට වඩා ප්‍රබල බැවින් යැයි සිතූ සිතුනු වාර ගණන අබ්දුල් කලාම් ගේ කඳුළුවලින් කියවන්නට හැකි විණි.

අබ්දුල් කලාම් කියන කාලය කවදා විය හැකි ද? ඒ හැත්තෑව අසූව දශකයන්‍ ය.

1971 වසරේදී ඉබ්බාගමුව  තල්ගොඩපිටිය  ප්‍රදේශයට  පදිංචියට යන මීරා ලෙබ්බේ අබ්දුල් කලාම් මහතා තල්ගොඩපිටිය al masjid ul hudha (මස්ජිදුල්  හුදා ජුම්මා)  පල්ලියේ පරිපාලකවරයා වශයෙන් වසර හතළිහක් පමණ සේවය කර විශ්‍රාම ගත් අයෙකි. ඔහු මේ වන විට 76 වැනි වියෙහි පසු වෙයි. පල්ලියෙහි රාජකාරි කටයුතුවලින් විශ්‍රාම ගෙන සිටිය ද ඔහු දිනකට පස් වතාවක් හෙමින් හෙමින් පල්ලිය වෙත ගමන් කරමින් තම ආගම සිහි කරන්නේය. ඒ අතරතුරදී  වසර 30ක, 40 ක  තිස්සේ ඔහු ඇසුරු කළ අසල්වැසි ඥාතීන් මුහුණට මුහුණ හමු වෙයි.

‘මං ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ පොලිසියට බැඳෙන්න තීරණය කළා. නමුත් මං එක සම්මුඛ පරීක්ෂණයකින් අසමත් වුණා. ඒ  නිසයි පල්ලියේ රාජකාරියට ආවේ. පල්ලියේ රාජකාරි ගැන මං සෑහීමකට පත්වුණා. සතුටට පත්වුණා.  ඒ වුණාට අද සමාජයෙ තියෙන තත්ත්වයත් එක්ක මට හිතෙනවා අපරාදේ මට පොලිස් රැකියාව නොලැබුණේ කියලා. පල්ලියේදී වුණත් මීට වඩා මිනිසුන්ට වැඩ කරන්න තිබුණා  කියල දැන් හිතෙනවා‘ යි ඔහු සිතන්නේ සිය සේවය අවංකව ඉටු කළ අයකු ලෙසිනි.

විශ්‍රාම සුවයෙන් පසුවන  අබ්දුල් සලාම් සමාජයේ අද සිදුවන සිද්ධි පිළීබඳ තෘප්තිමත් නොවන බව ද ඉන් පැහැදිලිය. එය  යම්තාක් දුරට හෝ යළි ගොඩ නගන්නට තල්ගොඩපිටිය විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ හා එක්ව  කටයුතු කරන්නට ලැබීම පිළිබඳව  ඔහු සතුටට පත් විය.

‘මං 1971 අවුරුද්දේ  මේ ගමට ආව දවසේ ඉඳලා ළගින්ම ඇසුරු කළේ පන්සලේ හාමුදුරුවෝ. කුමක් හෝ ප්‍රශ්නයක්  ඇතිවුණාම ඒ හැම දෙයක්ම හාමුදුරුවොත් එක්ක කතා කිරීම මගේ පුරුද්දක් වුණා.  ඒ  ඇතිවුණු   සුහදකම අදටත් ඒ විදියටම තියෙනවා. පසුගිය දවසක විහාරස්ථානය ගැබිණි මව්වරුන්  සඳහා  ආශිර්වාද කිරීමේ උත්සවයක් පැවැත්වුවා. ඒ  උත්සවයට මට ආරාධනා ලැබුණා. අපේ පල්ලියේ  කීපදෙනෙකුත්  ඒ අවස්ථාවට  සම්බන්ධ වුණා ” යි ඔහු පවසන්නේ තෘප්තියෙනි.

