Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සතියේ කතාබහ:
ආණ්ඩුව යහපත් දේ කළා නම් ඒ තමන්ගේ වුවමනාවෙන් නෙවෙයි

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, වත්මන් රජය බලයට පත් කිරීම සදහා ප්‍රබල මතවාදී දායකත්වයක් සැපයූවෙකි. ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළ මෙන්ම රටේ දේශපාලන හා සමාජයීය තත්ත්වයන් මේ සාකච්ඡාවට නිමිති වෙයි.

28.12.2016  |  
කොළඹ දිස්ත්‍රික්කය
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

සංහිඳියාව පිළිබඳ අදහස, ඇත්තටම රටේ අද ක්‍රියාත්මක වෙනවද?

සංහිඳියාව කියන වචනය පාවිච්චි කරලා කරන දේවල් ටිකක් තිබෙනවා. ප්‍රශ්නය තියෙන්නෙ, එම කටයුතු මගින් සංහිඳියාව ඇති කිරීමේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්ද කියන එක. එය තරමක් පුළුල්ව කතා කළ යුතු දෙයක්. ඒ පිළිබඳව වැඩ කරන අයට සංහිඳියාව පිළිබඳව බැරෑරුම් අදහසක් තියෙනවා කියලා මට පේන්නෙ නැහැ.

සංහිඳියාව ඇති කර ගැනීම හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. මූලික වශයෙන්ම මෙහි තිබෙන්නෙ සිංහල සහ දෙමළ කියන සමාජ දෙක අතර රටේ දේශපාලන සැකැස්ම පිළිබඳ යම් කිසි එකඟතාවයකට ඇවිල්ලා එම දේශපාලන සැකැස්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ අභියෝගයයි. එවැනි දෙයක් කරන විට මුහුණ දෙන මූලික ව්‍යුහාත්මක බාධක තියෙනවා. සරලව කියනවා නම් උතුරේ තියෙන දෙමළ දේශපාලන විඥානයත් දකුණේ සිංහල බෞද්ධ දේශපාලන විඥානයත් එම සමාජවල තහවුරු වෙලා තියෙන්නෙම එකිනෙකාට ප‍්‍රතිවිරුද්ධවයි. සිංහල බෞද්ධ දේශපාලන විඥානය තමයි මූලික වශයෙන්ම දකුණේ දේශපාලනය හසුරුවන්නෙ. මොන ආණ්ඩුව, මොන පක්ෂය බලයේ සිටියත්, එම අදහස් පද්ධතිය තමයි තීරණාත්මක වෙලා තියෙන්නෙ. ඒකට විරුද්ධව යන අයට සෑහෙන ප්‍රතිවිපාකවලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ අයට ජනප්‍රිය වෙන්න බැහැ. මහජනයා ගේ ඡන්ද ගන්න ලෙහෙසි නැහැ.

උතුරේ ඒකෙ අනිත් පැත්ත. දෙමළ ජාතිකවාදය මුල් කරගත්ත අදහස්වලට තමයි එහේ තහවුරු වෙන්න හැකියාව තියෙන්නෙ. මේ දෙක තියෙන්නෙ එකිනෙකාට පරස්පරවයි. දෙමළ ජනයාගේ ඉල්ලීම් පිළිබඳව ඉතාම අවම මට්ටමකින් හරි සංවේදී වුණොත් ඒකට විශාල විරෝධයක් දකුණේ සිංහල බෞද්ධ ජාතිකවාදයෙන් එනවා. එහි අනිත පැත්ත තමයි දකුණේ සිංහල ජාතිවාදයට පිළිගන්න පුළුවන් විකල්ප උතුර පිළිගන්නෙ නැහැ. එම නිසා මේ දෙක අතර තියෙන්නෙ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරී සම්බන්ධයක්. (mutually exclusive relation ship).

