Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සහජීවනයේ සංහිඳියාවේ හොඳම ලකුණ
කුඩාපොකුණේ ජන්ද පෙට්ටිය

සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ල එකම  පෙට්ටියට ජන්දය දමන පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් වැලිකන්ද, කුඩාපොකුණ ගමේ හබීබ් මොහමඞ් අබ්දුල් රහීම් (65) පවසන්නේ සහජීවනය, සංහිඳියාව පිළිබඳ හොඳම ලකුණ තම ගමේ ජන්ද පෙට්ටිය බවයි.

28.10.2019  |  
පොළොන්නරුව දිස්ත්‍රික්කය

ජනාධිපතිවරණයට තව ඇත්තේ සති කිහිපයෙකි. අපේ රටේ ඈත දුෂ්කර ගම්මානවල පවා ජනයා අතර හොඳහිත පළුදුව’ ඇයි හොඳයිකම් දෙදරා යන අවදියක් ලෙස මැතිවරණ සමය හැඳින්වීම නිවැරදිය. පාට, පක්‍ෂවලට බෙදී එකිනෙකා ඇන කොටා ගන්නා තත්වයට ඔද්දල්ව ගිය මැතිවරණ සංස්කෘතියක් මෙරටේ පැවැත්ම එයට හේතුව වෙයි.සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ල එකම  පෙට්ටියට ජන්දය දමන පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් වැලිකන්ද, කුඩාපොකුණ ගමේ හබීබ් මොහමඞ් අබ්දුල් රහීම් (65) පවසන්නේ සහජීවනය, සංහිඳියාව පිළිබඳ හොඳම ලකුණ තම ගමේ ජන්ද පෙට්ටිය බවයි.

‘‘ජන්දෙ කාලෙට දේශපාලන පක්‍ෂවල අය ගොඩ දෙනෙක් මේ ගමට එනවා. විශේෂයෙන් ප‍්‍රධාන පක්‍ෂවල අය තමා එන්නේ. සිංහල,දෙමළ,මුස්ලිම් තුන්ගොල්ලම ඉන්න එක ඒකට විශේෂ  හේතුවක් වෙන්න ඇති. නමුත් අපිට ඒක ප‍්‍රශ්නයක් නෙවෙයි. මේ ගමේ අය කවදාවත් කිසිම මැතිවරණ අවදියක දේශපාලන වශයෙන් පිල් බෙදිලා රණ්ඩු සරුවල් වෙලා නෑ. ගමේ රැස්වීමක් තිබ්බොත් පක්ෂෙ මොකක් වුණත් ඒක බලන්න ගමේ අය එතෙන්ට යනවා. ජන්දෙ දාට ජන්දෙ දාන්න ජන්ද පොළට යනවා. සිංහල, දෙමළ, මුස්ලිම් තුන් ගොල්ලම එකම ජන්ද පොළට තමයි ජන්දෙ දාන්න යන්නේ.  ජන්දෙ නිසාවත් වෙනත් හේතුවක් නිසාවත් අපි අතරේ කිසිම ගැටුමක් ඇති වෙලා නෑ’’ ඔහු කියයි.

කුඩාපොකුණ ගම බිහිව ඇත්තේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය සමඟිනි.ඒ 1990 වසරේදී ය.

‘‘සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන්ට ඉගෙන ගන්න වෙන වෙනම ඉස්කෝල තියෙනවා. පන්සල, පල්ලිය, කෝවිල සිද්ධස්ථාන තුනම වෙන වෙනම තියෙනවා.ඒ වුණාට ආගමික උත්සව අවස්ථාවලට ආගම් බේදයක් නෑ, තුන් ගොල්ලම එකට සහභාගි වෙනවා.ජන්ද මධ්‍යස්ථානය තියෙන්නේ මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයේ. තුන් ගොල්ලම ජන්දෙ දාන්න එන්නේ ඒ ජන්ද පොළට තමා.’’

ජන්දය ඉල්ලා ගමට එන උදවිය දෙන ජන්ද පොරොන්දු පිළිබඳව කුඩාපොකුණ ගමේ ජනයාට තිබෙන අත්දැකීම්ද බොහෝ යැයි අබ්දුල් රහීම් කියයි. මෙතෙක් ඒ පොරොන්දු වූයේ නම් කුඩාපොකුණ දුෂ්කර ගම්මානයක් නොව සුරපුරයක් වනු නොඅනුමාන ය.

