Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සුළු ජාතික හදවත් දිනා ගැනීමට
අවංක සැලසුම් ඕනෑ

මතවාදී ලෙස විසිරී සිටින ශ්‍රීලාංකික ප්‍රජාව එක කුඩයක් යටතට ගැනීමේ අභියෝගය වත්මන් ජනපතිවරයා හමුවේ පවතී. ජනපතිවරණ ප්‍රතිඵලය තුළ නිරූපණය වන මෙම බෙදීමට හේතුවූ කරුණු සහ එය අවම කරමින් ශ්‍රීලාංකික ජාතියක් ලෙස සැමගේ ශක්තියෙන් රට ගොඩනැඟීමේ කාර්යය සිදු කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධව සමස්ත ලංකා හින්දු සංගමයේ සභාපති නාරා ටී. අරුල්කාන්ත් මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

23.11.2019  |  
මහනුවර දිස්ත්‍රික්කය

ජනපතිවරණයේදී දකුණේ ජනතාව සහ උතුරේ ජනතාව පැහැදිලි ලෙසම ගමන් ගත්තේ මාවත් දෙකක බව අවසන් ප්‍රතිපලවලින් පැහැදිලි වන්නක්. බෙදී ගිය මේ ජනතාව යළි එක් කිරීමේ අභියෝගය සම්බන්ධයෙන් ඔබ දරන්නේ කෙබඳු අදහසක් ද?

ජනපතිවරණයේදී ජනතාව ඡන්දය පාවිචිචි කර තිබෙන ආකාරය බැලුවම පැහැදිලි ලෙස බහුතර සිංහල බෞද්ධ ජනතාව එක් මතයකත් සෙසු සියලු ජාතීන් අතරින් අති බහුතරය තවත් මතයකත් පිහිටා කටයුතු කර තිබෙන බව පැහැදිලිව දැකිය හැකියි. මේ ජනතාව බෙදී ගිහින් තිබෙන්නේ ජාතිවාදී ස්වරූපයෙන් නොවන බව අපි තේරුම් ගන්න ඕන. කවුරු හරි දෙමළ හා මුස්ලිම් ජනතාව ජාතිවාදී ස්වරූපයෙන් තීන්දු තීරණ අරගෙන තිබෙනවා කියනවා නම් මා ඒක ප්‍රතික්ෂේප කරනවා. මුස්ලිම් ජනතාව ජාතිවාදී ලෙස ඡන්දය පාවිච්චි කළා නම් නැගෙනහරින් වැඩි ඡන්ද ලබා ගන්න ඕන හිස්බුල්ලා. දෙමළ ජනතාව ජාතිවාදීව ඡන්දය පාවිච්චි කරලා තිබෙනවා නම් උතුරෙන් වැඩි ඡන්ද ගන්න ඕන ශිවාජිලිංගම්. යාපනය හා මඩකළපුව දිස්ත්‍රික්ක දෙකේ වැඩි ඡන්ද ගත්තේ සජිත් ප්‍රේමදාස මහතා. ඔහු යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 312722 ක් ඡන්ද ගත්තා. ඒක 83.86% ක ඉහළ අගයක්.ඊළඟට ඡන්ද ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා.ඔහු ඡන්ද 23261 ගත්තා. ඒක 6.24% ක්. ශිවාජිලිංගම්ට උතුරේ ජනතාව ගෙන් ඡන්දය ලබා දී තිබෙන්නේ 2% කටත් අඩු පිරිසක්. හිස්බුල්ලා නැගෙනහිරින් අරන් තියෙන්නේ 4% කට අඩු ඡන්ද ප්‍රතිශතයක්. උතුරු නැගෙනහිර ජනතාව ජාතිවාදී අදහස් ඇතිව ඡන්දය පාවිච්චි කළා නම් ඒ ප්‍රදේශවල වැඩි ඡන්ද ගන්න ඕන ශිවාජිලිංගම් හා හිස්බුල්ලා යන මහත්වරුයි.

