Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
එකම වගන්තියක්වත් තවම කෙටුම්පත් කරලා නැහැ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුව වනවා සේම, රටේ බහුතරයක් ජනතාවගේ ප්‍රමුඛතම අපේක්ෂාව ද වෙයි. එම ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය කෙබඳුද? රජය ඒ සඳහා පත් කළ මෙහෙයුම් කමිටුවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙසේ පිළිතුරු බඳියි:

26.10.2016  |  
කොළඹ දිස්ත්‍රික්කය
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම මේ වන විට?

නව ව්‍යවස්ථාවක් සෑදීමට ආණ්ඩුව පත් කළ මෙහෙයුම් කමිටුව තීරණය කරන තුරු එහි සිදුවන කිසිම දෙයක් ප්‍රසිද්ධ කරන්නට මට අවසරයක් නැති නිසා මා මෙතනදි කතා කරන්නේ පුද්ගලික මට්ටමින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සියලූම පක්ෂ නියෝජනය වන ආකාරයෙන් අගමැතිතුමාගේ සභාපතිත්වයෙන් සාමාජිකයන් 21 දෙනෙකුගෙන් යුක්ත මෙහෙයුම් කමිටුවක් සහ අනුකමිටු 6ක් පත් කරල තියනවා. එම අනුකමිටුවලත් ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂයේ හැම පක්ෂයක්ම නියෝජනය වෙනවා. මූලික අයිතිවාසිකම්, අධිකරණය, රාජ්‍ය සේවය, නීතිය හා සාමය, රාජ්‍ය මුල්‍ය සහ කේන්ද්‍රය හා පරිධිය අතර සම්බන්ධතාව යන විෂයයන් සම්බන්ධයෙන් වන ඒ කමිටු හයේම මූලික වාර්තා මේ වෙනකොට ලැබිල තියනවා. මං හිටියේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකමිටුවේ. එහි වාර්තාවේ තිබෙන දේවල් මොනවාද කියා කියන්නත් මට මේ අවස්ථාවේ අවසරයක් නැහැ. නමුත් එහි අන්තර්ගතය පිළිබඳ මා ඉතාමත් සතුටු වෙන බව පමණක් මේ අවස්ථාවේදී කිව හැකියි.

අනු කමිටු හයේ වාර්තා සකස් කොට අවසානයි

මෙහෙයුම් කමිටුව ඍජුවම තීරණ ගන්න තීරණය කළ විෂයන් කිහිපයකුත් තිබෙනවා. විධායකයේ ස්වාභාවය, මැතිවරණ ක්‍රමය, බලය බෙදාහැරීම පිළිබඳ ප්‍රධාන මූල ධර්ම, ආගම, ඉඩම් සහ රාජ්‍ය සේවය. ඒ හයේ අන්තර්ගතය පිළිබඳත්  අවසාන නිගමනයක් මේ මොහොතේ නැහැ. කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡාවල ප්‍රගතියක් තිබෙනවා.

මේ වන විට මතු වී ඇති ප්‍රධාන ගැටලූ?

විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම තවදුරටත් ගැටලූවක් ලෙස මා දකින්නේ නැහැ. ජනාධිපතිතුමා කියලා තියනවා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන්න  ඕනේ කියලා. දැන් අපි සාකච්ඡා කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට එන ක්‍රමය මොකක්ද කියන එක පිළිබඳයි. වෙස්මිනිස්ටර් ස්වාභාවයේ එකක්ද? අගමැතිවරයාට මුල් වසර දෙකක කාලයවත් ආණ්ඩුවක් ස්ථාවරව පවත්වාගෙන යාමට තිබිය යුතු බලතල මොනවාද? අය-වැය ලේඛනය පරාජය වුණොත් මොකද කරන්නේ වගේ කාරණා. ඒවා ඒතරම් ලොකු ප්‍රශ්න විදිහට මා දකින්නේ නැහැ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ අගමැතිවරයා පසුගියදා කළ ප්‍රකාශය?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාම ඒ වෙනුවට එන ආණ්ඩුවේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙනුයි අගමැතිවරයා කියලා තිබුණේ. මං ඒක පිළිගන්නවා. නමුත් ඒක ලොකු ගැටලූවක් නොවෙයි.

