Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දේශපාලන ව්‍යාපෘතිවලින්
සංහිඳියාව ඇති වෙන්නෙ නෑ

‘ජන කරළිය’ යනු ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා නාට්‍ය කලාව උපයෝගී කරගැනීම පිළිබඳ විශිෂ්ටාදර්ශයකි. මේ, එම නාට්‍ය කණ්ඩායමේ නියමුවා ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සමඟ කළ සාකච්ඡාවකි.

10.01.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය
පරාක්‍රම නිරිඇල්ල

හෙන්රි ජයසේනයන්ගේ ‘‘හුණුවටය’’ නාට්‍ය නිර්මාණය ජන කරළියේ නාට්‍යයක් ලෙස නැවත නිෂ්පාදනය කරන්න පෙලඹුණේ ඇයි?

හෙන්රි ජයසේන මහත්තයා හුණුවටයේ කතාව නිෂ්පාදන කරන්නේ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය පරිවර්තනයකින්. ඔහු කැමති වුණා ඒ නාට්‍ය ජන කරළියෙන් නිෂ්පාදනය කරනවාට. 2008දි අපි ගිවිසුමක් අස්සන් කරලා ඒ පිටපත අරගත්තා. 2013දි අපි එම නාට්‍ය නැවත නිෂ්පාදන කළා. ඒ කරද්දි අපි ක්‍රමයෙන් හෙන්රි ජයසේන මහතාගේ හුණුවටයේ පිටපත අත්හැරියා. මුල් පිටපත නැවත පරිවර්තනය කර වෙනම නිෂ්පාදනයක් ලෙස කළා. මොකද හුණුවටය කළ 1967 කාලේ අපේ රටේ  යුද්ධයක් හෝ යුද්ධයක අත්දැකීම් නොතිබුණු නිසා ජයසේන මහතා බ්‍රෙෂ්ට්ගේ මුල්පිටපතේ ඇති බොහෝ දේ අතහැර තිබුණා. අරගෙන තිබුණේ එහි සරල කතාව පමණයි. නමුත් බ්‍රෙෂ්ට්ගේ පිටපතේ මූලිකව සාකච්ඡා වී තිබුණේ යුදමය පරිසරයක්. අපි නිෂ්පාදනය කරන කොට අපිට යුද්ධය පිළිබඳ  ඕනෑතරම් අත්දැකීම් තිබුණා. ඒවා අරගෙන වෙනම නිෂ්පාදනයක් කළේ ඒ නිසයි.

හුණුවටය දෙමළ පරිවර්තනයක් ලෙස නිෂ්පාදනය වෙන්නෙ කොහොමද?

යාපනේ ඉන්නවා ප්‍රවීණ නාට්‍යකරුවෙක්. ආචාර්ය පුලන්දෛ එම්. ෂන්මුගලිංගම්. දෙමළ භාෂාවෙන් නාට්‍ය නිෂ්පාදනය කරන ලංකාවේ ඉන්න ප්‍රවීණතමයා ඔහුයි. මට දැනගන්න ලැබුණා ඔහු බටහිර නාට්‍ය පිටපත් කිහිපයක්ම පරිවර්තනය කරලා ලංකාවේ නාට්‍ය ඉගෙන ගන්න අයට හදාරන්න ඒ අත්පිටපත් යාපනය විශ්වවිද්‍යාලයට බාරදීලා එහි සුරක්ෂිතව තිබෙනවා කියලා. ඒ අතරේ හුණුවටයේ කතාවේ බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය පිටපතත් පරිවර්තනය කොට තිබෙන බව මට දැනගන්න ලැබුණා. මා කැමති වුණා එය දෙමළ භාෂාවෙන් නිෂ්පාදනය කරන්න. අපි යාපනේ ගිහින් නාට්‍ය වැඩමුළු මාලාවක් පැවැත්වුවා. එක් දින සහ දින තුන බැගින්. ඒවායින් දෙමළ තරුණ තරුණියන් 16 දෙනකු තෝරාගෙන ඒ අය ජන කරළියට සම්බන්ධ කළා. හුණුවටයේ නාට්‍යයේ ඇතුළත් දෑ ඒ අයගේ සමාජයට කොයිතරම් අදාළ වනවද කියන එක ඒ අය සමඟ සාකච්ඡා කළා. තරුණ තරුණියන්ගේ අත්දැකීම් ඉතා ප්‍රබල ලෙස නාට්‍යයට අදාළ වුණා. දෙමළ හුණුවටය  නිෂ්පාදනය වුණේ ඒ විදියටයි.

