Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

උමං යකු බිලි ගත්
ඌවේ අඳෝනාව

උමා ඔය සංවර්ධන යෝජනා ක්‍රමය, එවැන්නකදී සලකා බැලිය යුතු සාධක සියල්ල නොතකා, පාලකයකුගේ තනි කැමැත්ත මත ඇරඹුණකි. දැන් එය පොළොව යටින් ඇදී යන සුනාමියක් සේ ගම් බිම් වනසමින් ඉදිරියට යයි. අරුමය නම් විපතට පත් වූවන්ගේ අඳෝනාව විනා ඒ ගැන අන් කිසිදු තැනකින් හඬක් නොනැගීමය.

09.09.2016  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

‘‘දාස් ගාණක් මාළු හුස්ම ගන්න බැරිව දඟලනකොට අපි ඇඳන් හිටපු සරොම්වලට උන් එකතුකරලා උල්පත්වලට ගිහින් දැම්මා. දැන් අපි ඒ මාළුන්ටත් වඩා අසරණයි. එහෙමවත් අපි දිහා බලන්න කවුරුවත් නෑ.’’ ඔවුන් පැවසුවේ බලවත් කම්පාවෙනි. උපන්තේකට අසන්නට-දකින්නට නොලැබුණු අන්දමේ මහා ඛේදවාචකයකින් ඔවුහු සිහි එළවාගත නොහැකිව සිටිති.

හීල්ඔයේ අන්තිම සිහිල් සිය බිඳුවත් සිඳී යනවිට හීල්ඔය හන්දියට වී තමන්ගේ ඉරණම තීන්දු වෙනහැටි කතා කරමින් උන් පිරිසේ ඇස් තෙත්වුණේ දුක කියන්නට නොහැකි මීන නුවන්වල කඳුළු බලන්නට බැරිවය. ඒ මස්ටක ජීවිත බේරන්නට ඔයේ වාලූකාවට බැස්සවුන් අතර මාළු කඬේ වෙළෙන්දෝ ද, මාළු කපන්නෝද, යුද්ධ හමුදාවේ සේවය කළ සොල්දාදුවෝද වූහ.

සිඳුණු ළිං පතුල් හා ඉරි ගැලී පිපිරූ බිත්ති
සිඳුණු ළිං පතුල් හා ඉරි තැලී පිපිරූ බිත්ති

ඉහළ ඌවේ ගොවි ගම්මානවල ජනයා කවදාවත් නොඉල්ලූ, රුහුණේ හෝ ගිරුවායේ ජනයාද නොඉල්ලූ හිතුවක්කාර සංවර්ධනයක් ලබාදෙන්නට ආරම්භ කළ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතියේ ප‍්‍රතිවිපාක, එය ආරම්භයේ පටන්ම බලවත් ලෙස දැනෙන්නට පටන්ගත්තේ ඉහළ ඌවේ ගොවි ජනතාවටය.

බලහත්කාරී සංවර්ධනය

සුන්දර බණ්ඩාරවෙල පොළෝ ගැබ විදගෙන උමා ඔය උමඟ ඉදිරියට ඇදෙද්දී මුලින්ම විපතට ගොදුරුවූයේ හීල්ඔය, මකුල්ඇල්ල අවට ගම්මානයි. 2014 දෙසැම්බර් 25 වෙනිදා රැයෙහි දිය බිවූ ළිඳෙන් පසුදා උදෑසන මුවකට දොවන්නට වතුර පොදක් ගන්නට දැමූ බාල්දිය බොල් හඬින් ළිං පතුලේ වැදුණු වගට මේ ගම්වාසීන් පවසන කතාව අතිශයෝක්තියක් නොවේ. සියගණනක් ළිං අඳුරු ආවාට බවට පත් වී, දුක් මහන්සියෙන් පරම්පරාගත බිමේ තැනූ නිවාස පුපුරා, දෙදරා ගරා වැටෙද්දී වියැළී ඉරිතලන සරුසාර එළවළු කොරටු හා කුඹුරු දෙස බලමින් සුසුම් ලන්නට ඔවුන්ට සිදු විය.

අන්තිමේ ඉවසා බැරිම තැන ආණ්ඩු මාරුවකට ඡන්දය දී පාරට බැස මහ හඬින් සිය ඉල්ලීම් ඉදිරිපත් කරන්නට ඔවුන්ට සිදු විය. ආණ්ඩු මාරුව ජයග‍්‍රහණය කැඳවාගෙන ආවේ නැත. උමා ඔය උමං සර්පයා පොළව යටින් ඉදිරියට ඇදෙද්දී හීල්ඔය මිය ගියේය. ඊටත් පසුව ගල් ඇක්ක දොළද සිඳී ගියේය. මිනිස්සු එහි මා මාළුන් ද අල්ලා බදුලු ඔය ඉහත්තාවේ කුඹල්වෙලට ගෙන ගොස් දමා බෝධිසත්ව පාරමිතාව පිරූහ. අද වන විට අලුතින්ම ව්‍යසනයට ගොදුරු වී ඇත්තේ කිනිගම උඩපේරුව, මැදපේරුව හා පල්ලෙපේරුව ඇතුළු ගම් කිහිපයක ජනතාවයි.