රහීම් සහ රාමලිංගම්

වසරේ වැඩි කාලයක් පවතින වියළි කාලගුණය හෙවත් පෑවිල්ල වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඉතා තදින් දැනේ. පායන කාලයට කුඩාපොකුණ ගමේ ද වැඩි දෙනා බීමට ජලය ලබා ගන්නා ළිංවල  දිය සිඳී යයි. වැලිකන්දේ සෙසු ගම්මානවල ජනයා මෙන් තමන්ද උග‍්‍ර පානීය ජල හිඟයකට මුහුණ දෙන බව ගම්මු  අප සමඟ කීහ.ඒ කාලයට බොහෝ දෙනාගේ ජල අවශ්‍යතා සපුරාගන්නේ කුඩාපොකුණ වැවෙන් බව අපට දැනගන්නට ලැබිණි.දෙමළ, සිංහල, මුස්ලිම් පවුල් 500කට පමණ අයත් තුන්දහසකට වැඩි පිරිසක් ජීවත්වන කුඩාපොකුණේ ජනතාවගේ මූලික ගැටලුව අවුරුද්දේ වැඩි කාලයක් මුහුණදෙන පානීය ජල ප‍්‍රශ්නය යැයි අපට ප‍්‍රකාශ කළේ එහි වැසියෙකු වන කේ.රාමලිංගම්(71) මහතායි.

‘‘අපි මේ ගමට ආවේ 1990 අවුරුද්දේ මහවැලියෙන් ඉඩම් ලැබිලා. ආපු දවසේ ඉඳල සෑහෙන කාලයක්  කොටින්ගේ හිරිහැර වින්දා. දැන් ඒ ප‍්‍රශ්නේ නෑ. අලින්ගෙන් හිරිහැර කරදර අදටත් එහෙමමයි. එදා ඉඳල වතුර ප‍්‍රශ්නේ අපට තියෙනවා. එතකොට පායන කාලේ අපි වතුර බිව්වේ කුඩාපොකුණ වැවෙන්. අවුරුදු 10ක් 15ක් විතර වැවේ වතුර බිව්වා.ඊට පස්සේ ගමේ ගොඩක් දෙනෙකුට වකුගඩු ලෙඩ හැදෙන්න ගත්තා. දැන් කවුරුවත් වැවේ වතුර බොන්නේ නෑ. පායන කාලයට වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බවුසරයෙන් බොන්න වතුර ගෙනැත් දෙනවා ඒවා තමයි අපි බොන්නේ. අපේ ගමට විතරක් නෙවෙයි මේ හැම ගමකම වගේ පායන කාලෙට බවුසරෙන් තමා දෙන්නේ. අවුරුද්දේ මාස නවයක් විතරම එහෙම තමා.  කන්දකාඩුවේ ලොකු වතුර ෆිල්ටරයක් තියෙනවා. මහවැලි වතුර ගන්නේ. ඒකෙන් වතුර දෙන්නේ සෝමාවතිය පන්සලටයි, කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරටයි, කන්දකාඩුව ගොවිපළටයි. අපි ඉල්ලන්නේ ඒ වතුර අපේ ගමටත් දෙන්න කියලා. කිලෝ මීටර් එක හමාරක දුරක් තියෙන්නේ.දැනට කාලෙක ඉඳලා අපි මේ කාරණේ ගැන කියනවා. නමුත් කිසිම කෙනෙක් විසඳුමක් දුන්නේ නෑ.’’

මේ මැතිවරණ සමයේත් ජන්දය ඉල්ලාගෙන ගමට එන හැමෝටම සුපුරුදු ලෙස මේ ප‍්‍රශ්නය යොමුකරන බව රාමලිංගම් මහතා කීවේ ය.

‘හැමෝම වගේ පොරොන්දු වෙනවා ඒ ප‍්‍රශ්නය විතරක් නෙවෙයි ඔක්කොම දේවල් විසඳලා දෙන්නම් කියලා. ඒ පොරොන්දු එකක්වත් තවම ඉෂ්ඨවෙලා නෑ.‘

බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවන මේ වැසියන්ගේ මූලික වුවමනා රැසක්ම තිබෙන බව ඔවුන් සමඟ කළ කථාබහේදී කියැවිණි. ජන්ද කාලයට ඒ සඳහා පොරොන්දු පත‍්‍ර ලැබෙන නමුත් කිසිවක් ඉටු නොකෙරෙන අත්දැකීම ඔවුනට තිබේ. ඒනිසාම ජන්දයක් වෙනුවෙන් පිල් බෙදී එකිනෙකා සමඟ ගහ මරාගෙන පලක් නැති බැව් කුඩාපොකුණේ ජනයා හොඳාකාරවම දනිති. ජන වර්ග කිහිපයක් එක පවුලක් සේ සමගියෙන්, සාමූහිකව එකට ජීවත්වීමේ වටිනාකම ඔවුන් එකිනෙකා මැනවින් තේරුම් ගෙන තිබෙන බව අපට පසක් විය. ඒ ගමේ නම කුඩාපොකුණ වුවද එමගින් සමාජයට විකාශය කරන පණිවිඩය කුඩා නොවන බව අවිවාදිත ය.