Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පැණි වරකාවෙන්
හන්දියක් ඇල්ලූ සුනිල්

මේ කතාව, ලොකු ජනප‍්‍රසාදයක් අත් කරගත් පොඩි මිනිසකු ගැනය. තම කාර්යය කුමක් වුවද ඊට කැපවීමේ වටිනාකම ඔහු අපට කියා දෙයි.

04.04.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය
Stall holder U.A. Sunhil and his 24-hour jackfruit stand in Colombo.

‘ජින්තුපිටිය හන්දිය’ කොළඹ නගරයේ පැරණි ස්ථාන නාමයකි. කාලාන්තරයක් තිස්සේ ජනතාව අතර පැලපදියම් වුණු එවැනි ස්ථාන නාමයක් සීරු මාරු කිරීම රජයට වුවද පහසු කටයුත්තක් නොවේ. තනි මිනිසෙකුට එය කොහෙත්ම නොකළහැකි තරමේ ආශ්චර්යයකි. ජින්තුපිටියේ භාෂාවෙන්ම කියතොත්, ‘වැයික්කියෙන් පිට එකෙකුට නම් කොහොමටවත් එව්වා සුම්මා’ ය.

එහෙත්, බෙන්තර ගෙඟන් එහා පැත්තේ සිට ජින්තුපිටියට පැමිණි යූ.ඒ. සුනිල් නම් හාදයෙක්, ජනතාවටත් නොදැනීම ‘ජින්තුපිටිය හන්දියේ‘ නම වෙනස් කළේය. දැන් කව්රුත් එතැනට ‘වරකා හන්දිය’ යැයි කියති.

මේ වෙනස, එක රැුයක විප්ලවයක් නොවේ. එය, පොඩි මිනිසකුගේ අප‍්‍රතිහත ධෛර්යයත්, කැප වුණු සේවයත්, මානව සබඳතා විෂයෙහි සුරු කමත් ඔස්සේ දිගු කලක් මුළුල්ලේ සිදු වූවකි. සුනිල් නම් මිනිසා, ජින්තුපිටියේ හදවත ආක‍්‍රමණය කළ හැටි, අපූරු කතාවකි.

වරකා වෙළෙඳාම

මාතර වැලිගම උපන් යූ.ඒ. සුනිල් කොළඹට එන්නේ අනූව දශකයේය. කොළඹ කොටහේන කොච්චිකඬේ පල්ලිය ආසන්නයේ පලතුරු විකිණීම ආරම්භ කළ සුනිල් එයින් ලද අත්දැකීම් අනුව 1997දී තමන් අලෙවි කළ පලතුරු වර්ගවලින් එකක් පමණක් සිය ප‍්‍රධාන වෙළෙඳාම බවට පත්කර ගත්තේය. ඒ, ලංකාවේ පමණක් නොව ලෝකයේම ඇති ලොකුම පලතුර වන ‘වරකා’ය. ඔහු තෝරාගත් ව්‍යාපාරික ස්ථානය, ‘ජින්තුපිටිය වටරවුම’යි.

ඔහු එදා ආරම්භ කළ වරකා වෙළෙඳාම කෙතරම් ජනප‍්‍රිය වූයේද යත්, විසි වසරක ඇවෑමෙන් ජින්තුපිටිය වටරවුම ‘වරකා හන්දිය’ විය. ලංකාවේ  කොතැනකින්වත් වරකා සොයා ගැනීමට නොහැකි වුණත් සුනිල්ගේ වරකා ලෑල්ලේ වරකා වරදින්නේ නැත. ඊට හේතුවක් තිබේ.
”ලංකාවේ සෑම පළාතකම හැමදාම වරකා නෑ. ඒ ඒ පළාත්වල ආවාර කාලයක් තියෙනවා. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කාලෙට බිබිළ, ගම්පහ, කඩවත, ගනේමුල්ල, රත්නපුර ප‍්‍රදේශවල වරකා තියෙනවා. ඒත්  ඒ කාලෙට වරකා නැති පළාත් තියෙනවා. බිබිල, බදුල්ල, මාතලේ, වව්නියාව, යාපනේ වරකා තියෙන කාලෙට කොළඹ අවට ප‍්‍රදේශවල අවාරේ. ඉතින් ඒ වාරේ අවාරේ  ඕනම කාලෙක වරකා ගන්න මං ළඟට එන මිනිස්සු ඉන්නවා.’’

