Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පොඩි මිනිසුන්ගේ-ලොකු වැඩට අත දෙන
අරමුදල් රැස්කිරීමේ උත්සවය

මහේශාඛ්‍ය බැංකු අභිමුව සිය සුදුසුකම් පෙන්වීමට අපොහොසත් වන ශ‍්‍රී ලාංකීය ගම් වැසියන්ගෙන් බොහෝ දෙනෙක් මූල්‍ය අවශ්‍යතාවලදී තමන්ට සමීප විය හැකි විකල්ප මාර්ග සොයා යති. මේ උතුරේ ග‍්‍රාමීය ජනතාව අතර ප‍්‍රචලිත එවැනි අපූරු ක‍්‍රමවේදයකි.

22.11.2016  |  
යාපනය දිස්ත්‍රික්කය

ශ‍්‍රී ලංකාවේ බැංකු, තමන්ට ඉතා සෞම්‍ය හදවත් ඇතැයි දැන්වීම් මාර්ගයෙන් නිරතුරුව සිහිපත් කළද ඒ ගැන වැඩි තැකීමක් නොකරන පිරිසක්ද සිටිති. ඒ ණය දීමේදී බැංකු විසින් සලකා බලන සුදුසුකම් අහිමි ග‍්‍රාමීය ජනයාය. ඔවුන් ඒ වෙනුවට මූල්‍ය අවශ්‍යතා සඳහා තමන්ගේම ක‍්‍රම සොයාගනිති. ‘ප‍්‍රජා ණය ක‍්‍රමයක්’ ලෙස හඳුනාගත හැකි ‘අරමුදල් රැස් කිරීමේ උත්සවය’ ශ‍්‍රී ලංකාවේ උතුරු පළාතේ කුඩා ගම්මානවල කලක සිට ක‍්‍රියාත්මක වන, එවැනි  ජනප‍්‍රිය ක‍්‍රමවේදයකි.

එය ඉතා සරලය. එක් ගම්වැසියෙක් උත්සවයක් පවත්වන අතර ඊට සහභාගී වන ප‍්‍රදේශවාසීන් ඔහුට මුදලින් ආධාර කරයි. අනිත් අය පවත්වන එවැනි උත්සවවලදී ඔහු ඒ මුදල පොලියද සමඟ ආපසු දිය යුතුය.

ඇරයුම්පත

මේ සඳහා කෙරෙන ආරාධනාවද ඉතා සරල එකකි. ”අසවල් දිනයේ අප නිවසේදී පවත්වන උත්සවය සඳහා ඔබට සාදරයෙන් ඇරයුම් කරමු.” වෙනත් වචනවලින් කියන්නේ නම් එය සම්මත ආරාධනාවකි. එහෙත් එහි එක් අමුතු වාක්‍යයක් තිබීමට පුළුවන. උදාහරණයක් ලෙස, එම නිවසේදීම 1998 වසරේදී උත්සවයකට සහභාගී නොවූ අයගේ පැමිණීම තහවුරු කරන ලෙසට ඉල්ලා සිටිනු ඇත. බොහෝ විට ආරාධනාපත‍්‍රයේ මුදල් ප‍්‍රමාණයක්ද ලියා තිබෙනු ඇත.

එසේ වන්නේ මෙම ආරාධනාව, නිකම්ම උත්සවයක් සඳහා නොව, ”අරමුදල් රැස්කිරීමේ උත්සවයක්” සඳහා වන බැවිනි. එක් අතකින් බැලූ විට මෙය අමුතු දෙයක් නොවේ. මගුල්තුලා වැනි අවස්ථා වලදීද සැලකිය යුතු මුදලක් දීම අත්‍යවශ්‍ය කාරණයක් බව නොදන්නේ කව්ද? වෙනසකට ඇත්තේ මෙතැනදී ඒ බව කෙළින්ම ප‍්‍රකාශ වීමයි.

විවාහ මංගල උත්සවයකදී මෙන්ම විශේෂයෙන් සරසන ලද කුටියක් තුළ ආහාරපාන පිළිගන්වනු ලැබේ. ආගන්තුක සත්කාර කරන්නාගේ ගමේ අසල්වාසීන් මෙන්ම ආසන්න වෙනත් ගම්මානවලින් සහභාගී වන අයද ඇතුළුව 100-200ක් අතර පිරිසක් ඊට සහභාගී වෙති. ඒ හැම දෙනෙක්ම කිසියම් නිශ්චිත මුදලක් උත්සවයේ ආගන්තුක සත්තාර කරන්නාට දීමට රැගෙන එනු ඇතැයි අපේක්ෂා කරයි.

