සෙල්ලම් ගෙවල්වල
ඇත්තට ගෙවෙන ජීවිත
ඔවුන් ජීවත් වන නිවාස කොළඹ කෞතුකාගාරය තරම්ම පැරණිය. එහෙත් ඒවායේ අභ්‍යන්තරය, කෞතුකාගාරයෙහි මෙන් අභිමානවත් නැත. ඔවුන්ගේ ජීවිත ඇත්තේ මානව ගරුත්වය සියලූම මිනුම් දඬුවලට පහළිනි.
අගුලූ කැඞී ගිය දොර ජනේලය; ඉරිතළා බිඳවැටෙන බිත්තිය; හිරුඑළියෙන් පමණක් ආරක්ෂාව ඇති දිරාපත් වහලය. ගොම මැටි ගා නඩත්තු කරන ගෙබිමය. මේ ඔවුන්ගේ නිවසේ සාමාන්‍ය තත්ත්වයයි.
වැසි දිනවල නම් ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. දිරාපත් වහලයෙන් ඇදහැලෙන වැසිදිය ගලා යාමට නිවස තුළම තාවකාලික කානු පද්ධතියකි. වැසි දියෙන් දරු පැටවුන් රැුක ගනු පිණිස ඔවුන් ඉටි රෙදිවලින් ඔතා තබති. ඇතැම් නිවාසවල ඇතුළේ ඉටි රෙදිවලින්ම ඉදි කළ තවත් කුඩා නිවෙස්ය. ඒවා දරුවන්ගේ සෙල්ලම් ගෙවල් බඳුය. වැසි දිනවල මේ නිවෙස්වල රාති‍්‍රය දිගුය. බොහෝ විට එය නිදි වර්ජිත එකකි.
මේ නිවෙස්වල වෙසෙන්නන් හඳුන්වා ඇත්තේ වතුකම්කරුවන් යනුවෙනි. ඔවුන්ගේ නිවෙස් ලැයින් කාමර ලෙස හඳුන්වා ඇත. පසුකාලීනව ‘වතු නිවාස’ ලෙස මේවා හඳුන්වනු ලැබූවත් නිවසක තිබිය යුතු කිසිදු ගුණයක් ඒවා තුළ නැත. එය හරියට වල් අලි කියනු වෙනුවට වන අලි නමින් වූ නාම මාත‍්‍රික හැඳින්වීම බඳුය.
පුංචි නුවරඑළිය යයි කියන්නේ දෙණියායටය. ඊට ඒ නම ලැබුණේ නුවරඑළියේ ඇති සෞම්‍ය දේශගුණයත් ඒ හා සමාන තේ වතු සහ වතුකම්කරුවන් මෙහි ජීවත් වන නිසාය.
මාතර දිස්ත‍්‍රික්කයේ දෙණියායේ පිහිටි තේ වතු සියල්ලකම කම්කරු ජීවිත එකම ශෝකාන්තයකි. ඇතැම් වතු රත්නපුර දිස්ත‍්‍රික්කයට මායිම්ව පිහිටියේය. මහා වතු සමාගම්වලට අයත්, එන්සල්වත්ත, දෙණියායවත්ත, අනින් කන්ද, පනිල් කන්ද, හේයස්, හෑන් ෆර්ඞ්, හුලන්දාව යන වතුවල ජීවත් වන වතුකම්කරුවන් තවමත් සිටින්නේ සුද්දා අශ්වයා පිටේ යන යුගයේ ඉදිකළ ලැයින් කාමරවලය. නැති නම් වතු නිවාසවලය. ඇතැම් ලැයින් කාමර කොළඹ කෞතුකාගාරයටත් වඩා පැරැුණි ඒවාය. 1820 සිට 1857 දක්වා කාලය තුළ ඉදි කළ වතු නිවාසවල අද සිටින්නේ ඔවුන්ගේ සිව් වන හෝ පස් වන පරම්පරාවය. ඇතැම් නිවාසවල ඇත්තේ 1835 සෙවිලි කරන ලද සෙවිලි තහඩුය. වහලට සවි කර තිබූ ඇණ දිරාපත් වීම නිසා අද ඒවා වහල මත රැඳී ඇත්තේ බරට තබන ලද කළු ගල් නිසාය. පුපුරා ගිය බිත්ති වැරෙන් තල්ලූ කළහොත් බිමට සමතලා කිරීම අපහසු නැත. සත්‍ය වශයෙන්ම ජාත්‍යන්තරය පිළිගත් මූලික මිනිස් අවශ්‍යතා මේ ගොඩනැගිලි තුළ වැරහැලි වී ඇත්තේය. සතර අතම දියසීරා උල්පත් පිහිටියත් ඇතැම් වතු නිවාසවලට ස්ථිර ජල සැපයුමක් පවා නැත. මේ නිවාසවලට විදුලිය පවා ලබා දී ඇත්තේ මීට වසර පහකට පෙරය. එනමුදු තවමත් කුප්පි ලාම්පු දල්වන වතු නිවාස නැතිවා නොවේ.