සංහිඳියාව කියන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මා සුබවාදී අදහසක නෑ

උතුරේ අය පෙඩරල් ක්‍රමයක් ගැන කතා කරනවා. රාජ්‍ය සකස් වෙන්න  ඕනෙ ඒකීය රාජ්‍ය ක්‍රමයට කියලයි දකුණේ අය කියන්නෙ. මේ දෙක එකිනෙකට පරස්පරයි. මේ දෙක අතර සහජීවනයක් හෝ සංහිදියාවක් ඇති වෙන්න බැහැ. මැද තැනක් කියලා කතා කරනවා නම් කියන්න වෙන්නෙ උතුරේ අය පෙඩරල් අත් හරින්න  ඕනෙ. දකුණේ අය ඒකීය අත් හරින්න  ඕනෙ කියලා. ඒ දෙක වෙන්නෙ නැහැ. උතුරේ අය කියනවා ඒගොල්ලො පෙඩරල් රාජ්‍ය කියන තැනට ඇවිල්ලා ඉන්නෙ වෙනම රාජ්‍යයක් කියන අදහස අත් හැරලා. ඒ නිසා එතැනින් තවත් මෙහාට එන්න බැහැ කියලා. මෙහෙන් කියනවා ඒකීය රාජ්‍ය සංකල්පය අත්හැරියොත් බෙදුම්වාදයට මග පාදනවා කියලා. දෙගොල්ලන්ටම මුකුත් කරගන්න බැහැ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

සංහිඳියාව ගැන කතා කරනවා නම් අපි මේ තත්ත්වය මුලින්ම අවබෝධ කර ගත යුතු වෙනවා. මේ ගැටය ලිහන්නෙ කොහොමද එහෙමත් නැත්නම් මේ ගැටය බයිපාස් කරන්නෙ කොහොමද කියලා සිතා බැලිය යුතු වෙනවා. ඒ අන්දමින් උපාය මාර්ගිකව කතා කරලා ප්‍රවේශයක් හදා ගත යුතු වෙනවා. ඒ වගෙ ප‍්‍රවේශයක් දැනට දකින්න නැහැ. එම නිසා සංහිඳියාව කියන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මා සුබවාදී අදහසක නැහැ. ඊට අදාළව යම් යම් දේවල් මාත් කරනවා. කරන දේවල්වලටත් සම්බන්ධ වෙනවා. එම නිසා මුකුත් නොකර නිකන් ඉන්න ඕනෙ කියලා මා කියන්නෙත් නැහැ. ඒ අතරම අපි කරන දේවල්වල ඵලදායිතාව, බලපෑම් සහගතභාවය අපි බලන්න ඕනෙ.

එහෙ 13 ප්ලස් කියද්දී මෙහෙ 13 මයිනස් කියනවා

උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රධානතම නියෝජිතයා වශයෙන් සැලකෙන්නෙ දෙමළ ජාතික සන්ධානයයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියේ ජාතික ප්‍රශ්නයට විසඳුම් වශයෙන් 13 ප්ලස් යෝජනාව සඳහා දෙමළ ජාතික සන්ධානය එකඟයි. එය යහපත් ප්‍රවණතාවක් නෙවෙයිද?

මෙහිදී මට පිළිගන්න දෙයක් නැහැ. මගේ අදහස තමයි මහජනයාගේ ගැටලු කියන ඒවාට පෙඩරල් හෝ ඒකීයවලින් විසඳුම් නැහැ. ප්‍රශ්නය ඊට වැඩිය එහාට ගිය එකක්. දේශපාලනයේදී වෛද්‍ය විද්‍යාව වගේ බැහැ. වෛද්‍ය විද්‍යාවේදී ලෙඩාට බෙහෙතක් කරන කොට අපි ලෙඩාගෙ මතය විමසන්නෙ නැහැනෙ. ලෙඩාගෙ කැමැත්ත බැලූවත් ලෙඩා ඉල්ලන බෙහෙත නෙවෙයි අපි දෙන්නෙ. වෛද්‍ය ශාස්ත්‍රානුකූලව හරියන බෙහෙත. දේශපාලනයේදී එහෙම හරියන්නෙ නැහැ. ප‍්‍රශ්නයට මැදිහත් වෙලා ඉන්න අය එය පිළිගත යුතු වෙනවා. මේ ප්‍රශ්නයේදී එන විසඳුමට දෙපාර්ශ්වයම කැමති වෙන්න  ඕනේ. එහෙම නැති නම් පවතින්න බැහැ. 13 ප්ලස් සඳහා දෙමළ ජාතික සන්ධානය ඇතුළු සමාජය තුළ පිළිගැනීමක් තිබුණත් ඒ සඳහා සිංහල සමාජය තුළ පිළිගැනීමක් නැහැ. 13ප්ලස් නෙවෙයි දහතුනවත් පිළිගන්නෙ නැහැනෙ. ඉඩම් සහ පොලිස් බලතල දෙන එකටත් විරුද්ධයි. එහෙ 13ප්ලස් කියද්දී මෙහෙ 13 මයිනස් කියනවා.