සුනිල විශ්වාසය

සුනිල් සිය වෙළෙඳාමට ‘ජින්තුපිටිය’ තෝරාගත්තේ ඇයි? ඔහු ඒ රහස මෙසේ හෙළි කළේය.
‘‘ඒකට හේතුවක් තිබුණා. කොළඹ කොටහේන, කොච්චිකඬේ, ජින්තුපිටිය ආසන්න ප‍්‍රදේශවල කෝවිල් තියෙනවා. කෝවිල්වල පූජාවට විශේෂයෙන් ගණදෙවි පූජාවට වරකා අනිවාර්යයෙන්ම ගන්නවා. මම ඒ තත්ත්වය සොයා ගත්තා. ඒකෙන් තමයි වරකා බිස්නස් එකට පාර හොයා ගත්තේ”

කොළඹ අවට කෝවිල්වල පූජා සඳහා වරකා මිල දී ගැනීමට බැතිමත්තු සුනිල් සොයා පැමිණියහ.
කොළඹ අවට කෝවිල්වල පූජා සඳහා වරකා මිල දී ගැනීමට බැතිමත්තු සුනිල් සොයා පැමිණියහ.

කොළඹ අවට කෝවිල්වල පූජා සඳහා වරකා මිල දී ගැනීමට බැතිමත්තු සුනිල් සොයා පැමිණියහ. වසර විස්සක බැඳීම නිසාම ඔවුන් තුළ සුනිල් කෙරේ ඇත්තේ අපමණ විශ්වාසයකි. කිසි දිනෙක සුනිල්ගේ වරකා ලෑල්ලේ වරකා වරදින්නේ නැත. විවිධ පළාත්වල විවිධ පැහැයෙන් යුත් විවිධ වර්ගයේ වරකා සුනිල්ගේ වරකා කඬේ අවශ්‍ය ප‍්‍රමාණයට තිබේ. වරකා මදුළුවල පැහැය රතු, කහ, තැඹිලි ළා කහ වගේම ඒවායේ විවිධ රස ඇති බවත් සුනිල් අපට කීවේය.
‘‘මගේ බිස්නස් එක අතේ තියෙන මුදලට අනුව මම කරනවා. ඒ කියන්නේ හිඟන්නෙක් ඇවිල්ලා රුපියල් විස්සක වරකා ඉල්ලූවත් කාර් එකකින් ඇවිල්ලා වරකා ගෙඩියක් ඉල්ලූවත් ඒ දෙන්නටම මම වරකා දෙනවා. නැහැ කියන්නේ නෑ. බෑ කියන්නෙත් නෑ”
සුනිල්ගේ වරකා ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳව ඔහු අපව දැනුවත් කළේය.
ලංකාවේ වරකා ගැන හොඳම විශේෂඥයා ඔහු විය නොහැකිද? මම ඔහුට අමතර පැනයක් යොමු කළෙමි. ”වරකාවලින් මොන වරකද වැඩිම රස?”
”වව්නියාවේ වරකාවල රස වෙනස්. ඇත්තටම වව්නියාවේ වරකා රහයි. මම දන්නෑ හේතුව. ඒ රසයේ වෙනසක් තියෙනවා.”

