Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පුරවැසිකම උගසට තබා
රා බොන මිනිස්සු

මත්පැන් බීම හෝ නොබීම පුද්ගලයකුගේ අයිතියකි. එහෙත් එයින් ශිෂ්ටාචාරයක් වැනසෙන තැනට පත්ව තිබේ නම් එය වහා පිළියම් සෙවිය යුතු ඛේදවාචකයකි.

26.09.2016  |  
නුවරඑළිය දිස්ත්‍රික්කය
மதுவிற்கு எதிராக மக்கள் ஆர்பாட்டம்.

ඉර කෙමෙන් අවරට බැස යද්දී ලොමු ඩැහැගැන්වෙන සීතල මැදින් ඔවුන් තමන්ගේ සුපුරුදු තිප්පොළවලට රොද බඳින්නේ කඩිසර කුහුඹුවන් මෙනි. දවස පුරා වැඩ කිරීමෙන් ලද මහන්සියත්, සීතලින් හිරි වැටී ගිය ගත සිතත් සන්තර්පණය කරවා ගන්නට එදා හම්බ කළ සොච්චම හෝ ඇතැම් විට බිරියගේ, දියණියගේ කර මාලය, කරාබු කුට්ටම වුවද බාර් මුදලාලි හමුවේ උගස් තබන්නට ඔවුහු පසුබට නොවෙති.

ඔවුන් එතෙකින් නතර වෙතැයි සිතුවොත් ඒ නම් මුළාවකි. උගස් තියන්නට වෙනත් වටිනා කියන යමක් ඉතිරි වී නැත්නම්, විදේශගත බිරිඳගේ බැංකු පොත වුවද උගස් කරති. බැරිම තැනකදී උගස් තබන්නට ඔවුන් සතුව තවත් මහාර්ඝ දේපළක් තිබේ. ඒ වනාහි ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසිභාවයයි. බොහෝ මත්පැන්හල්වල අයකැමිගේ ලාච්චුවේ ඇති ජාතික හැඳුනුම්පත් ගොන්න ඒ බවට සාක්ෂියකි.

මොවුන් ඇල්කොහොලින් දුවන යන්ත්‍ර විශේෂයකැයි නොසිතන්න. ඔවුහු කඳුකරයේ වතුවල සේවය කරන කම්කරුවෝය. ඔවුන් දවස පුරා දහදිය වගුරුවන්නේ, ලොව පුරා කොහේ හෝ වෙසෙන නන්නාඳුනන මිනිසුන්ගේ වෙහෙස නිවන්නට ‘ඉස්තරම්ම තේ කෝප්පයක්’ පිරිනැමීමටය.

දවසකට බවුසර් 4ක්

වතුකරයේ ජනතාවගේ මත්පැන් ලෝලය, මේ වන විට බරපතළ ඛේදවාචකයක් වී ඇති අතර, වතුකරය ආශ්‍රිත මත්පැන් වෙළෙඳාම මාෆියාවක තත්ත්වයට වර්ධනය වී තිබේ.

දින දෙකක් පුරා මධ්‍ය කඳුකරයේ රැඳී සිටිමින් සිදු කළ ගවේෂණයේදී අපට අසන්නට- දකින්නට ලැබුණු තොරතුරු විශ්මිතය.

bar2
සංඛ්‍යාලේඛන කියන්නේ, වසරකට එවැනි බවුසර 1500ක ප‍්‍රමාණයක් මධ්‍ය කඳුකරයේදී ආමාශගත වන බවයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පසුගිය වසර තුනක කාලය තුළ මධ්‍ය කඳුකරයේදී පරිභෝජනය වී ඇති මත්පැන් (අරක්කු, බියර්, රා) ප‍්‍රමාණය වසරකට ලීටර් ලක්ෂ 150කි. සාමාන්‍යයෙන් අප නිතර දකින ඉන්ධන බවුසරයක පරිමාව ලීටර් 10,000කි. මේ සංඛ්‍යාලේඛන කියන්නේ, වසරකට එවැනි බවුසර 1500ක ප්‍රමාණයක් මධ්‍ය කඳුකරයේදී ආමාශගත වන බවයි. (දිනකට බවුසර් 4ක්)

