Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

රට හැර යනවා මිස මට වෙන විකල්පයක් නැහැ
නිමාවක් නැති සැක කිරීම් සහ ප්‍රශ්න කිරීම්

සැක කිරීම් සහ ප්‍රශ්න කිරීම් නිමාවක් නැති බවක් පෙනේ. මහජනතාවට සාමයෙන් සමගියෙන් විසීමට අවශ්‍ය වුවත්, ඇතැමුන් වෙනස්කම් නිර්මාණය කිරීමට කැමතිය; ඒ බෙදා පාලනය කිරීම සඳහාය. ජනතාව මේ කණගාටුදායක උගුලේ සිර වී ඇත.

07.11.2019  |  
පුත්තලම දිස්ත්‍රික්කය
இணைய கோப்புப் படங்கள்

“මම දිනපතා යන්නේ එන්නේ කෝච්චියෙන්. මම සිංහල වගේම දෙමළත් හොඳට කතා කරනවා. ඒ වගේම මට දෙමළ, සිංහල සහ මුස්ලිම් කෝච්චි යාළුවෝ ගොඩක් ඉන්නවා. අපි හරිම සමීප මිතුරන් වගේම නිතර සමාජශීලීව හැසිරෙනවා. අපි දුම්රිය ඇතුළෙ කේක් කපලා අපේ උපන්දින සමරනවා. ඒත්, හැම දෙයක්ම වෙනස් වුණා පාස්කු ඉරිදා ප්‍රහාරවලට පස්සේ. මට දැන් මේ රට අතහැරලා යනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.” තැපැල් කාර්යාලයේ සේවිකාවක වූ හතළිස් දෙවැනි වියේ පසුවන එම්.එස්. ෆාතිමා නස්රියා කීවාය.

දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවද, නස්රියා අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් පසු සිංහල බසින් කතා බහ කිරීමට හුරු වූවාය. ” මම මේ වෙද්දි අවුරුදු 23ක් තැපැල් කන්තෝරුවේ සේවය කරනවා. මට අලුත් කන්තෝරුවකට මාරුවක් ලැබුණම මාත් එක්ක වැඩ කළ හැමෝගෙම ඇස්වල කඳුළු පිරෙනවා.  කොහොම වුණත් කියන්න කණගාටුයි මගෙන් ඈත් වෙද්දි අඬපු අයම දැන් අබායට වෛර කරනවා. ඒ අය මාව සැක කරන්නේ හරියට මම එයාලගේ මිතුරියක් නෙවෙයි වගේ. සේවයේ යෙදෙන පොලිස් නිලධාරීන් වගේම ආරක්ෂක නිලධාරීන් මාවම ඉලක්ක කරලා ප්‍රශ්න කරනවා. ‘ඔයා කවුද?’, ‘කොහේ ඉඳලද එන්නෙ?’, ‘කොහාටද යන්නේ?’, ‘ඔය මලුවල මොනවද තියෙන්නේ?’ තව එක එක ප්‍රශ්න. ඒක හරිම අවමානයක්. මම පාරේ ඇවිදගෙන යද්දි, සමහර තරුණ යතුරුපැදිකරුවන් කෑගහල මගෙන් අහනව‌ මම සහරාන් ද කියලා. මම දැන් පාරෙ යන්නේ බිම බලාගෙන. හරි වැරැද්ද තෝරාගන්න පුළුවන් යහපත් සාකච්ඡා මාර්ගයෙන්, ඒත් බොහෝ විට ඒ අය අපව සැක කරන්නේ බොහොම වැරැදි විදිහට. ඒ වගේම ඒවාට අපට උත්තර නැහැ. ඒ අයට ඇත්තටම අපට සවන්දෙන්න වුවමනාවකුත් නැහැ. මම කොහොමද මේ දේ වෙනස් කරන්නේ? රට හැර යනවා මිස මට වෙන මාර්ගයක් නැහැ.”

“මුරපොළවල පොලිස් නිලධාරීන් මම දෙමළද කියලා අහලා ඉස්සරහට යන්න දීලා මට පිටිපස්සෙන් එන මුස්ලිම් යෙහෙළියව මුරපොළේ නතර කරගත්තා. එයාට ප්‍රශ්න වැලකට උත්තර දෙන්න වුණා. බස් එක යන්න ඔන්න මෙන්න තියෙද්දිත් එයාව මුරපොළෙන් නිදහස් කළේ නැහැ. බස් කොන්දොස්තරත් යන්න කලබලෙන් හිටියේ. මගේ මිතුරිය බස් එක පස්සෙන් දුවගෙන ඇවිත් කොහොම හරි ගොඩ වුණා. ඇය හෙම්බත් වෙලා. මට එයා ගැන හරි දුක හිතුණා. බස් එකේ අනිත් අය එයා දිහා බැලුවේ සැකෙන් ව‌‌ගේ. මට කරකියාගන්න දෙයක් නැහැ. මේ දේම අපටත් වුණා අවුරුදු දහයකට කලින්. දැන් මගේ මුස්ලිම් මිතුරිය තමයි ගොදුරුවෙලා ඉන්නේ.” 24 වියැති විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වූ දර්ශිකා (අන්වර්ත නාමයකි) කීවාය.