දෙමළ නිෂ්පාදනයට  ජනතාවගෙන් ලැබුණේ කෙබඳු ප්‍රතිචාරයක්ද?

ඉස්සෙල්ලාම යාපනේ වීරසිංහම් ශාලාවේ පෙන්නුවා. පසුව කොළඹ සහ රුහුණු විශ්වවිද්‍යාලවල පෙන්නුවා. පසුව මඩකලපුව, වවුනියාව, කිලිනොච්චිවල රඟ දැක්වුවා. හොඳ ප්‍රතිචාරයක් තිබුණා. මං හිතන්නේ මෑතකදී විචාර ලිපි වැඩිම ප්‍රමාණයක් ලියැවුණු නාට්‍යයක්. අද වෙනකොට අවශ්‍යවෙලා තියන සමාජ ඒකාබද්ධතාව නාට්‍ය කලාව උපයෝගි කරගෙන ප්‍රවර්ධනය කරන්නේ කොහොමද කියන එකට හොඳ නිදර්ශනයක් ජනකරළියෙන් සපයලා තියනවා.

යුක්තිය සහ යුද්ධය පිළිබඳ බ්‍රෙෂ්ට්ගේ ප්‍රකාශනය මොකක්ද?

යුක්තිය පිළිබඳ කාරණාවට වැඩිය බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයේ තියෙන්නේ මනුෂ්‍යත්වය කියන කාරණයයි. එක තේමාවක් තුළ සිද්ධි ගණනාවක් සහ අර්ථ දැක්වීම් ගණනාවක් මතුවිය හැකියි. මෙතනදි මතු කෙරෙන්නේ මහ පොළොවේ අයිතිය. එයට උපමාවක් විදිහට තමයි දරුවාගේ අයිතිය පිළිබඳ සිදුවීම ඇතුළත් වෙන්නේ. යුද පෙරමුණට ගිය, ගොවිපළ දෙකක ගොවින් අතර එම ගොවිපළවල් නැවත පිහිටුවීම සම්බන්ධයෙන් ඇති වන විවාදයක් සමනය කිරීමට පෙන්වන නාට්‍යයක් හැටියටයි බ්‍රෙෂ්ට් මෙම නාට්‍යය ගොඩනගන්නේ.

/parakrama2

යාපනයේ යුද්ධයේ අත්දැකීම් මේ කතාවට සමපාත වෙන්නෙ කොහොමද?

මේක ඇතුළේ ගෲෂාට ළමයා ගෙනයන්න හේතු වෙන්නේ යුදමය පසුබිමක්. ගෲෂාව කසාද බන්දලා දෙනවා මිනිහෙකුට. ඒ මිනිහා යුද්ධයට බැඳෙන්න තියන අකමැත්ත නිසා හොර ලෙඩ හදාගෙන ඉන්න මිනිහෙක්. හෙන්රි ජයසේන මහත්තයාගේ නාට්‍යයේ අපිට ඒක දැනෙන්නේ නැහැ. නමුත් ඒ මනුස්සයාගේ අම්මා කියනවානේ ‘‘අසුරු සේනාව ගේ ළඟින් යන සද්දය ඇහිලා මං පොඞ්ඩක් එළියට ගියා ඒක බලන්න. ගිහිල්ලා එනකොට ජොසප්පුවා ඇඳේ වැටිලා හිටියා. තව වෙනකම් එහෙම්මමයි’’ කියලා. එතකොට හිතන්න වෙනවා එනවුන්ස්මන්ට් එකක් ගිහිල්ලා තියනවා යුද්ධයට බඳවාගන්නවා කියලා. ඒකට තමයි අතුරු හමුදාව යන්නේ. ඒකෙන් බේරෙන්නට හොර ලෙඩ හදාගෙන අර මනුස්සයා ඉන්නවා. ඒ ඉන්න අතරේ තමයි මේ ගනුදෙනුව වෙන්නේ.