පාසලෙන් වත්තටකේ. කුමාරි සිටින්නේ දෙණියාය එන්සල්වත්ත කොටසේ කටුමැටි ගැසූ නිවසකය. දහය වසර වන තෙක් පාසල් ගිය ඇය ඊළඟට තේ වත්තේ රස්සාව තෝරා ගත්තාය. ඇය සිය ජීවිතය මෙසේ පි`ඩු කළාය.
”මෙතන තිබුණු ගෙයක් කඩා වැටිලා තියෙනවා. එතනම තමයි මේ මැටි ගහපු ගේ හැදුවේ. වතුර ගේන්න අහළ පහළ ගෙදරකට තමයි යන්නේ. හයියෙන් වැස්සොත් හුළං පොදට බිත්ති ගැලවිලා වැටෙනවා. අපි ආයිත් හදාගන්නවා. අපිට වෙන යන්න තැනක් නෑ. වෙන කරන්න දේකුත් නෑ. ස්ථිර ගෙවල් හදාගන්න අයිතියකුත් නෑ. මේ වත්තේ ඉන්න කාටවත් ඉඩම් නැහැ. පුරවැසිකම පෙන්නන්න හැඳුනුම්පත අපට තියෙනවා. එච්චරයි.”
සාමාන්‍යයෙන් වතු කම්කරුවකුගේ දිනක වැටුප රුපියල් 450කි. එම මුදල ගෙවන්නේ වත්තේ වැඩ කරන දින ගණන ගණන් බැලීමෙනි. තේ දලූ අස්වැන්න අඩු කාලවල දී මුළු මාසෙම ආදායම රුපියල් 2500ටත් අඩු බව ඔවුහු කියති.
බී. නල්ලම්මා පනස් නව හැවිරිදි කාන්තාවකි. ඇය සිටින්නේ 1854දී තනා ඇති අබලන් වතු නිවසකය.
”මේ කාමරේ තමයි අපේ පරම්පරාවේ කවුරුත් හිිටියේ. කිසි දවසක වත්තෙන් පිට වෙලා නැහැ. මුහුද දකින්නෙත් ටීවී එකෙන්. වන්දනා ගමන් විනෝද ගමන් ගිහිල්ලා නැහැ. මම ඉස්කෝලේ ගිහින් නැහැ. දවසට එක වේලක් බත් කනවා. බත් කන්න නැති මාසවලදී කැඳ බොනවා. මේ ඉන්න ගේ අයිතිය අපට නැහැ. මේවට ඔප්පු නැහැ.” නල්ලම්මා කීවේ වතු නිවාසවල වෙසෙන්නන්ගේ සාමාන්‍ය මුහුණුවරයි. මේ වතු නිවාසවල සෙල්ලම් කරන දරුවන්ගේ සෙල්ලම් බඩු මොනවාදැයි එහි යන ඕනෑම අයකුට පෙනෙන්නේය. ඔවුන්ගේ සෙල්ලම් ගෙවල් තුළත් සෙල්ලම් බඩු තුළත් ඇත්තේ අන්ත දුගී භාවයයි. බිඳුණු වළන් කැබලි, පොල් කටු සහ පොල්පිති හැරුණු විට නවීන සෙල්ලම් බඩු නම් ඔවුන්ට සිහිනයකි.
රාමසාමි තංගවේලූ පවුලේ සාමාජිකයන් අට දෙනෙකු සමග ඉන්දියාවේ සිට මෙහි පැමිණ ඇත්තේ 1948 ජනවාරියේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 16කි. එදා සිට විහාරහේන වතුයායේ වතු නිවසක කාමරයක් තුළ සිරකරුවකු බවට පත් වූ ඔහු අදත් සිය වැඩිහිටි පවුලේ දරු මුනුපුරන් සමඟ එහිම වෙසෙයි. වත්තටම කඹුරා අංශභාග රෝගියකු වූ ඔහු අද සිටින්නේ බිම දිගාවුණු ගමන්ය. තෙල් බෙහෙත් ටිකක් හැරුණු විට රෝහලක ප‍්‍රතිකාර ලැබීමටවත් මේ මිනිසුන්ට පහසුකම් ලැබී නැත.
”මම ඉන්නේ එකතැන. බඩගින්න තිබුණත් කන්නේ නෑ. ළමයින්ට කරදරයි මං වැසිකිළියට උස්සගෙන යන්න. ළමයි වැඩට ගියාම මම වතුර බිබී ඉන්නවා.” අර්ථ සාධකේ ගත්තාදැයි මම ඔහුගෙන් විමසුවත් එවැන්නක් ගැන ඔහු දැන සිටියේ නැත. රාමසාමි තංගවේලූ වැනි පිරිමි ගැහැනු ඕනෑ තරම් මේ වතු නිවාසවල අඳුරු කාමර තුළ සිටිති.
වතුකම්කරුවන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම සඳහා පාසල් ඇතත් ඒවායේ ඇත්තේද ලැයින් කාමරවල ඇති තත්ත්වය මිස ඊට වෙනස් මුහුණුවරක් නොවේ. පාසල් ඇති කළ දා සිට මේ දක්වාම කිසි දවසක ශිෂ්‍යත්වය සමත් වූ දරුවකු දෙණියාය වතු ආශ‍්‍රිතව සිටියේ නැත. ප‍්‍රධාන ධාරාවේ කියැවීම්වලින් ඒවා මැකී ගොස්ය.