කිනිගම අවට ගම්වලට උමා ඔය විපත අත වැනුවේ හීල්ඔය වියැලී අවුරුදු එකහමාරකට පසුවය. පසුගිය මාර්තුවේ ළිං එකින් එක වියැළී අදවනවිට පේරු ගම්වල එකම හෝ ළිඳක්, දිය කඳුරක් හෝ උල්පතක් ජීවත්වන්නේ නැත. කට බඩ පුරා ළිං වතුර බිවූ ඔවුන්ට උමා ඔය ව්‍යාපෘතියෙන් සහන වතුර ගෙනෙන බවුසරය කඳු පල්ලම් අතරින් පහළ බසිනතුරු බලා ඉන්නට සිදුව තිබේ. දවස් හත අටකට වරක් ගමට එන බවුසර වතුර දෙන්නේ සලාක ක‍්‍රමයටය. ඒ ගෙදරකට වතුර ලීටර් 500කි. එක ගෙදර මහ පවුල්, අණු පවුල් හිටියද වතුර නම් ලීටර් පන්සියයමය. බොන්නේද, දෝවන්නේද, උයන්නේද, සෝදන්නේද මේ සියල්ල සිදුකරන්නේ එම සලාකයෙන් වන විට හත් අට දෙනකු සිටින ගෙදරක එක් සාමාජිකයකුට දිනකට ලීටර් දහයක්වත් වතුර ලැබෙන්නේ නැත. ඒ අතර යහපත් සෞඛ්‍යයක් සඳහා අවම වශයෙන් දවසකට පිරිසිදු වතුර බෝතල් තුනක්වත් බොන්නැයි ආණ්ඩුවේ සෞඛ්‍ය බලාධාරිහු මාධ්‍ය ඔස්සේ ජනයා දැනුම්වත් කරති.

දිය පොදක් නැති ගම්බිම්

”අනේ දැන් අපිට වෙලා තියෙන්නේ අපේ කඳුළුවලින් මූණ සෝදගන්න. වාසනාවකට මේ දවස් ටිකේ ගමේ කාගෙවත් මරණයක් මගුලක් උනේ නෑ. වතුරත් එක්ක ජීවත් වුණු අපිට කළේ අහස පොළව උහුලන්නෙ නැති අපරාධයක්.” ඒ කිනිගම උඩපේරුවේ කුසුමාවතීය. ඇයද ගමේ පවුල් පනස් නවයක උදවිය හා එක්ව බවුසර් වතුර බොන්නට මග බලා සිටින්නියකි. කරුණා අබේසේකරද බවුසර එනතුරු බලා සිටින්නේ අනුන්ගේ මිදුලකය. ඇයට වතුර උතුරා යන තරමේ ළිඳක් තිබුණි. අවට තවත් පවුල් හත අටක්ම ඉන් දිය බිවූහ. එය වියලී ගිය කල බවුසර එනතුරු කාගේවත් මිදුලක රැඳෙන තරමේ අවාසනාවකට මුහුණ දෙන්නට කරුණාට සිදුවූයේ ඇගේ නිවෙසට බවුසර එන්නට පාරක් නොමැති වූ හෙයිනි.

සරුසාර කෙත්වතු පළුවළං පැළුණු මුඩුබිම්ය
සරුසාර කෙත්වතු පළුවළං පැළුණු මුඩුබිම්ය

”පාර අයිනෙ බාල්දියක් තියලා මං වතුර පුරවගන්නෙ. ගෙදරට බවුසර යන්න බෑ. ළඟ ගෙවල්වලින් වතුර හිඟා කන්න මට සිද්ධ වෙලා. ඒ අයටත් බෑ මට වතුර දෙන්න. එයාලටත් නෑනෙ.”

මැදපේරුවේ පී.ඒ පේ‍්‍රමතිලකගේ නිවෙස අද්දර කිසිදා නොසිඳි උල්පත් දෙකක් විය. ලොරියක් හිමි ඔහු කන්ද නැග බණ්ඩාරවෙල යද්දි ලොකු ප්ලාස්ටික් ටැංකිවලට වතුර පුරවා ගෙන ගියේය. ඒ කන්ද උඩ වතුර හිඟ මුස්ලිම් යාළුවන්ට පිරිනමන්නටය. අද පේ‍්‍රමතිලකට සිදුව ඇත්තේ ලොරියට හිස් ටැංකි පුරවාගෙන මුස්ලිම් යහළුවන්ද පසුකර නගරයේ මිතුරන් සොයා ‘දිය හිඟමනේ’ යන්නටය.