ප්‍රධාන පකෂ දෙක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා. තම තමන්ගෙ පක්ෂ අන්‍යෝන්‍යතා ප්‍රතිපත්ති එක්ක වැඩ කරන තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නෙ. එවිට මේ සංහිඳියාව කියන මූලික අදහසට හානි වෙනවා නේද?

ප්‍රධාන පක්ෂ දෙක එකඟ වුණා කිව්වට එහෙම දෙයකුත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැලූවොත් ඇත්තටම එහි බලය තියෙන්නෙ මහින්ද රාජපක්ෂ ගේ කඳවුරට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ සහ පහළ පෙළේ යම් යම් පිරිස් රාජ්‍ය බලය තිබෙන නිසා සහ පක්ෂයේ නිල යාන්ත්‍රණය මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙ පැත්තට තියෙන නිසා ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජනයා බලමුළු ගැන්වීමේ හැකියාව තියෙන්නෙ මහින්ද රාජපක්ෂ කඳවුරට. අපි කැමති වුණත් නැති වුණත් ඇත්ත ඒකයි. මැතිවරණයකට ගියොත් මහින්ද රාජපක්ෂ කණ්ඩායමට තමයි අති බහුතරයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලැබෙන්නෙ. මෙය පක්ෂ දෙක අතර එකඟතාවක් කියලා සම්පූර්ණයෙන් සලකන්න බැහැ. ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන රැස්වීම් දිහා බලද්දී පේනවා ඒගොල්ලන්ට වැඩි ආකර්ෂණයක් තියෙනවා. ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ගත්තත් ඒ අය අතරත් පරස්පරතා තියෙනවා. මේක ඇත්තටම සංහිඳියාවක් නෙවෙයි ජාතික ආණ්ඩුව ඒකාබද්ධතා ආණ්ඩුව කියලා හඳුන්වන ඒවා බොරු කතා. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය කරන්නෙ කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයින් කරලා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බලාගෙන ඉන්නෙ තමන්ගේ අවස්ථාව එන කල්. 2007 ජනාධිපතිවරණයෙන් පසුව ඇති වූ සුවිශේෂ දේශපාලන වාතාවරණයක් තියෙනවා. ඒ දේශපාලන වාතාවරණය නිසා ඇති වෙච්ච යම් කිසි තත්ත්වයක් මිසක් සංහිඳියා ආණ්ඩුවක් හැදීමක් නෙවෙයි. බලය පවත්වාගෙන යෑම සඳහා තාවකාලිකව ඇති වූ දෙයක්.

මේ ආණ්ඩුවට පැවැත්මක් තියෙනවද?

දේශපාලනයේදී අපිට පුරෝකථන කරන්න බැහැ. එහෙම ලොකු වෙනසක් වෙන්න තියෙන ඉඩ දැනට අඩුයි. ලොකු වෙනසක් වෙනවා නම් ඒ රාජපක්‍ෂ කඳවුර ශක්තිමත් වෙලා ඒගොල්ලො බලය අල්ලා ගැනීම වැනි දෙයක්නේ. ඒක වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි අගමැතිවරයාගේ පාර්ශ්වය සහ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතර පොඩි කඹ ඇදිල්ල සහ එවැනි ආතතියක් වර්ධනය වෙමින් තිබෙනවා. ඒක කොයි පැත්තට වර්ධනය වෙයිද කියලා අපිට කියන්න බැහැ. මෙය සමාන්‍ය තත්ත්වයක් නොවන නිසා සාධක කොහොම ක්‍රියා කරයිද කියන එක දැන්ම කියන්න අමාරුයි.

ප්‍රධාන නායකයන්ගේ හඬම තමයි පහළ සිටින ජනතා තියෝජිතයන්ගෙන් මතු වෙන්නෙත්. මෙසේ බලන විට නායකයන් දෙදෙනා තුළම එකඟතාවක් නැති බවක් පේනවා නේද?

