Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වෙන් වෙන්න හොඳ නෑ
එකට ඉන්නයි ඕනෑ

කලාව මිනිසුන් අතර සුන්දර බැඳීම් ඇති කරයි. කැමරා ඇස සංවේදී දසුන් සොයා යයි. කලාවට ලැදියාව ඇත්තෝ එකට එක්වෙති. කලාව තුළ ඇත්තේ මහා මිශ්‍රණයකි. ඒ මිශ්රමණයන් තාක්ෂණය අනුව හෝ වර්ග අනුව, වර්ණ අනුව, පංති අනුව හෝ ජාතින් අනුව හෝ වෙන් කළ නොහැක. සාමය පතන්නෝ මේ මිශ්‍රණයන්ට තව තවත් රස ගුණ ඇති දෑ එක්කර ගති. අනුරාධපුරයේ ඇති සිංහල පාසලක දී රියාස් මොහොමඩ් සිසු දරුවාට ලැබෙන්නේ එවැනි සම්මිශ්‍රණයක කොටස්කාරීත්වයකි.

05.02.2020  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර නගරයේ කඩ තිහ ප්‍රදේශයේ  පදිංචිව පුංචි වෙළඳාමක නියැළි රසීඩ් නව්ෂාඩ් හා ෆරීනා යුවළ සිය බාල පුත් රියාස් දෙමළ මාධ්‍ය පෙර පාසලකට නොයවා සිංහල මාධ්‍ය පෙරපාසලක් තෝරා දෙයි.  වැඩිමහල් දියණිය දෙමළ මාධ්‍ය පෙර පාසලකට යවා පුත්‍රයා සිංහල මාධ්‍යය පෙරපාසලකට යැවීමට සිතුණු බව ඔහු කියයි. නව්ෂාඩ් ඇතුළු පවුලේ සියලු දෙනාට සිංහල හොඳින් භාවිත කළහැකි ය. පෙර පාසලේ දීම කලා හැකියාවන් පෙන්වූ රියාස්ට සිංහල පාසලක්ම තෝරා දෙන්නට පියා කටයුතු කළේ ය.  එම පාසල අනුරාධපුර ඩී.ඇස්.සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයි. ප්‍රාථමිකයේ දී නැටුම් ගැයුම් ක්‍රීඩා වැනි විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් ඉදිරියෙන් සිටි මේ දරුවා පරිසරය විඳීමටත්,චිත්‍ර වැනි කලා විෂයන්වල නිරතවීමටත්  දැක්වූයේ මහත් රුචියකි.

පස්වැනි ශ්‍රේණියෙන් පසු ඩී.ඇස්. සිසුන්ට හයවන ශ්‍රේණිය විවෘතවන්නේ අනුරාධපුර වලිසිංහ හරිශ්න්ද්‍ර මහා විද්‍යාලයෙනි. ඒ 2012 වසරේ දී යි.  අනාගතයේ දී ග්‍රැෆික් නිර්මාණ සැලසුම්කරුවෙකු වීමේ ඉලක්කය කරා යාමට සාමාන්‍ය පෙළ විෂය ධාරාව වෙනුවෙන් දෙමළ,ඉංග්‍රීසි සාහිත්‍ය,සිංහල,තොරතුරු තාක්ෂණය,බුද්ධාගම සහ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයන් තෝරාගන්නා රියාස් පාසල් මාධ්‍ය ඒකකයේ දී ඉනෝකා ගුණවර්ධන ගුරු මහත්මිය හඳුනාගනී. එම පාසලේ සන්නිවේදන මාධ්‍ය විෂය භාර ගුරුවරියක් වන ඉනෝකා මෙනවිය කෙටි චිත්‍රපට නිෂ්පාදනය, නිවේදනය, කඬකැවීම්, වීඩියෝ සංස්කරණය,ශබ්ද පරිපාලනය හා කැමරාකරණය ආදී ක්‍රියාකාරකම්වලට එක්වීමට රියාස්ට ද අවස්ථාව සලසා දෙයි.