නොතැකූ නියෝග-කඩවුණු පොරොන්දු

හීල්ඔයේ මිනිසුන් සහන ඉල්ලා උසාවි ගිය විට ව්‍යාපෘතියට නියෝග කෙරුණේ ඉල්ලීම් දෙන්නටයි. ඒ වගා හානිවලට වන්දි, ජලය හා නිවාසය. එහෙත් අද වනතෙක් සිය නිවෙස් හැර යන්නට සිදුවූ කිසිවකුට නිවෙස් ලැබුණේ නැත. කුලිය ගෙවන්නට පොරොන්දු වී නව නිවෙස්වලට යන්නැයි දැනුම් දුන් කිසිවකුට සොයාගන්නට කුලී නිවෙසක් අහල ගම් හතේවත් නැත. මැදපේරුවේ දසනායක ගොවිතැනින් හරිහම්බ කර තැනූ විසල් නිවසේ ඉරි නොතැලූ එක බිත්තියක් හෝ නැත. ගෙබිම පොළව පිපිරී කඩ කඩව ගොසිනි. සිවිලිමට මුක්කු ගසා ඇත. ”නිලධාරි බර ගාණක් ආවා. ගේ බලලා හැමෝම කිව්වෙ මෙහෙන් යන්න කියලා. ඒත් කොහාට යන්නද කියලා කවුරුවත් කියන්නෙ නෑ. ගෙවල් කැඩුනු හුඟ දෙනෙකුට එහෙමයි. හිතන්න, උපන්දා ඉඳලා ජීවත් වුණු ගෙදර දාලා යන්න කියනකොට දැනෙන දුක.”

මේ ගම්වල තිබුණු සරු කුඹුරු කඳු දෙණි අතර උල්පත් දියෙන් පැසුණු කෙම්බිම්ය. දන්නා අය මිස ඒවාට නොබැස්සේ දණක් උසට මඬේ එරෙන්නට වන නිසාය. අද මේ කුඹුරු පන්දු කෙළින්නට හැකි තරමේ වියළි බිම් බවට පත්ව ඇති අතර ගම්වැසියන් පවසන්නේ වැහි කන්නයේ හේන් කෙටීම හැර තමන් ජීවත් කරවූ කුඹුරුවලින් දැන් පලක් නැති බවය. ඔවුන්ගේ ඇස් පනාපිටම කුඹුරුවල බිම පැලී ඇත්තේ විනය කැඳවූවන් අවීචියට ඇදගෙන යාමට මෙනි. ආර්. එම්. සුමනසේකර මහයාය ගොවි සංවිධානයේ උප සභාපතිවරයාය. ඔහු පවසන්නේ දැන් තමන්ගේ සහෝදර ගොවීන් සියලුම දෙනා සත පහ අතේ නැති හිඟන්නන්ගේ තත්වයට ඇදවැටී ඇති බවයි. ”මගේ කුඹුරු හතරම ඉවරයි. අනිත් අයගෙත් එහෙමයි. ඒ අස්සෙ ආණ්ඩුව පොහොර සහනාධාර සල්ලි බෙදන්න පෝරම පුරවනවා. මොන විහිළුවක්ද. ඒ පොහොර දාලා වවන්න කෝ වතුර?”

ගෙබිමේ ද වහලයේ ද එක සේ පිපිරුම් ලකුණ ය
ගෙබිමේ ද වහලයේ ද එක සේ පිපිරුම් ලකුණු ය

ගෙවල් හදාගන්නට, කුඹුරු යළි වවන්නට පෙර බොන්නට වතුර පොදක්වත් ඉල්ලන දහසක් මිනිසුන්ගේ ප‍්‍රාර්ථනාව සිය ළිං, දිය කදුරු, උල්පත් යළි පිරෙනු දැක්මයි. එහෙත් එය සිදුවන්නේ කවදාකදැයි පවසන්නට නොදන්නා ව්‍යාපෘතියේ මහ ඇත්තන් පවසන්නේ ජනයාගේ ඉල්ලීමක් වේ නම් නළ ජලය දීම ගැන සලකා බලන්නට හැකි බවයි. බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න පවසන්නේ ජනයා පිළිබඳ මීට වඩා මානුෂීයව සිතා බලා ව්‍යාපෘතිය ක‍්‍රියා කළ යුතු බවයි.

දිය නැතිව දඟලන මත්ස්‍යයන් ගැන පවා හදවත් උණු වූ අහිංසක මිනිසුන් ඒ තැනට පත් වූයේ කාගේ වරදින්ද? ගම් බිම් වනසමින් ඉදිරියට ඇදෙන මේ යක්ෂයාගේ ගමන නතර කළ හැකි ජගතෙක් මිහි පිට නැත්ද?

විපතට පත් වූවන්ගේ පටයට සවන් ෙදන්න.