Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

තාක්ෂණික ලෝකයට දෑතින් අභියෝග කරන
ලොන්ඩරිවත්ත

තාක්ෂණික මෙවලම් නිසා දෑතේ වීරියෙන් කළ බොහෝ කියා අහෝසි වී යෑම ලෝකය පුරාම සිදු විය. එහෙත් සිය වසකට ආසන්න කාලයක් මුළුල්ලේ මිනිස් ශ්‍රමයෙන් රෙදි සෝදන කොටහේනේ ලොන්ඩරිවත්ත, ඒ ලෝක යථාර්ථයට අභියෝගයකි.

24.01.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ කොටහේන පරමානන්ද විහාර මාවත කෙළවර ඇත්තේ  ලොන්ඩරිවත්තය. ඊට එම නම ලැබී ඇත්තේ පුරාණයේ පටන්ම රෙදි සේදීම ජීවන වෘත්තිය බවට පත් කරගත් මිනිසුන්ගේ වැඩබිමක් නිසාය. 1922දී එවකට පැවැති ආණ්ඩුව රෙදි සෝදන්නන් සඳහා ගබඩා පහසුකම්, ජල ටැංකි සහ අපුල්ලන ගල් තහඩු ඇතුළු පහසුකම් සහිත ලොන්ඩරිවත්ත ඇති කළේය. එය ගෘහස්ථ කර්මාන්තයක් ලෙස පැවැති රෙදි ඇපිල්ලීම වෙනුවට කර්මාන්තයේ නියැළෙන්නන් සඳහා වන පොදු ස්ථානයක් විය. අදත් එහි ඇත්තේ ඒ වැඩබිමය. ගබඩා පහසුකම් සැපයීම වෙනුවට අදත් කොළඹ නගර සභාවට රුපියල් 11.25ක මුදලක් මෙහි සිටින කර්මාන්තකරුවන් ගෙවිය යුතුය. ලොන්ඩරි වත්තේ ඉදිකර දී ඇති රජයේ නිවාස වෙනුවෙන් මෙතෙක් කලක් රුපියල් 55ක මුදලක් අය කළත් දැන් එම ගාස්තුව රුපියල් පන්සියයක් ලෙස නගර සභාව ඉහළ දමා ඇත.

කොටහේන ලොන්ඩරිවත්තේ පවුල් තිහක් අදත් සිය ප්‍රධාන ජීවනෝපාය බවට පත් කර ගෙන ඇත්තේ රෙදි සේදීමය. ඉන් පවුල් දොළහක් දෙමළ ය. ඉතිරිය සිංහල ය. මේ රාජකාරියේදී ඔවුනට එය බාධාවක් නොවේ. ඔවුන් ඒ හැම පරයා ‘රැකියාව වෙනුවෙන් කැපවීම’ අරමුණු කර ගෙන කටයුතු කරති. අලූත් පරම්පරාවේ පිරිස වෙනත් රැකියා අවස්ථා බලාපොරොත්තු වුවත් පැරැණි පරම්පරාවේ උදවිය තවමත් දහඩිය මුගුරු හලන්නේ රෙදි සේදීම වෙනුවෙනි. රෙදි සේදීම සඳහා නවීන තාක්ෂණයේ බලමෙවලම් වෙළෙඳපොළ ආක්‍රමණය කර තිබියදී ලොන්ඩරිවත්තට වැඩ අඩු වී නැත. යන්ත්‍රවලට වඩා මිනිස් ශ්‍රමය කෙරෙහි විශ්වාසයත්, අඩු වියදමත් සලකා බලන කොළඹ පදිංචිකරුවන් බොහොමයක් දෙනා කිලූටු රෙදි පොට්ටනි එක්කෝ කොටහේන ලොන්ඩරිවත්තට දෙති. නැත්නම් ආමර් වීදියේ ලොන්ඩරිවත්තට දෙති. ඒවා ලොන්ඩරිවත්තේ මිනිස් ශ්‍රමයෙන් පවිත්‍ර වූ පසුව නැවත ලැබෙන්නේ අලූතෙන් මිලදී ගත් රෙදි පෙරෙදි මෙනි. නැවුම් පුසුඹක් ද සමඟිනි. රජයේ ආයතන සහ පෞද්ගලික ආයතනවල රෙදි මෙන්ම ආරක්ෂක අංශවල, රෝහල්වල රෙදි ලොන්ඩරිවත්තට රැගෙන එන්නේ කොන්ත්‍රාකරුවන්ය. ඔවුන් රෙදි නොසෝදාම මුදල් උපයන්නේ අතරමැදියන් ලෙසිනි.