ජනතාව බෙදී ගිහින් තියෙන්නේ ජාතිවාදී ස්වරූපයෙන් නෙවෙයි

එසේ නම් දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතරින් එක් අයෙකු පිළිබඳව පමණක් වැඩි විශ්වාසය තැබුවේ ඇයි?

එය බරපතල තත්ත්වයක්. ප්‍රධාන පක්ෂ දෙකෙන් ජනපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් දෙදෙනා ගෙන් එක් අයෙකුව උතුරු නැගෙනහිර ඇතුළු සෙසු ප්‍රදේශවල සුළු ජන කොටස් විසින් පිළිගනිත්දී අනෙක් අපේක්ෂකයාව ප්‍රතික්ෂේප කළේ ඇයි කියන කාරණය සම්බන්ධව අපි ගැඹූරින් කල්පනා කර බැලිය යුතුයි. අපේ රටේ සිංහල හා දෙමළ මාධ්‍ය ගත්තොත් මේවා ගමන් කරන්නේ පැහැදිලි ලෙසම මාවත් දෙකක. සිංහල මාධ්‍ය හා නාළිකාත්, පුවත්පතුත් බොහෝ විට ඉලක්ක කර ගන්නේ සිංහල ප්‍රජාව. දෙමළ මාධ්‍යය නාළිකා ඉලක්ක කර ගන්නේ දෙමළ හා මුස්ලිම් ජනතාව. ඇතැම් මාධ්‍යය ආයතනවල හිමිකරුවන් දේශපාලනයට ඍජුව සම්බන්ධයි. තවත් අය වක්‍රව සම්බන්ධයි. මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නේ ඒවාහි හිමිකරුවන්ගේ න්‍යාය පත්‍රයට අනුවයි. මාධ්‍ය අද ව්‍යාපාරයක් බවට පත්වෙලා. තමන්ගේ නාළිකාව ජනතාව අතරට ගෙන යන්න නොයෙක් උපක්‍රම ඒවායේ හිමිකරුවන් භාවිත කරනවා. ජාතිවාදය එක් ප්‍රධාන කාරණයක්. මෙවර ජනපතිවරණයේදී ප්‍රධාන පෙළේ දෙමළ මාධ්‍ය ආයතන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට අතරට අරන් ගියේ එක් අපේක්ෂකයෙකුගේ මතවාදය පමණයි. අනෙක් අපේක්ෂකයාට මැතිවරණයේදී දෙමළ මාධ්‍යය සාධාරණ අවකාශයක් ලබා දුන්නේ නැහැ. දෙමළ හා මුස්ලිම් ප්‍රධාන නායකයින් සහයෝගය දුන් අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට මාධ්‍ය උත්සාහ කළා. ඇතැම් සිංහල මාධ්‍ය නාළිකාවල මෙහි අනිත් පැත්ත දක්නට ලැබුණා. මාධ්‍ය කළ යුත්තේ සත්‍ය තත්ත්වය පෙන්වා දීමයි. ජනතාව ඒ අනුව තීන්දු තීරණ ගනියි.

 රටේ බොහෝ ප්‍රශ්නවලට වග කියන්න ඕන මාධ්‍ය හා දේශපාලනඥයින්

බෞද්ධ දර්ශනය ඔස්සේ රට පාලනය කරන බවට නව ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදු කළා. මෙය දෙමළ මුස්ලිම් ජනතාව තව දුරටත් ඈත් කිරීමක් කියා ඔබ සිතනවාද?

