Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අධිෂ්ඨානයකින් යුතුව ජීවිතයට මුහුණ දීම
කූඹී රාසම්

“කාන්තාවන්ට අධිෂ්ඨානයකින් යුතුව ජීවිතේට මුහුණ දීමට නම් ආර්ථික හයියක් තිබිය යුතුයි” රාසා ලිච්චමී පවසයි. ඇය වෙසෙන්නේ මඩකලපුව දිස්ත්රිටක්කයේ මංචංතෝඩුවෙයි ප්‍රදේශයේ ය. ඇගේ ක්‍රියාශීලී බව නිසාම ඇය හඳුන්වන්නේ එරුම්බු රාසම් හෙවත් කූඹී රාසම් ලෙසය.

16.02.2020  |  
මඩකලපුව දිස්ත්‍රික්කය

නව දෙනකුගෙන් යුත් පවුලේ සය වැනියා ලෙස උපත ලද ලෙච්චමීගේ පියාට පවුලේ බර දරාගැනීමට තරම් ආර්ථික සවියක් නොවිණි. එනිසාම රාසා ලෙච්චමීට නිදහස් අධ්‍යාපනයවත් ලැබීමට අවස්ථාවක් නොවීය. දැඩි දරිද්‍රතාවයෙන් පෙළුණු නිසා නව දෙනාම වැඩුණේ බොහෝ මූලික අවශ්‍යතා පවා ඌන වූ පසුබිමකය.

වයස අවුරුදු 16 වන විට, රාසම්මා අවට ප්‍රදේශවල පිටි සැකසීම, මිරිස් සැකසීම, දර සැකසීම සහ පොල්කටු සැකසීම වැනි කටයුතු සඳහා ගියාය. කිසි දිනෙක ඇයට සෑහෙන ආහාර වේලක් හෝ ඇඳුමක් නොලැබිණි. ඉගෙනීමට ආශාවක් තිබුණත් පවුල් පසුබිමින් එයට අවසරයක් නොවීය. ඇය සමස්ත පවුලේ අවශ්‍යතා වෙනුවෙන් වෙහෙසුණාය. රාසම්මා ඕනෑම වෙලාවක ඇයට ලැබෙන ඕනෑම කටයුත්තක් කිරීමට සූදානමින් සිටියාය. වයස අවුරුදු 16 සිට ඇගේ කඩිසර බව හා අධිෂ්ඨානශීලී බව සන්සන්දනය කළ හැක්කේ දාස කූහුඹුවකුටය.

“මට අසනීප ගතියක් තිබුණ දවසකටවත් මම වැඩ කරන්න බෑ කීවේ නැහැ. මට මගේ පවුලේ අයට කන්න දෙන්න සල්ලි ඕනෙ වුණා. මම අවුරුදු 16 ඉඳන්ම අමාරු වැඩ පවා කරන්න පුරුදු වුණා.” යැයි රාසා ලෙච්චමී පවසන්නීය. ඇය විවාහ වන්නේ අවුරුදු 26 දීය. සෑම ගැහැනියක සේම ඇයද සිතුවේ විවාහයෙන් පසු සැමියාගේ රැකවරණය යටතේ ඇයට අස්වැසිල්ලක් ලැබේය කියාය.

“මගේ පවුලේ තත්ත්වය දැනගෙනත්  ඔහු මාව කසාද බඳින්න කැමති වුණා. ඒ වෙලාවේ එයා මට බොහොම ආදරයක් භක්තියක් පෙන්නුවා. ඒත් මාස තුනක් යද්දි තමයි මට එයාගේ ඇත්ත විදිහ පේන්න ගත්තේ. එයා හැම තිස්සේම සල්ලි ඉල්ලලා මාත් එක්ක රණ්ඩු වෙන්න ගත්තා. දවසක් මම අසනීප වෙලා ඉද්දි මට උදව් කරනවා වෙනුවට එයා ගෙදරින් ගියා. මගේ හිත හොඳටම කඩා වැටුණා. මට තවදුරටත් ජීවත් වෙන්න ඕනෙ වුණේ නැහැ. මම හරියට විඳෙව්වා. ටිකෙන් ටික මට තේරුණා මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා. මම සතුටු වෙන්නද එපාද කියලාවත් මට නිනව්වක් තිබුණෙ නැහැ. මම මංචංන්තෝඩුවායිවල කන්නකි අම්මාන් කෝවිලට ගිහින් ගහක් යටට වෙලා ගිමන් හරිද්දි මට තේරුණා ජීවතේ ඉදිරියට ගෙනියන්න මම කැමතියි කියලා. මම මේ දරුවා හදාගන්නම ඕනේ ඒ වගේම පුළුවන් උපරිමයෙන් සලකන්න ඕනේ කියලා.”


අද වනතුරු ඇය කිසිවකු මත යැපෙන්නේ නැත. කුඩා දියණිය සමඟ තනිව ජීවත් වන ඇයට විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවිය.

