Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

අඳුර විනිවිදින තාරකාව
‘අරුණෝදනී’

ඇගේ දස්කම් දකින ඕනෑම මවක, පියකු මෙසේ සිතනු නොඅනුමානය. ‘අනේ ඇය මගේ දරුවකු වුණා නම්.’ එහෙත් ඇගේ කතාව ආරම්භයේදී මෙලොව කිසිම මවක හෝ පියකු එවන් දරුවකු නොපතනු ඇත. එහෙයින් මෙය, දිරිය මවක හා පියකු ගැන කතාවකැයි අපි ඔබට කියමු.

10.11.2016  |  
මාතර දිස්ත්‍රික්කය
වයලීනය, තබ්ලාව, ඕගනය, සර්පිනාව සහ බටනලාව යන සංගීත භාණ්ඩ මෘදු ඇඟිලි තුඩුවලින් කම්පනය කරවා විශ්ව භාෂාව ඉගෙන ගන්නා ඇය

”අත බනිස් ගෙඩියක් වගේ. කටහඬ ගොරෝසුයි, කකුල් දෙක හරි සිනිඳුයි. එයා ළඟ හරි සුවඳයි. ඒ තමයි ජනාධිපති” 2013 නොවැම්බර් 9 දින හෝ ඊට ආසන්න දිනකදී මාතර  දෙවිනුවර උපුල්වන් දේවාල භූමියේ දී රටේ ප්‍රධාන පුරවැසියා සමීපයට යෑමේ භාග්‍යය ලත් අරුණෝදනී, ‘ජනාධිපති’ යන සන්නාමය සිය මනසේ සනිටුහන් කරගත්තේ ඒ අයුරිනිි. එදා ඇගේ වයස අවුරුදු 11කි. දැන් ඇය 14 හැවිරිදිය.

අරුණෝදයේ අන්ධකාරය

ඒ. ටී. අරුණෝදනී සෞම්‍යා ගේ පියා වෘත්තියෙන් ධීවර කාර්මිකයෙකි. මව ත්‍රිරෝද රථ රියැදුරුවරියකි. සෞම්‍යාගේ නිවුන් නැගණිය අරුණෝදා කෞෂල්‍යාය. අක්කා සහ නංගී අතර වයස් පරතරය ඇත්තේ තත්පර දොළහකිනි. උපතේදී දායාදයක් ලෙස ලැබුණු දෙනෙත කෞෂල්‍යාට සුරක්ෂිතව ලැබුණත් සෞම්‍යාට සිදු වූයේ ළදරු දැඩි සත්කාර ඒකකයේ වීදුරු කුටියක දී ලැබුණු අන්ධකාරය සමඟ ජීවත් වන්නටය. අරුණෝදනීගේ මව යූ.ආර්. ජයන්ති රත්නායක ඒ අනුවේදනීය සිදුවීම මෙලෙස විස්තර කළාය.
”2002 ජූලි 14 වනදා ගාල්ලෙ මහමෝදර ඉස්පිරිතාලෙදි තමයි මේ දරුවෝ දෙන්නා ඉපදුණේ. අඩු වයසින් (සති 29න්) තමයි ඒගොල්ල ඉපදුණේ. සෞම්‍යාගේ උපත් බර තිබුණේ ග්‍රෑම් 850යි. දරුවෝ දෙන්නා ලැබුණු ගමන්ම ළදරු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළා. කෞෂල්‍යා දුවට දවස් 30ක් ඔක්සිජන් දුන්නා. සෞම්‍යා දුවට දවස් 35ක් ඔක්සිජන් දුන්නා. ඔක්සිජන් දීපු දවස් ගාණ වැඩි වුණු නිසා වායුවේ සැර වැඩිකමට සෞම්‍යා දුවගේ ඇස්වල ස්නායු මැරිලා කියලා වෛද්‍යවරු කිව්වා. දරුවට පෙනීම දෙන්න අපි නොගත් උත්සාහයක් නෑ. නොගිය තැනක් නෑ. අන්තිමට දුවම කිව්වා ‘එපා අම්මේ මං මේ විදියට ඉගෙන ගන්නම්’ කියලා”