ක‍්‍රමවේදය

මෙහිදී ක‍්‍රියාත්මක වන ක‍්‍රමවේදය සරල නමුත් විධිමත්ය. උදාහරණයක් ලෙස, උත්සවයට පැමිණෙන්නෙක් ආරාධිතයාට දීම සඳහා ශ‍්‍රී ලංකා රුපියල් 1000ක් රැගෙන ආ හැකිය. අනාගතයේදී ඒ අමුත්තා විසින් තමන් සඳහා අරමුදල් රැස් කිරීමේ උත්සවයක් පවත්වන විට, මෙකී ආරාධිතයා රුපියල් 1000ක මුදල පොලියද සමඟ, බොහෝ විට එම මුදලේ අගය මෙන් දෙගුණයක මුදලක්, ආපසු දෙනු ඇතැයි අපේක්ෂා කරයි. එම උත්සවයට පැමිණෙන්නා ඉන් පසුව තවත් අරමුදල් රැස් කිරීමේ උත්සවයකට යන විට එම අරමුදල් රැස් කිරීමේ උත්සවයේ සංවිධායක වෙත රුපියල් 2000ක මුදල පොළිය ද සමඟ ආපසු දීමට ඔහු සූදානම් විය යුතුය.

මහා සාගරයක් හැදෙන්නේ කුඩා බිංදු රාශියක් එකතු වීමෙන් යැයි පැරණි කියමනක් තිබේ. මෙම ප‍්‍රජාවගේ අරමුදල් රැස් කිරීමේ යෝජනා ක‍්‍රමයද එබඳුය. මෙයට පෙර කිසිදා බැංකු ගිණුමක් හෝ නොතිබුණු ගම්වැසියන් මුදල් නෝට්ටු මිටි සහ ආරක්ෂාව සඳහා පිරිසද සමඟ ගිණුම් විවෘත කිරීමට බැංකු කරා පැමිණෙන අයුරු අපූරු දර්ශනයකි.

ජයගත්තෝ

”මේ වන විට මම අරමුදල් රැස් කිරීමේ උත්සව නවයක් පවත්වා තිබෙනවා”, යැයි කොට්ටුවට්ටි ගම්මානයේ පදිංචිකරුවෙක් වන සෙල්ලන් වීරපතිරන්, (67) පැවසුවේය. ”මේකෙන් මම මගේ තාත්තගේ ණය ඔක්කොම ගෙවා දැම්මා. ගේ හදාගත්තෙ, මගේ දරුවන්ගෙ මගුල් තුලා සේරටම වියදම් සොයාගත්තෙ, දරුවො පිටරටවල ඇරියෙ, මේකෙන්ම තමයි.”

මේ සම්ප‍්‍රදාය අද ඊයේ ඇති වූ එකක් නොවේ. වීරපතිරන්ගේ පළමු අරමුදල් රැස් කිරීමේ උත්සවය පැවැත්වී ඇත්තේ 1969 තරම් ඈතකදීය. ඔහු පවසන ආකාරයට මෙවැනි උත්සව පරම්පරා ගණනාවක් තිස්සේ සිදු කර ඇති අතර ඔහුගේ මාපියන් ළිඳක් කැපීම සඳහා ගත් පැරණි ණයක් ආපසු ගෙවා දැමීමටද ඔහුට හැකි වී තිබේ.

සිය දියණිවරුන්ගේ දෑවැද්ද එකතු කිරීම වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ උත්සවයක් පැවැත්වූ ප‍්‍රදේශයේ කාන්තාවක් පිළිබඳවද ඔහු අපට පැවසුවේය. ඇයට රුපියල් ලක්ෂ 16ක් පමණ එකතු කර ගැනීමට හැකි වූ අතර දියණිවරුන් දෙදෙනෙක් විවාහ කර දීමට හැකි විය.