කොහොමටත් එහෙම එකඟතාවක් නැහැ. මතු පිටින් එවැනි දෙයක් පෙන්නුවට දෙදෙනාගේ විශාල මත වෙනස්කම් තිබෙනවා. නමුත් ඒ දෙගොල්ලන්ටම මේ සන්ධානය පවත්වාගෙන යන එකත් අවශ්‍යයි. එක්සත් ජාතික පක්‍ෂයටත් එය අවශ්‍යයි. මෛත්‍රීපාල මහත්තයාගේ පාර්ශ්වයටත් පක්‍ෂයේ ආධිපත්‍යයක් සම්පූර්ණයෙන්ම නැති නිසා මේ සන්ධානය ඇතුළේමයි එයාටත් යන්න වෙන්නෙ. දෙපාර්ශ්වයටම මේ සන්ධානය පවත්වාගෙන යන්න උපක්‍රමික හේතු තියෙනවා.

මේ ආණ්ඩුව ක්‍රෙඩිට් එකක් ගන්න කිසිම දෙයක් කරලා නැහැ

පහුගිය කාලයේ සිටි සමහර අපරාධකරුවන් සහ දූෂිතයන් ආරක්‍ෂා කිරීමත් විරුද්ධවාදීන්ට පමණක් නීතිය ක්‍රියාත්මක වීමත් නිසා යහපාලනය කිව්වට මේ ආණ්ඩුවේ ඇති යහපාලනයක් නැහැ කියලා හුඟ දෙනෙක් කියනවා. මේ තත්ත්වය ඔබ කොහොමද දකින්නේ?

යහපාලනය කියන වචනය මා කිසිම වෙලාවක පාවිච්චි කරන්නේ නැහැ. යහපත් ආණ්ඩුකරණය (Good Governance) කියන එක තමයි තරමක් හෝ ගැළපෙන්නේ. ඒක ප්‍රධාන තේමාවක් වෙන්න  ඕනේ. ආණ්ඩුවේ යහපත් දේවල් තියෙනවා නම්, ඒවා ආණ්ඩුව වුවමනාවෙන් කරපු දේවල් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ වගේ දේශපාලන පරිවර්තනයක් වෙච්ච ගමන්ම ඇති වන වෙනසක් තියෙනවා.

රටේ අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරය එහෙම පුළුල් වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ ආණ්ඩුවට ඒ පිළිබඳව කැපවීමක් තියෙන නිසා හෝ හිතලා බලලා කටයුතු කර තිබෙන නිසා නෙවෙයි. ඒක පරිවර්තනය විසින්ම ඇති කළ තත්ත්වයක්. ආණ්ඩුව හිතාමතා කරපු දේවල් විදිහට තියෙන්නෙ බොහොම නිෂේධාත්මක දේවල්. එම නිසා මේ ආණ්ඩුව ක්‍රෙඩිට් එකක් ගන්න කිසිම දෙයක් කරලා නැහැ.

තොරතුරු දැනගැනීමේ පනත වැනි, සම්මත කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පනත් වුණත් තියෙන්නේ බොහොම කප්පාදු කරපු මට්ටමින්. කියන තරම්ම විශිෂ්ට ගණයේ ඒවා නෙවෙයි. බෙහෙත් මිල අඩු කළා කියන එකේ විශාල බොරු වගයක් තියෙනවා. රටේ බෙහෙත් මිල ප‍්‍රශ්නය ගැන දැනුම්වත් කරන්න මුදල් වියදම් කරන්නේ නැතිව, බෙහෙත් මිල අඩු කිරීම පිළිබඳව දැන්වීම් හදලා කයිවාරු ගහන්න විශාල මුදලක් වැය කරනවා. එය මොන තරම් තිරශ්චීන ප‍්‍රතිපත්තියක්ද? සෞඛ්‍ය සේවය සඳහා වැය කරන්න තියෙන මුදල් තමන්ගේ කයිවාරුව සඳහා පාවිච්චි කරන එක සහ ගහන අපරාධයක්. ඒවා තමයි ආණ්ඩුව හිතාමතා කරන දේවල්. ජී.එස්.පී. ප්ලස් අරගන්න, ජීනිවාවල ඇති වන තත්ත්වය වළක්වගන්න යම් යම් දේවල් කරනවා. එහෙම නැතිව අපි යහපත් දේ වෙනුවෙන් පෙනී සිටින්න  ඕන කියන ආණ්ඩුවේ යහපත් අභිලාෂය නිසා කරපු දේවල් කියලා පේන්න කිසිම දෙයක් නැහැ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ආණ්ඩුව බලයට පත් වෙද්දී දුන් ප‍්‍රබල පොරොන්දුවක්. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන කාරණය බලතල සංශෝධනයක් දක්වා පසුබැසීම ඔබ දකින්නේ කොහොමද?

