Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මොරවැව යාය 6;
නියඟයට ‘තල්ලු කළ’ මිනිස්සු

නියගය හා උග්‍ර ජල හිගය මේ කතාවේ නිමිත්ත වන නමුත්, එහි පසුපස ඇති කතාව ඊට වඩා බෙහෙවින් බරපතළය. එහෙයින් එය, රාජ්‍යයක වගකීම් රහිත පිළිවෙත නිසා පීඩාවට පත් කළ ප්‍රජාවක් පිළිබද කතාවකි.

03.03.2017  |  
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
අතහැර දමා ඇති ජල ටැංකිය

වස්සානය පෙනෙන තෙක් මානයක නැත. ඉරිතලා ගිය වැව් පිටිය මහා ඛේදවාචයක පෙර නිමිති කියා පායි. බැලු බැලු හැම අතම වියළී කෙඩෑරී ගිය ගහ කොළය. මොරවැව යාය 6 ප්‍රදේශය, මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්ත්වයෙහි බරපතළ බව කියාපාන සංකේතයක් වැන්න. බීමට ජල බිදක් සොයා එහි ජනයා සැතපුම් ගණනාවක් දුර තරණය කරන දසුන, පසුගිය සමයේ මහා ප්‍රචාරණ ව්‍යාපෘති මගින් ගොඩනැගූ ‘ආසියාවේ ආශ්චර්යය’ නිරුවත් කරන්නකි.

යුද්ධයේ ගොදුරු බිම

මොරවැව යාය 6, යුද්ධයෙන් අවතැන් වී, පසුව නැවත පදිංචි කළ ගම්මානයකි. යුධ ගැටුම් ආරම්භ වීමට ප්‍රථම ඉතා සශ්‍රීක ගොවි ජනපදයක් වූ එය, යුධ ගැටුම් ඇරඹුමත් සමග අරාජික විය. වසර විසි දෙකකට වැඩි කාලයක් ජනශූන්‍යව පැවති මොරවැව යාය 6 ගම්මානය යුද්ධය නිමාවීමත් සමග ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි කිරීම් සිදු කළ පළමු ගම්මානයයි. නැවත පදිංචියට පැමිණිමට පෙර වෙනත් අවතැන්වූවන්  විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළද, මොරවැව යාය 6 ජනයා රජයෙන් ඉල්ලා සිටියේ, එකම එක ඉල්ලීමකි. ඒ පානීය ජලය හා ගොවිතැනට අවශ්‍ය වන ජලය විසදුම් ලබා ගැනීමයි.

එහෙත්, නැවත පදිංචි කිරීම් සිදු කොට වසර දහයක් ගත වන තුරුත් එම ඉල්ලීම ඉටු නොවූ බව මොරවැව යාය 6 ගම්මානයේ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ජේ.එම්.ජයසිරි මහතා කියා සිටී.

 නියඟය හේතුවෙන් වියලී ගිය ඇළ මාර්ග
නියඟය හේතුවෙන් වියලී ගිය ඇළ මාර්ග

“අපි දාලා යද්දී මේව හොද සශ්‍රීක ගම්බිම්. නමුත් අවුරුදු 22කට පස්සේ අපි ආපහු එද්දී ඒ හැම දෙයක්ම වෙනස් වෙලා. ඇළ පද්ධතිය ගොඩ වෙලා. ළිං ටික හිදිලා, ගෙවල් දොරවල් විනාශ වෙලා ගිහිල්ලා. වතුපිටි වල් අලි විනාශ කරලා දාලා. හැම දෙයක්ම අලුතින් පටන් ගන්න වෙලා. හැබැයි, මේ මොන දේටත් කලින් ‍බොන්න වතුර ටිකයි ගොවිතැන් කරන්න වතුර ටිකයි ඕන. අපි රජයෙන් ඉල්ලා සිටියේ ඔය ඉල්ලීම් දෙක විතරයි. නමුත්, අදටත් ඉටුවෙලා නැත්තෙත් ඔය ටිකමයි. ”

‘වකුගඩු මාරයා’

