Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කදම්බ නදිය;
උතුරේ ගිනි නිවන දකුණේ දිය දහර

සිය පොළොව සරු කිරීමට සෑහෙන තරමේ දිය දහරක් ගැන ඔවුහු පරම්පරා ගණනක් තිස්සේ සිහින දුටුවෝය. ඒ අපේක්ෂාව ඉටු වුවහොත්, එය උතුර දකුණ යා කරන සහජීවනයේ දිය දහරද වනු නිසැකය.

21.02.2017  |  
මන්නාරම දිස්ත්‍රික්කය
අතීත රජදරුවන් ඉදි කළ යෝධවැවේ මල්වතුඔය හැරවුම

ඔවුන් දිවි ගෙවන භූමිය, ශ්‍රී ලාංකේය ශිෂ්ඨාචාරයේ අක් මුල් හා බැදුණකි. එදා ‘කදම්බනදී’ ලෙසත් වර්තමානයේදී ‘මල්වතුඔය’ ලෙසත් හැදින්වෙන දියවරින් පෝෂණය ලබන ඔවුහු ප්‍රෞඪ අතීතයකටත් දුක්ඛිත වර්තමානයකටත් මැදිව දිවි ගෙවති. ඔවුහු සිය දුක නිසැකවම දනිති. දුකට හේතුවද, දුක නැති කරගත හැකි මගද මැනවින් දකිති. ගැටලුව ඇත්තේ විසදුම පමා වීමය. වසරක්-දෙකක් නොව පරම්පරාවක්-දෙකක් ඔවුහු විසදුම් ලැබෙන තුරු බලා සිටියෝය. මන්නාරම දිස්ත්‍රික්කයේ ‘සහල්නැළිය’ ලෙස විරුදාවලියලත් යෝධවැව ගොවීන් එතරම් දිගු කාලයක් මුළුල්ලේ බලා සිටින්නේ තම කටුක ජීවිත සශ්‍රීක කරන මග අවුරා සිටින ජල හිගයට විසදුම් ලැබෙන තුරුය.

‘එක කන්නයේ’ ජීවිතය

සහල්නැළියේ ගොවිතැන මාස් කන්නයට සීමා වෙයි. මාස්කන්නය අවසන් වීමත් සමග වසරේ වැඩි කාලයක් කිසිදු ඉපයීමකින් තොරව විදවමින් ජීවත් වන්නට මොවුනට සිදුව ඇත්තේ තවත් කන්නයක් කිරීමට යෝධවැවේ ජලය ප්‍රමාණවත් නොවීම නිසාය. යෝධවැවේ ශක්තිය මල්වතු ඔයයි. වසර පුරාම යෝධ වැව පුරවා තබන්නට තරම් දියදහරාවක් ගලා නොගියද වර්ෂා කාලයේදී අනුරාධපුර නගරයේ සිට මල්වතුඔයේ ගමනාන්තය වන සිලාවතුරට නුදුරු අරිප්පු මුහුද දක්වා මහා ජලකදක් ගලා බසී.

අපතේ යන ජලය රැස් කර තබාගැනීම පිළිබදව මුල්ම කතිකාවත ආරම්භ වූයේ 1950 අගභාගයේදීය. මල්වතුඔය හරස් කර ජලාශයක් ඉදි කිරීම සදහා මුල්ම පිඹුරුපත සකස් කළේ එවකට සෝවියට් සමූහ ආණ්ඩුවේ අනුග්‍රහයෙනි. එම ඉංජිනේරුවන් විසින් සියලුම සැලසුම් සකස් කළද ඒ සියල්ල  උපන්ගෙයිම මියගියේ එවකට මන්නාරම දිස්ත්‍රික්කය නියෝජනය කළ මහජන නියෝජිතයෙකුගේ විරෝධතාව නිසා බව ප්‍රකට රහසකි. ජලය මුල්කොට උතුර දකුණ යා කිරීමට තිබූ හොදම අවස්ථාව එසේ ගිලිහී ගියේය. ජලාශය ඉදි වීමත් සමග සිංහල ජනයා පදිංචිකරවීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙතැයි යන සැකය අදාළ විරෝධයේ පදනම වූ බව සහල්නැළියේ පැරණි ගොවීහු පවසති.

