දොඹකර කීකරු කරන
වළලු ලූ අත්
ස්ත්‍රීන් සතු නිදහස, රටක දියුණුව පිළිබද සියුම් මිනුම් දණ්ඩකි. මේ කතාව ඒ අර්ථයෙන් නැවුම් බලාපොරොත්තු දල්වයි.
”තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි” යනුවෙන් ප්‍රංස අධිරාජයකු වූ නැපෝලියන් බොනපාර්ට් කීවේ 19 වන සියවසේදීය. නැපෝලියන්ගේ මේ කියමන අතීතයටත්, වර්තමානයටත්, අනාගතයටත් යන තුන්කල්හිම වලංගුය.
සියවස් ගණනකට පෙර කාන්තාවන්ගේ මෘදු මොළොක්භාවයත් පිරිමින්ගේ හැඩිදැඩිභාවයත් මත කළ යුතු රැකියාව තීරණය කෙරිණි. පිරිමි කරන වැඩ කාන්තාවට කළ නොහැකියැයි බෙදුම් රේඛාද සමාජය මත ඇඳී තිබුණේය. නමුදු මේ කල්පනාවන් සියවසෙන් සියවස මකා දමන්නට ඇය සමත් වූවාය. අප ජීවත් වන මේ සියවසේ ඇය සම්බන්ධයෙන් ඇති දුර්මත සියල්ලම, වැරැදි කල්පනාවන් සියල්ලම අවසන් කෙරෙනු ඇත. අතුගා දමනු ඇත. අප දැන් ලියන්නේ දකුණු ආසියානු කලාපයේ වික්‍රමාන්විත මෙහෙයුමට සූදානම් වන ලක් දියණියන් දොළොස් දෙනකු ගැනය.
බහාලුම් පදවන අතතොටිල්ල පැදවීමට පෙර බහාලූම් මෙහෙයුම් පැදවීමට මේ යුවතියන් කණ්ඩායම පුහුණුව ලබන්නේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේය. ලංකා ඉතිහාසයේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ ‘බහාලූම් මෙහෙයුම් යන්ත්‍ර උපකරණ ක‍්‍රියාකරු’ පාඨමාලාව හදාරන ප්‍රථම කාන්තා බලමුළුව ලෙස ඔවුන් ඉතිහාසගත වනු ඇත.
බහාලූම් මෙහෙයුම් යන්ත්‍ර උපකරණ ක්‍රියාකරු යනු වරායට එන නැව්වල ඇති බහාලූම් නැවේ සිට ගොඩබෑමත් නැව්වලට පැටවීමත් ඇතුළත් සංකීර්ණ ක්‍රියාවලියකට දායක වන්නෙකි. අපේ රටේ වරාය ආරම්භ කිරීමේ පටන් මේ දක්වාම මෙකී මෙහෙයුම්වල නිරත වී ඇත්තේ පිරිමින්ය. දකුණු ආසියානු කලාපයේ තත්ත්වයද එය බව මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ ප්‍රධාන පුහුණු කළමනාකරු ඉංජිනේරු එල්. එච්. රංජිත් සේපාල මහතා කීවේය.
ගුවන- සයුර- ගොඩබිමබහාලූම් මෙහෙයුම් හෙවත් (Gantry Crane) ක්‍රියා කරවීම දැඩි අවදානමක් සහිත, වගකීමක් සහිත සහ ඉතාමත් කල්පනාකාරීව නිවැරැදිව කඩිනමින් ඉටු කළ යුතු මෙහෙවරකි. අඩි 180 ක් තරම් ඉහළ සිට මේ සියලු හැසිරවීම් කළ යුතුය. අඩි 180 ක් තරම් ඉහළ සිට බිම බැලීමේ දී දෙපා වෙව්ලන පිරිමි සහ කාන්තාවන් සිටින සමාජයක බහාලූම් මෙහෙයුම් ක්‍රියා කරවීම පහසු කටයුත්තක් නොවන බව කුමට නම් කියමුද! ලක් දියණියන් දොළොස් දෙනා පුහුණු වන්නේ එවැනි වික‍්‍රමාන්විත මෙහෙයුමක පෙළහර පාන්නටය. ඔවුන්ට අවශ්‍ය මූලික පුහුණුවීම් කටයුතු සිදු කරනු ලැබුවේ සිමියුලේටර් නම් යන්ත්‍රෝපකරණ මඟින්ය. වඩාත් පැහැදිලිව කිවහොත් මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නාවික පුහුණුවීම් යන්ත‍්‍ර මඟිනි. එයද දෙයාකාර පුහුණුවකි. පළමුවැන්න නැවක ආකෘතියක් තුළ සිදු කෙරෙන්නකි. දෙවැන්න පරිගණක යන්ත‍්‍ර මඟින් දෙනු ලබන පුහුණුවයි. සිමියුලේටර් පුහුණු වීමෙන් අනතුරුව වරාය පරිශ්‍රයේ ඇති බහාලූම් මෙහෙයුම් යන්ත‍්‍ර තුළ (Gantry Crane) කාන්තාවන් දොළොස් දෙනාටම ප‍්‍රායෝගික පුහුණුවීම් ලබා දේ. එහි අවසානය යනු ජාත්‍යන්තරව පිළිගත් පුහුණු ශ්‍රමිකයකු බිහි කිරීමය.