ඒ අතරින් රියාස් නිෂ්චල කැමරාව භාවිතතය ඇලුම් කරන අතර පාසලේ පැවැති විශේෂ වැඩමුළු ආදියෙන් කැමරාව ගැන සරල අවබෝධයක් ලබා ඇගේ සිසු කණ්ඩායම ඡායාරූප තරග වලට නිර්මාණ ඉදිරිපත් කරන්නට පටන්ගත්හ. 2017 වසරේ කොළඹ ඉසිපතන විද්‍යාලය සංවිධානය කළ මාධ්‍ය දින තරගාවලිය,අන්තර් පාසල්   තරගාවලි, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය 2018 වසරේ සංවිධානය කළ ඡායාරූප තරගය ඇතුළු තරගාවලි රැසකින් රියාස්ගේ ඡායාරූප රැසක් ජයග්‍රහන දිනාගත්තේ ය. ඒ අතර සමස්ත ලංකා මට්ටමේ තරගවලදී දෙවන ස්ථාන ද ඔහු දිනා තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනත් පාසල් වල නොමැති මෙවැනි අවස්ථාවක් උදාවිම හැමෝටම විශේෂ විය. වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ මිතුරු කණ්ඩායමක් හා එක්ව ඡායාරූප ගැනිමේ සංචාර, වීදි ඡයාරූපකරණ කලාව අත්විඳීම (street photography) ආදී අවස්ථාවන් මෙම සිසුවාට උදාවී තිබේ. ඒ අතර ඔහු දැන් උසස් පෙළ කලා විෂය ධාරාවට සිංහල,තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයන් හදාරමින් සිටියි.

අභිනිහරණ වර්ණ රාත්රි.යේ දී උපහාර ලබන රියාස් මොහොමඩ් සිසුවා

‘‘ මගේ ඉලක්කය ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන එක. මට අපේ පාසලේ දී ඒ සඳහා අවශ්‍ය මඟ පෑදුණා. මං තොරතුරු තාක්ෂණ විෂයෙන් ඉස්සරහට යන්නේ සෞන්දර්ය විෂයන්වල ඇති විටනාකම හදාරන ගමන්. ඡායාරූප ශිල්පය එක අතකින් කලාවක්. එම කලාව තුළ තිබෙන හුරුව මෙන්ම හික්මීම කෙනෙකුගේ නිර්මාණ ශක්තිය ඉහළ දමන්න ඉතා වැදගත්. ඡායාරූප ශිල්පයෙන් දැනට මා ඉතාම හොඳ ආශ්වාදයක් විඳිනවා. ඒ   වගේමයි අනාගතයේ දී මගේ පරිගණක සැලසුම් කටයුතු වල දි කලා හැකියාවන් නිසා වඩාත් සාර්ථක නිර්මාණ බිහිකරන්න පුළුවන් කියලා  මම විශ්වාස කරනවා. මගේ අක්කා යන්නේ අනුරාධපුර සහිරා මුස්ලිම් මහා විද්‍යාලයට. මට මේ පාසලට එන්න අවස්ථාව උදාවූ නිසා මේවගේ කලාවකට යොමුවෙන්න පුළුවන් වුණා. සම්මාන රාත්‍රියේ  දී මටත් සම්මාන දෙකක් ලැබුණා. ඒ මම ඡායාරූප තරග වලින් මගේ පාසලට ලබාදුන් කීර්තිය නිසා. මට හරිම සතුටුයි.

මගේ පාසලේ ගුරුවරුන්ගෙන් මෙන්ම ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ගෙන් මට ලැබෙන්නේ හොඳ සහයෝයක්. මගේ ගමනට කාගෙන්වත් බාදාවක් නෑ. මගේ මව් භාෂාවවත් ආගමවත් මට ප්‍රශ්නයක් වෙලා නෑ. බාහිර සමාජයේ ඉන්න හැමෝටමත් මම කියන්න කැමතියි අපි වගේ සමගියෙන් ඉන්න කියලා. තමන් ආශාකරන අංශය ඔස්සේ ඉගෙන ගන්න කාගේවත් බාදාවක් නෑ. අපේ රටේ ඒ සඳහා අවස්ථාව තිබෙනවා. සමහරු හිතාගෙන ඉන්න ආකාරයට වඩා සමාජයේ බැඳීම් හරි වෙනස්. අපේ ගුරුවරුන් අපට හොඳින් සලකනවා. ඒ අතර අපේ මාධ්‍ය ඒකකය භාර ඉනෝකා මිස්ට අම්මෙකුට වගේ අපි ආදරෙයි. පාසලේ මාධ්‍ය ඒකකය අපේ ජීවිත ලස්සන කළා ‘‘ යැයි ඔහු පැවසුවේ ය.

