Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

නමට ඇති, ගමට නැති වතුර
සිලාවතුර

ඉතිහාසයේ ලියැවී ඇති පරිදි ‘තම්බපන්නිය’ යනු ලාංකීය ශිෂ්ටාචාරයට පදනම වැටුණ තැනය. එහෙත්, දෙදහස් පන්සිය වසරක ප්‍රෞඪ ඉතිහාසයක් ගැන පුරසාරම් අසමින් දිය පිපාසයෙන් දිවි ගෙවීමට ඒ අවට ජනයාට සිදු වී තිබීම කෙතරම් සරදමක්ද?

31.01.2017  |  
මන්නාරම දිස්ත්‍රික්කය
ප්ලාස්ටික් බූලිවල දාගත් කැකෑරුණ කිවුල් වතුරෙන් පවස නිවාගන්නා මේ අයට මිරිදියත් කරදිය මෙනි.

මන්නාරම් මුහුදේ කරදිය රැළි තඹ පැහැ වැල්ල සිපගනී. මන්නාරමේ සිට පුත්තලම දක්වා වන මුහුදුතීරය,  ඩොල්පින් මත්ස්‍යයින් නිසාත් විල්පත්තුව වන රොද නිසාත් සංචාරකයින් සිත් ඇද බැඳ ගත්තකි. එහෙත් ඒ සුන්දරත්වය, ඒ බිම් තීරයේ පදිංචි ජනයාගේ ජීවිතවලට සරදම් කරන්නාක් මෙනි.

‘‘මේ පළාත කොච්චර ලස්සන වුණත් අපි පුදුම දුකක් විදින්නේ. ඉතිහාසෙ කවදාවත් මේ තරම් වතුර හිගයක් ඇති වෙලා නෑ. කිසි කෙනෙක් අපි විදින දුක බලන්නෙ නෑ” සිලාවතුර මුත්තු අරිප්පුතුරේ ගම්මානයේ පදිංචි කේ. ජුලියට් (34) පැවසුවේය.

පවුල් දාහක්

සිලාවතුර ප්‍රදේශයේ බොහෝදෙනාගේ ජීවනෝපාය ධීවර කර්මාන්තයයි. දවස පුරා වැල්ලට පතිත වන දැඩි හිරු රශ්මිය ඔවුන්ගේ සම කළු පැහැයට හරවා ඇත. සිය ගණනක් පවුල්වල සාමාජිකයින් නිරතුරුව වෙරළේ පොල් අතු අට්ටාල යට දිවා කාලයේ රැඳී මාලු දැල් පිරිසිදු කරන දසුන කොයි මොහොතේත් දැකිය හැක්කකි. ප්ලාස්ටික් බූලිවල දාගත් කැකෑරුණ කිවුල් වතුරෙන් පවස නිවාගන්නා මේ අයට මිරිදියත් කරදිය මෙනි. මුත්තු අරිප්පු තුරේ හි දාහක් පමණ පවුල්වල ජනයාට මේ ජල ප්‍රශ්නයෙන් පීඩා විදින බව ජුලියට් කියයි.

‘‘ අපට මාසෙකට විශාල මුදලක් වතුර වෙනුවෙන් වැය කරන්න සිද්ධවෙලා තියන්නේ. ඒත් සල්ලි දීලත් ගන්නේ හොඳ වතුර නෙවෙයි, නළ ළිං වතුර. ඒ වතුරේ කිවුල් ගතිය රටේ වෙන කොහේවත් නැති තරම්. එක වතාවත් මෙහෙ ජල යොජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ගිහින් අතර මඟ දි ඒක කඩකප්පල් වුණා. දැන් ඒ ගැන කවුරුත් කථා කරන්නෙත් නෑ. ගමේ විශාල පිරිසකට වකුගඩු අමාරු. ඒ මොකකටවත් විසඳුම් නෑ. ”

අත්හැර දැමූ කිවුල් වතුර සහිත ළිං
අත්හැර දැමූ කිවුල් වතුර සහිත ළිං

කේ.ආරෝහනම් (55) පවසන පරිදි මීට වසර විස්සකට තිහකට පෙර කිවුල් නොවූ වතුර සහිත ළිං කීපයක් ගම්මානයේ තිබී ඇත. පසුව ක්‍රමයෙන් ඒ ළිංද  කිවුලට හැරී ඇත. මේ ප්‍රශ්නයට විසදුම් ලෙස රජය මගින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති ඇතත් ඒවා ලැබෙන්නේ දේශපාලනඥයින්ගේ අභිමතය අනුව බවට චෝදනාවකි.

‘‘සමහර ගම්මාන වල දැන් පිරිපහදු යන්ත්‍ර සවි කරලා ජල ව්‍යාපෘති ක්‍රියාත්මකයි. දේශපාලනඥයින් ඒව දෙන්නෙ, තමන් කැමති තෝරලා බේරලා. ඒත් අපට නම් එහෙම උතුරේ දෙමළ දේශපාලනඥයින්ගෙන් සැලකිල්ලක් ලැබෙන්නේ නෑ.‘‘ යි ආරෝහනම් කීවාය.