නුවරඑළිය, මස්කෙළිය, ගිනිගත්හේන, කොත්මලේ, වලපනේ, නවතිස්පනේ, කොටගල, ආගරපතන, මතුරට, රාගල බගවන්තලාව, හඟුරන්කෙත යන ප්‍රදේශවල 56% ක් ජීවත් වෙන්නේ වතු ප‍්‍රජාවයි. මේ අතරින් වයස අවුරුදු 18 ට වැඩි වතු කම්කරුවන්ගෙන් 60% – 70% ත් අතර සංඛ්‍යාවක් මත්පැන් පානයට යොමුව තිබෙන බව මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථාන වාර්තා පෙන්වා දෙයි. ජාතික වශයෙන් මෙම අගය 37% පමණ මට්ටමකි.

බීමටද නෑමටද?

පසුගිය කාලය තුළ වතුකරයේ මත්පැන් පරිභෝජනයේ නව ප්‍රවණතාවක් වූයේ රා පානය සීග‍්‍ර ලෙස ඉහළ යෑමයි. පසුගිය වසරේ පමණක් නුවරඑළියේ අලෙවි වී ඇති රා ලීටර් ප‍්‍රමාණය ලක්ෂ 38කට (බවුසර් 380) ආසන්නය. සුරා බදු දෙපාර්තමේන්තුවේ 2015 වර්ෂයේ දත්තවලට අනුව තේ වතු බහුලව පවතින හැටන් ප‍්‍රදේශයේ පමණක් අලෙවි වී ඇති රා ලීටර ප්‍රමාණය ලීටර විසිපන් ලක්ෂ හැත්තෑ දෙදහසකි. වතු ප්‍රජාව බහුලව වෙසෙන අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙලක්ෂ විසිදහසක පමණ ජනතාව ජීවත් වන අතර 2015 දී එම ප‍්‍රදේශයේ අරක්කු, බියර් හා රා ලීටර ලක්ෂ 62ක් (බවුසර් 620ක්) විකිණී තිබේ. ඒ අනුව ඒක පුද්ගල පරිභෝජනය බෝතල් 30 කි. නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ එම අගය බෝතල් 21ක් පමණ වන අතර ඊට නුවරඑළිය වසන්ත සැණකෙළිය සඳහා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ මත්පැන් පරිභෝජනයද ඇතුළත්ය. මධ්‍යම පළාතේ අනෙකුත් දිස්ත්‍රික්ක වන මහනුවර සහ මාතලේ එම අගය පිළිවෙළින් වාර්ෂිකව බෝතල් 12 සහ 13කි.

නුවරඑළියේ නිත්‍යානුකූල මත්පැන් අලෙවිසැල් 202ක්ද මහනුවර 214ක්ද මාතලේ 87ක්ද ඇත. එහි තේරුම, මහනුවර පුද්ගලයින් 7,000කට එකක් සහ මාතලේ පුද්ගලයින් 6,000කට එකක් බැගින් තැබෑරුම් තිබෙන අතර නුවරඑළියේදී පුද්ගලයින් 4,000කට එකක් වශයෙන් තැබෑරුම් ඇති බවයි. වතු ප්‍රජාව බහුලව වාසය කරන හැටන් සුරාබදු බල ප‍්‍රදේශය තුළ බලපත‍්‍ර සහිත මත්පැන් අලෙවිසැල් 108ක් තිබේ. එනම් පුද්ගලයින් 2900කට එක තැබෑරුමකි.

කඳුරටට ගලන රා ගංගාව

නුවරඑළිය නගර මධ්‍යයේ ඇවිද යන විට තැබෑරුම් අසල දෑත් නිකටෙහි තබා ඇණ තියා වාඩි වී ජීවත්ව වන මළවුන් වැනිව සිටින වතු කම්කරුවන්ගේ මුහුණු දැකගත හැකි විය.

‘‘මේ සීතලේ මෙතනට වෙලා මොකද කරන්නේ?’’ එක් අයෙකුට ළංව සෙමින් විමසුවෙමි ලැජ්ජාවෙන් ඉවත බලාගත් ඔහු වෙනුවෙන් පිළිතුරු දුන්නේ ඒ ආසන්නයේ සිටි තවත් වතු කම්කරුවෙකි.