පෙර පාසලෙන් පාසලට

අරුණෝදනී සෞම්‍යා දියණිය 2005 වසරේ ගන්දර පුබුදු පෙර පාසලට ඇතුළත් කෙරිණි. දෙනෙත් ඇති දරුවන් දෙනෙතින් ලෝකය දකිද්දී සෞම්‍යා දියණිය දෙසවන්වලින් ලෝකය මැන ගන්නට සමත් විය. පුබුදු පෙර පාසලේ ගුරු මහත්මීන් දෙපළගේ දැඩි කැපවීම මත දෑස නොපෙනෙන දියණියට හැකි පමණින් ශිල්ප ඉගැන්වීමට කටයුතු කළේය. නර්තනයට ගායනයට අත්පොත් තැබූ දියණිය පෙර පාසල් දිවියට සමු දී ගන්දර කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කෙරුණි. මවගේත් පියාගේත් ප්‍රාර්ථනාවලට පණ දුන් ඇය හෙමි හෙමින් ලෝකය තේරුම් ගන්නට පටන් ගත්තාය.
හෝඩියේ පන්තියෙන් එකවසරට සමත් වූ ඇයට පාසල් ගමන එපා කරවන කතාවක් අසන්නට ලැබුණේය. එදා ඇය ගෙදර ගියේ යළි පාසල් නොඑන්නටය.
”ගෙදර ඇවිත් හොඳටම ඇඬුවා. අම්මේ මට තවත් ඉස්කෝලේ යන්න බෑ කිව්වා. කවුරු හරි දරුවෙක් මෙයාට ඇස් පොට්ටයි කියලා විහිළු කරලා තියෙනවා. හරිම හිතේ අමාරුවෙන් හිටිය. වෙන ඉස්කෝලයක් හොයා ගන්නාතුරු දරුවා ඉස්කෝලේ යැව්වේ නෑ.” සෞම්‍යාගේ අම්මා දියණිය පාසල් නොයන්නට හේතුව පැහැදිලි කළාය. පෙර පාසලේ සිටම දරුවන් අතර ගැවසුණු මේ දියණිය අධ්‍යාපනය වෙනුවෙන් වූ කැපවීම අත්හළේ නැත. කුස්සියේ වැඩවල දී අම්මාට උදව් දීමට ඇය ඉගෙන ගත්තීය. තාත්තා සමඟ ගීත ගායනයට ද ඇය එක් වූවාය. ඇඟිල්ල පහනට තබා පහනට තෙල් වත් කරන්නටත්, මුහුණට ළං කර ගිනිකූර ගසා පහන දල්වන්නටත් ඇය ඉගෙන ගත්තාය. ඉගෙනීමට තිබූ නොතිත් ආශාව නිසාම යළිත් ඇයට පාසල් යාමට වරම් ලැබුණේය.
මවගේත් පියාගේත් උනන්දුව මත සෞම්‍යා දියණිය 2008 වසරේ මාතර ශ‍්‍රී රෝහණ විශේෂ පාසලට ඇතුළත් කෙරිණි.

හය වසරේ දී ඇයට සුදර්ශනී ගල්හේන නම් සංගීත ගුරුවරිය මුණ ගැසෙන්නේය
හය වසරේ දී ඇයට සුදර්ශනී ගල්හේන නම් සංගීත ගුරුවරිය මුණ ගැසෙයි
ගමනක ආරම්භය