පසුව 1960 දශකයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය සදහා යළිත් වරක් සැලසුම් සකස් කළද ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එවරද ව්‍යාපෘතිය ඇණහිටි අතර දසක ගණනාවක සිට ඔවුන් දරා සිටි බලාපොරොත්තු යළිත් සිහිනයක් බවට පත් විය.

අන්තෝනි සන්දියෝපු (44) මන්නාරම නානාට්ටාන් ග්‍රාමයේ පදිංචි ගොවියෙකි. ජල හිගය ඔවුන්ගේ ජීවිත ඉරණම තීන්දු කරන හැටි ඔහු පැවසුවේය. ”වැහි කාලෙට එන වතුර ගබඩා කරගන්න ඕන කියල අපේ තාත්තල ඉන්න කාලේ ඉදන්ම යෝජනා කළා. ඒවුණත් අපිට කවුරුවත් ඇහුන්කන් දෙන්නේ නැහැ. මේ දවස්වල ජීවත්වෙන්න අපිට කරන්න තියෙන්නේ කුලී වැඩට යන එක විතරයි. ඒත් දවසකට ලැබෙන්නේ රුපියල් හයසීයයි. ඒකෙන් රුපියල් එකසිය විස්සක් දීල හාල් කිලෝවක් ගත්තාම අනික් කළමනා ගන්න අමාරුයි. සහල්නැළියෙ අපිටත් අද වෙනකොට හාල් ඇටයක් නැහැ. ˝

 වර්ෂා කාලයේදී මල්වතුඔය පිටාර ගැලීමෙන් අනුරාධපුර නගරයට ගංවතුර තර්ජන
වර්ෂා කාලයේදී මල්වතුඔය පිටාර ගැලීමෙන් අනුරාධපුර නගරයට වන ගංවතුර තර්ජන

දසක තුනකට ආසන්න කාලයක් පැවති වර්ගවාදී යුධගැටුම් හේතුවෙන් අනේක දුක් කම්කටොලු මැද ජීවත් වූ සහල්නැලියේ ගොවීන්ට යුද්ධය නිම වූ පසුව හෝ ලැබුණු සහනයක් නැත. ඔවුන් ඉල්ලා සිටින එකම දෙය ජලය පමණි.

නාච්චදූවේ සෙනෙහස

මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවිතැන් කටයුතු පිළිබද දීර්ඝ ඉතිහාසයක වගතුග හොදින් දන්නා අයෙකු මෙන්ම ජාතික සංහිදියාව පිළිබද මනා අවබෝධයක් ඇති මුරුන්කන් පදිංචි සීමාපුල්ලෙයි සෞන්ද්‍රනායගම් (69) ජල ගැටලුවේ විවිධ පැති කෙරෙහි සංවේදී වූවෙකි.

”යෝධ වැවට වතුර මදිවෙන හැමවෙලාවෙම නාච්චාදූව වැවෙන් මල්වතුඔය හරහා අපිට වතුර එවනවා. ඇත්තටම නාච්චාදූවෙ ගොවීන් අපිට උදව් කරනවා. ඒගොල්ලන්ට අපි ස්තූති කරන්න ඕන. ඒ වුණත් හැම වෙලාවෙම අපිට වතුර දෙන්න එහේ ගොවීන්ට බැහැ. එහෙත් විශාලෙට ගොවිතැන් කෙරෙනවා. අපි ඒ ගැනත් හිතනවා.

මල්වතුඔය ජලාශය හැදුණනම් අපිට කන්න දෙකක් බයක් නැතුව වගා කරන්න පුළුවන්. එහෙම වුණොත් කාටවත් අතපාන්න උවමනාවක් නැහැ. මේ ඉල්ලීම අපි අපේ මුළු ජීවිත කාලයෙන් භාගයක් ගෙවිලත් ඉල්ලනවා. ජලාශෙ හැදුණොත් ඉන්දියාවට ගිහිල්ල ඉන්න අපේ නෑයොත් ආපහු ලංකාවට ඒවි ආයිත් ගොවිතැන් කරල ජීවත් වෙන්න. එහෙම වුණොත් අපිටත් හරි සංතෝසයි ˝

යෝධවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සන්දාම් පිල්ලෙයි සිල්වා (69) පැහැදිලි කළේ මල්වතු ඔය ජලාශය ඉදිකිරීම ඓතිහාසික සංවර්ධන ක්‍රියාදාමයක අනිවාර්ය දිගුවක් විය යුතු බවයි.