‘‘රා ලොරිය එනකල්නෙ ඒ බලාගෙන ඉන්නෙ …’’

වතු කම්කරුවන් රා බීමට ඇබ්බැහි වීම කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන කරුණ නම් ඒවා අනෙකුත් මත්පැන්වලට වඩා බෙහෙවින් ලාභ වීමයි. සීල් කර එන රා බෝතලයක් සිල්ලර මිල රුපියල් 100 ක් පමණි. මත්පැන් කාලක් මිලදී ගැනීමට ඔවුනට රු. 250 – 350 අතර මිලක් වැය වේ. එහෙයින් රා යනු ඔවුනට ඉතා ලාභදායී මත් පානයකි.

හැම වසමටම බාර්

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශය තුළ ග‍්‍රාමසේවා වසර 67 ක් පවතින අතර එහි මත්පැන් අලෙවිසැල් පමණක් 68ක් තිබේ. මස්කෙළිය නගරය තුළ තැබෑරුම් 08ක් ඇත. එම එක් තැබෑරුමක දෙවසරක් සේවය කර වර්තමානයේ ලොරි රථ රියදුරෙකු ලෙස කටයුතු කරන ජී. සුරේෂ් කුමාර්, වතු ප්‍රජාවගේ මත්පැන් පානය කිරීම පිළිබඳව මෙසේ කීවේය.


‘‘බාර් එක අරින්න  ඕනෙ උදේ 9.00ට වුණත් වතුකරයේ බාර් උදේ ඉඳලම අරිනවා. සමහරු උදේ හය වෙද්දි දොරට තට්ටු කරනවා. දවසකට එක බාර් එකක රා බෝතල් 400 ක් විතර විකිණෙනවා. සතියකට බාර් එකකට රා ලොරියක් දෙකක් බානවාමයි. ලොරියකට බෝතල් 1500ක් වදිනවා.’’

‘‘තුන්වේල කනවා වගේ බොන අයත් ඉන්නවා. රත්තරන් බඩු, අයි.ඞී. කාඞ්, බැංකු පොත්, ෆෝන් තියලා සමහරු බොනවා. මම බාර් එකෙන් අයින් වෙනකොටත් ඒකේ අයි.ඞී. කාඞ් 15ක් විතර තිබුණා. බාර්වල බෝතල් කඩලා ලූස් විකුණන්න තහනම්. ඒත් වතුකරයේ බාර්වලට ඒ නීති වලංගු නැහැ. වතු ඇතුළෙත් අරක්කු බිස්නස් ජයට කරනවා. ’’

දිනපතා පාහේ රා බොන කම්කරුවෙකු අපට හමු විය. ඔහු එස්. ශිවාය.

‘‘… අපි වත්තෙ වැඩ කරලා හම්බ කරන්නෙ සොච්චමයි. උදේ ඉඳලා වත්තෙ වැඩ කරලා හවස් වෙද්දි ඇඟට හරි අමාරුයි. අරක්කු ගන්න කියලා සල්ලියක් නැහැ. රා තමයි බොන්නෙ. ඒකෙන් ඇඟට පණක් එනවා.’’

ගණිතය සහ සෞඛ්‍යය

2002 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ශී‍්‍ර ලංකාවේ රා මදින ගස් ප‍්‍රමාණය 84,291 කි. අද වන විට එම ප්‍රමාණය දෙගුණයක් වී ඇතැයි උපකල්පනය කළද නුවරඑළියේ රා සැපයුම සපුරාලීමටවත් මෙම පොල් ගස් ගණන ප‍්‍රමාණවත් වන්නේ නැත. නමුත් සත්‍ය තත්ත්වය නම් නොයෙක් හේතු නිසා රා මදින ප‍්‍රමාණය අඩු වී තිබීමයි. ඒ අනුව මෙම රා කිසි ලෙසකින් නියම පොල් රා නොවන බව පැහැදිලිය.