යුද තර්ජනය අවසන් වී සැනසුම් සුසුම් හෙළීමටත් පෙර මොරවැව ජනයා තවත් ව්‍යසනයකට මුහුණ පා සිටී. ඒ රජර‍ට කලාපය ඇතුළු ප්‍රදේශ ගණනාවකට බලපා ඇති හදුනා නොගත් වකුගඩු රෝගයයි. උතුරු මැද පළාතට මායිම්ව පිහිටි මොරවැව ප්‍රදේශයද මේ වන විට වකුගඩු ව්‍යසනයට බරපතළ ලෙස ලක් වෙමින් සිටින අතර, ඊට මූලිකම හේතුව පිරිසිදු පානීය ජලය නොමැති වීම බව ගම්වාසීහු පෙන්වා දෙති.


ප්‍රදේශයේ ළිං හා වෙනත් ජල මූලාශ්‍ර කොතෙකුත් පැවතියද, එම ජලය පානයට නුසුදුසු බැවින් ජනයා පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සදහා විශාල දුරක් ගමන් කිරීමටත්, මුදලට ජලය ලබා ගැනීමටත් සිදුව ඇති බව ඩබ්ලිව්.ඩී.ඉන්ද්‍රාණි මහත්මිය කියා සිටියි.

“කොටි කරදරේ ඉවර වුණාට පස්සේ අපි හිතුවේ දැන්වත් සැනසිල්ලේ ඉන්න ලැබෙයි කියලා.. නමුත්, ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ ඊළගට වකුගඩු මාරයා ආවා. මේ වෙන කොටත් වකුගඩු නරක් වෙලා මොරවැව ගමේම දහදොළොස් දෙනෙක් මැරිලා තියෙනවා. කොටි ගහලා මැරුණ ගණනට වඩා ඒ ගණන වැඩියි. කෙටි කාලයක් ඇතුළත තමයි ඒ මරණ සිද්ධවුණේ. වාහන තියෙන අය ඈතට ගිහින් බොන්නයි උයන්නයි වතුර අරගෙන එනවා. තවත් සමහර අය වාහනවලින් සල්ලිවලට වතුර ගන්නවා. ඒ මොකවත් කර ගන්න බැරි උදවිය නොබී බැරිකමට මේ වතුරම බොනවා. අපි රජයෙන් එදා ඉදන් ඉල්ලුවේ වතුර විතරයි. මේ වතුර බීලා ලෙඩ වෙලා විදවලා මැරෙනවට වඩා ‍හොදයි එදා කොටි ගහලා මැරුණ නම්.”

ප්‍රජාවගේ විසඳුම්

මොරවැව යාය 6 ජනයාගේ පානීය ජල ගැටලුවට රජය විසදුම් ලබා නොදෙන විට ජනයා ඔවුන්ගේ වියදමෙන් යාය 6 ප්‍රෙදේශයේ ජල ව්‍යාපෘතියක් අරඹන්නේ, විශාල මුදලක් වැය කරමිනි. ග්‍රාම සංවර්ධන සමිතිය මගින් ක්‍රියාත්මක කළ එම ව්‍යාපෘතිය වූයේ නල ළිදක් සහ ජල ටැංකියක් ඉදි කර පානීය ජලය ලබා දීමයි. තම දූදරුවන් හෝ වකුගඩු මාරයාගෙන් මුදවා ගැනීම ඔවුන්ගේ ඒකායන අපේක්ෂාව වී තිබේ.

“ඇත්තටම අපි මේක පටන් ගත්තේ, අපි වෙනුවෙන් නෙවෙයි. අපේ දරුවෝ වෙනුවෙන්..වෝටර් බෝඩ් එකෙන් ඇවිත් පිරිසිදු ජලය තිබෙන තැනක් පරීක්ෂණ මගින් තහවරු කළාට පස්සේ තමයි අපි එතන මේ නළ ළිද ඉදි කළේ. විශාල මුදලකුත් වැය කරලා මෝටරයකුත් හයි කළා. නමුත්, මේ ටැංකියේ ධාරිතාවය හා පිහිටි උස ගමටම වතුර බෙදන්න මදි. මේක අපිට තව ටිකක් වැඩි දියුණු කරලා දෙනවා නම්, ඒ හොදටම ඇති..මේ ගමේ ඉන්නේ දුප්පත් ගොවියෝ.. ආයේ සැරයක් මේකට වැය කරන්න තරම් හය්යක් අපිට නැහැ..” මොරවැව යාය 6 ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් ආර්.එම්.ධර්මසිරි පවසයි.

