Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය:
අපි එපා කියද්දි දෑකැත්ත ගිල්ලා!

උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය නිසා විපතට පත් ජනතාවගේ හඬ ‘ද කැටමරාන්’ ඔස්සේ හෙළි කෙරිණි. ජවිපෙ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිටම ඊට එරෙහිව ප්‍රබල ලෙස හඬ නැගූවෙකි.

02.10.2016  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය
மக்கள் விடுதலை முன்னணியின் (ஜே.வி.பி) பாராளுமன்ற உறுப்பினர் சமந்த வித்தியாரத்ன

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ‘බහු විනාශකාරී’ ව්‍යාපෘතියක් ලෙස හඳුන්වන්නට ඔබ ඇතුළු ඊට එරෙහි පිරිස කටයුතු කරන්නේ ඇයි ?

අපේ ජනතාව අතරෙ තියෙනවා ‘දෑකැත්ත ගිල්ල වගේ’ කියලා කතාවක්. දෑකැත්ත කියන්නේ දැති තියෙන, හිරවෙන, කැපෙන, යන්න යන්න මහත් වෙන ආපහු හීනි වෙන, අවසානෙ මිටත් තලෙත් අතර අංශක 90 ක වංගුවක් තියෙන එකක්නෙ. ඒක ගිල්ලොත් ආපහු ඇදලා ගන්න බෑ හිරවෙනවා. ගන්න හදනකොට කැපෙනවා. අවසානෙ දෑකැත්ත ගිල්ල මිනිහ මැරෙනවා. දැන් මේ දැකැත්ත ගිලින්නෙ මිනිහෙක් නෙවෙයි මධ්‍යම කඳුකරය. මේකෙ ජනතාව, සතා සීපාවා, ගහකොළ, උල්පත්, ඇලදොළ, ගංගා ඔක්කොමත් එක්ක තමයි විනාශ වෙන්නේ. ඒ නිසා මුලදිම අපි කිව්වා මේ දෑකැත්ත ගිලින්න එපා කියලා. හැබැයි ඒක ගණනකටවත් ගත්තෙ නෑ.

ව්‍යාපෘතිය උමං මාර්ගයේ මූලික ඉදිකිරීම් කරද්දී සිදුවුණු ජලකාන්දුවෙන් බැහැරට ගලාගිය ජලයේ වටිනාකම සමස්ත ව්‍යාපෘතියට ආයෝජනය කරනු ලබන මුදලට වඩා වැඩි බව ඔබ සඳහන් කළා. ඒ ප‍්‍රකාශය තාර්කිකද ?

දැනුත් ජලය කාන්දු වෙනවානේ. ව්‍යාපෘතියට සම්බන්ධ පිරිස් සහ ඇතැම් බලධාරීන් කියනවා එහෙම වෙන්නෙ නෑ කියලා. ඒ කතාව අමූලික බොරු. එයාලා ව්‍යාපෘතියෙන් සන්තෝසම් අරගෙන ඇති. ජනතාවට නම් ලැබිලා තියෙන්නෙ ප්‍රතිලාභ නෙවෙයි පාඩු සහ හානි. 2014 දෙසැම්බර් 26 වෙනිදා තමයි මකුල්ඇල්ලෙ භූ අභ්‍යන්තරයෙන් පළවෙනි ජල කාන්දුව පටන්ගත්තෙ. අපි මාස 07ක් 08ක් ඇතුළත ගණනය කරලා පෙන්නුවා ඒ වෙනකොට එළියට ගියපු දැවැන්ත ජලස්කන්ධයේ වෙළෙඳපොළ වටිනාකම ලීටර් ගණනට බලලා ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනයට වඩා වැඩියි කියලා. ගණන් ගත්තෙ නෑනෙ. දැන් අපතේ ගියපු ජලය ලීටර් ගාණෙ වටිනාකම ගණනය කළොත් පෙනේවි ආයෝජනයට වඩා තිස් හතළිස් ගුණයක් වැඩියි කියලා. ව්‍යාපෘතියට වෙන් කළ මුදල ජනතාවට වෙච්ච හානි වලට සාධාරණ වන්දියක් ගෙවන්නවත් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. මේ පොළොව, ඉරිතලලා, දෙදරලා, දෙබෑ වෙලා තියෙන්නෙ. ආපහු හා කරන්න පුළුවන් කාටද? සිද්ධ වුණු දේවල් යථා තත්වයට පත්කරන්න වන්දි ගෙවලා බෑ. ඉදිරියේදී වැසිත් එක්ක මොනවා වෙයිද? ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියනවා බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් සියයට 66.9ක් නායයෑමේ අවදානමක තියෙනවා කියලා. මේ තමයි ඒ භූමිය. දැන් ඔය කරලා තියෙන්නෙ ආරාධනා පත් යවලා ආපදාවක් කැන්ද ගත්ත එක.

