Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

විහාරහේන - එනසල්වත්ත
මිනිස්කමේ ඝණ්ටා නාදය

ශ්‍රී ලංකාව, ජාතිය හා ආගම මුල් කරගත් ගැටුම් නිසා කෙළවරක් නැතිව ලේ වැගිරවූ භූමියකි. විහාරහේන-එනසල්වත්ත නම් ලද පෙදෙසද එහි ම පැවතීම කවර ආශ්චර්යයක්ද?

08.10.2016  |  
ගාල්ල දිස්ත්‍රික්කය

මේ බිම කෝවිල් භූමියක්ද, පන්සල් භූමියක්දැයි හරියටම කියන්නට බැරිය. දැවැන්ත බෝ ගස පාමුල බුදු මැදුරකි. එහි සෙවණ යට කෝවිලකි. කෝවිලටත් බුදු මැදුරටත් ඇත්තේ එකම ඝණ්ටාර කුලූනකි. කෝවිලට එන්නෝ බුදු මැදුරටත් බුදු මැදුරට එන්නෝ කෝවිලටත් මලක් පහනක් හඳුන්කූරක් රැගෙන යති. වේල් පෙරහරේ ගමන් කරන්නෝ වෙසක් පෙරහරේත් ගමන් කරති. කෝවිලේ උත්සවය සංවිධානය කරන්නෝ පන්සලේ කඨින පිංකමත් සංවිධානය කරති. නත්තලත්, වෙසක් උත්සවයත්, තෛපෝංගල් දිනයත් මේ සියල්ලන්ගේ සහභාගිත්වයෙනි. මේ ගමට නමක් දිය හැකිද?

විහාරහේන – එන්සල්වත්ත

දෙණියාය නගරයේ සිට කිලෝමීටර් අටක් උතුරු දෙසට ගිය තැන විහාරහේන ගම්මානය හමුවේ. ඊට මායිම්ව පිහිටියේ මතුරට වැවිලි සමාගමට අයත් එන්සල්වත්ත කොටසයි. 1820 දී පමණ බ්‍රිතාන්‍ය ජාතිකයන් වතු වගාව ඇරඹීමත් සමඟ විහාරහේන ජනාකීර්ණ නගරයක් බවට පත් වූ බව ඉතිහාසයේ සඳහන්ය. අප ඉහත කී කෝවිලත් බුදු මැදුරත් ඇත්තේ එන්සල්වත්ත කොටසේය.

කේ. වේලායුදම් අපට මුණගැසෙන්නේ එතැනදීය. කෝවිලේ ආගමික කටයුතු ඇරඹි ඔහු ඉන් පසුව කෝවිල ඉදිරිපිට ඇති බුදු මැදුර වෙතද පැමිණියේය. එතැනද පවිත්‍ර කළ ඔහු ඊට අදාළ වතාවත් ඉටු කළේය. මේ වෙනස කුමක්දැයි ඔහු අපට කීවේය.

”අපේ සීයාගේ කාලේ ඉඳලම මෙතැන මෙහෙම තමයි. මේ වත්තේ සිංහල අයත් ඉන්නවා. දෙමළ අයත් ඉන්නවා. ගමේ අයත් මෙතැනට එනවා. හින්දු, කතෝලික, ඉස්ලාම්, බෞද්ධ මේ හැමෝටමත් මෙතැන විවෘතයි. ඒ එන කාගෙවත් හිත රිදෙන්න අපි කටයුතු කරන්නේ නෑ. 1821 දී විතර තමයි මෙතැන පුදබිම පටන් අරගෙන තියෙන්නේ”

අපේ ආගමික උත්සවවලදී පන්සලේ නායක හාමුදුරුවෝ අපිට උදව් කරනවා. පන්සලේ උත්සවවලදීත් අපි හාමුදුරුවන්ට උදව් කරනවා. අපේ දරුවෝ දහම් පාසල් යන්නෙත් විහාරහේන ශ්‍රී විජයාරාම පන්සලට.”

”මහත්තයලා මේ ගමේ පොඩ්ඩක් ඇවිදින්න. පන්සලේ හාමුදුරුවෝ මුණගැහෙන්න. තව විස්තර හොයන්න” යැයි ඔහු ඉල්ලීමක්ද කළේය. අපි එහි සැරිසැරුවෙමු!

