Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කුනරාසා තංගමලර්
යුද්දෙ නිසා රස්සාව නැති වුණා

යාපනයේ නාවන්තුරෙයි මාළු වෙළඳපොළ ඇගේ වැඩබිමය. තියුණු පිහියක්, කතුරක් අතැතිව සිටින ඇය නාවන්තුරෙයි මාළු වෙළඳපොළට මසුන් මිලදී ගැනීම පිණිස පැමිණෙන නෝනා මහතුන් මිලදී ගන්නා මාළු, ආහාරයට සුදුසු ලෙස සකස් කර දෙයි. නාවන්තුරෙයි වසන්තම්පුරම් හි පදිංචි කුනරාසා තංගමලර් (57) අම්මා  ලහි ලහියේම සිය රැකියාවේ නිරතවෙමින් ම ඇගේ ජීවිතයේ අය වැය ගැන කතා කළා ය. පවුලේ විස්තර […]

05.06.2016  |  
යාපනය දිස්ත්‍රික්කය

යාපනයේ නාවන්තුරෙයි මාළු වෙළඳපොළ ඇගේ වැඩබිමය. තියුණු පිහියක්, කතුරක් අතැතිව සිටින ඇය නාවන්තුරෙයි මාළු වෙළඳපොළට මසුන් මිලදී ගැනීම පිණිස පැමිණෙන නෝනා මහතුන් මිලදී ගන්නා මාළු, ආහාරයට සුදුසු ලෙස සකස් කර දෙයි. නාවන්තුරෙයි වසන්තම්පුරම් හි පදිංචි කුනරාසා තංගමලර් (57) අම්මා  ලහි ලහියේම සිය රැකියාවේ නිරතවෙමින් ම ඇගේ ජීවිතයේ අය වැය ගැන කතා කළා ය.

පවුලේ විස්තර මොනවද?
මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. පුතාලා 3යි. 1දුවයි. දුව කසාද බැඳලා ගියෙ මීට මාස 3කට කලින්. දැන් ගෙදර ඉන්නේ පුතාලා තුන් දෙනයි මායි විතරයි. මහත්තයා මැරුණා.

පුතාලා මොනවද කරන්නේ?
ලොකු පුතා කුලී වැඩ කරනවා. අනෙක් දෙන්නගෙම ඇස් පෙනීම දුර්වලයි. ඒ දෙන්නට කිසි දෙයක් කරගන්න අමාරුයි. ඒ දෙන්නා ජීවත් කරවන්නේ ලොකු පුතයි, මමයි.

යුද්දෙ තිබුණු කාලේ මොනවද කළේ? කොහොමද ජීවත් වුණේ?
ඒ කාලේ මොකුත් කරගන්න තිබුණේ නෑ. විශ්වමඩු, මුලතිව්, ආනකොටෙයි වගේ තැන් තැන්වල තමයි ජීවත් වුණේ. 1990දී තමයි නාවන්තුරෙයි වසන්තම්පුරම් පදිංචියට ආවේ. ඒ දවස්වල පාරේ පදිංචියට ආවා. මෙහෙ පාරවල් තාර දාද්දී අපි තමයි ගිහින් වැඩ කළේ. දවසට රුපියල් 500ක් විතර හම්බුණා.

අලුත් රස්සාවට මාරු වුණේ කොහොමද?
දැන් අවුරුදු 5ක ඉඳලා කරන්නේ මේ රස්සාව. පොළට එන අයගේ මාළු සුද්ධ කරලා දීලා ඒකෙන් ලැබෙන මුදල් වලින් ජීවත් වෙනවා.

කොච්චර විතර මුදලක් මාසෙට ලැබෙනවාද?
හරියටම කියන්න බෑ. සමහර මාසවලට රු.4000යි. සමහර මාසවලට රු.5000යි. පොළට මාළු ලැබෙන විදියටයි, පොළෙන් මාළු ගන්න විදියටයි තමයි අපේ අතට කීයක් හරි ලැබෙන්නේ.

පවුලේ වියදමට ලැබෙන රුපියල් හාරපන්දාහ ඇතිද?
ඇති වුණත්, මදි වුණත් ලැබෙන විදියට ජීවත් වෙන්නයි අපි පුරුදු වෙලා තියෙන්නේ. මේ රස්සාවට අලුත් ඇඳුම්  ඕනේ නෑ. කන්න බොන්න ටික හොයා ගත්තහම ඇති.

හම්බකරන මුදල්වලින් කීයක් හරි ඉතිරි කරනවද?
අනේ නෑ. බැංකුවක දාලා ඉතිරි කරන්න තරම් මුදලක් මං උපයන්නේ නෑ.

හදිසි වුවමනාවක් වුණොත් බේත් ටිකක්වත් ගන්න මුදල් කොහේද?
මට ලෙඩක් දුකක් හැදුණොත් ලොකු පුතා ඉන්නවා. එයා කුලී වැඩ කරලා කීයක් හරි හොයාගන්නවා.

ලොකු පුතා කීයක් විතර හොයනවාද?
දවස් කුලී කරන්නේ. මේසන් බාස්ලට අත්වැඩ දුන්නොත් දවසට රු.1000ක් ලැබෙනවා. නැත්නම් ඉතින් සුළු සුළු වැඩ කරලා දවසට රු.500ක් 600ක් හොයනවා. ඒත් හැමදාම කුලී වැඩ නැහැ.

මේ රස්සාවට කැමතිද?
කලින් කුලී වැඩ කළා. පස්සේ අසනීප වුණා. ඊට පස්සේ එකතැන ඉඳන් කරන්න පුළුවන් මේ රස්සාව තෝර ගත්තා. දැන් ඉතින් කැමති වුණත් අකමැති වුණත් මේ රස්සාව කරන්න වෙනවා.

කොහොමද විනෝද වෙන්නේ?
අනේ ඒවට වෙලාවක් නැහැ. උතුරු පළාතෙන් පිට කොහෙවත් ගිහින් නැහැ. කෝවිලේ මංගල්ලෙට නම් යනවා.

අනාගත බලාපොරොත්තු මොනවද?
මුලදි නම් මම මාකට් එකෙන් අඩුවට මාළු ගෙනල්ලා විකුණුවා. ඒ දවස් වල ගේ හදාගන්න බැංකු ණය ගත්තා. බැංකු ණය ගෙව්වට පස්සේ මාළු රස්සාව කරන්න සල්ලි නැතුවයි හිටියේ. පස්සේ මෙතන මාළු කපන වැඬේ පටන් ගත්තා. මගේ වයසත් එක්ක මේ රස්සාව තමයි කරන්න වෙන්නේ. යුද්දෙ නිසා අපේ ජීවිතේ හොඳම කාලේ රස්සාවක් කරගන්න බැරි වුණා. ඒ කාලේ හැටියට දැන් මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්.

/kunarasa-amma2