Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මේ තරුණිය අප සැමට ආදර්ශයකි
සහායකින් තොරව විශිෂ්ටත්වය කරා

ඇය විශේෂ අවශ්‍යතා ඇත්තියක වුවත් ඒ කිසිවකින් තොරව උත්කෘෂ්ට දිවි පැවැත්මක් පිණිස වෙහෙස වන්නීය.

02.02.2020  |  
මඩකලපුව දිස්ත්‍රික්කය

ඩිලානි එළුවන් 30කගෙන් යුතු පට්ටියක් පාලනය කරන්නීය. ‘හුයි… හුයි… මෙහෙ… මෙහෙ… ජහ්… ජහ්…’ ඇය කෑගසන්නීය. පාරේ තැනින් තැන වියළී ගිය අලිබෙටි දැකිය හැකිය. නිතොර වන අලින් සැරිසරන බිම්හි වෙහෙස වන එ‌ඬේර තරුණියක ලෙස ඇයට බියක් නොදැනේ. ඇය කෙවිටක් අත නොදැරුවද එළු රැළ ඇගේ අණට කීකරුව නිවෙසට එන්නේය.

අප මේ දර්ශනය දුටුවේ මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ මනාති පොට්ටි ගම්මානයේය. ඩිලානි ඇගේ දෛනික කටයුතුවලදී ඇගේ කටහඬේ ශක්තිය සහ දෙපා භාවිත කරන බව අප දුටුවේ පසුවය. මඟ දෙපසම ඇත්තේ කෘෂිභෝග සහිත වෙල්යායන්ය. ඇය මේ එළුවන් රැළ ලියැදි මතින් යෑම වළක්වන්නට දැඩි සේ පරෙස්සම් වන්නීය.

මේ කුරුන්තයියඩි ආදර්ශ ගම්මානයයි. මැටියෙන් ගොඩකළ ඇගේ පැල්පත වටා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන විසින් සපයනු ලැබූ ගලින් තැනූ නිවාසය සහ ටකරන් එළලූ මැටි බිත්ති සහිත ගෙවල්ය. ගුණරත්නම් ඩිලානි වෙසෙන්නේ ඇගේ මව්පියන් සමඟය. ඇගේ විවාහක සොහොයුරිය වෙනම වාසය කරයි. යුද සමයේ ඩිලානි ඉපදුනේ දෑත් රහිතවය.

නිරන්තර කාර්යබහුලව දැකිය හැකි ඩිලානි මුමුනන එකම පද පේළියක් වෙයි. ඒ ‘කොළ පැහැ වළලු ලක්ෂ දාසයක් පමණි’ යන්නය. ඒ ඇගේ දිනචර්යාවේ යෙදෙන අතරය.

ඒ ප්‍රදේශයේ වැසියන් පාසල් යෑම ආරම්භ කළේ එක්තරා ප්‍රමාණයකට පමණි. ඒ ද වර්තමානයේය. එහෙත් දෑත් අහිමිව උපන් ඩිලානි ඉගෙනීමෙහි අසමත් නොවූවාය. ඇය කොල්ලනුලායි හි විවේකානන්ද විද්‍යාලයේ 10 ශ්‍රේණිය දක්වා උගත්තාය. ඇගේ පවුල් පසුබිම නිසා උසස් අධ්‍යාපනයට අවස්ථාව නොලැබිණි. විශේෂ අවශ්‍යතා සහිත යෞවනියක් මෙතරම් දුරක් හෝ කිසිදු විශේෂ සහායකින් තොරව පැමිණීම පුදුමාකාරය.

ඩිලානි එළුවන් 30කගෙන් යුතු පට්ටියක් පාලනය කරන්නීය.

විශේෂ අවශ්‍යතා ඇති අය ඇතැම්විට අන් අයගේ සහාය ලබති. බොහෝ විට ඔවුන් සමාජයට බරක් ලෙස සැලකෙයි. විශේෂ අවශ්‍යතා ඇත්තන් දෙස අනුකම්පාවෙන් බලන සමාජය මෙන්ම පවුලද ඔවුන් වැඩකට නැත්තන් සේ සලකති. ඩිලානි මෙන් ආත්ම ශක්තියෙන් යුත් දරුවන් අන් අයටද ආදර්ශයකි. මොවුන් ලෝකයට සඵත කරන්නේ තම දෙපයින් නැඟී සිට ඔවුන් සතු දෙයින් කළ හැකි උපරිමය සලසා දෙන බවයි.

ඩිලානි මෙන් ආත්ම ශක්තියෙන් යුත් දරුවන් අන් අයටද ආදර්ශයකි.

මව්පියන් සමඟ වෙසෙන ඩිලානි ගායනයටද දස්කම්පායි. ඇය ඉතිහාසය, ආගම සහ සාහිත්‍යය පිළිබඳවද දැනුම වඩාගෙන ඇත්තීය. එය ඇය ගීත නිර්මාණය කර ගැයීමට යොමු කර ඇත. ගමේ ආගමික උත්සවවලදී ගීත ගැයීම නිසා ඇය ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ලබා තිබේ. ඩිලානි පාසල් අධ්‍යාපනය හමාර කළද ඇය විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා වූ පාසලකට නොගියාය. ඒ වෙනුවට ඇය ඉගෙනුම ලැබුවේ සාමාන්‍ය පාසලකය.

“ඩිලානි දැන් ජනප්‍රියයි. මගේ දුව එක්ක කතාකරන්න විශ්වවිද්‍යාලවලින් පවා කට්ටිය එනවා. ඒ අය දුව සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වලා තෑගි වගේම ගෞරවය ලබා දෙනවා. අම්මා කෙනෙක් හැටියට මට ලබන්න පුළුවන් ලොකුම සතුට තමයි ඒක” ඩිලානිගේ මව පවසයි.

ඩිලානි ඇගේ ගායනාවන් සඳහා විවිධ සම්මානද දිනාගෙන ඇත. 2017 වසරේ කලාකරු ගෞරව සම්මානයෙන්ද, 2013 වසරේ ඊලාම් කරකක් කුයිල් සම්මානයෙන්ද, 2012 වසරේ ජනතා කලා මුතුසාම් සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවේ ප්‍රාදේශීය ආයතන, ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය සංවර්ධන මණ්ඩල මඟිනි.

“අ‌පේ තාත්තා මහන්සියෙන් හම්බකරලා අපව බලාගන්නවා. මමත් මට පුළුවන් හැමදෙයක්ම කරලා මට අඩුපාඩුවක් නොවෙන්න කටයුතු කරගන්නවා.” ඩිලානි පවසන්නීය. විශේෂ අවශ්‍යතා රහිත බොහෝ දෙනකු පවා තම අවශ්‍යතාවන් සඳහා මුදල් සෙවීමට අසමත් වුවද ඇය එළුපට්ටිය රැකබලා ගැන්මෙන් ඇගේ අවශ්‍යතා සපුරා ගැනීමට ආදායමක් උපදවා ගනිමින් සිටියි. ඩිලානි වැන්නවුන් අප සියලුදෙනාට අනුප්‍රාණයකි.