නැලව සෝරත හිමි

තල්ගොඩපිටිය ප්‍රදේශය ආශ්‍රිතව ගැබිනි මව්වරු 350ක් පමණ සම්බන්ධ කර ගනිමින් ඔවුන්  සඳහා ආශිර්වාද කිරීම තල්ගොඩපිටිය විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ මූලික අරමුණ විය.  ඒ සඳහා සහභාගී වූ මව්වරු අතර සිංහල, දෙමළ, මුස්ලිම්  යන සියලුම ජාතීන් නියෝජනය කරන අය වූහ. ඔවුන්  සියලු දෙනාම මව් පදවිය වෙනුවෙන්  සූදානම්ව සිටියදී ඔවුන් අගය කිරීම සමාජයේ යුතුකමක් බව විහාරාධිපති නැලව සෝරත හිමියෝ පෙන්වා දුන්හ. ඒ අනුව විහාරස්ථානයට සම්බන්ධ ප්‍රධාන දායකයින්  මෙන්ම ඉස්ලාම් පල්ලිය ද ඊට එකඟ විය. ඒ සඳහා සිය දාකත්වය නොමසුරුව ලබා දුන්හ.

මව් පදවියක  ඇති වටිනාකමත්, ඒ සඳහා මුහුණ දිය යුතු ආකාරය පිළිබඳත්  දේශනයකට  සවන්දීමට මේ මවුනට අවස්ථාව සැලසීමට විහාරස්ථානය කටයුතු යොදා තිබිණි. ඊට අමතරව ගැබිනි මව සමග සම්බන්ධ වන ඇයගේ පවුලේ සියලුම දෙනා වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙන්නට විහාරස්ථානයේ  දායකයෝ කටයුතු කළ හ.  මව්වරුන් සඳහා ආශිර්වාද  පිරිත් සජ්ජායනා කිරීමට ද කටයුතු සැලසූහ.  ගමේ ඉස්ලාම් පල්ලියේ මැදිහත්වීමෙන් මේ සියලුම මවුවරුන් සඳහා තෑගි පාර්සලයක් දීම සිදු විය. ගමේ සියලු ම මව්වරුන් ඇගයීම සහ සතුටට පත් කිරීමට ඉස්ලාම් සහ බෞද්ධ සියලු  දෙනාගේම ඒකායන පරමාර්ථය බවට විය.


 විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමත් සමඟ අපිට අපේ ගම හදන්න පුළුවන් කියලා මා නැවතත් සිතනවා.

” විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමත් සමඟ අපිට අපේ ගම හදන්න පුළුවන් කියලා මා නැවතත් සිතනවා.මං එදා මේ ගමට එද්දී ගමේ තිබුණේ තල්ගස් ගොඩක් විතරයි. ඒත් අද ඒ තැන්වල ඉදිවුණු ආයතන සමඟියේ හා සංහිඳියාවේ කේන්ද්‍රස්ථාන වෙලා” යි මීරා ලෙබ්බේ අබ්දුල් කලාම් කියයි.

මුදුන් මුලක් සහිත ගසකට වඩා මුදුන් මුල් රහිත තාල වර්ගයේ ගස් ඉතාමත් ශක්තිමත් ය. ඊට හේතුව කුඩා මුල් රාශියක එකතුවකින් විශාල ගසක් ඔසවා තැබීමයි. තල්ගොඩපිටිය ගමෙහි  මිනිසුන් ද තල් ගසක් ඔසවා තබන මුල් මෙන්, සහජීවනය ගොඩ නගන්නට, එකමුතුව කටයුතු කරන ආකාරය දැක අබ්දුල් සලාම් මහතා සතුටු  වෙයි. තල්ගොඩපිටිය විහාරස්ථානයේ  විහාරාධිපති නැලව සෝරත හිමියන් ගමෙන් ගිලිහුණු සුහද බව ගොඩනගන්නට යළි දරන වෑයම පිළිබඳ ඔහු සතුටට පත් වෙයි.