තමන්ගේම සහෝදර සහෝදරියන් මේ විශේෂ පාසලේ දී ඇයට මුණගැසිණි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට නේවාසික පහසුකම් තිබුණත් සෞම්‍යාගේ මව හෝ පියා මෙන්ම ඇගේ සහෝදර සහෝදරියන් ද ඇය නිවසින් පිටමං කිරීමට කැමැති වූයේ නැත. සුපුරුදු ලෙසම ඇය නිවසේ සිට පාසල් ගමන ඇරඹුවාය. බ්‍රේල් ක‍්‍රමයට අකුරු ලියන්නට කියවා ගන්නට ඉගෙන ගත් ඇය 2012 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 122ක් ලබා ගනිමින් සිය නැගනිය මෙන්ම පන්තියේ මිතුරු මිතුරියන්ද අබිබවා සිටියාය. රූප සටහන්වලින් දෙන ලද ප්‍රශ්නවලට හැර සෙසු සියලූ ප්‍රශ්නවලටම පාහේ ඇය පිළිතුරු ලබා දී තිබිණි. හය වසරේ දී ඇයට සුදර්ශනී ගල්හේන නම් සංගීත ගුරුවරිය මුණ ගැසෙයි. සෞම්‍යාගේ මෙන්ම සුදර්ශනීගේත් දෑස් පෙනෙන්නේ නැත. දිල්රුක්ෂි, දිනූෂා, හසන්ති යන ගුරුවරියන්ගෙන් ශිල්පලත් සෞම්‍යා ටික කලෙකින්ම හපනියක වූවාය.

අඳුර දිනූ දියණිය

2011 වසරේ රුහුණු සේවයේ ‘නිම්නාද’ සරල ගී ගායනා විවෘත තරගයෙන් තෙවන ස්ථානය දිනූ නව හැවිරිදි දියණිය පාසලේ ක‍්‍රීඩා උළෙල ද වර්ණවත් කළාය. මීටර් 50 සහ මීටර් 100 ධාවන තරගයේ  ප‍්‍රථමයා වන්නේ ඇයය. පසුගිය වසරේ පැවැති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ දී යගුලිය විසි කිරීම, කවපෙත්ත විසි කිරීම, හිටි දුර පැනීම ඇතුළු ක‍්‍රීඩා ඉසව් ගණනාවකම ඇය පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබා ගත්තාය. රෝහණ විශේෂ පාසලේ දක්ෂතම ගායිකාව වූ ඇය අන්තර් පාසල්, දිස්ත‍්‍රික් හා පළාත් තරගවලින් ද ජයග‍්‍රහණ රැුසක් අත්පත් කරගත්තාය. ක්‍රීඩාවට, සංගීතයට, ගීත ගායනයට හපන් මේ දියණියට තවත් සිහිනයක් තිබිණි.

 ඇගේ අපේක්ෂාව සංගීතයෙහි නිපුණ ගුරුවරියක වී ඇය වැනිම තවත් දහස් ගණනකගේ දෑස් පෑදීමය.
ඇගේ අපේක්ෂාව සංගීතයෙහි නිපුණ ගුරුවරියක වී ඇය වැනිම තවත් දහස් ගණනකගේ දෑස් පෑදීමය.

වයලීන වාදනයට දස්කම් පෑ ඇයගේ සිහිනයක්ව තිබුණේ තමන්ට කියා වයලීනයක් අත්පත් කර ගැනීමය. ඇය ඒ බව මවටත් පියාටත් කීවා ය. වයලීනයක් මුදලට ගැනීමට හැකියාවක් නොතිබූ මව දියණියගේ මේ ආශාව පිළිබඳව දෙවිනුවර සිටින පළාත් සභා මන්ත්‍රීවරයකුට කීවාය.  මන්ත‍්‍රීවරයාගේ ආරාධනයෙන් මේ අන්ධ දියණිය සමඟ මව ද  මන්ත්‍රීවරයාගේ නිවසට අවස්ථා කීපයක්ම ගෑටුවේය. ලබන මාසේ 12 එන්න, 27 එන්න, පළ වනදා එන්න… තුන් වන දා එන්න … දියණියට එපා වෙන තුරුම මන්ත්‍රීවරයාගේ නිවසට ගිය ඇයට මාස හයක් ගත වනතුරුම වයලීනයක් ලැබුණේ නැත. අවසානයේ දියණියගේ සිහිනය සැබෑවක් කරන්නට මුහුදු රස්සාවේ ගිය පියා සමත් වූයේය. මුහුදු රස්සාවෙන් ලැබුණු මුදල දියණියට වයලීනයක් අරගෙන දීමට කැප කළ ඒ.ටී. දයාරත්න (පියා) මාතර ශ්‍රී මධුර ආයතනයෙන් මිල දී ගත් වයලීනය දියණියගේ දෑතේ තැබුවේ ය.
දියණියගේ සමත්කම් ඇසූ මාතර ශ‍්‍රී මධුර සංගීත භාණ්ඩ ආයතනයේ අධිපතිවරයා සෞම්‍යා දියණියට තබ්ලාවක් තෑගි කළේය. ඇයගේ සිහිනවලට තටු ලැබෙන්නට පටන් ගත්තේය.