2
ෙපරුමාල් සහ කුසුමාවතී

ගරා නොවැටුණු මනුෂ්‍යත්වය

1833 දී ඉදිකෙරුණු, 1989 දී ප්‍රතිසංස්කරණය කරන ලද දිරාපත් වහල සහ බිත්ති අතර දිවිගෙවන හැත්තෑ හැවිරිදි ආරියදාස සහ ඔහුගේ බිරිඳ බේබිහාමි අපට මුණගැසිණි. ඔවුන්ද වතු කම්කරුවෝය. එන්සල් වත්තේ අබලන් ලැයින් කාමරයක ඔවුහු අදත් දිවි ගෙවති. ජාතිකත්වය කුමක් වුවත් ඔවුන් නිරතව සිටින්නේ එකම ආර්ථික ක්‍රියාවලියකය. ආරියදාසගේත් බේබිහාමිගේත් අසල නිවසේ සිටින්නේ සෝලමලෙයි නටරාජාය. ඔහුගේ බිරිඳ එම්. වනසුන්දරීය. ඔවුන් කෝවිලේ ආගමික කටයුතුවලට සම්බන්ධ වුවත් පන්සලේ ආගමික උත්සව මඟහරින්නේ නැත. මේ සබැඳියාව අපි ආරියදාස මහතාගෙන් විමසුවෙමු.

”මමත් අපේ නෝනත් දෙන්නම කෝවිලටත් යනවා. පන්සලටත් යනවා. අපි අපේ දරුවන්ටත් තමන් කැමැති ආගමක් අදහන්න නිදහස දීලා තියෙනවා. වත්තයි ගමයි කියලා දෙකක් නැහැ. සිංහල දෙමළ කියලා අපි අතර භේදයකුත් නැහැ. අපේ පරම්පරාවේ මතක ඇති කාලේ ඉඳන්ම එහෙමයි. වත්තේ ඉන්න අයටත් ගමේ ඉන්න අයටත් භාෂා දෙකම කතා කරන්න පුළුවන්”

වතු කම්කරුවකු වන පනස් අට හැවිරිදි සෝලමලෙයි නටරාජා වනසුන්දරී සමඟ විවාහ වී ඇත්තේ 1977 වසරේ දීය. දරුවන් තිදෙනකුගේ පියකු වන නටරාජා සිය ඉතිහාසය පිළිබඳ කීවේ මෙවැනි කතාවකි.

භීතියක් නොතිබූ තැනක්

”අසූ තුනේ කළු ජූලිය වෙලාවෙ දී අපිට කිසි කරදරයක් වෙන්න ගමේ අය ඉඩ තිබ්බේ නෑ. යුද්දෙ කාලෙත් එහෙමයි. භීෂණ කාලෙත් එහෙමයි. ඒ වගේ දුෂ්කර කාලේදිවත් අපි අතර අවිශ්වාසයක් ඇති වෙන්න කටයුතු කළේ නැහැ. මම හින්දු ආගමේ. මගේ බිරිඳ වනසුන්දරී පන්සලට දානේ දෙනවා. මගේ දරුවෝ දේවස්ථානේ දේව මෙහෙයටත් යනවා. කෝවිලත්, පන්සලත් ඔවුන්ට වෙනසක් නැහැ. එක දරුවෙක් දහම් පාසල් යන්න ඕන කිව්වම මම යන්න කිව්වා. මහත්තයලාට මේක අමුතු වුණාට අපිට එහෙම දැනෙන්නේ නෑ. මේ වත්තේ ගෑනු ළමයි සිංහල තරුණයෝ කසාද බඳිනවා. ඒ වගේම තමයි දෙමළ තරුණයොත් සිංහල තරුණියෝ කසාද බඳිනවා. හුලන්දාවේ වත්තේ සිංහල අයයි මුස්ලිම් අයයි කසාද බැඳලා ඉන්නවා.”

ගනුදෙනු කරන මිනිස්සු

විහාරහේන ගම්මානයේ ජන ජීවිතය පිළිබඳව විහාරහේන ශ්‍රී විජයාරාම විහාරාධිපති මෙදේරිපිටියේ ධම්මසිරි හිමියන් අප සමඟ වදාළේ මෙවැනි කතාවකි.