ලෙජර් පොත

ඕනෑම අරමුදල් රැස් කිරීමේ උත්සවයකදී, සිදු වන ගනුදෙනු පිළිබඳව වාර්තාවක් පවත්වාගෙන යනු ලැබේ. දුන් මුදල් ප‍්‍රමාණයන් පිළිබඳව විශේෂ ලෙජරයක ලැයිස්තුගත කරන අතර කිසියම් පුද්ගලයෙක් පසුව වෙනත් අරමුදල් රැස් කිරීමේ උත්සවයකට සහභාගී වන්නේ නම් ඔහුට කොපමණ මුදලක් ආපසු දිය යුතුද යන්න පිළිබඳව ඔහුව දැනුවත් කරනු ලැබේ.


”අවංකකම තමයි වැදගත්ම දේ” වීරපතිරන් කියයි. ” ඕනෑම අරමුදල් එක්රැස් කිරීමේ උත්සවයකදී මුදල් දෙගුණ කරල ආපහු දෙන්න  ඕන. ඇතැම් පුද්ගලයින්ට මේක කරන්න බැරි වෙනවා. හිතාමතාම මුදල් ගෙවීම පැහැරහරින අයත් ඉන්නවා”

ප‍්‍රජා අරමුදලෙන් ණයට ගත් මුදල් ආපසු ගෙවීමට කිසියම් පුද්ගලයෙකුට නොහැකි වන්නේ නම් ඔවුන්ට වෙනත් කුඩා උත්සවයකට ආරාධනා කරනු ලැබේ. මෙම උත්සවයේ දීද ආහාර පාන තිබෙන නමුත් උත්සවය ඉතා කෙටි වන අතර ආරාධනාවෙන් සිදු කරන්නේ අදාළ මුදල් ගෙවීම පැහැරහරින්නාට එම උත්සවයට පැමිණ අදාළ මුදල ආපසු ගෙවන ලෙසට ඉල්ලා සිටීමයි. එය පොදු සම්මුතියකි.

කිසියම් තැනැත්තෙකුට මුදල් අවශ්‍ය වූ  ඕනෑම වේලාවකදී අරමුදල් රැස් කිරීමේ උත්සවයක් පැවැත්විය නොහැකිය. යම් පුද්ගලයෙකුට එවැනි උත්සවයක් පැවැත්විය හැක්කේ සෑම වසර පහකට වරක් පමණකි.

පොඩි මිනිසුන් අතර 

මෙබඳු උත්සව පවත්වන බොහෝ දෙනෙක් ගොවියන්, කම්කරුවන්, පෙදරේරුවන් හෝ සුළු වෙළෙන්දන් වැනි අයයි. ඊට ඉහළ මට්ටමේ සිවිල් තත්ත්වයක් සහිත රැකියාවල නිරත අය එවැනි අරමුදල් රැස් කිරීමේ උත්සව පවත්වන්නේ කලාතුරකිනි. එමෙන්ම මෙම උත්සව වැඩි වශයෙන් පවත්වනු ලබන්නේ මැයි, ජුනි හා ජුලි මාසවලදීය.

/Panavaravu 5

උත්සව රාත‍්‍රී 10.30 පමණ වන තෙක් පවත් වන අතර සියලූම අරමුදල් එකතු කරන තෙක් අමුත්තන් ආපසු යන්නේ නැත. පිරිස විසර යෑමට පෙර, එක් රැස් වූ මුළු මුදල් ප‍්‍රමාණය සියල්ලන්ටම නිවේදනය කරනු ලැබේ.

කිසියම් කාලසීමාවකට පසුව ණය චක‍්‍රයෙන් ඉවත්වීමටද හැකිය. එක් පවුලක් වීරපතිරන් වෙත සටහනකින් ලියා ඇති ආකාරයට, ”2008 වසරේ උත්සවයේ සිට ආපසු දිය යුතු ණය පිළිගන්නා නමුත් අලූත් ත්‍යාග නොදිය යුතුය”.

මෙම සරල ප‍්‍රජා මූලික ණය හා පොලී ක‍්‍රමයෙන් බොහෝ පිරිසක් මුදල් අවශ්‍යතා සපුරාගනිති. එය ගම්වැසියන්ට ඔවුන්ගේ නිවාස හා ව්‍යාපාර ගොඩනඟා ගැනීමට උපකාර වී ඇත. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් වූ බොහෝ ගම්වැසියන් සහ සියලූ දේ අහිමි වූවන් පවසන්නේ මෙම ක‍්‍රමය හේතුවෙන් ඔවුන්ට සිය වැඩකටයුතු නැවත ආරම්භ කිරීමටත් අභිමානයෙන් ජීවත්වීමටත් හැකි වී ඇති බවයි.