සැබෑ කළ සිහිනයබහාලූම් මෙහෙයුම් යන්ත්‍රෝපකරණ ක‍්‍රියාකරවන්නියන් බිහි කිරීමේ යෝධ කාර්යය සිහිනයකට පණ පෙවීමකි. ඒ සිහිනයට පණ දුන් මිනිසා ඉංජිනේරු ප්‍රධාන පුහුණු කළමනාකරු රංජිත් සේපාල මහතාය.
”මේ දරුවෝ මේ පාඨමාලාවට තෝරා ගත්තේ 2016 අගෝස්තු මාසේ අපි සංවිධානය කරපු ‘දිරියෙන් ජයගත් කාන්තාවෝ’ සම්මන්ත්‍රණයෙන් පස්සේ. වරායේ ‘වැඩ සහායක’ පත්වීම් ලැබීමට නියමිතව සිටි මේ දියණියන් ඇතුළු කාන්තාවන් සඳහා අපි සම්මන්ත්‍රණයක් සූදානම් කළා. ඒ සම්මන්ත්‍රණයට ගුවන් නියමුවන් පුහුණු කිරීමේ නිලධාරිනී හිරුණි ගුණසේකර, නාවික දෙවන මෙහෙයුම් නිලධාරී භානුක ලසන්ති සහ අධිවේගී මාර්ගයේ රියැදුරුවරියක වන ලක්ෂි සජින්තා යන මහත්මීන් ගෙන්වා ගත්තා. ඔවුන්ගේ අත්දැකීම් බෙදාගත්තා. මේ කාන්තාවන් තිදෙනා මේ රටේ ගුවන, මුහුද, ගොඩබිම ජයගත් දිරිය කතුන්. ඔවුන් තිදෙනාගේ අත්දැකීම්වලින් පසුව සභාවෙන් මං ඇහුවා මෙතන ඉන්න කාන්තාවන් අතරින් කවුද කැමැති බහාලූම් මෙහෙයුම් ක්‍රියාකරවන්නියන් ලෙස පුහුණුව ලබන්න, එහෙම කැමැති අය ඉන්නවානම් අත් ඔසවන්න කියලා. ඒ වෙනකොටත් වරායේ ‘වැඩ සහායක’ පත්වීම් ලැබීමට නියමිතව සිටි කාන්තාවන් දොළොස් දෙනෙක් ඉහළට අත් ඔසවා අනුමැතිය පළ කළා. ඒ දොළොස් දෙනා තමයි මේ.
දැන් පුහුණුවීම්වලින් 60% ක් අවසන්. ඔවුන් සාර්ථකව පුහුණුවීම්වල යෙදුණා. මේ රැකියාව හැඩි දැඩි ශක්තිවන්ත පිරිමි කළ යුතුයි කියලා මතයක් සමාජයේ තිබුණා. අපි ඒ මතය වෙනස් කළා. නූතන තාක්ෂණික උපකරණ පහසුවෙන් හසුරුවන්න රළු දෑතකටත් සියුමැලි දෑතකටත් පුළුවන්. අවශ්‍ය ඒ වෙනුවෙන් කැපවීමයි. බහාලූම් මෙහෙයුම් ක්රියා කරවීමට හොඳ අවධානයක්, ඉවසීමක්, කල්පනාවක් වගේම කඩිසරභාවයක් අවශ්‍යයි. මුළු ලෝකයම පිළිගන්නවා කාන්තාවන්ට එකවර කාර්යයන් කිහිපයක් කිරීමට හැකියාව තියෙනවා කියලා. ඒ වගේ අවදානම අභියෝග භාරගන්න ඔවුන් දක්ෂයි. පිළිවෙළකට වැඩ කිරීම, නීතියට වැඩ කිරීම, පිරිසිදුකම අතින් ඇත්තෙන්ම ඔවුන් සමහර පිරිමින්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. ආසියානු කලාපයේ කොහොම වුණත් දකුණු ආසියානු කලාපයේ බහාලූම් මෙහෙයුම් සඳහා කාන්තාවන් පුහුණු කළේ අපයි” ඔහු කීවේය.