නීතිඥ හිලරි ප්‍රසන්න මහතා මේ රාවල ප‍්‍රමිතිය ප‍්‍රශ්න කරයි.

‘‘අපි හොඳාකාරවම දන්නවා  ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කළ දිනයත්, කල් ඉකුත් වන දිනයත් එහි අන්තර්ගත රසායනික ද්‍රව්‍යවල සංයුතිය ආදිය එම නිෂ්පාදනය තුළ සඳහන් වෙන්න  ඕනෙ. නමුත් මේ රා බෝතලය එවැනි කිසිදු සඳහනක් නැති නීති විරෝධී භාණ්ඩයක්. මේව නිදහසේ අලෙවි කරන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්’’

bar
මහා පරිමාණ රා නිෂ්පාදකයන්ගේ මුදල් බලයත්, දේශපාලන සබඳතාත් හේතුකොටගෙන නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වීම වැළකී තිබේ.

නුවරඑළියට එන රා ලොරිවලින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ හලාවත හා නාත්තණ්ඩිය ප‍්‍රදේශවලිනි. රා නිෂ්පාදනය කරන බලවත් ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් ඒ ප‍්‍රදේශවල සිටිති. ඔවුන්ට බලපත් ඇත්තේ ස්වභාවික රා නිෂ්පාදනයටය. එහෙත් ඔවුන් දිනකට නිපදවන රා බෝතල් ප්‍රමාණය කිසි සේත්ම ස්වභාවික රා වලින් සැපිරිය නොහැකිය. පසුගිය කාලයේදී එම ප්‍රදේශවල පොලිසිය වරින් වර සිදු කළ වැටලීම්වලදී අනාවරණය වී ඇත්තේ ඇමෝනියා, යූරියා, යීස්ට් සහ වේදනා නාශක පෙති වැනි කෘත්‍රිම දේ යොදා රා නිෂ්පාදනය කරන බවයි. ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධ පෙති වර්ගයක් මේ සඳහා යොදා ගැනෙන බව අලූත්ම හෙළිදරව්වයි.

එහෙත් මේ මහා පරිමාණ රා නිෂ්පාදකයන්ගේ මුදල් බලයත්, දේශපාලන සබඳතාත් හේතුකොටගෙන නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වීම වැළකී තිබේ. වැටලීම්වලදි ලබාගත් රා සාම්පල් පරීක්ෂා කොට නිකුත් කළ වාර්තා පිළිබඳවද බරපතළ සැක මතු වී තිබේ. රා නිෂ්පාදනයේ නිරත එක් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු කතරගම ප්‍රදේශයේ දේවාලයක්ද  පවත්වාගෙන යන බවත්, ඉන්දියාවෙන් ගෙන්වූ පූජකවරුන් එහි සේවයට යොදවා ඇති බවත් ප්‍රකටය.

එසේ වුවද මේ මත්පැන් නිසා විවිධ රෝගාබාධවලට ගොදුරුවන වතුකරයේ ජනතාවට දෙවියන්ගේ පිළිසරණක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. තත්ත්වය හොඳටම උග්‍ර වී ඔවුන් ආණ්ඩුවේ ඉස්පිරිතාලවල සරණ පතා යන විට වෙන්න  ඕන හරිය සිදු වී හමාරය. මත්පැන් නිසා අකලට මරු වැලඳගන්නා වතු කම්කරුවන්ගේ සංඛ්‍යාව විශාලය. මේ ගැන විධිමත් පරීක්ෂණයක් මෙතෙක් සිදු වී නැත.

වතුකම්කරුවන්ගේ රා පානය පිළිබඳව හොඳින් දන්නා හැටන් ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ ප්‍රකාශයකින් අපි තිගැස්සුණෙමු. ‘‘ ඕව බොන අය මැරුණම එම්බාම් කරන්න  ඕන නෑ. පණ පිටින් ඉද්දිම ඒක කරල තියෙන්නේ’’

මිනිස්කමට නිගා දෙන මෙම තත්ත්වය වෙනස් කිරීමට ආණ්ඩුව වහාම මැදිහත් විය යුතු නැද්ද?

ඡායාරූප : ප්‍රසාද් පූර්ණමාල්