2015 වසරේ ප‍්‍රථම වරට පැවැති ආබාධිත රාජ්‍ය කලා උළෙලේ දී ශාස්ත්‍රීය වාදන (වයලීන) දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකර ගත්තේ ඒ.ටී. අරුණෝදනී සෞම්‍යා දියණියයි. ඊට අමතරව ඇය නියෝජනය කළ සරල ගී සමූහ සහ ජන ගී සමූහ යන අංශ දෙකින්ම ප්‍රථම ස්ථානය මාතර රෝහණ විශේෂ පාසලට දිනා දීමට ඇය සමත් වූවාය.

ගායිකාව, නායිකාව, පුහුණුකාරිය

වයලීනය, තබ්ලාව,  ඕගනය, සර්පිනාව සහ බටනලාව යන සංගීත භාණ්ඩ මෘදු ඇඟිලි තුඩුවලින් කම්පනය කරවා විශ්ව භාෂාව ඉගෙන ගන්නා ඇය මේ දිනවල ප්‍රංශ භාෂාව හදාරමින් සිටින්නීය. ඊට අමතරව දෙවිනුවර ස්වශක්ති ආබාධිත සමූහය එක්ව පිහිටවූ ‘මියුරු සත්සර’ සංගීත කණ්ඩායමේ පුහුණු කාරිය වන මේ දියණිය එහි නායිකාව ද වන්නීය. ඇස් නොපෙනෙන අයටත් ඇස් හොඳින් පෙනෙන අයටත් ගුරුවරියක වූ මේ දාහතර හැවිරිදි දියණිය භාත්ඛණ්ඩ  විශාරද වයලීන වාදන පාඨමාලාව හදාරමින් සිටින්නීය. ඇගේ අපේක්ෂාව සංගීතයෙහි නිපුණ ගුරුවරියක වී ඇය වැනිම තවත් දහස් ගණනකගේ දෑස් පෑදීමය.

ඇගේ සහෝදරියත් සහෝදරයාත් මවත් එක් වූ විට නිවසේ සාලයේ ඇත්තේ පැදුරු සාජ්ජයකි.
ඇගේ සහෝදරියත් සහෝදරයාත් මවත් එක් වූ විට නිවසේ සාලයේ ඇත්තේ පැදුරු සාජ්ජයකි.

සංගීත විෂය තවදුරටත් හැදෑරීම සඳහා සර්පිනාවක් තමන් සතු කරගැනීමට ඇය ආසාවෙන් සිටින්නීය. එහෙත් ඒ සඳහා වන මුදල දැරීමට මවට හෝ පියාට හැකියාවක් නැත. ගයන වයන මේ දියණිය තනු නිර්මාණයෙහි යෙදීම ද විශේෂත්වයකි.  ඒ සඳහා ඇයලත් සහතික, පදක්කම් සහ කුසලාන පැදුරක් පිරෙන්නට ඇත්තේය.
දියණියගේ මේ හපන්කම් නිසාම ඇගේ පියා ද සංගීතය ඉගෙන ගන්නට පටන් ගත්තේය. සෞම්‍යා වයලීනය පිරිමැද ගීත ගායනා කරන විට ඩොලැක්කිය ගෙන පියා ද අත්වැල් ගායනයට එක් වන්නේය. ඇගේ සහෝදරියත් සහෝදරයාත් මවත් එක් වූ විට නිවසේ සාලයේ ඇත්තේ පැදුරු සාජ්ජයකි.