Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මීරියබැද්දේ
‘ඉතිරි වූ’ මිනිස්සු

39 දෙනකු පොළොවට වැළලූණු මීරියබැද්දේ ඛේදවාචකය නැරඹීමට ලක්ෂ ගණන් ජනතාව එහි ගියෝය. තමන්ට හැකි පමණින් ආධාර උපකාරද කළෝය. එයින් දෙවසරකට පසු, පොළොවෙහි නොවැළලී ඒ මත ඉතිරිවුණු ජීවිතවල ඉරණම කෙබඳුද?

16.09.2016  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය
මීරියබැද්දේ ඛේදවාචකයෙන් දෙවසරකට පසු, පොළොවෙහි නොවැළලී ඒ මත ඉතිරිවුණු ජීවිතවල ඉරණම කෙබඳුද?

දිළිඳුකමෙහි පත්ලෙහි වුවද තමන් ජීවිත දරාගෙන සිටි මහ පොළොව, තම ආදරණීයයන්ද, තමන් සතු සියලු දේපළද රැගෙන ප්‍රපාතයට ඇදී ගිය බිහිසුණු අත්දැකීම ඔවුහු වින්දෝය. ප‍්‍රකෘති මනසකින් විඳ දරා ගැනීමට අසීරු ඒ අත්දැකීම ඇතැම්හු සියැසින් දුටහ. ඉන් පසුව සති ගණනක් තිස්සේ සිය ප්‍රියයන් පොළෝ ගැබෙන් මතු වන තුරු පොළොව කණින දෙස බලා උන්හ. ඇතැමුන්ට සිය ප්‍රියයන්ගේ මුහුණු යළි දැකගැනීමට ලැබුණේ නැත. ලක්ෂ සංඛ්‍යාත ජනතාව පැමිණ ඔවුන්ගේ ඛේදවාචකය නැරඹූහ. රටේ ඉහළම පුරවැසියාගේ සිට විවිධ තරාතිරම්වල නිලධාරීන්ගෙන් ඔවුන්ට සැනසිලිදායක පොරොන්දු ලැබිණි.

උඩ කන්ද නාය යනවා කියලත් කියනවා, අපි ඉන්න තැන ගිලා බහිනවා කියලත් කියනවා.

ඒ සියල්ල නිම වී දෙවසරකට ආසන්න කාලයක් ගතව තිබේ. ‘මීරියබැද්ද නායයෑම’ බොහෝ දෙනකුට දැන් ඛේදවාචකයක් පිළිබඳ අතීත මතකයක් පමණි. එහෙත් ඒ ඛේදවාචකයෙන් ගැලවුණු ජීවිතවලට එය පුරාවෘත්තයක් නොව නිති පතා අලුත්වන සජීවී අත්දැකීමකි. ආපදා කළමනාකරණය, මානසික සෞඛ්‍ය, මානව අයිතිවාසිකම් ආදී බරසාර වචන පමණක් නොව ‘මනුෂ්‍යත්වය’ පවා හිස් වචනයක් බවට පත් කරමින් අද වන තෙක්ම මර බිය මැද දිවි ගෙවන්නට ඔවුන්ට සිදුව තිබේ. එක් බියක් නොව තුන් බියකි.

මරණ තුනක් මැද

‘‘උඩ කන්ද නාය යනවා කියලත් කියනවා, අපි ඉන්න තැන ගිලා බහිනවා කියලත් කියනවා. එත් අපි ඉන්නවා. තදින් වහිනකොට විතරක් ළමයි ටිකත් අරන් ඈතට යනවා. මෙහෙ අලිත් ඉන්නවා. ඒ සත්තුන්ටත් බයේ තමයි ජීවත් වෙන්නෙ.’’ පුෂ්පරාණි (53) පැවසුවාය.

ඇය, දෙවසරකට පෙර සිදු වූ කොස්ලන්ද මීරියබැද්ද මහා නායයෑමෙන් දිවි ගළවාගත්තවුන්ගෙන් කෙනෙකි. ඒ බිහිසුණු අත්දැකීමෙන් පසුව, අම්පිටිය කන්දේ අතහැර දැමූ තේ වත්තේ පැරණි ගොඩනැගිල්ලක තාවකාලිකව පදිංචි කළ ඇය ඇතුළු පවුල් 75ක ජනතාවට දෙවසරක් තිස්සේ මරණ තුනක් මැද තම ජීවිතවල අනාගතයක සේයාවක් හෝ නොමැතිව දිවි ගෙවන්නට සිදුව තිබේ. නාය යාමෙන් 39 දෙනකු මිය ගිය අතර අවතැන් වුවන් සංඛ්‍යාව 385කි.