“මට එතකොට වයස අවුරුදු 14යි. මම පුත්තලමේ. මම මුන්දලමේ ඉඳන් හලාවතට බස් එකේ ගියා. බංගදෙණිය මුරපොළේදි ඒ අය මම ගිය බස් එක සෝදිසි කළා. මට ඒ දවස්වල හැඳුණුම්පතක් තිබුණේ නැහැ. හැඳුණුම්පතක් ලබාගන්න අඩුම ගානේ වයස අවුරුදු 16ක් වෙන්න ඕනෙ. ඒ අය නවත්වලා ප්‍රශ්න කළා. මම දෙමළ වුණාට හොඳට සිංහල කතා කරනවා. යුද්දෙ කාලේ යාපනේ යන එක ලේසි නැති නිසා මම  නිතර යාපනයට ගිය කෙනෙක් නෙවෙයි. පොලිස් නිලධාරීන් මගෙන් එල්ටීටීඊ එක ගැන එක එක ප්‍රශ්න ඇහුවා. ඒ අය මගෙන් අහනවා අරයව දන්නවාද මෙයාව දන්නවාද කියලා. මම ඉස්කෝලෙ ළමයෙක් කියලාවත් ඒ අය ගණන්ගන්න පාටක් තිබුණෙ නැහැ. බස් එක මාව දාලා යන්න පටන් ගත්තා. මාව පැයකටත් වඩා ප්‍රශ්න කළා. ආරක්ෂක හමුදා තදින්ම කියා සිටියා අනාගතේදි මගේ අනන්‍යතාව තහවුරු කරන්න තැපැල් හැඳුණුම්පතක් ඉල්ලුම් කළ යුතුයි කියලා. බස් එකේ ගිය කවුරුහරි කෙනෙක් තාත්තට මේ සිද්ධිය දැනුම් දීපු නිසා තාත්තා මුරපොළට ඇවිත් මාව ගෙදර ගෙනිච්චා. එදා ඉඳන් මම බස් එකේ යද්දි පොට්ටු තියන එක නතර කළා. අද මුස්ලිම් ගෑනු ළමයින්ටත් වෙන්නේ ඒ දේමයි. අපට අපේම වාර්ගික අනන්‍යතාව තර්ජනයක් වෙද්දි අපි අසරණ වෙනවා.”

ස්වයං රැකියාවක නිරත ව්‍යාපාරිකයකු වන මධුරංග (අන්වර්ථ නාමයකි) තවත් කතාවක් කීවේය. “මෝටර් බයිසිකල්වල නැඟලා මගේ මුස්ලිම් යාළුවන් එක්ක හවසට  කොළඹ වටේ රෝන්දෙ යන පුරුද්දක් මට තියෙනවා. දවසක් මුරපොළක අපිව නතර කළා. පොලිස් නිලධාරීන් අපි සියලුදෙනාගෙන්ම හැඳුණුම්පත් ඉල්ලුවා. මගේ හැඳුණුම්පත දැක්ක ගමන් මම සිංහල කියලා දැනගෙන ඒ නිලධාරීන් මාව පැත්තකට අඬගහල අහනවා ඇයි මම මුස්ලිම් අයත් එක්ක යාළුකම් පවත්වන්නේ කියලා. ‘ඒක ඔයාට අනතුරක් වෙන්න පුළුවන්’ කියල ඒ අය මට කීවා.

“මීට කලින් දෙමළ අයට තිබුණු තත්ත්වයත් ඕක තමයි. කාලයක් තිබුණා මම දෙමළ කෙනෙක් කියලා මගේ අනන්‍යතාව හෙළි කරන්න බය වුණ. ඒ කාලේ මම මගේ විශ්වවිද්‍යාල හැඳුණුම්පත තමයි පාවිච්චි කළේ සැකකරුවකු වීමෙන් බේරෙන්න.” ප්‍රමුඛ පෙළේ සමාජ පර්යේෂකයකු මෙන්ම සමාජ ක්‍රියාකාරකයකු වන ජෙයරාජ සෙල්වරූබන් පැවසුවේය. “මම දෙමළ නිසා ඒ අය දැන් මට යන්න දෙනවා, ඒත් මගේ මුස්ලිම් යාළුවන් නතර කරගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. නැඟෙනහිර පළාතෙන් එන මුස්ලිම් අය ගැන සැකයෙන් බලන ස්වභාවයක් තිබෙනවා.” සෙල්වරූබන් පැවසීය.

සැක කිරීම් සහ ප්‍රශ්න කිරීම් නිමාවක් නැති බවක් පෙනේ. මහජනතාවට සාමයෙන් සමගියෙන් විසීමට අවශ්‍ය වුවත්, ඇතැමුන් වෙනස්කම් නිර්මාණය කිරීමට කැමතිය; ඒ බෙදා පාලනය කිරීම සඳහාය. ජනතාව මේ කණගාටුදායක උගුලේ සිර වී ඇත. සාමාන්‍යයෙන්, මිනිස්සු තමන්ගේ වාර්ගික අනන්‍යතාවට ගෞරව කරති. එහෙත් පවතින සන්ධර්භය තුළ ඔවුන් තමන්ගේ අනන්‍යතාව පිළිබඳ ආඩම්බර වීම වළක්වාලන්නේ එයම  ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් බවට පත් විය හැකි බැවිනි.