යුද්ධ කාලේ විවාහය කියන එකත් ගනුදෙනුවක්. අර මිනිහව කසාද බන්දලා දෙන්න ඒ මිනිහගේ අම්මා ගෲෂගේ අයියගෙන් සල්ලි අයකරනවා. මොකද මිනිහා මැරුණට පස්සේ ගෲෂා නිත්‍යානුකූල වැන්දඹුවක්. ඒත් යුද්ධය ඉවර වෙලා සාමය ඇවිල්ලා කියලා කතා වෙනකොට අර මිනිහ නැඟිටිනවා. මේක යුද්දෙ කාලේ යාපනේත් සිද්ධ වෙච්ච දෙයක්. එල්ටීටීඊ එකට බැඳෙන්න තියන අකමැත්ත නිසා සමහර තරුණයෝ ලෙඩ හදාගත්තා කියා කියනවා. සමහර ගෑනු ළමයි එල්ටීටීඊ එකට බන්දගන්නවට අකමැති මව්පියන් ඊට වඩා හොඳයි කියා වයසක මිනිස්සුන්ට බන්දලා දීලා තියනවා.

අනිත් එක ගෲෂා එනවා සහෝදරයගේ ගෙදරට. සහෝදරයා පිළිගන්න කැමති නැහැ. සහෝදරයගේ බිරිඳත් කැමති නැහැ. ඒකත් මෙහෙ වෙලා තියනවා. යාපනේ ඉඳලා යුද්ධයෙන් බේරෙන්න මෙහෙ ඉන්න නෑදෑයන්ගේ ගෙවල්වලට ගියාම ඒ අය කැමැති නෑ මේ ගොල්ලන්ව ගන්න. වැඩි මිලට කිරි විකුණන එකත් එහෙමයි. යුද්ධය කාලේ උතුරේ පැට‍්‍රල් බෝතලයක් රුපියල් දාහයි. භූමිතෙල් බෝතලයක් රුපියල් අටසීයයි. සීනි කිලෝ එක රුපියල් පන්සීයයයි. ඔහොමනේ ගියේ. ඒ විදිහට එකම සමාජයේ ජීවත්වන තම සහෝදර ප‍්‍රජාවත් සමඟ යුද්ධයත් එක්ක මහ ජාවාරම් ගනුදෙනු හැදෙනවා. ගෲෂා මේවට මුහුණ දීලා කිලෝ මීටර් 400ක් විතර පයින් ඇවිදගෙන යනවා. නූකා නගරයේ මැප් එකේ තියනවා ඒ දුර. ඇය ළමයෙකුත් වඩාගෙන ඒතරම් දුර පයින් යන්න සිද්ධ වෙන්නේ යුද්ධය නිසා. ඒ ඛේදවාචක මැද්දෙන් අන්තිමට නඩු විභාගයට මුහුණ දෙන්න වෙනකොට නඩුකාරයෙක් වෙන්නේ නරුමයෙක්. බේබද්දෙක්. හොරෙක්. කපටි නුවණක් තියන නීතිය ගැන නොතකන සම්මතයට එරෙහිව වැඩ කරන මිනිහෙක්. ඒ වගේ මිනිහෙක් දෙන තීන්දුවක් ඉතාම තීරණාත්මකයි. සම්මතය උඩුයටිකුරු කරන තීන්දුවක් දෙන්නේ. එවැනි පරිසරයක් හැදෙන්නේ යුද්ධමය පරිසරය තුළ. සාමකාමී තත්ත්වයක් යටතේ නම් ඔයවගේ නඩුකාරයෙක් පත්වෙන්නෙත් නෑ.

දේශපාලන සමාජය විසින් සංස්කෘතික සමාජය ඛණ්ඩනය කිරීම සිදුවන්නේ කොහොමද?

මේ තත්ත්වය 1940 ගණන්වල ලංකාවෙ නිදහස දිනාගත් කාලයේ පටන් ක්‍රමක්‍රමයෙන් නැතිවී යන්න ගත්තා. නිදහස දිනාගැනීමෙන් පසුව සිංහල දෙමළ දේශපාලන සමාජයේ ඇතිවූ පිල් බෙදීම් සහ අර්බුද ඊට බලපෑවා. ඊට පසුව සිංහල පමණක් රාජ්‍ය භාෂාව වීමේ ප්‍රශ්නය ආවා.