ලාල් විජේනායක කමිටු වාර්තාවෙන් මොනවද ගත්තේ?

එම වාර්තාව අනු කමිටු හයේමත්, මෙහෙයුම් කමිටුවෙත් සැලකිල්ලට භාජනය වුණා. එහි මහජන අදහස් මෙන්ම කමිටු සාමාජිකයන්ගේ අදහස්ද ඇතුළත් වුණා. ඒ අතරින් විශේෂයෙන්ම මහජන අදහස් නම් අපි සැලකිල්ලට ගත යුතු වෙනවා. එම වාර්තාවෙන් කවර කොටසක් ගන්නවාද කියන එක ගැන මට යමක් කියන්න බැහැ. එය ප්‍රයෝජනවත් වාර්තාවක් බව නම් කිව හැකියි.

/jayampathi-w2

නව ව්‍යවස්ථාවේ මූලික හැඩතල මොන වගේද?

මා දන්නේ නැහැ. මොකද අවසාන තීන්දුවක් තවම අරගෙන නෑ. තව මාසයක් ඉවසුවහොත් ඔබට එය බලාගත හැකියි.  නොවැම්බර් මාසයේදී අනු කමිටු වාර්තා සමඟ මෙහෙයුම් කමිටුවේ මූලික වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඔබ පෙනී සිටින්නේ?

මා පෙනී සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙන, නවසීලන්තයේ ක‍්‍රමයට යම් සමානත්වයක් දක්වන මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් වෙනුවෙනුයි.

සාකච්ඡා වෙන මැතිවරණ ක‍්‍රමය?

ඡන්දදායකයෙකුට ඡන්ද දෙකක් තියනවා. එකක් තමන් කැමැති අපේක්ෂකයාට. අනෙක් එක තමන් කැමැති පක්ෂයට. අවසාන ප්‍රතිපලය තීරණය වෙන්නේ එක් එක් පක්ෂ ලබාගන්නා ඡන්ද ප්‍රමාණය මතයි. එය ඉතා සාධාරණයි. බහු මන්ත්‍රී කොට්ඨාශ සීමිත ප්‍රමාණයකට ඉඩදීම, අවම ප්‍රතිශතයක් නොතිබීම, හදන ආණ්ඩුවේ ස්ථාවරභාවය තහවුරු කිරීම, බෝනස් ආසන කිහිපයක් හෝ දීම, ප්‍රමාණවත් සහ ගුණාත්මක බලය බෙදීමක් යන – තවදුරත් සාකච්ඡා වෙමින් පවතින කාරණා වෙනුවෙන් මා පෙනී සිටිනවා.

හොඳම යෝජනා පළාත් සභා මහ ඇමැතිවරුන්ගෙන්

බලය බෙදීම?

බලය බෙදාහැරීම පිළිබඳ හොඳම යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ මහ ඇමැතිවරුන් සහ විපක්ෂ නායකවරුන්. 13 වන සංශෝධනයේ නෛසර්ගික ප්‍රශ්න ගණනාවක් තියනවා. ඒවාට විසඳුම් දිය යුතුයි. පළාත් සභාවලට දෙන බලය උප්පරවැට්ටි මගින් නැවත ආණ්ඩුව අතට ගැනීමට ඉඩ නොතිබිය යුතුයි. බලය බෙදාහැරීම පිළිබඳ හොඳම අත්දැකීම් තියෙන්නේ මහ ඇමැතිවරුන්ට. ඔවුන් හැම වෙලාවෙම ඉල්ලන දෙයක්නේ බලය බෙදාහැරීම පැහැදිලි කරන්න කියලා. එය ප‍්‍රමාණත්මක පමණක් නොව අර්ථවත්වත්ද විය යුතුයි.

කෙටුම්පත එන්න තව කොච්චර විතර කල් යයිද?


යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එකම එක වගන්තියක්වත් තවම කෙටුම්පත් කරලා නැහැ. අවසාන තීන්දු ගන්නේ නැතිව කෙටුම්පත් කරලා වැඩකුත් නැහැ. ආයේ වෙනස් කරන්න වෙනවානේ. කාලය නාස්ති කිරීමක් විතරයි වෙන්නේ. කොහොම වුණත් ඉක්මනින්ම සිදු වෙනවා නම් හොඳයි.

බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම හෝ අහිමි කිරීම?

ආගම ගැන මෙහෙයුම් කමිටුවේ මේ වෙනතුරු කිසිම සාකච්ඡාවක් සිදුව නැහැ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරලා තිබෙනවා එහි වෙනසක් නොවිය යුතුයි කියලා. නිර්ආගමික කළ යුතුයි කියන යෝජනාව මහජනයා අතරිනුත් ඉදිරිපත්වෙලා තිබෙනවා. ලාල් විජේනායක කමිටු වාර්තාවෙත් තිබෙනවානේ. විවිධ මත තිබෙනවා. මොකක්ද නිර්ආගමික ව්‍යවස්ථාවක් කියන්නේ? රාජ්‍ය ආගමක් නැති රටක් කියන එකද? එහෙම නම් දැනටත් රාජ්‍යයට ආගමක් නැහැනේ. ඵෙතිහාසික හේතූන් මත බුද්ධාගමට විශේෂ ස්ථානයක් දීලා තිබෙනවා. අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු දීලා තියනවා එය එසේ තිබියදීම දැනටත් මේ රට අනාගමිකයි කියලා.

පෞද්ගලික අදහස?

වාමාංශිකයෙක් විදිහට මා අනාගමික ව්‍යවස්ථාවකට පක්ෂයි. 72 ව්‍යවස්ථාව ගැන කොල්වින් ආර්. ද සිල්වා කිව්වා ඔහු අනාගමික රාජ්‍යයකට පක්ෂපාතී බවත්, බුද්ධාගම පිළිබඳ දැනට තිබෙන වගන්ති හේතුවෙන් අනෙකුත් ආගම්වලට හානියක් වෙන්නේ නැහැ කියලත්. මාත් ඒ මතයේ ඉන්නවා. නමුත් අනෙකුත් ආගම් අදහන අය දැනට තියන වගන්තිය ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ කියා ඔවුන් මතුකරන ප්‍රශ්නවලින් මාත් තේරුම් ගන්නවා. නමුත් මා මතුකරන මූලික කාරණය අද රටේ තිබෙන මූලික ප‍්‍රශ්නය  ඕකද? දැන් තියන තත්ත්වයත් එක්ක ගත්තම  ඕක ප්‍රධාන කරගත්තොත් මෙතනින් එහාට අපිට යන්න බැරිවෙනවා.

සෝභිත හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙළේ යෝජනා?

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයෙන් කෙටුම්පතක් ඉදිරිපත් කළේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ පමණයි. එය හැදුවේ 19වෙනි සංශෝධනය සඳහා පමණයි. එය ඒ අවස්ථාවේදී ප්‍රයෝජනයට ගත්තා.  දැන් සලකා බලන්නේ අලූත් ව්‍යවස්ථාවට අදාළවයි.

තුනෙන් දෙකක් නැතිව ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න බැහැ

නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න බැරිවුණොත්?

තුනෙන් දෙකක් නැතිව ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න බැහැ. මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් තියනවා. පහුගිය අය වැයේදිත් 163ක් ගත්තනේ. නමුත් අපි 163දෙනා පමණක් එක්වෙලා ව්‍යවස්ථාවක් හදන එක නෙවෙයි අපේ හපන්කම. ජවිපෙ, ඒකාබද්ධ විපක්ෂයේ, කොමියුනිස්ට් පක්ෂයේ සහායත් ලබාගෙන එය කිරීමයි සුදුසු. අවසානයේ ජනමත විචාරණයකින්ද සම්මත විය යුතුයි.

ජනාධිපතිවරයා පසුගියදා කළ ආන්දෝලනාත්මක කතාව ගැන වමේ කේන්ද්‍රයේ නායකයෙක් විදිහට?

ඒක ආණ්ඩුව තුළ අභ්‍යන්තරව විසඳාගත යුතු ප‍්‍රශ්නයක්