බැද්දට යටවුණු ගෙවල්
බැද්දට යටවුණු ගෙවල්

ආර්. මනෝහරන්ගේ පවුලේ සිවු දෙනෙක් මීරියබැද්ද නායට හසුව මිය ගියහ. එයින් එක් සහෝදරයකුගේ දරුවන් දෙදෙනා හදා වඩා ගන්නේද ඔහුය. ‘‘අපි ඉන්න තැනට ටිකක් උඩින් තමයි නාය ගියේ. එතන ඉඳන් මෙතනට මීටර් 150 ක් විතර ඇති. නාය ගිය පවුල් 75 කට නම් ගෙවල් හදලා දෙනවා කියනවා. හැබැයි මෙතන තවත් පවුල් 100 ක් විතර ඉන්නවා. මහත්වරු ඇවිත් කියනවා, ‘ඔයාලා අවදානම් තැනක ඉන්නේ, මෙහෙන් යන්න’ කියලා. එත් අපි කොහේ යන්නද?

අවදානම් කලාපවල ජීවත්  වන පවුල්වලට බලධාරීන්ගේන් ලැබී ඇති එකම උපදෙස නම් එම ස්ථානවලින් ඉවත් විය යුතු බවයි. එහෙත් එදා වෙලත් අපහසුවෙන් සොයාගෙන දිවි ගෙවන මෙම අසරණ ජනතාවට යා හැකි අන් ස්ථානයක් වේ නම් ඒද නාය යන්නට නියමිත කන්දක් පමණි.

නායගිය පොරොන්දු

සිවු දරු පියකු වන විරමණ පාඬියරාජා (39) පවසන්නේ නායගිය දිනවල බලධාරීන් පැමිණ දුන් පොරොන්දු වචනවලට පමණක් සීමා වී ඇති බවය.

‘‘නාය ගිය දවස්වල කිව්වෙ අපටත් ගෙවල් හදලා දෙනවා කියලා. ඊට කලින් තාවකාලික ගෙවල් හදන්න බඩු දෙනවා කිව්වා. එකවත් තවම නැහැ. අපි ඉඩම් කැලි සුද්ද කරනවා, ආපහු කැලේ වැහෙනවා.’’

මීරියබැද්ද  ආසන්නයේම ඇති කොස්ලදන්ද වත්තේ ලැයිම් හතරකි. එක් ලැයිම් පද්ධතියක නිවාස 20 ක් තිබේ. ඔවුන් ජීවත් වන්නේද මර බියෙනි. ඔවුන්ටද නිවාස ලබා දෙන බව පොරොන්දු වී ඇතත් එයද පොරොන්දුවකට පමණක් සීමා වී තිබේ.

‘‘වැස්සොත් ෆැක්ටරියට ගිහින් ඉන්න කියලා තමයි අපිට කියන්නේ. අපි හැමදාම වැස්සක් ළං වෙද්දි අපි එහාට දුවනවා.’’ ජෝතිමලර් (30) පැවසුවාය.

‘‘නාය ගියාට පස්සේ තේ දළු කඩන්න ලැබෙන එකත් අඩු වෙලා. සතියකට දවස් තුනක් විතරයි වැඩ තියෙන්නෙ. දවසකට ලැබෙන්නේ රුපියල් 400යි. හුඟක් වතුවල දැන් රබර් දාලා.’’ කන්දසාමි සිට ජීවන අරගලයේ අසීරුකම ගැන කීවේය.

මීරියබැද්ද නාය යෑමෙන් පසුව පවුල් 15ක් මෙම ලැයිම් නිවාස අතහැර ගොස් තිබේ. කන්දසාමි පවසන්නේ ඉපදුණදා සිටම තමන් ජීවත් වන්නේ මෙම ස්ථානයේ බවය.