56, 77, 83 ආදී කාලවල සිදු වූ සිද්ධි නිසා සිංහල – දෙමළ සමාජයේ ඇති වූ බරපතළ බෙදීම කලාකරුවන් අතරටත් ආවා. දෙපාර්ශවයේ කලින් තිබුණු එක්ව වැඩ කිරීමේ පුරුද්ද නැතිවෙලා ගියා. සිංහල කලාකරුවෝ සිංහල ප්‍රජාවට පමණක් නිර්මාණ කරන්නත් දෙමළ කලාකරුවෝ දෙමළ ප්‍රජාවට පමණක් නිර්මාණ කරන්නත් පටන් ගත්තා.

සංහිඳියාව සඳහා කලාකරුවන්ගේ දායකත්වය කෙබඳුද?

ඉස්සර කලාකරුවන් එකතුවෙලා වැඩ කළේ ජාතික සමගිය මත මිස සංහිඳියාව ඇති කරන්න කියලා අමුතුවෙන් යමක් කරන්න නෙවෙයි. නමුත් 83න් පසුව එය ආයාසයෙන් ගොඩනඟා ගන්න සිද්ධ වෙන තත්ත්වයකට පත් වුණා. ඒ ගැන හුඟක් අය කල්පනා කළේ නැහැ. නමුත් කලාකරුවෙක් විදිහට මං මේ ගැන ප‍්‍රයත්නයක් දැරුවා. 77න් පසුව දෙමළ ජනතාවට එල්ල වූ ප‍්‍රහාරයෙන් පසුව ජාතීන් අතර ‘යුක්තිය සහ සමානාත්මතාව පිළිබඳ ව්‍යාපාරය’ නමින් ව්‍යාපාරයක් ගොඩනැඟුවා. වාමාංශික වෘත්තීය සමිති, වාමාංශික පක්ෂ, නිදහස් මතධාරීන් ඇතුළු වර්ගවාදයට එරෙහි පිරිස් මෙහි කොටස්කරුවන් වුණා. එහි පාලක මණ්ඩලයේ මාත් හිටියා. මාත් එච්.ඒ. පෙරේරාත් අලූත් වීදි නාට්‍ය කණ්ඩායමක් නිර්මාණය කළා. එයට දෙමළ ශිල්පීන් බඳවා ගන්න ලොකු වුවමනාවක් තිබුණා මට. නමුත් ඒ කාලේ මං සිංහල ප්‍රජාව අතරවත් එතරම් ජනප‍්‍රිය නැහැ. දෙමළ ප්‍රජාව අතරේ කොහොමටවත් නැහැ. ඒ නිසා දෙමළ තරුණ තරුණියන් මේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වීමට ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මං ඊට පසුව 1982 දි රූපවාහිනියට බැඳුණට පස්සේ ‘යශෝරාවය’, ‘ළාහිරු දහසක්’, වැනි ටෙලි නාට්‍යවලදී මා උත්සාහ කළා සිංහල චරිත සමඟ, පවුල් සමඟ සම්බන්ධ වෙන දෙමළ චරිත සම්බන්ධ කරගන්න. 82 දි ඒ කාර්යය කළා. 83 සිදු වූ ඛේදවාචකත් එක්ක ඒක ඉදිරියට කරගෙන යන්න නොහැකි වුණා.

‘‘හුණුවටය’’
‘‘හුණුවටය’’

ජන කරළියෙන් සංහිඳියාව ගොඩනැඟීමට මොනවගේ උත්සාහයක්ද දරන්නෙ?