අද වනතුරු ඇය කිසිවකු මත යැපෙන්නේ නැත. කුඩා දියණිය සමඟ තනිව ජීවත් වන ඇයට විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවිය. බොහෝ පිරිමි ඇය වෙත ළං වෙන්නටත් හොඳ ජීවිතයක් ලබාදෙන්නටත් යෝජනා කළහ. එහෙත් ඇය තනිකඩබව තෝරාගත්තාය.

“සමහර පිරිමින්ගේ අනිසි වැඩවලටවත් කතාවලටවත් මාව පෙළන්න පුළුවන් වුණේ නැහැ. මම කරපු වැඩවල හැටියට මට ස්ථිර පඩියක් ලැබුණේ නැහැ. ඒ නිසා මම අත්යන්ත්‍ර රෙදි කර්මාන්ත ශාලාවකට වැඩට ගියා.” ඇය පැවසුවාය.

කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් අයකුට අයත් අසීස් අත්යන්ත්‍ර කර්මාන්ත ශාලාව දෙමළ- මුස්ලිම් මායිම් ගම්මානයක වෙසෙන රාසා ලෙච්චමීට සරණක් විය. ඒ කර්මාන්ත ශාලාව ඇයට පුහුණුව සමඟ රැකියාවක් ද ලබා දුන්නේය. පුහුණු වන කාල සමයේ මසක් ඇතුළත ඇය රෙදි විවීම හැදෑරූ අතර දිනකදී සාරි දෙකක් විවීම දක්වා ඇගේ කාර්ය හැකියාව වැඩි කරගත්තාය. මේ කර්මාන්ත ශාලාව රාසා ලෙච්චමී ඇතුළු බොහෝ කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වයන් පහසු කිරීමට උපකාරී වූයේය.

“මගේ බබත් එක්ක වැඩට යනවා කියන්නේ ලේසි වැඩක් නෙවේ. ඒත් මගේ අසල්වැසියා මං වැඩට ගියාම දුවව බලාගන්නවා. එත් දුවට අවුරුදු 6ක් වෙද්දි බලාගත්ත කාන්තාව නැති වුණා. ඊට පස්සේ මම වැඩට යද්දි දුවව එක්කගෙන ගියා. දුව ඉස්කෝලෙ යන්න ගත්තට පස්සේ මම වැඩට ගියේ විශේෂිත වේලාවලට. පස්සේ මට වැඩට යන්න අපහසු වුණාම, කර්මාන්ත ශාලාවේ අයිතිකරුවා මගේ දුක තේරුම් අරගෙන මගේ ගෙදර අත්යන්ත්‍රයක් සවි කරලා දුන්නා. ඒ නිසා ගෙදර ඉඳන්ම වියන්න පුළුවන් වුණා. මම පැය 16ක් 18ක් විතර දවසකට වැඩ කරනවා වගේම එක වරකට සාරි තුනක් වියන්නත් පුළුවන්. මම ඒ විදිහට 2014 වසරේ සිට ගෙදර ඉඳන් වැඩ කළත් දිගටම කරගෙන යන්න බැරි වුණා. අපේ බොස් සමහදාට හදිසි ඕඩරයක් (ඇනවුමක්) ආවාම මට කතා කරනවා. මට කවදාවත් ඔහුගේ උදවු උපකාර අමතක වන්නේ නැහැ.” ඇය තම මුස්ලිම් ජාතික ආයතනාධිපතිගේ කරුණාව යහපත්බව මෙනෙහි කළාය.

මුස්ලිම් ව්‍යවසායකයන් ළඟ බොහෝ දෙමළ කාන්තාවෝ සේවය කරති. දැනට අසීස් අත්යන්ත්‍ර කර්මාන්ත ශාලාවේ 13 දෙනෙකු සේවය කරන අතර ඉන් සය දෙනකු  දෙමළ ජාතිකයන්ය.  අසීස් අත්යන්ත්‍ර කර්මාන්ත ශාලාවේ හිමිකරු මේ ප්‍රදේශයේ කර්මාන්න ශාලාවක් පිහිටුවූයේ තම සේවකයන්ගේ ප්‍රශ්න පිළිබඳ සලකා බලාය. මංචංතොඩුවෙයිවල කාන්තාවන් පස්දෙනකුට පමණ නිවෙසේ සිටම වැඩෙහි යෙදිය හැකි පරිදි පහසුකම් සලසලා ඇති බවද සඳහන් කිරීම වටී.

“මම ඉතුරු කරපු සල්ලිවලින් තනි කාමරේ පුංචි ගෙයක් හදාගත්තා. ” යැයි පවසන්නේ මේ වට විට වයස අවුරුදු 56ක් වන රාසා ලෙච්චමීය. එසේම ඇය කුඩා එළවළු උයනක් පවත්වාගෙන යන අතර එළවළු මෙන්ම බිත්තර සහ කුකුළන් ද අලෙවි කරයි.

රාසම්මා පවසන්නේ ඔවුන් දිනකට රුපියල් 700/- ක් පමණ උපයන බවයි. “මගේ දුවට ආණ්ඩුවේ රස්සාවක් ලැබුණොත් මට නිදහසේ ඇස්දෙක පියාගන්න පුළුවන්” ඇය කියන්නේ කඳුළු පිරුණු දෙනෙතින් යුතුවය.