පිහිටක් නැති ‘යෝධ වැව’

මන්නාරම් දිස්ත්‍රික්කයේ වව්නියාවටත් අනුරාධපුරටත් යාවන සිලාවතුර ප්‍රදේශයට ආසන්නව පවතින මහා පරිමාණ ජලාශය යෝධවැවයි. එය මන්නාරමේ ප්‍රධානතම වාරි ජලයෝජනා ක්‍රමය වුවත් එයින් සිලාවතුර ප්‍රදේශයට ජලය සැපයෙන මගක් නැත. මේ වන විට මල්වතු ඔය තන්තිරිමලේ ‍ප්‍රදේශයෙන් හරස් කර, පහළ මල්වතු ඔය ව්‍යාපාරය නමින් නව වාරි ජල යෝජනාක්‍රමයක් සඳහා රජය මුලපුරා ඇත. එයින් ජලය සපයන්නේ මන්නාරම් දිස්ත්‍රික්කයේ මුරුංගන් ප්‍රදේශයට යි. ජල ගැටලුවෙන් පෙළෙන තන්තිරිමලේ ජනයාටද එවැනි යෝජනාක්‍රමයක් ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි.

මුත්තු අරිප්පුතුරේ ගම්මානයේ පීඩා විඳින්නේ මේ රටට පෝෂණය සපයන රටේ ශ්‍රම සම්පතය. ජුලියට් ඒ ගැන මෙසේ කියයි.

‘මූලික අයිතියක්’

‘‘ මං උසස් පෙළ විභාගයත් පාස් වුණා. අපටත් පුළුවන් කාටහරි කරදර කරලා රස්සාවක් ඉල්ලාගෙන, ඇඟ මහන්සි නොකර ඔහේ ඉන්න. මූදු රස්සාව ඊට වඩා වටිනවා. අපි හොඳ මත්ස්‍ය අස්වැන්නක් ලබනවා. මම විතරක් නෙවෙයි මූදු යන මේ ගමේ හැම තරුණයෙක්ම වාගේ හොඳට ඉගෙනගත්තු අය. අපි නිදහසේ මේ රස්සාව කරනවා. අපි ඉල්ලන්නෙ වතුර විතරයි. ඒක අපේ මූලික අයිතියක්. ආණ්ඩුවකට ඒකවත් කරන්න බැරි ඇයි? ”

ධීවර අට්ටාල වල සිට දැල් පිරිසුදු කරන පිරිස්
ධීවර අට්ටාල වල සිට දැල් පිරිසුදු කරන පිරිස්

මන්නාරම වව්නියා හා සෙට්ටිකුලම රෝහල් වල දිනපතා ඉහළ යන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන මේ කතාවේ ගැඹුර පෙන්වා දෙයි. මන්නාරම් දිස්ත්‍රික්කයේ වැසියෝ යුද සමයේද බොහෝ පීඩා වින්දෝය.

‘‘ අපි හැමදාම දුක් විඳින අය. යුද්ධ කාලේ ඉවරවෙනකල් කියලා අවුරුදු තිහක් බලාගගෙන හිටියා. ඒ කාලේ මේ හැම අපිරිසිදු වතුරක්ම බීලා අපේ ශරීර දැන් ලෙඩ වෙලා. අපේ දරුවෝත් දැන් ඒ දුක විඳිනවා. දවසම පිච්චෙන අව්ව. වැඩි දෙනෙක් වැල්ලේ පිපාසාවෙන් වැඩ කරලා රත්වෙච්චි වතුර ටිකකින් උගුර තෙමාගන්නවා. කන්න දේවල් තිබුණාට වැඩක් නෑ. රස්සාවල් මිල මුදල් මොනවා තිබුණත් ජීවත් වෙන්න ඕනෑම දේ තමා වතුර. ” වී. සීතා පැවසුවාය.

පිළිතුර කුමක්ද?

සිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති පානීය ජල හිගයට ස්ථිර විසඳුම් ඉල්ලා මුසලි ප්‍රාදේශීය සභාව මගින් රජයට යෝජනාවන් ඉදිරිපත් කර ඇති බවත් එම යෝජනා අනුමත වුවහොත් පමණක් ගැටලුව විසඳිය හැකි බවත් එම සභාවේ ලේකම් එස්. සුදාහන් පවසයි. විවිධ ආයතන හා පුද්ගලික අංශය මගින් ගම්මාන රැසකට කුඩා ජල ව්‍යාපාතින් ක්‍රියාත්මක කර ඇති බවද පවසන ලේකම් වරයා දැනට සීමිතව පවත්වාගෙන යන නළ ජල පද්ධතියේ පසුගිය සමයේ ඇති වූ දෝෂ නිරාකරණය කර නවීකරණය කර  ඇති බවත්, සිලාවතුර රෝහල ඇතුළු අත්‍යවශ්‍ය ස්ථාන වලට බවුසර මගින් ජලය සැපයීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් කියා සිටියේය. මුත්තු අරිප්පු තුරෙයි හා අවට පවුල් 1500කට අධික පිරිසට ඇති පානීය ජල ගිගයට යෝධ ව්‍යාපෘතියක් අවශ්‍ය බවත් සිය යෝජනා අතර එය ද අනිවාර්යෙන් ඇති බවත් ලේකම්වරයා කීවේ ය.