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට වන මතයක් රට තුළ හැදුණා. මේකෙ ඉන්න අයත් තමන්ට  ඕන විදිහට එම මතය අර්ථකථනය කරගෙන තියෙනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම තුළ අගමැතිවරයා ඇතුළු සුපිරි අමාත්‍යාංශය ශක්තිමත් කරන්න යනවා. බලය වෙනත් ආකාරයකින් සංකේන්ද්‍රණය කර ගැනීමක් තමයි ඉන් සිදු වෙන්නේ. මා හිතන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන සටන් පාඨයත් එක්ක ගන්න  ඕනේ එහි පිටුපස තිබෙන අදහස. බලය පුද්ගලයෙකු අත කේන්ද්‍රගත වීමේ ප‍්‍රවනතාව තුළ තිබෙන භයානකකම නැති කිරීම සඳහායි කටයුතු කළ යුතු වෙන්නේ.

අධ්‍යාපනය ගැන අපි කළ සාකච්ඡාවේදී දළ දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන්න කියලා අපි කිව්වම එහි පිටුපස අධ්‍යාපනයට දිය යුතු ප්‍රමුඛත්වය පිළිබඳව යම් කිසි අදහසක් තිබුණා. වාචික අර්ථයක් පමණක් නෙවෙයි. එහි අදහස ගන්නෙ නැතිව හුඟ දෙනෙක් ඉලක්කම අරගත්තා ඒ වගේ මෙතනත් ‘විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම’ කියන පාඨය ගත්තා මිසක් ඒ පසුපස තිබෙන සමස්ත අදහස සමාජය හෝ දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රය බාර අරගෙන නැහැ. එම පාඨය ඉදිරියට දමා ගනිමින් විධායක අගමැති ක‍්‍රමයක් ඇති කිරීම, සුපිරි අමාත්‍යාංශ වැනි දේවල් කි‍්‍රයාත්මක කරන්න යන්නෙ.

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණා ඇත්තටම උගුල්

සමාජයේ දේශපාලනික සවිඥානිකත්වය සඳහා වැඩ කරන්න  ඕනේ. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වලින් යම් යම් දේවල් කරන්න හැකියාවක් තිබුණා නම් එම කාලය ඉකුත් වී ඇති බවයි මගේ අදහස. ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව මගේ කිසිම උනන්දුවක් නැහැ. ආණ්ඩුවේ බලවත් අය මෙය පාවිච්චි කරන්නෙ, ඊනියා සිවිල් සමාජයේ සංවිධානවලට චුවින්ගම් එකක් වගේ සූප්පු කර කර ඉන්න දීලා තමන්ගේ වෙනත් වැඩ කරගන්න. හම්බන්තොට වරාය, මෙගා පොලිස් ආදි තමන්ට අවශ්‍ය දේවල් කර ගන්නවා. එවිට සිවිල් සංවිධාන, ‘මේ ආණ්ඩුව මෙහෙමයි. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා. අඩු තරමින් හොඳ ව්‍යවස්ථාවක් හදා ගත්තොත් අපිට ඒක ඇති’ කියලා අනිත් දේවල් ඉවසනවා. ඒක තමයි උගුල.

එම නිසා ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණාවලට මා කිසිම උනන්දුවක් නැහැ. ඇත්තටම ඒවා උගුල්. ඒවා පසුපස යන සිවිල් සමාජ කණ්ඩායම් කියන ඒවත් මම දකින්නේ ඒ උගුලේම පැටලුණු අය හැටියට.