විනාශයට වන්දි ගෙවන්න වෙන්නෙ ජනතාවටයි

දැන් උමග ඉදිකිරීම් සිදු වන ස්ථානය අනුව පෙනෙනවා ඉතා ඉක්මනින් බණ්ඩාරවෙල නාගරික සීමාවට එය ඇතුළුවෙනවා කියලා. තත්වය මොන අතට හැරේවිද?

මේ උමග කිලෝමීටර් 15.2 ක් දිගයි. දැනට බණ්ඩාරවෙලට ආසන්නයේ කොළඹ බදුල්ල ප‍්‍රධාන මාර්ගය ඉක්මවන්නෙ නැතිව නවත්තගෙන ඉන්නවා. මොකද මේ වෙන හානියත් එක්ක තීන්දු කරලා තියෙනවා පායන කාලෙ හාරලා තවත් ළිං හිඳුනොත් ජනතාව ප්‍රකෝප වෙන නිසා වැහි කාලෙ ආවම හාරන්න. එතකොට උමග ඇතුළුවෙන්නෙ ජනාකීර්ණ බණ්ඩාරවෙල නාගරික ප්‍රදේශයට. බිඳුණුවැව, කිරිඔරුව, කොන්තහෙළ ජනතාවගෙත් ජීවිත හෑරෙයි. අපිට ආරංචියි මේ උමග හාරාගෙන එනකොට අභ්‍යන්තර ජල තටාකයක් සිදුරුවෙලයි හානිය වුණේ. දැන් ඉදිරියේදී තවත් ජල තටාක දෙකක් පොළව ඇතුළෙ හමුවෙන්න නියමිතයි. එතකොට මධ්‍යම කඳුකරයෙ නැගෙනහිර බෑවුම විනාශයි. වන්දි ගෙවන්න වෙන්නෙ ජනතාවටයි. මේක එතකොට සංවර්ධන ව්‍යාපෘතියක්ද?

දකුණට හරවන්න කටයුතු කරන්නේ උමාඔය නිම්නයේ වියලූව හරහා මහවැලියට ගලාගිය අතු ගංගාවක්. එතකොට ඒ නිම්නයටත්, මහවැලි කලාපයන්ටත් අත්වෙන ඉරණම ගැන කවුරුවත් කතා නොකරන්නෙ ඇයි ?

අපි මුලදීම ඔය ගැන කිව්වනෙ. දැන් රටෙත් මාධ්‍යයෙත් අවධානය යොමුවෙලා තියෙන්නෙ ළිං හිදෙන එකයි ගෙවල් ඉරිතලන එකයි ගැන විතරයි. මේ ඊට එහා යන ප්‍රශ්නයක්. ලංකාව සැලසුම්ගත වාරි ශිෂ්ටාචාරයක් එක්ක ගොඩනැගුණු රටක්. ඒ කාලෙ තිබ්බ තේමාව නිම්නයේ වතුර නිම්නයට කියන එකයි. ගංගාවක් හරස් කරලා අමුණක්, වැවක් බඳිනවා. ඒ වතුර පහත් වෙන්නෙ ඒ නිම්නයටමයි. දැන් කරන්නෙ එක් නිම්නයක වතුර තව නිම්නයකට හරවන එක. මේ වැඩෙන් වර්ග කිලෝමීටර් 720 ක ජල පෝෂක ප‍්‍රදේශයක් තියෙන උමාඔය නිම්නයටම හානි වෙන්න පුළුවන්. මේක මහවැලි ගඟ ඊසාන දිග මෝසමෙන් පෝෂණය කරන ප්‍රධානම අතු ගංගාව. ලංකාවෙන් තුනෙන් එකක් පෝෂණය කරන්නෙ මහවැලිය. දැන් මහවැලි සී කලාපයේ ගිරාඳුරුකෝට්ට, දෙහිඅත්තකණ්ඩිය, දිඹුලාගල, පිඹුරත්තෑව දැඩි නියඟයකට මුහුණදීලා ආපදා අවදානම් කලාපයක්. උමාඔය හරවන්නත් ඉස්සරවෙලා මෙහෙමයි. වගාවට වතුර නෑ. බොන්න වතුර නෑ. පහුගිය කන්න ගණනාවක් වැඩ කළේ බෙත්මෙට. එතකොට උමා ඔය දකුණට හැරෙව්වම මොකද වෙන්නෙ.  මාවිල්ආරු, ත්‍රිකුණාමලය දක්වාම සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාට මහා විනාශයකට මුහුණ දෙන්න වෙනවා. අවාසනාවන්ත තත්වය තමයි එහේ ඉන්න ජනතාව දන්නෙ මහවැලිය ගැන විතරයි. උමාඔයක් ගැන ඔවුන් දන්නෙ නෑ. අනාගතයේ වෙන හානි ගොඩයි.

මේ ව්‍යාපෘතියට මුල්ගල තැබුවෙ පරිසර ඇගයීමක් සිදුනොකර

ප්‍රතිලාභ තක්සේරු නොකර මේ ව්‍යාපෘතියට බලධාරීන් ඇයි මුලපිරුවේ?