washing-plant
රෙදි සේදීම සඳහා නවීන තාක්ෂණයේ බලමෙවලම් වෙළෙඳපොළ ආක්‍රමණය කළ ද ලොන්ඩරිවත්තට වැඩ අඩු වී නැත.
සුමනසිරි

හතරේ පන්තියට පමණක් පාසල් ගිය කොළඹ කොටහේන ලොන්ඩරිවත්තේ ආර්. සුමනසිරි (57) රෙදි සේදීමට පටන්ගෙන තිබුණේ වයස අවුරුදු පහළොවේදීය. දැන් ඔහුගේ සේවා කාලය වසර හතළිස් දෙකකි. අඩ සියවසකට ආසන්න කාලයකි. දිගු කලක් රැකියාව වෙනුවෙන්   වෙහෙසීමෙන් ලැබුණු කෙසඟ සිරුරත්, පිටකොන්දට සමීප වූ උදරයත්, දියරැලි මෙන් සිරුර පුරා දිවෙන සමෙහි රැලිත්, හිරු එළියටම පිළිස්සුණු ධවල පැහැ කෙස් සහිත හිසත් ඔහුගේ යටගියාවේ තතු හෙළි කරයි.

‘‘අයියා කසාද බැඳලා ගෙදරින් ගියාම අම්මයි, තාත්තයි බලාගන්න හිටියේ මං. තාත්තා නැති වුණාම අම්මා බලාගන්න වුණේ මට. අම්මා ගොඩක් කල් ජීවත් වුණා. කසාදයක් ගැන කල්පනා කරන්න වෙලාවක් තිබුණේ නෑ.’’ ‘රැකියාව වෙනුවෙන් වන සිය කැපවීම’ ඔහු වදනට ගොනු කරන්නේ එලෙසිනි.

නෑණාගේ අයිතිය  

සුමනසිරි සිය දෑතින් ලේන්සුවේ සිට දැවැන්ත තිර රෙදි දක්වා පැතිරුණු පුළුල් පරාසයකට අයත් රෙදි කන්දරාවක් සෝදා ඇත. ඔහුගේ ගනුදෙනුකරුවෝද දුගියාගේ සිට ධන කුවේරයන් දක්වා විවිධ වෙති.

සුමනසිරි සහ පේමාවතී
සුමනසිරි සහ පේමාවතී

රෙදි සේදීම සුමනසිරිගේ රැකියාව වුවත් ඔහුට අයිති ටැංකියක්, අපුල්ලන ගලක් හෝ කිලූටු කාමරයක්, මදින කාමරයක් නැත. පියාගේ ඇවෑමෙන් ඒවා අයිති වූයේ ඔහුගේ සහෝදරයාටය. සහෝදරයාගේ මරණයෙන් පසුව ඒවා සහෝදරයාගේ බිරිය වූ 67 හැවිරිදි පස් දරු මවක වන ඞී. පේමාවතීට උරුම විය. සුමනසිරි රස්සාව කරන්නේ නෑණාගේ අයිතිය යටතේය.

”මහත්තයා මැරුණාට පස්සේ රස්සාව කරගන්න මං මෙයාට එන්න කිව්වා. රෙදි හෝදලා ගන්න ආදායම දෙකට බෙදා ගන්නවා.’’ සුමනසිරිගේ නෑණා වන පේමාවතී පැවසුවාය. ඇගේ දරුවන් පස් දෙනා, සුමනසිරිලාට පසු පරම්පරාව පිළිබඳ අපූරු නියැදියකි.