වතු නිවාසවල වෙසෙන්නෝ ද්‍රවිඩ වතු කම්කරුවෝ පමණක් නොවෙති. සිංහල වතු කම්කරුවන්ද විඳින්නේ එකම පිරිපතය.
හැත්තෑ හැවිරිදි ආරියදාස සිටින්නේ ද මරඋගුලක් බවට පත් වූ පිපිරී ගිය බිත්ති සහිත ලැයින් කාමරයකය. ”1989 රෙපයාර් කළාට පස්සෙ මේ වතුවල කිිසිම ගෙයක් රෙපයාර් කරලා නැහැ. මේව කඩලා වෙනස් කරන්න අපිට අයිතියක් නෑ. අපේ පරම්පරාවම මේ ගෙවල්වලම තමයි ජීවත් වුණේ. සිංහල වුණත් දෙමළ වුණත් අපි කවුරුත් වත්තේ ගෙවන්නේ මෙහෙම ජීවිතයක්”
සංවර්ධනය පිළිබඳව දිව්‍යමය ගීතිකා ගැයුණත් වතු කම්කරුවන්ගේ ජීවිත තවමත් ගෙවී යන්නේ යටත් විජිත සමයේ තැනූ අශ්ව ගාල් වැනි නිවාසවලය. ඔවුන්ගේ ජීවිතවලට සංවර්ධනයේ හෙවණැල්ලක්වත් වැටී නැත. ආහාර, නිවාස, ඇඳුම් හැර ඔවුන්ට ඇත්තේ කිනම් හිමිකමක්ද?
අක්කර 2500කින් සමන්විත විහාරහේන වතු යායේ අක්කරයක භූමියක් වෙන් කර ඇත්තේ සුසාන භූමිය සඳහාය. පරම්පරාවේ පැරැුණි මිනිසුන්ගේ වළ තුළම සැතපෙන්නට හිමිකම තිබුණත් මේ ජනතාවට ජීවතුන් අතර සිටිද්දී ඔවුන්ගේ යැයි කියා කිසිදු භූමියක් නැත්තේය. වතු යායෙන් අක්කර දහසක පමණ ප‍්‍රදේශයක සියලූ වගාවන් විනාශ වී එකී ඉඩම් කැලෑවැදී තිබුණත් එකම කාමරයක ගුළි වී නිදන මිනිසුන්ට නිවසක් තනාගැනීමට ඉඩමක් ලබා දී නැත; ලබා දෙන්නේද නැත. අශ්වගාලක් බඳු ලැයින් කාමරයක දිවි ගෙවන අලගර් වල්ලි අම්මා තම දරුවන්ගේ අනාගතය කෙලෙස විසඳේදැයි කල්පනා කරමින් සිටින්නීය.
”දරුවෝ හය දෙනෙක් ඉන්නවා. මහත්තයා අපිව දාලා ගියා. මේ එක දරුවෙක්වත් පෙර පාසලකටවත් යවන්න වත්කමක් නෑ. කොච්චර අමාරුකම් තිබුණත් දරුවෝ බඩගින්නේ තියන්න බැරි නිසා හැමදාම වත්තේ වැඩ කරනවා. කොච්චර වැඩ කළත් ණය ගෙවන්න බැරි ගාණට ණය වෙනවා. අනේ මට මෙහෙම වුණත් මගේ දරුවන්ට මොන කලක් යාවිද?” අවසන් වචන පේළියේ හඬ මැකී යාමත් සමඟ ඇය හඬන්නට පටන් ගත්තාය.
සාධාරණය යනු කුමක්ද?
දුර්වර්ණ වූ අත් පා ය. කෙසඟ සිරුරුය. විසඳුම් නොමැති කල්පනාවෙන් පිරුණු මුහුණුය. කඳුළු තේ දලූවලටම මුසු වී මැකී යයි. ගෙවුණු පරම්පරාවේ පිරිපතම උරුම කරගෙන කුරාකුහුඹු මිනිසුන්ය. ලෙස ඔවුහු දිවි ගෙවති. අධ්‍යාපනය ගැනත් සෞඛ්‍ය ගැනත් සනීපාරක්ෂාව ගැනත් කොළඹින් ඇසෙන අප‍්‍රමාණ දෙසුම්, සුරක්ෂිත අනාගතයක් ගැන සුරංගනා කතා කිසිවක් මේ ජීවිතවලට සමීප නැත. නමුදු ඔවුන් මේ මිනිසුන්ය. ආර්ථිකය ශක්තිමත් කරන මිනිසුන්ය. අව්වේ වැස්සේ වෙනසක් නැතිව ශ‍්‍රමය වගුරන මිනිසුන්ය. වැඩියෙන්ම දුක් විඳින මිනිසුන්ය. ඔවුන්ට සාධාරණය ඉටු කරන්නේ කවුරුන්ද? කවදාද?