වරකා නිවාඩුව

සුනිල්ගේ වරකා කඩය වැසෙන්නේ සෑම වසරකම දවස් දහයක කාලයක පමණි. ඒ දවස් ගැන කීවේ ද ඔහුය.
”අපේ‍්‍රල් මාසයේ 10 වනදා කඬේ වහනවා. ආයිත් කඬේ අරින්නේ අපේ‍්‍රල් 20. ඒ කාලේ මම ඉන්නේ මාතර වැලිගම මගේ ගමේ. දීර්ඝ නිවාඩුවක් තියෙන්නේ ඒ දවස් ටිකේ විතරයි. ඊට අමතර නිවාඩුවක් ගන්නවා නම් මම නැතත් මෙතන බිස්නස් එක කරන්න මගේ මල්ලි හරි වෙන කවුරු හරි ඉන්නවා. එහෙම නැති හැම දවසකම මගේ ප‍්‍රධාන ජොබ් එක වරකා ලෑල්ල”
සුනිල් ජින්තුපිටිය හන්දියේ සිය රැුකියාව කරන්නේ බෝඩිමක නැවතී සිටය. බෝඩිමට මාසික කුලිය රුපියල් දසදහසකි. බෝඩිමේ කුලියට අමතරව දෛනික ආහාර පාන සියල්ල සඳහා සුනිල් මුදල් වියදම් කරන්නේය. ”ගෙදරට සල්ලි  ඕන වුණොත් මම කරන්නේ කෙළින්ම බැංකුවට දාන එක. තවම ඉගෙන ගන්න දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ අයට අමතර පන්ති ගාස්තු වගේ ඒවා දිනපතාම බැංකුවට දානවා. ගෙදර නෝනා රැුකියාවක් කරන්නේ නෑ. ඒ නිසා මුළු පවුලම ජීවත් වෙන්නේ මේ වරකා රස්සාවෙන්”වරකා ලෑල්ලේ නොපෙනෙන පැත්ත ගැන සුනිල් කීවේය.
විසිහතර පැයේ සැපයුම
සුනිල්ගේ රාත‍්‍රිය පටන් ගන්නේ සවස තුනේ කණිසමේ සිටය. පස්වරු තුනේ සිට රාත‍්‍රී අට වන තුරු විවේක සුවයෙන් නින්දට යන සුනිල්ගේ උදෑසන ආරම්භ වන්නේ රාත‍්‍රී අටෙන් පසුවය. එතැන් සිට පසුවදා පස්වරු තුන වනතෙක්ම සුනිල් අවදියෙන්ය. වරකා තරම් මිහිරි නැති ඒ දුෂ්කරකි‍්‍රයාව ඔහු මෙසේ අපට කීවේය.
”මම හවස තුනට කඬේ වහනවා. ඒ වහපු වෙලාවක වුණත් මං දන්න අය මට කෝල් කරලා වරකා ඉල්ලූවොත් මම කඬේ අරිනවා. ඒ කියන්නේ පැය විසිහතරේම වැඩ. මම නිදාගන්නේ හවස තුනේ ඉඳලා ? අට වෙනකං විතරයි. අටෙන් පස්සේ එළිවෙන කං අවදියෙන්. අටෙන් පස්සේ තමයි පිට පළාත්වල ලොරි කොළඹට එන්නේ. පළාත් හතර පහක බඩු මෙතෙන්ට එනවා. වරකා ගෙඩි සීයක් දෙසීයක් තෝරලා බාගන්න වෙනවා. ඒවා ගබඩා කරලා උදේට විකුණන්න පිළිවෙළක් කරන කොට වෙලාව හරි, එළිවෙලා. ඊට පස්සේ නාලා කෝවිලටයි බුදු මැදුරටයි වත්පිළිවෙත් කරලා පහන පත්තු කළාම උදේ හය හත වෙලා. ඒක නිසා මගේ රාත‍්‍රිය කියන්නේ පැය හයක් විතරයි.

ජින්තුපිටිය හෙවත් වරකා හන්දියේ ඇති කෝවිලත් ඒ අසල ඇති බුදුමැදුරත් අලූයම් කාලයේ පවිත‍්‍ර වන්නේ සුනිල්ගේ දෑතිනි.
වරකා හන්දියේ ඇති කෝවිලත් ඒ අසල ඇති බුදුමැදුරත් අලූයම් කාලයේ පවිත‍්‍ර වන්නේ සුනිල්ගේ දෑතිනි.