ගිනි අව්වෙන් මාළු වේලන අයුරු
ගිනි අව්වෙන් මාළු වේලන අයුරු

ජනතාව කියන්නේ එයද තාවකාලික විසඳුමක් පමණක් බවයි. ඊට හේතුව එම ප්‍රදේශයේ ඇති බොහෝ පානීය ජල ළිං කිවුල් වීම නිසා මේ වන විට අභාවයට හැර තිබීමය. ඒ අනුව ප්‍රති ආශ්‍රැතික ජල පෙරණ මගින් පිරිපහදු කිරීමටද ජල මූලාශ්‍ර නොමැති බව පෙනේ. මේ  නිසා බවුසර් මගින් ජලය ප්‍රවාහණය වැනි ක්‍රමවේදයක් කොතරම් ඵලදායකද?

මූදු යන ධීවරයන් ජීවිය පරදුවට තබා කරදිය ගැඹරේ මසුන් හඹා ගොස් ඒ සයුර මැද සිට පිපාසයට බොන්නේ ද ගොඩ බිමින් ගෙන ගිය කිවුල් වතුර නම් ඒ ජීවිත ගොඩබිමකට උරුම කම් කීමේ වටිනාකම කුමක්ද?

දැවැන්ත අභියෝගයක්

සිලාවතුර තරුණ පිරිස පවසන්නේ ආහාර පාන සැකසුමට මෙන්ම ස්නානය සඳහාත් වෙනත් සනීපාරක්ෂක කටයුතු සඳහාත් කිවුල ඉවත් වූ ජලය නොමැති කම තම ජීවිතවලට එල්ල වූ දැවැන්ත අභියෝගයක් බවයි. ඉතා අලංකාර ලෙස උසස් ප්‍රමිතියෙන් ඔවුන් සදාගෙන තිබෙන නාන කාමර හා වැසිකිලිවල  ටයිල් හා උපකරණ කිවුල බැඳී අඳුරු වී ඇතැම් විට දිරාපත්ව ඇත්තේ ය. ඒ නිවාස ආශ්‍රිතව බහු කාර්යන්ට යොදා ගන්නා ළිං ජලයේ ඇති අධික ලවණ සාන්ද්‍රණය හේතුවෙනි.දරුවන්ගේ දත් අව පැහැවීම හා පුද්ගලයින්ගේ කොන්ඩය නීරෝගි නොවීම බාහිරින් ‍දැකගත හැකි ලක්ෂණ කීපයකි.

සිලාවතුර
සිලාවතුර

මේ නිසා ස්ථිර ජල මූලාශ්‍රයක් හා ස්ථිර ජල පිරිපහදු ක්‍රමයක් කෙරේ අවධානය යොමු කිරිම බලධාරින්ට පැවැරෙන කාර්යයකි.මෙන්ම මල්වතු ඔය සම්බන්ධ සැළසුම් හදන අයද සිලාවතුර ගැන නැවත නැවත අවධානය යොමුකර කටයුතු කළ යුතු ය. ඊටත් කලින් කළ යුත්තක් ඇත.ඒ මන්නාරම් දිසාවේ ජල මූලාශ්‍ර ගැන සමික්ෂණයක් හා පර්යේෂණයක් සිදු කිරීම ය.වකුගඩු රෝග සම්බන්ධයෙන් පර්යේෂණවල නියැළි රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව සිලාවතුර හා මන්නාරම ආශ්‍රිත භූගත ජලයේ තත්ත්වය කනගාටුදායක ය.ඔහු පවසන්නේ මේ ජලය මිනිස් පරිභෝජනයට නුසුදුසු බවත් මෙම ප්‍රදේශයේ ද වකුගඩු රෝගීන් ගැන බහුල වශයෙන් වාර්තා ලැබී ඇති බවත් ය.වෙනත් ප්‍රදේශ වලටත් මේ වතුර ප්‍රශ්නය හා වකුගඩු රෝග ප්‍රශ්නය පොදු ය.ඒහෙත් ඒ පළාත්වල ඒ ගැන කථිකාවන් කරන්නට අය සිටිති. සිලාවතුරට ඇති අවාසනාව වන්නේ ඒ ප්‍රශ්න කතාකරන්නට ද කෙනෙක් නැති වීම ය.