˝ලංකාවේ අඩුවෙන්ම වර්ෂාව ලැබෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයට. ඒ හින්ද වෙන්න ඇති පරාක්‍රමබාහු රජ්ජ්රුවෝ යෝධවැව හදල ඇනිකට් හදල ගොවිතැන් කරන්න අවශ්‍ය පහසුකම් හදල තියෙන්නනෙ.

යෝධවැව අදවනවිට සිඳී ගොස් ඇති අයුරු
යෝධවැව අදවනවිට සිඳී ගොස් ඇති අයුරු

යෝධවැව අක්කර අඩි තිස්එක්දහස් පන්සීයක් විශාලයි. මහ කන්නයේදී සාමාන්‍යයෙන් කුඹුරු අක්කර තිස්දාහක් වගා කරනවා. ඒත් වතුර නැති නිසා මේපාර වගා කළේ අක්කර විසිදාහයි. එයිනුත් අක්කර පන්දාහක් විතර විනාශවෙන තත්වයකට පත්වෙලා තියෙන්නේ. අපිට ඉඩම් තියෙනවා, විශාල වැවක් තියෙනවා, ඒත් පස්සෙ ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදහට ජලය ගබඩා කරල තියාගන්න ක්‍රමයක් තමයි නැත්තෙ. මල්වතුඔය ජලාශෙ හැදුණානම් මේ ප්‍රශ්නය ඉවරයි.


අතීතයේ වෙච්ච වැරදි හින්ද වර්තමානයේ ඉන්න අපේ ගොවීන්ට දුක්විඳින්න සිද්ධවෙලා තියෙනවා. වෙච්ච වැරදිවලට කාටවත් දොස් කියල වැඩක් නැහැ. වැරදි හදාගෙන ගමන යන එක තමයි මනුස්සකම.”

නව යෝජනාක්‍රමය

මන්නාරම යෝධවැව ඇතුළු සහල්නැළිය සංවර්ධනය කිරිම සදහා මේ වන විට කතිකාවත් රැසක් සිදුවෙමින් පවතින අතර පහළ මල්වතුඔය බහුකාර්ය ජලාශ ව්‍යාපෘතියට අයත් ප්‍රධාන ජලාශය අනුරාධපුර දිස්ත්‍රික්යේ තන්තිරිමලය බෝගොඩ ආශ්‍රිත ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය. නමුත් මෙම ව්‍යාපෘතියට මේ වන විට විවිධ විරෝධතා එල්ලවෙමින් පවතී. මීට මූලික වී ඇත්තේ ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් තන්තිරිමලය අවට ගම්මාන කිහිපයක අවතැන්වන පිරිස නගන හඩය.

තන්තිරිමලය පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන හිමි, ප්‍රදේශයේ පොදු ජන ගැටලුවලට නිරතුරුව මැදිහත් වන හිමිනමකි. යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් උන්වහන්සේ දැඩිව පෙනී සිටී.

”පහළ මල්වතුඔය ජලාශය ගැන කතා කරනකොට, තන්තිරිමලේ කියන නාමය මුළු ලෝකෙටම විවර කරල දුන්නු අපේ අපවත්වුණු විමලඥාන හාමුදුරුවො අමතක කරන්නම බැහැ. උන්වහන්සෙ තන්තිරිමලය පුදබිම සොයාගෙන ආවායින් පස්සේ, උන්වහන්සේගේ  හීනය වුණේ මල්වතුඔයේ ගලාගෙන යන ජලය රදවාගන්න වැඩපිළිවෙළක්. මන්නාරම දිස්ත්‍රික්කයේ ගනේෂ්ල, සිවාජිල හාමුදුරුවන්ගෙන් හැමදාම ඉල්ලුවේ මල්වතුඔයේ වතුර අහක යන්න නොදී වැඩපිළිවෙළක් හදන්න කියල.