”මේ පන්සල පටන් අරගෙන තියෙන්නේ එකදහස් නවසිය තිස් ගණන්වල. මට කලින් මෙහේ හිටපු හාමුදුරුවරුන්ටත් මටත් දානේ ගෙනල්ලා දුන්නු, තවමත් ගෙනත් දෙන දෙමළ බෞද්ධයෝ මෙහේ ඉන්නවා. ඒ අය පන්සල එක්ක සම්බන්ධයි. සිංහල බෞද්ධ දරුවන් අතරේ වුණත් දහම් පාසලේ වැඩිම ලකුණු ලබා ගත්ත ශිෂ්‍යයා ‘කලෙයි කුමාර්’ කියලා දෙමළ දරුවෙක්. පන්සලේ කඨින පිංකම, වෙසක් උත්සවය කරන්නේ සිංහල අයයි දෙමළ අයයි එකතු වෙලා. වේල් පෙරහරත් එහෙමයි. ඒකේ නොයන බෞද්ධයෙක් මෙහේ නැති තරම්. වේල් පෙරහර පන්සලටත් එනවා. ඒක තමයි මෙහෙ හැටි…”

1
අබ්දුල් සහ කරුණාවතී දරුවන් සමඟ

විහාරහේන කොස්ගුලන පදිංචි අමිත ගාල්ලගේ වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියැදුරෙකි. ව්‍යාපාරිකයකුද වන ඔහු විහාරහේන ගම්මානයේ ඇති විශේෂත්වය පිළිබඳව කීවේ මෙවැනි අදහසකි.

”අපේ තාත්තා කඩේ වෙළෙඳාම් කළා. කඩේට එන අයට තාත්තා කතා කළේ දෙමළෙන්. තාත්තට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්කම ලැබුණේ ඒ මිනිස්සු එක්ක ගනුදෙනු කරපු නිසා. මට අවුරුදු 16 – 17 දී විතර දෙමළ යාළුවෝ මුණගැසුණා. ඔවුන් එක්ක කතා කරලා මටත් දෙමළ භාෂාව පුළුවන් වුණා. මම කවදාවත් දෙමළ භාෂාව භාෂාවක් විදියට ඉගෙන ගත්තෙ නෑ. ඒත් භාවිතාව නිසා මට හොඳට දෙමළ කතා කරන්න පුළුවන් වුණා.”

එකම සංවිධායකයෝ

”පන්සලේ පිංකමත්, කෝවිලේ වේල් පෙරහරත් සංවිධානය කරන්නේ අපිමයි. අපි අතර හොඳ විශ්වාසයක් තියෙනවා. ගමේ ස්වභාවය තමයි මේ… මෙහේ ඉන්න ගොඩක් අයට භාෂා දෙකක් කතා කරන්න පුළුවන්. රටටම අවශ්‍ය මෙහෙම සංහිඳියාවක්. විහාරහේනට සංහිඳියාව ගැන අහන්න ලැබුණේ මේ මෑතක වුණත් අපි ඉපදෙන්න කලින් මෙහේ ජාතිවාදය ආගම්වාදය ප්‍රතික්ෂේප කරපු පරම්පරාවක් හිටියා. ඒ අයගේ බලපෑම තමයි අපිට ලැබුණේ”

මතුරට වැවිලි සමාගමට අයත් හුලන්දාව වත්තේ අබ්දුල් කාදර් දැන් සිටින්නේ අසනීප තත්ත්වයේ ය. අබ්දුල් කාදර් විවාහ වී සිටින්නේ පී.ජී. කරුණාවතී සමඟය. කරුණාවතී සිංහල බෞද්ධ කාන්තාවකි. අබ්දුල් කාදර් ඉස්ලාම් ආගමිකයෙකි. පෙරුමාල් මාඩෂාමි හින්දු භක්තිකයෙකි. ඔහුගේ බිරිඳ ඩී. කුසුමාවතී ආගමික කටයුතු ඉටු කිරීමට යන්නේ පන්සලටය. ආගම සම්බන්ධ කාරණාවක දී දෙදෙනා අතර කිසි දවසක බාධා කිරීම් නොතිබූ බව ඔවුහු කියති. දරුවන්ගේ උප්පැන්නයට පියාගේ ආගම ඇතුළත් කළත් දරුවන්ට තමන් කැමැති ආගමක් ඇදහීමට ඔවුන්ට ඇති නිදහස කිසි දවසක අහුරන්නේ නැති බවත් තමන් කැමැති කාන්තාවක සමඟ විවාහ ගිවිස ගැනීමට දරුවන්ට ඇති අයිතිය ආරක්ෂා කරන බවත් ඔවුහු කියති. පැරණි ලැයින් කාමරවල ගරාවැටෙන නිවෙස්වල ජීවත් වන මේ මිනිස්සු ආර්ථික හැකියාවෙන් දුප්පත් වුවත් මනුෂ්‍යත්වය මානව ප්‍රේමය අතින් ඔවුන් කොයිතරම් පොහොසත්ද?