අපේ රටේ නීති නැතිව නෙවෙයි. 1987 පාරිසරික පනතට අනුව පරිසර ඇගයීම් වාර්තාවක් එක්කයි මෙවැන්නක් සිදුකරන්න  ඕන. ඒත් 2008 අප්‍රේල් 29 වෙනිදා මේ ව්‍යාපෘතියට මුල්ගල තැබුවෙ පරිසර ඇගයීමක් සිදුනොකර.  අපි උද්ඝෝෂණය කළා. ඇහුවා ඇයි එහෙම කළේ, ජාත්‍යන්තර ගිවිසුම් ගැහුවෙ ඇයි කියලා. අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න හදනකොට දඩිබිඩියෙ පරිසර වාර්තාවක් හැදුවා. හැබැයි වෙන්න පුළුවන් හානිය හරියට තක්සේරු කරලා නෙවෙයි. තැබූ මුල්ගලට අනුව ඉස්සරහට යන්න අවශ්‍ය විදියෙ එකක්. ව්‍යාපෘතියක් කරන්න  ඕන ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විදියට වුණත් එයාලට වුවමනා කළේ තමන්ට ප්‍රතිලාභ. ඉතිං එයාලා කොමිස් ගන්න ඇති. වැඩ සිද්ධ වෙන විදියට අපිට දැනෙන්නෙ දැනටත් සමහරු කොමිස් ගනිමින් ඉන්නවා කියලා. මිනිස්සු කෑ ගැහුවම විතරක් ලූනු බිකක් ලැබෙනවා. අනිත් වෙලාවට ඇහැ ඇරලා බලන්නෙ නෑ.

එතකොට ආණ්ඩු මාරුවෙලා තියෙද්දීත් තුවාලය තවම සනීප වෙලා නෑ වගේද?

ආණ්ඩු මාරු වෙලා නෑනෙ. පහුගිය කාලෙ වගේම පුද්ගලයො මාරු වෙලා. ප්‍රතිපත්ති, වැඩ තිබුණු ඒවමයි. අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමා පත්වුණාම විශේෂඥයෝ, මිනිස්සු අඬගහගෙන ගිහිල්ලා මේ ගැන එතුමට කිව්වා. එතුමා පිළිගත්තා මේ වැඬේ වැරදියි කියලා. ඒත් තුවාලය සනීප වුණේ නෑ. තිබ්බට වඩා දරුණුයි. ඔඩු දුවලා. ජනතාවට දරාගන්න බෑ.  මකුල්ඇල්ල ඉස්කෝලෙ ඉවරයි. ජුම්මා පල්ලිය පුපුරලා ගියා. දික්අරාවෙ මෙහෙණි ආරාමෙ චෛත්‍යය පුපුරව්වා. තවත් මොනවද?

හානිය නිසි පරිදි  තක්සේරු කරන්න

ඔය තරම් බරපතල හානියක් සිදුවන්නට නියමිත නම් තවම මේ ව්‍යාපෘතිය අත්හිටුවීමේ අවස්ථාවක් තිබෙනවද?

අපි දේශපාලනඥයො හැටියට නෙවෙයි ජල විද්‍යාඥයෝ, භූ ගර්භ විද්‍යාඥයෝ  වගෙ විද්වතුන්ගෙ අදහස් විමසලා මුලදිම ප්‍රකාශ කළා මෙය නැවැත්විය යුතුයි කියලා. පළවෙනි දිය කාන්දුව වෙනකොට ඉදිකිරීම් කරලා තිබුණේ සියයට 16 යි. ඒ වෙලාවෙදීත් අපි කිව්වා නවත්වන්න කියලා. ඇහුවෙ නෑ. දැන් අපි කියන්නෙ මුලින් තාවකාලිකව වැඩ නවත්වන්න, ඊටපස්සෙ නිසි පරිදි හානිය තක්සේරු කරන්න. මේක කරනවද නැද්ද?. හානි වළක්වන්න කරන්න  ඕන දේ සොයන්න. හීල්ඔය ජුම්මා මුස්ලිම් පල්ලිය මහල් තුනක එකක්. ඒකෙ පොළව ඉරිතලලා. කුලූණු දෙදරලා. ඉස්සරහට වැහි කාලෙ. හාරපන්සියයක් මිනිස්සු යාඥා කරන වෙලාවක විනාශයක් සිද්ධ උනොත් මොන මිනිහද වග කියන්නෙ. දැන් අවශ්‍යයි නිසි විශේෂඥයො දාලා ඇගයීමක් කරලා වාර්තාවක් හදන එක. ඊට පස්සෙනෙ ඉදිරියට යන්න  ඕන. පාලකයො විශේෂඥ උපදෙස් මතයි ඉදිරිය තීන්දු කරන්න  ඕන.

සේයා රූ: http://www.lankatruth.com අනුග්‍රහයෙනි.

 

ජවිපෙ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිටම ඊට එරෙහිව ප්‍රබල ලෙස හඬ නැගූවෙකි. මේ ඔහු විපතට පත් පළාත්වල කළ සංචාරයේ රූ සහ හඬ මුසුවකි.