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ තුනක් පමණ දෙමළ ඡන්ද ලැබුණා. වතුකරයේ පමණක් පනස් දාහක් විතර දෙමළ ජනතාව එතුමාට ඡන්දය ලබා දී තිබෙනවා. සිංහල බෞද්ධයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ බෞද්ධ ප්‍රතිපත්ති අනුව රට පාලනය කරනවා කියන එක ගැන මා සතුටුයි. බෞද්ධාගම කියන්නේ අහිංසාවාදී ආගමක්.හොඳ බෞද්ධයෙක් කවදාවත් වෙනත් ජාතිකයෙකුට හෝ ආගමිකයෙකුට හිංසාවක් පීඩාවක් කරන්න කොහෙත්ම පෙලඹෙන්නේ නැහැ. මේ රට සිංහල බෞද්ධ රටක් වුණේ අවුරුදු 2500 කට ඉහත සිටයි. සිංහල බෞද්ධ ජනතාව හා සුළු ජාතීන් අතර ප්‍රශ්න ඇති වන්නේ මේ ප්‍රකාශය නිසා නොවෙයි. මේ ප්‍රකාශය ජනතාව අතරට මාධ්‍ය අරගෙන ගිය විදිහ අනුවයි. බොහොමයක් දෙමළ මාධ්‍ය මේ ප්‍රකාශය වාර්තා කළේ ගෝඨාභය ජනපති විම නිසා ඔන්න දැන් මේ රටේ ඇති වෙන්නේ බෞද්ධයින්ගේ පාලනයක් කියලයි.මං කියන්නේ අපේ රටේ බොහෝ ජාතිවාදී ප්‍රශ්නවලට වග කියන්න ඕන මාධ්‍ය හා දේශපාලනඥයින්. ජනතාව අතකොලුවක් ලෙස මේ දෙගොල්ලම පාවිච්චි කරලා ප්‍රශ්නයක් ඇතිවූ තැන ඒක ජනතාව මත පටවලා හිමිහිට ඇඟ බේර ගන්නවා.

දකුණේ ජනතාවට වඩා උතුරේ ජනතාවට ප්‍රශ්න තියෙනවා

පසුගිය ජනපතිවරණයේදීත් සමාජ මාධ්‍ය වෙතින් විශාල බලපෑමක් එල්ල වූවා. මේ බලපෑම ගැන ඔබ දරන්නේ කවර ආකල්පයක් ද?

මැතිවරණ කොමිෂන් සභාවට පවා මේ සමාජ මාධ්‍ය පාලනය කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මං කියන්නේ මේවා පාඩමට අරන් අනාගතයේ යළිත් මේ දේවල් නොවන විදිහට දැන්ම නීති යාවත්කාලීන කර ගත යුතුයි. මැතිවරණ අවසන් වුණාම අපිට ඔක්කොම අමතකයි. දෙමළ ඩයස් පෝරාවේ මුදල් මත යැපෙමින් සමාජ මාධ්‍ය පවත්වා ගෙන යන කණ්ඩායම් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය කුමන හෝ අයුරකින් ජතිවාදය අවුස්සලා ජත්‍යන්තරයේ අවධානය මේ රට වෙත ගන්නයි. මැතිවරණයෙන් පසු ඇතැම් සමාජ මාධ්‍යවල ශ්‍රීලංකාවේ සිතියමේ උතුරු නැගෙනහිර ප්‍රදේශ කොළ පාටින් ලකුණු කරලා තිබ්බා. ඇතැම් පිරිස් මේ කොටස රතුපාට කරලා ඒවා එල්.ටී.ටී.ඊ ඡන්ද ලෙස පෙන්වා දෙන්න උත්සහ කරලා තිබ්බා. මේක ඇත්තටම නොකළ යුතු දෙයක්. තමන් කැමැති අපේක්ෂකයාට ඡන්දය නොදුන් පමණින් ඒ ජනතාව කොටි ත්‍රස්තවාදීන් ලෙස පෙන්වා දීමට උත්සහ කිරීම වැරදියි. උතුරු නැගෙනහිර පමණක් නොවෙයි ලංකාව පුරා විසිරී සිටින සියලු දෙමළ මුස්ලිම් ජනතාවට අවශ්‍ය සාමයෙන් සමඟියෙන් ජීවත් වෙන්නයි. පාස්කු ප්‍රහාරයට මුස්ලිම් අන්තවාදී අදහස් දරන කිහිප දෙනෙකු සම්බන්ධ වුණාට සමස්ත මුස්ලිම් ජනතාව අන්තාවදීන් ලෙස හංවඩු ගැසීම වැරදියි. ඒ වගේම තමයි උතුරේ දෙමළ ජනතාව. යුද්ධයක් නැතුව ජීවත් වීම තමයි ඒ අයගේ අරමුණ. අපි ඒකට උදව් කරන්න ඕන. දකුණේ ජනතාවට තිබෙන ප්‍රශ්නවලට වඩා වැඩි ප්‍රශ්න උතුරේ ජනතාවට තිබෙනවා. වතුකරය ගත්තොත් ඒ අයට නිදහස් අධ්‍යාපනය ලබන්නවත් පහසුකම් හරියට නැහැ. වතු ජනතාව මොනදේ වුණත් කිසිම අයුරකින් ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්නේ නැහැ. වරදකට දඬුවම් ලබනවාට වඩා නොකළ වරදකට දඬුවම් විඳින විට දැනෙන වේදනාව වැඩියි. ඒ වගේමයි ජාතිය සමඟිය ප්‍රාර්ථනා කරන පිරිසක් ජාතීවාදීන් ලෙස හඳුන්වන්න ගියාමත් වෙන්නේ. මේවා අපි දේශපාලනයෙන් තොරව තේරුම් ගත යුතු කාරණායි.