83 බිඳවැටීමෙන් පසුව මෙය හරියටම කරන්න ලැබෙන්නේ 2003 ජන කරළිය ආරම්භ වීමත් එක්කයි. එච්.ඒ. පෙරේරා සහෝදර කලාකරුවත් එක්කයි ජන කරළිය ආරම්භ කළේ. එතනදි අපි පුවත්පත් මගින් දැන්වීම් පළකළා වෘත්තීය නාට්‍ය කණ්ඩායමකට කට්ටිය බඳවා ගන්නවා කියලා. අයදුම්පත් එක්දාස් ගාණක් ලැබුණා. දෙමළ තරුණයෝ පස්දෙනෙක් අයදුම් කරලා තිබුණා. සිංහල අය එකොළොස් දෙනෙක් තෝරාගෙන පසුව දෙමළ අය තෝරාගන්න අපි හිතවතුන් මාර්ගයෙන් වවුනියා, යාපනය, බගවන්තලාව ප‍්‍රදේශවල ගෙවල්වලට ගිහිල්ලා මව්පියන් හමුවෙලා මුලින්ම නව දෙනෙක් තෝරාගත්තා. ඔය විදිහට ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් තෝරාගත් අය එක වහලක් යට මාස තුනක් රඳවලා උදේ හයේ ඉඳලා රාත‍්‍රී දහය විතර වෙන තුරු පුහුණු කිරීම් කළා. ඒක දැඩි පුහුණුවක්. ඉන් පසුව තමයි පළවෙනි නාට්‍ය ‘අන්දරමල්’ නිර්මාණය කළේ. සිංහල දෙමළ භාෂා දෙකෙන්ම නිෂ්පාදනය කළා. සිංහල අයත් දෙමළ අයත් එකට නිර්මාණ කටයුතු කළා. ඒ නිසා දෙගොල්ලන්ටම භාෂා දෙකම ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා.

දෙවෙනි නාට්‍ය මංගල සේනානායකගේ ‘සීතාම්බර පට’ කියන නාට්‍යය. එහි පිටපත දෙමළ භාෂාවට පරිවර්තනය කරගන්නත් ඔවුන්ට සිදුවුණා. කණ්ඩායමේ දෙමළ අය බොහොම ඉක්මනට සිංහල අල්ල ගත්තා. නමුත් සිංහල අය ටිකක් හිමින් තමයි දෙමළ ඉගෙන ගත්තේ. නමුත් අද වෙනකොට දෙගොල්ලන්ම භාෂා දෙකම හොඳින් දන්නවා. මේ නාට්‍ය දෙක නිෂ්පාදනය කරලා අපි මුලින්ම ගියේ වවුනියාවට.  ඊළඟට යාපනයට සහ තන්තිරිමලේට ගියා. සිංහල නාට්‍ය සිංහල ගමකත් එහි දෙමළ නිෂ්පාදනය දෙමළ ගමකත් දර්ශනය කළා. යාපනයට ගිහිල්ලත් ඒ විදිහට කළා. මෙය අලූත් දෙයක් වුණා. තන්තිරිමලේ පන්සලේ බණ මඩුවේ ප‍්‍රදර්ශනය කළ අවස්ථාවේ තන්තිරිමලේ පන්සලේ හාමුදුරුවෝ විශ්මයටත්, ප්‍රසාදයටත් පත්වුණා දෙමළ අයගේ රඟපෑම් දැකලා. පසුව උන්වහන්සේම අසල ගමක නාට්‍ය දර්ශනයක් සංවිධානය කරලත් දුන්නා. ඒ මුල්ම ගමන ඉතා හොඳ අත්හදා බැලීමක් වුණා පසුව 2005 මාර්තු මාසේ කොළඹ නොමෑඞ්ස් පිට්ටනියේ ජන කරළිය නාට්‍ය ප්‍රදර්ශනය කළා. දැන් නෙළුම් පොකුණ තියන තැන. ඊට පස්සේ අනුරාධපුර, පොළොන්නරුව, කන්තලේ, පුත්තලම, හම්බන්තොට, තංගල්ල , මොණරාගල, බදුල්ල, තඹුත්තේගම නැවත 2010 යාපනයට ගියා.

ඊට පස්සේ 2012 මැටි කරත්තය නාට්‍යයෙන් ජන කරළිය නාට්‍යයක් නිෂ්පාදනය කළා. එය මඩකලපුවේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගෙන දෙමළ භාෂාවෙන් කළා. මේ අවුරුද්දේ ජුනි මාසේ ඉඳලා තමයි හුණුවටයේ නාට්‍යය දෙමළ පරිවර්තනය වේදිකාගත කෙරෙන්නේ.