අදවෙනකොට මේ ව්‍යාපෘතිය සදහා අඩිතාලමක් වැටිල තියෙනවා. මේ අවස්ථාව මගහැරෙන්න දෙන්න බැහැ. තන්තිරිමලේ පවුල් දෙසිය හැත්තෑවකට විතර උපන් බිම අහිමි වෙන බව ඇත්ත. නමුත් ඒ අයට සාධාරණයක් වෙන විදිහට කටයුතු සලසන්න මං කටයුතු කරනවා. මම තන්තිරිමලේ අහිංසක ජනතාව වෙනුවෙන් වගේම මන්නාරම යෝධවැවේ ගොවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් සටන් කරනවා. සහජීවනය තනි පාර්ශවයකට අයිති දෙයක් නෙවෙයි.”

 ජලය නොමැතිකමින් මෙවර මහකන්නයේ සහල්නැලියේ වගාබිම් පුරන්වී ඇති අන්දම
ජලය නොමැතිකමින් මෙවර මහකන්නයේ සහල්නැලියේ වගාබිම් පුරන්වී ඇති අන්දම

ජල අයිතිය, ලොව බොහෝ යුද්ධවලට පසුබිම් වූ හේතුවකි. ඒ ගැන ලාංකීය අත්දැකීම්ද අපට තිබේ. එහෙත් අපේ ඉතිහාසය, අදට වඩා ඒ සම්බන්ධයෙන් ඉතා සාධනීය වූ බව තන්තිරිමලේ හිමියෝ පහදා දෙති.

සහජීවනයේ අතීත සාක්ෂි

”රුධිරය හා ජලය දෙකම එකයි. මේ දෙකම නැතිව මිහිපිට ජීවත්වෙන කිසිම සත්වයෙකුට ජිවත්වෙන්න බැහැ. මන්නාරමේ ගොවීන් සම්පූර්ණයෙන්ම යැපෙන්නේ නාච්චාදූව වැවෙන් පහළට ගලාගෙන එන මල්වතුඔයේ ජලයෙන්. වර්ෂා කාලයට මල්වතුඔයේ වතුර ගලාගෙන යන්නේ අපේ ගම්බිම් යටකරගෙන කිසිම ප්‍රයෝජනයක්  නැතිව. අතීතයේදීත්  මෙහෙම වෙන්න ඇති. ඒ නිසයි අපේ හිටපු පැරණි රජවරු මල්වතුඔය හරහා අමුණු බැදල මන්නාරමේ යෝධවැවට වතුර දීල තියෙන්නේ. උතුරු දකුණු සහජීවනය මේ පුරාණ අමුණුවලින් ඔප්පු වෙනවා.

යෝධවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සන්දාම් පිල්ලෙයි සිල්වා සහල් නැලියේ ගොවි නායකයකු වන සීමාපුල්ලෙයි සෞන්ද්රිනායගම්
යෝධවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සන්දාම් පිල්ලෙයි සිල්වා සහල් නැලියේ ගොවි නායකයකු වන සීමාපුල්ලෙයි සෞන්ද්‍රනායගම්

බොරුවට පුරාජේරුවට  පේසාලේ අපිට තෙල් තියෙනවා, මෙහෙ මාලු තියෙනවා කියල වැඩක් නැහැ. අපිට තියෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. අද ලෝකේ රටවල් තියෙනවා බුද්ධිය පාවිච්චිකරල අඩුම වර්ෂාපතනයකින් වැඩි පලදාවක් ගන්නවා. අපිට පුළුවන් වුණොත් මල්වතුඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරල මන්නාරමේ ගොවියන්ගේ වගාවට අවශ්‍ය ජලය ලබාදෙන්න අපි ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම රටක් බවට පත්වෙනවා. රුධිරය හා ජලය එකතුකරල උතුරු දකුණු සංහිදියාව ඇතිකරන්න මගේ පූර්ණ ආශීර්වාදය තියෙනවා.”