ඉනෝකා ගුණවර්ධන මෙනවිය

ඉනෝකා ගුණවර්ධන මෙනවිය භාරව සිටින මාධ්‍ය ඒකකයේ යාවජීව සාමාජිකයින් පනහක් පමණ වේ. දිවයින පුරා ඇති අනෙකුත් දෙමළ හා සිංහල මාධ්‍ය පාසල්  ඒකරාශිකරගෙන මාධ්‍ය තරගාවලි සංවිධානය ඈ විසින් වාර්ෂිකව සිදුකරනු ලබන ක්‍රියාකාරකම් අතර වේ. එමෙන්ම රටේ කුමන ප්‍රදේශයක තිබුණ ද  මාධ්‍ය වැඩමුළුවක් නම් ඇය සිසුන් ඊට ඉදිරිපත් කරයි. මේ නිසා වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාල මාධ්‍ය ඒකකය එදින සම්මාන උළෙලෙ දී ඇගයීම් රාශියක් දිනාගත්තේ ය.

ඒ ගැන අදහස් දැක්වූ ඉනෝකා ගුරු මහත්මිය ‘‘  අභිනිහරණ සම්මාන උළෙලේදී අපේ මාධ්‍ය ඒකකයේ අයට විතරක් සම්මාන 30කට වඩා තිබුණා. අපේ මාධ්‍ය ඒකකය කියන්නේ සිංහල දෙමළ ඉංග්‍රී සි භාෂා තුනෙන්ම දස්කම් පෙන්වන තැනක්. අපේ සමහර සිංහල නිවේදකයින් දෙමළ භාෂාවෙනුත් චතුර ලෙසනිවේදනය කරනවා. මුස්ලිම් ශිෂ්‍යයින් ඉන්නවා දක්ෂ ලෙස සිංහලෙන් නිවේදනය කරන අය. භාෂා තුනේම එක විදිහටම නිවේදන කටයුතු කරන අය ඉන්නවා. රියාස් පුතා ඒ අතර විශේෂයි. අපේ හැම වැඩටම උදව්උපකාර කරන ගමන් විනෝදාංශය ලෙස තෝරාගත්තු ඡායාරූප ශිල්පයෙන් අපේ පාසලට නම්බුවක් ගෙනැත් දුන්නා.‘‘ යැයි පැවසුවා ය.

රියාස් හා ඡායාරූප සමාජයේ පිරිස

එම විද්‍යාලයේ විදුහල්පති ඩී.රණසිංහ මහතා ඒ ගැන පැවසුවේ මෙවැන්නකි. ‘‘ මගේ පාසලේ පන්දාහක් විතර ශිෂ්‍යයින් ඉන්නවා. ඒ අතර මුස්ලිම් සිසුන් 36ක් ඉන්නවා. ඒ හැමෝමටම සහජ කුසලතා වර්ධනය කරගන්න අපි අවස්ථාව සලසා තිබෙනවා. භාෂාව අනුව ආගම අනුව අපේ පාසලේ වෙනසක් නෑ, හැමෝටම අවස්ථාව තිබෙනවා. මවුබස දෙමළ වෙච්චි අය ත්‍රෛ භාෂා දක්ෂ නිවේදකයින් බවට පත්කරලා තිබෙනවා.‘‘ යනුවෙනි.

රියාස් ඔහුගේ කලාකටයුතු වලට පහසුවක්වීම සඳහා නැවතී සිටින්නේ ඔහුගේ මුත්තණුවන්ගේ නිවසේ ය. අනුරාධපුර නව නගරයේ කූම්බිච්චන්කුලම වැව අසල පිහිටි එම නිවස ද සවසට ගිමන් හැරීමට ඇති කූම්බිච්චන්කුලව වැව උද්‍යානය ද ඔහුට නිදහස් සිතුවිලි පහළකරන බව ඔහු කියයි. ඔහුගේ සීයා වන යූ.ස්මයිල් මහතා විහාර ආරාම ආදිය පවා ගොඩනැගු පෙදරේරුවෙකු වේ.

සිය දරු මුණුබුරන්ට අලුත් ලෝකයක් අවශ්‍ය බව එම මුත්තණුවෝ කියති. ‘‘ අපේ කාලය ඉවරයි. දැන් අලුත් ලෝකේ දරුවන් අලුත් දේවල් ඉගෙනගන්න ඕනෑ. ඒවාට පහසුකම් දෙන්නත් ඕනෑ. සමාජයේ පාසල් වශයෙනක් භාෂා වශයෙන් ආගම් වශයෙන් වෙන් වෙන්න හොඳ නෑ. එකට ඉන්න ඕනෑ විදියක් තමා හිතන්න ඕනෑ.‘‘ යන්න  ඔහුගේ වදනයි.