‘‘එක්කෙනෙක් පෑන් කොම්පැනියක. අනිත් කෙනා මේසන් වැඩ, තවත් එක්කෙනෙක් වරායේ වැඩ. එක පුතෙක් රට ගියා, ගියාමයි. දැන් අවුරුදු දහයයි. අලූත් පරම්පරාව මේ රස්සාවට අතගහන්න කැමැති නෑ. ඒත් මිනිස්සු අපි ගැන තියෙන විශ්වාසෙ නිසා අපි මේක කොහොමහරි කරගෙන යනවා” පේමාවතී පැවසුවාය.

වෘත්තියට කැපවීම

”දවස් 365ම වැඩ. නිවාඩු ගන්න බැහැ. උදේ පහේ ඉඳලා ? හත අට වෙනකං වැඩ කරන දවස් තියෙනවා ඒ අපි භාරගන්න වැඩ නියම වෙලාවට අවසන් කරලා දෙන්න  ඕන නිසා. නිවාඩු ගන්න පුළුවන් කිලූටු කාමරෙයි මදින කාමරෙයි හිස් වුණොත්. එහෙම වෙලා නැහැ. මේ රස්සාවෙදි එහෙම වෙන්නත් බැහැ.” සුමනසිරි කියයි.

ඔහුට අභියෝග කළ හැකි වෘත්තීයවේදීන් අද සිටීද? තමන්ගේ  ඇඳුමවත් සෝදා පිරිසුදු කරගැනීමට මැළිකමක් දක්වන මිනිසුන් අතර සුමනසිරිගේ කැපවීම තක්සේරු කරන්නට සුදුසු එකම මිනුම් දණ්ඩ ‘වගවීම වෙනුවෙන් වන කැපවීම’ යන්න බව වැටහෙයි.

”අක්කා මට පඩියක් ගෙවනවා. මාසෙට රුපියල් තිස්පන්දාහක් විතර ලැබෙනවා. තනි මට ජීවත් වෙන්න ඒ ඇති. පාළු ගෙදර තනියම උයාගෙන කාලා ජීවත් වෙනවා. ගෙදර ඉන්නේ පැය කීයද? ” සුමනසිරි සිය රැකියාවද, ජීවිතයද, ‘වගවීම වෙනුවෙන් වන කැපවීම’ එකට කැටි කර කීවේය.

ironing
කිලූටු කාමරේ අනෙක් පසින් ඇත්තේ මදින කාමරයයි.
කිලූටු කාමරේ

ලොන්ඩරිවත්තේ වැඩපිළිවෙළ සුමනසිරි පහදා දුන්නේ මෙලෙසිනි.

”මෙතනට කිලූටු රෙදි ගෙනල්ලා දෙන කොම්පැනි තියෙනවා. එහෙම නැත්නම් අපි ටවුම වටේ ගිහින් රෙදි එකතු කරගෙන එනවා. එහෙම ගේන පිරිසිදු නැති රෙදි අංක කරලා, වර්ග කරලා තෝරන, ගබඩා කරන කාමරේට කියන්නේ කිලූටු කාමරේ කියලා.

ඔහු රෙදි පොට්ටනි ගසා ඇති, සේදුම් ද්‍රව්‍ය ගබඩා කර ඇති කාමරය අපට පෙන්වයි.

”මුලින්ම කරන්නේ ගේන රෙදිවලට ලකුණක් දාන එක. එතකොට රෙදි මාරු වෙන්නේ නෑ. ඊළඟට තම්බන රෙදි තෝරනවා. මලකඩ පැල්ලම් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න වෙනම තෝරනවා. රෙදි හෝදන්න සබන්, කොස්ටික් සෝඩා, බ්ලීචිං පවුඩර් පාවිච්චි කරනවා.”