අනාගත පරපුර

තමන් මුහුණ දුන් ජල ගැටලුව හා වකුගඩු ගැටලුව අනාගත පරපුරට උරුම කර නොදීය යුතු බව අවධාරණය කරන යූ.වී.ගුණපාල, පුරවැසියන් ලෙස හිමි විය යුතු අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ සිය ප්‍රජාව වෙනුවෙන් ප්‍රබලව හඩ නගන්නෙකි.

දිය සිඳී ගිය වැවක්
දිය සිඳී ගිය වැවක්

“අපේ කාලේ ඉවරයි..අපි තරම් ජීවිතේ දුක් විදපු පිරිසක් අහල ගම් හතකවත් නැතිව ඇති.කොටි ගැහැව්වා..අලි ගැහැව්වා.. නියගයට අහුවෙනවා.. ගංවතුර දානවා. ඒ මදිවට වකුගඩු මාරයා. අපි වින්ද දුක් කන්ද අපේ දරු මුණුබුරන්ට උරුම කළොත්, ඒ පවට වග කියන්න වෙන්නෙත් අපිටමයි. ඒ නිසයි අපි වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ ප්‍රශ්නවලට විසදුමක් දෙන්න කියලා..”

ජල ගැටලුව නිසා මේ ජනතාව විදින පීඩාව කෙතරම්දැයි පිටත සිට බලන්නෙකුට තේරුම් ගැනීම අසීරුය. රේණුකා මල්කාන්ති එය පහදා දීමට වෑයම් කළාය.

“අපි බොන්න වතුර ගේන්න කිලෝ මිටර් දහයක් පහළොවක් යනවා. සල්ලි තියෙන අය වතුර බෝතල් ගන්නවා. ඉස්සර සල්ලි වලට බෝතල් වතුර බොනවා කිව්වහම අපිට පුදුම හිතෙනවා. ඒත්, දැන් අපිම ඒ වැඩේ කරනවා. බොන්න වතුර ටික දෙනවා නම්, වෙන මොනවත් ඉල්ලන්නෙ නැහැ..”

විසඳුම් නැති රාජ්‍යය

මොරවැව යාය 6  ජනයා කලක සිට මුහුණ දී සිටින උග්‍ර පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් අප මොරවැව සහකාර ප්‍රාදේශීය ලේකම් සජිත් වෙල්ගම ගෙන් විමසීමක් කළෙමු.

“ මේ ප්‍රදේශයේ ජනයා උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බව ඇත්ත. ජලයේ තිබෙන විවිධ තත්වයන් හේතුවෙන් මෙහි තිබෙන බොහෝ ළිංවල ජලය භාවිතයට ගන්න බැහැ. බොහෝ පිරිසක් මේ වන විටත් වකුගඩු රෝගයට බිලි වෙලා තිබෙනවා. මේක හරිම ඛේදනීය තත්වයක්. මේ ජනයාගේ ජල ගැටලුවට විසදුම් ලබා දෙන්න යම් කිසි ආයතනයක් හෝ සංවිධානයක් ඉදිරිපත් වෙනවා නම්, ඊට අපේ සියලු සහය ලබා දෙන්න ලැහැස්තියි.”

ප්‍රජා සහභාගීත්වයෙන් විසදුම් සෙවීමත්, රාජ්‍ය නොවන ආතනවල මැදිහත් වීමත් වැදගත් වන නමුත් මේ ජනතාව සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම ඇත්තේ රජයටය. ඉහත  පිළිතුරෙන් ගම්‍ය වන්නේ, මේ ගැටලු විසදීමට රජය පාර්ශ්වයෙන් තවමත් කිසිදු මැදිහත්වීමක් නැති බවයි. එය නියගයටත් වඩා බරපතළ තත්ත්වයක් නොවේද?