නාය මදිවාට අලිත්

මෙම ජනතාව මුහුණ දී සිටින තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ වල් අලි තර්ජනයයි. උඩවලව රක්‍ෂිතයේ සිට පැමිණෙන අලි කිසිදු චකිතයකින් තොරව ගම් වදිති. කඳු අතර සැරිසරන වල් අලි රංචු සුන්දර දසුනක් වුවද ඔවුන්ගේ ජීවිතවලට එය බිහිසුණු දසුනකි. අවට ගම්මානවල කිසිදු බෝගයක් වගා කළ නොහැකි වී ඇත්තේ උන් ඒවා වනසන නිසාය. රක්ෂිතවල කැලෑ ගිනිතැබීමද අලි ගම් වැදීමට හේතුවක් බව ඔවුහු කියති.

remains
විපතක සුන්බුන්

මීරියබැද්ද නායට ගිය කන්දට මුහුණලා තවත් වතු නිවාස පෙළකි. වර්ෂාව එන විට බෑවුමෙහි පිහිටා ඇති මෙම නිවාස පේළිය ජලයෙන් යට වන බව එම නිවැසියෝ පැවසූහ.

‘‘වහිද්දි කන්දෙන් වතුර ගලාගෙන ඇවිත් මෙතන වතුරෙන් පිරෙනවා. අපි පුදුම බයකින් ජීවත් වෙන්නෙ. දරුවො ගැන  බයයි. මන්ත්‍රීලාට කිව්වා, කියන්න තියෙන හැම තැනකටම කිව්වා. එත් අපි තවමත් මෙතන.

රජයටත් අමාරුයි

බදුල්ල දිස්ත‍්‍රික්කයේ තත්ත්වය සැහෙන ප්‍රශ්නකාරී තත්ත්වයක පවතින බව ආපදා කළමනාකාරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ද ප්‍රතික්ෂේප කරන්නේ නැත.

මීරියබැද්ද නාය යාමෙන් අවතැන් වී සිටින ජනතාව සදහා ආණ්ඩුව ආරම්භ කළ නිවාස ව්‍යාපෘතියේ නිවාස 61ක් සාදා  නිම කර ඇති බවත් තවත් නිවාස 14ක් සම්පූර්ණ කිරිමට තිබෙන බවත් ඔහු කියයි. ‘‘මීරියබැද්ද ගෙවල් 5000ක් පමණ අලුතෙන් ඉදි කළ යුතු වෙනවා. එක රජයකට වුණත් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. දැන් සාලාව, අරණායක ප්‍රශ්නත් ඇවිත් තියෙනවා. අරණායක නිවාස 1100ක් විතර හදන්න තියෙනවා එම නිසා මේ ප්‍රශ්නය අපි හිතනවාට වඩා බැරෑරුම්.’’

අවතැන් වුවන් යළි පදිංචි කරවීමේ කටයුත්ත සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේද සහාය ලැබී තිබේ. පුනගල වතු යායේ මාකල්දෙනිය ග්‍රාම සේවා වසම තුළ මෙම  නිවාස ඉදිකර ඇත. 2015 මාර්තු 01 දා ආරම්භ කෙරුණ මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස ගණන 75 කි.

damaged-roads
අපිට කෑම බීම නෙවෙයි ඕන. මර බිය නැතිව ජීවත් වෙන්න පුළුවන් තැනක් දෙන්න.

එවකට බලයේ සිටි  රාජපක්‍ෂ රජය, අවතැන් වූ එක් පවුලකට රුපියල් දොළොස් ලක්‍ෂය පනස් දහසක් වටිනා නිවස බැගින් සකසා දීමට තීරණය කළේය. එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ යටතේ පැවති නාගරික සංවර්ධන අධිකාරියට එම වගකීම භාර කෙරුණු නමුත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ නැත.

අවතැන් වී සිටින මීරියබැද්ද ජනතාවට රජය විසින් මසකට රුපියල් ලක්‍ෂ 18ක පමණ වියදමක් දරමින් සියලූ ආහාර ද්‍රව්‍ය ඇතුළුව ඔවුනට අත්‍යාවශ්‍ය දේවල් සපයන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි. තම දාඩිය මහන්සියෙන් ජීවත් වූ ජනතාවක්, කන්න ටිකක් දී මර බියෙහි තැබීම කිසි සේත්ම ආණ්ඩුවකට ආඩම්බර විය හැකි කරුණක් නොවේ.

‘‘අපිට කෑම බීම නෙවෙයි  ඕන. මර බිය නැතිව ජීවත් වෙන්න පුළුවන් තැනක් දෙන්න. අපිට පුළුවන් අපේ දාඩිය මහන්සියෙන් ජීවත් වෙන්න.’’ නාය නොගිය මානව අභිමානයෙන් යුතුව ඔවුහු අපට පැවසූහ.

ඡායාරූප: රාහුල් සමන්ත හෙට්ටිආරච්චි