”හෝදන්න තෝරගත්ත රෙදි ටැංකියට දාලා පොඟවනවා. ඊට පස්සෙ සබන් කැට දියකරලා සාන්ද්‍ර කරලා හදාගත්ත දියරේ ඒවා ගිල්වලා අඹරලා පොදි ගහලා තියෙනවා. පහුවදාට තමයි හෝදන්න ගන්නේ. පැල්ලම් තියෙන රෙදි පැල්ලම් යවන්න තම්බනවා. ඒකට විශේෂ පෝරණුවක් තියෙනවා. අර තියෙන්නේ” යි ඒ වන විටත් දුම් ගසන කාමරයක් ඈතින් තිබෙනු හේ පෙන්වයි.

මදින කාමරේ

කිලූටු කාමරේ අනෙක් පසින් ඇත්තේ මදින කාමරයයි. පවුල් තිහ සඳහා කිලූටු කාමර 30ක් මදින කාමර 30 ක් කොටහේන ලොන්ඩරිවත්තේ තිබේ. මදින කාමරයේ ඇත්තේ සෝදා පිරිසිදු කරගත් රෙදිය. ඒවායේ නැවුම් සුවඳකි. රට පුරා විදුලි ස්ත‍්‍රික්ක පැතිර පවතින සමයේදී ලොන්ඩරිවත්තේ තවමත් රත්වන්නේ පොල් කටු අඟුරු ස්ත්‍රික්ක ය. නූලට තිතට රෙදි මැද ගන්නේ පොල් කටු අඟුරින් රත්වන මේ ස්ත්‍රික්කවලිනි.


විදුලි ස්ත්‍රික්කවල උෂ්ණත්ව දර්ශක පැවතිය ද පොල් කටු අඟුරු ස්ත්‍රික්ක භාවිතයේ දී ඒ ඒ රෙදිවලට අවශ්‍ය උෂ්ණත්වය මැන ගන්නේ වමතේ මැදැඟිල්ල ස්ත්‍රික්කයේ පතුලට තබා බැලීමෙනි.

මේ කර්මාන්තයේ නියැළෙන්නන්ගේ අත්දැකීම අනුව මැදැඟිල්ල උෂ්ණත්වය මනින මීටරයක් මෙනි. රත් වූ පොල් කටු අඟුරු ස්ත්‍රික්කය යටට මැදැඟිල්ල තැබූ විට චරස් ගා නැගෙන ශබ්දය ඔවුන්ට සාමාන්‍ය වුවත් ඒ දකින අයකුගේ නම් සියොළඟම රත් වන්නේය. සුමනසිරිගේ වමතේ මැදැඟිල්ල කාලයක් තිස්සේ මේ ව්‍යායාමයට හුරුව ඇති නිසා සිප්පි කටුවක් මෙන් ඝන වී ඇත.

සුවඳ හමන රෙදි

”අපිට රෙදි භාර දීපු කොම්පැනි හරි ආයතන හරි කියපු දිනේට, කියපු වෙලාවට හරි ආවම ඒ වෙලාවට අපි හෝදලා මැදලා තියෙන රෙදි පිළිවෙළකට භාර දෙනවා. ඊට පස්සේ තමයි මුදල් ලැබෙන්නේ. ගෙවල්වලට ගිහින් එකතු කර ගත්ත රෙදිත් එහෙමයි. කියපු දිනේට කියපු වෙලාවට ගෙනිහින් භාර දෙනවා. ඒවා ඒ ආකාරයට වුණේ නැත්නම් විශ්වාසය නැති වෙනවා. ඊට පස්සේ අපිට රෙදි දෙන්නේ නෑ. එහෙම වුණොත් රස්සාවත් නැහැ. ඒ නිසා අව්ව වැස්ස කියලා වෙනසක් නැතිව වැඩ කරනවා. විශ්වාසෙ තමයි මෙතන වැදගත්ම දේ. මිනිස්සු අපි ගැන තියෙන විශ්වාසෙ නිසා තමයි මෙච්චර දියුණු ලෝකෙ ඉස්සර විදියට වැඩ කරන අපි වාගෙ අයම හොයාගෙන එන්නේ. ” සුමනසිරි සිය රැකියාවේ පැවැත්ම තහවුරු කරන මූලික රහස හෙළි කරයි.

ඡායාරූප- අජිත් සෙනෙවිරත්න