ඡන්දය පාවිච්චි කරන්න ඕන තුන්කල් බලලයි

ජනපතිවරණ ප්‍රතිපලයට අනුව මතවාදී ලෙස මාවත් දෙකක ගමන් කරන ජනතාව ඒකරාශි කිරීමේ අභියෝගය ජය ගැනීමට නම් නව ජනපතිවරයා කඩිනමින් කළ යුතුව තිබෙන්නේ කුමක් කියාද ඔබ සිතන්නේ?

කුමන හෝ හේතුවක් නිසා සුළු ජාතීන් අතරින් බහුතරයක් තමන් ප්‍රතික්ෂේප කර තිබෙන බව තේරුම් ගෙන ඔවුන් තමන් වෙත ළංකර ගැනීමට නව ජනපතිවරයා සැලසුම් සකස් කළ යුතුයි. ඒවා මුළාකිරීම්වලින් තොර අවංකත්වය මුල් කරගත් සැලසුම් වීම ඉතා වැදගත්. ඊළඟ ජනපතිවරණය ජයගෙන තමන් සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක්ම නොවේ ජයග්‍රහණය කළේ කියන තැනට රට ගෙනියන්නට ජනපතිතුමා උනන්දු විය යුතුයි. මෙවර අපි දැක්කා අපේක්ෂකයන් දෙදෙනා සටනට පැමිණියේම ඡන්ද ගොඩවල් දෙකක් තමන්ගේ දෙපාමුල තියා ගෙනයි. සිංහල බෞද්ධ ඡන්ද බහුතරයක් තමන්ට ලැබෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා කල්තියාම දැන සිටියා. සුළු ජාතික ඡන්ද බහුතරයක් තමන්ට ලැබෙන බව සජිත් ප්‍රේමදාස මහතා දැන සිටියා. මෙය මෙරට අනාගතය පැත්තෙන් කල්පනා කළොත් හිතකර තත්ත්වයක් නොවෙයි. ජනතාව ඡන්දය පාවිච්චි කරන්න ඕන තුන්කල් බලලයි. එහිදී වඩා වැඩි අවධානයක් යොමු කරන්න ඕන වර්තමානයට හා අනගතයටයි. එහෙම හිතන කිසිම ඡන්ද දායකයෙක් අපේක්ෂකයා නම් කරන්නත් කලින් කාටද ඡන්දය දෙන්නේ කියලා තීරණය කරන්නේ නැහැ.