හරිහමන් නින්දක් නැති සුනිල්ගේ කතාව ඔහුගේ දෑසෙන් සනාථ වන්නේය. වසර විස්සක හුරු වීම නිසාම දැන් ඔහුට එම තත්ත්වය ඔහුගේ සාමාන්‍ය ජීවිතයයි. ජින්තුපිටිය හෙවත් වරකා හන්දියේ ඇති කෝවිලත් ඒ අසල ඇති බුදුමැදුරත් අලූයම් කාලයේ පවිත‍්‍ර වන්නේ සුනිල්ගේ දෑතිනි. ඒ නිසාම ජින්තුපිටිය හන්දියේ හැමෝම සුනිල්ට ආදරේය.

අපූරු සිදුවීම්

”වරකා ඉතින් අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයිනේ? හැමදාම බිස්නස් කරන්න පුළුවන් දෙයක්ද වරකා?”
සුනිල් සමඟ සුහද පිළිසඳර අතරතුර මම ඔහුට පැනයක් යොමු කළෙමි. ඔහු ඊට දුන්නේ හරි අපූරු පිළිතුරකි.
”එක දවසක් මහ ? බදුල්ලේ ඉඳලා මහත්තයෙක් කොළඹ ඇවිත් පිටකොටුවේ වරකා හොයලා තියෙනවා. එතන හිටපු කෙනෙක් මහත්තයා මං ළඟට එව්වා. මගේ ළඟ වරකා තිබුණා. ඒ මහත්තයා දොස්තර කෙනෙක්. එයාගේ නෝනට වරකා කන්න ආස හිතිලා. නෝනට බබෙක් හම්බු වෙන්න දොළක් හැදිලා. හරිම සන්තෝසෙන් වරකා ගෙඩියක් අරගෙන තමයි ඒ මහත්තයා ගියේ. ඒ වගේ නෝනලා මහත්තුරු මං ළඟට කොච්චර ඇවිත් තියෙනවද? ලංකාවේ කොහේ නැතත් ජින්තුපිටිය හන්දියේ සුනිල්ගේ පැණි වරකා ලෑල්ලේ බඩු තියෙනවා. ඉතින් ඒකම ඇති මගේ බිස්නස් එකට. අවුරුදු විස්සක විශ්වාසේ මං රැුකලා තියෙනවා. වස විස නැති එකම පලතුර විකුණන්නේ මං හිතන්නේ මං විතරයි.
වැලිගම සිට පැමිණි සුනිල් ජින්තුපිටිය වටරවුමේ වසර ගණනක් පුරා ඇතිතරම් පදම් වී ඇත්තේය. ඇතැම් විට වරකා යැයි පවසා බාගෙට ඉදුණු වැල ගෙඩි ඔහුට සැපයූ සැපයුම්කරුවන්ද ඔහුට හමු වී ඇත්තේය. දැන් ඒ තෝරා බේරාගැනීම්වලට සුනිල්ට ගතවන්නේ ස්වල්ප මොහොතකි.

සහජීවනය

කෝවිලත්, පල්ලියත්, බුදුමැදුරත් එකසේ ඇසුරු කරන සුනිල්ට ජින්තුපිටියේ දේවස්ථානවලද දොර වැසෙන්නේ නැත. ඒවායේ සිටින පූජකවරු, පූසාරිවරු සුනිල් හඳුනති. වරකා විකිණීම එකම ජීවිකාව කරගත් සුනිල් පිළිබඳව කොළඹ නොදන්නා කෙනෙකු නැත. සුනිල්ගේ බිරිඳ සහ දරුවන්ටද සුනිල්ගේ රැකියාව හුරු පුරුදුය. පාසල් නිවාඩුවට සුනිල්ගේ දරුවන් වැලිගම සිට කොළඹ එන්නේ සුනිල්ගේ බෝඩිමේ සතියක් දෙකක් ගෙවාදමන්නටය. වරකා අපනයනය කරන්නන්ගේ ප‍්‍රධාන සැපයුම්කරුවා ලෙස සුනිල් තෝරාගෙන තිබෙන්නේද ඔහුට ඇති අත්දැකීම් නිසාය.

සේයා රූ : අජිත් සෙනෙවිරත්න