යකඩ දියණියෝතමන් ලැබූ පුහුණුව සම්බන්ධයෙන් බහාලූම් මෙහෙයුම් ක්‍රියාකාරිනියන් ලෙස පුහුණු වන කාන්තාවන් සියල්ලම පාහේ කීවේ මෙය තමන්ට අලූත් අත්දැකීමක් වූ බවයි. ”මං කිසි දවසක ග‍්‍රැන්ට්‍රි කේ‍්‍රන් එකකට නැගලා තිබුණේ නෑ. මුල් දවසේ ඒකට නැග්ගම කකුල් වෙව්ලන්න ගත්තා.” යුවතියන් දොළොස් දෙනාගේම අත්දැකීම එය විය. නමුදු දැන් එහෙම නැත. කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල ආදී දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් මේ කාන්තාවන් පුහුණුව සඳහා තෝරාගෙන තිබීම ද විශේෂත්වයකි. කළුතර ප්‍රසාදි කීවේ පුහුණුවෙන් පසුව තමන් තමන්ගේ රට වෙනුවෙන් කළ හැකි මෙහෙවර වෙනුවෙන් කැපවන බවයි. නුගේගොඩ එරන්දි කීවේ බහාලූම් මෙහෙයුම් ක්රියා කරවීමට අමතරව තවදුරටත් නාවික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුම වැඩි කර ගැනීමට තමන් උනන්දු වන බවයි.
අතුරුගිරිය දිල්කි නදීෂා කීවේ තමන් හොඳ පුහුණු ශ්‍රමිකයකු වීමට උත්සාහ ගන්නා බවයි. බේරුවල පූජනී දිල්කි කීවේ පුහුණුවෙන් පසුව තම පුහුණුව වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කළ වරාය අධිකාරිය වෙනුවෙන් තම මෙහෙවර ඉටු කරන බවයි. කුලියාපිටියේ නෙළුම් සොයිසා සහ බියගම චතුරංගි පෙරේරා කීවේ තමන් කරන රැකියාව හරියට කරන්නත් ඒ හරහා මේ රටට විදේශ විනිමය උපයා දීමට ක‍්‍රියා කරන ගුණගරුක පුහුණු ශ්‍රමිකයකු වෙන බවයි. සියල්ලන් තුළම ඇත්තේ රට වෙනුවෙන් සේවය කිරීමේ පරම අභිලාෂයයි. නමුදු මේ දිරිය දියණියන්ට පුහුණුවෙන් පසුව ලෝකයේ ඕනෑම වරායක බහාලූම් මෙහෙයුම් ක්‍රියාකරවන්නියන් ලෙස සේවය කිරීමේ අතිදුර්ලභ අවස්ථාව ද හිමි වේ. වැඩ සහායක තනතුරේ නොසිට මේ දිරිය කතුන් ග‍්‍රැන්ට්‍රි කේ‍්‍රන් පුහුණුව ලැබූ නිසා ඔවුන්ට හිමි වීමට තිබූ වැටුප මෙන් දෙතුන් ගුණයක වැඩි වැටුපකට අනාගතයේ දී ඔවුන් හිමිකම් කියයි.
2016 අගෝස්තු 16 දින ඇරඹූ පුහුණුවීම් කටයුතු නියමිත ලෙස හමාර කිරීමට නියමිතව ඇත්තේ මේ ලබන මාර්තු මාසයේදීය. 2017 වසරට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ දී මේ ලක් දියණියන් බහාලූම් මෙහෙයුම් යන්ත‍්‍ර ක්‍රියාකරවන්නියන් ලෙස විසිර යාමට නියමිතය.
ඡායා: අජිත් සෙනෙවිරත්න